Saturday, August 5, 2017

ඉන්දියානු ට්‍රෝලර් ප්‍රශ්නය ; පිළිකන්න බේරාගැනීම




 ජාතික ආරක්ෂාවේ ඉහලම තලයේ තර්ජනයක් නොවුනද ඉන්දියානු ට්‍රෝලර් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයට පැමිණීම බොහෝ විට ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වීමට අවකාශ ඇත්තකයි සිතෙන ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නයේ පැතිකඩවල් කිහිපයක් තිබේ. ඒ  රටවල් දෙකෙහිම  මෙම ප්‍රශ්නය හා සම්බන්ධ පරදු දරන්නන් කොට්ඨාශ කිහිපයක් ඇති නිසාය. එම කොට්ටාශ සහ එක් එක් කොට්ටාශ සඳහා පරදු පහත ආකාරයට ලැයිස්තුගත කල හැක්කේය.
ශ්‍රී ලංකාවේ උතුරු කරයේ ධීවරයන් - ඔවුන්ට අල්ලා ගැනීමට තිබෙන මත්ෂ්‍ය සම්පත ඉන්දියානු ට්‍රෝලර් ගැනීම සහ ඔවුන් මාළු ඇල්ලීමට යොදවන්නා වූ ස්ථාන ගත කරන දැල් වලට හානි සිදු කිරීම. 
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රෝලර් අයිතිකරුවන් සහ ධීවරයන් - දැනට කරගෙන යන ඉතාමත් ලාබ අධික ටයිගර් ඉස්සන් කර්මාන්තය තව දුරටත් පවත්වා ගැනීම. 
තමිල්නාඩුවේ දේශපාලඥයින් -කර්මාන්තය බිද වැටුනොත් චන්ද අඩු වීම.  
ශ්‍රී ලංකාවේ දේශපාලඥයින් - උතුරේ දේශපාලකයන්ට  උතුරේ ධිවර ජනතාවගෙන් එන පීඩනය. ජාතික දේශපාලනයේදී රටේ දේශ සීමා උල්ලංඝනය කිරීම නොයෙකුත් පැත්ත පෙරලා ප්‍රයෝජනයට ගැනීමට ඉඩ ලැබීම. 
තමිල්නාඩුවේ ශ්‍රී ලංකාවට විරුද්ධව ජාතිවාදය අවුස්සන්නන් - මේ මගින් ජාති වාදය අවුස්සා දේශපාලන ප්‍රයෝජන ගැනීම.  
ශ්‍රී ලංකාවේ ජාතිවාදය අවුස්සා ප්‍රයෝජන ලබන්නන්. 
ශ්‍රී  ලංකාවේ උතුර හැර අනෙක් ප්‍රදේශවල ධීවරයන් - ශ්‍රී ලාංකික  මුහුදු සීමාව උල්ලංගනය කර අත් අඩංගුවට ගන්නා ට්‍රෝලර් නිදහස් කර ගැනීමට ඉන්දියානු මුහුදු සිමාව හරහා අන්තර් ජාතික මුහුදට යන ශ්‍රී  ලාංකික බහු දින ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනිම නිසා ඔවුනට සිදුවන කරදර.  
මෙතරම් විශාල පරදු දරන්නන් සංක්‍යාවක් සිටින ප්‍රශ්නයක් විසඳීම කොතරම් සංකීර්ණදැයි අමුතුවෙන් කිවයුතු නොවේ. එයට අමතරව මෙහි ඇති එතිහාසික ධීවර කලාප සහ 2013 කච්චතිවු ආපසු ඉන්දියාවේ පාලනයට ලබාගත යුතු යැයි තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ඉදිරිපත් කෙරුණු යෝජනාව දක්වා දිවෙන 1974 ඉන්දියා ශ්‍රී ලංකා ගිවිසුමෙන් ඉන්දියාවට අසාධාරණයක් වූවායැයි සිතන ඉන්දියානුවන් ගේ විරෝධතා මෙම සමීකරණය තව දුරටත් සංකීර්ණ කරයි. 
එහෙත් ඉන්දියානු ට්‍රෝලර් ලංකාවේ මුහුදු තීරයට ඇතුලු වීමෙන්  පහත ආකාරයේ ප්‍රශ්න කොතරම ඇති වුවද; 
ඉන්දියානු ධීවරයන්ගේ ජීවිත නැතිවීම්.
ඉන්දියානු ට්‍රෝලර් වලට භෞතික හානි සිදුවීම්.
යුද වකවානුවේදී ඉන්දියානු ට්‍රෝලර් LTTE ත්‍රස්තවාදීන්ට මුහුදේ නොයෙකුත් යුධ අමු ද්‍රව්‍ය ප්‍රවාහනය කරදීම්. 
ඉන්දියානු ට්‍රෝලර් ධීවරයන් සහ ලාංකික ධීවරයන් අතර ගැටුම්. 
නාවික හමුදා නාවිකයන් ට්‍රෝලර් විසින් මරා දමන ලදැයි සැකයන් මතුවූ අවස්ථා.
 මෙම ඉන්දියානු ට්‍රෝලර් ශ්‍රී ලංකා මුහුදට ඇතුලුවීම නිසා සිදුවිය හැකි රාජ්‍ය තාන්තික හෝ සමාජීය ප්‍රශ්න ප්‍රශාරණය වීමට ඉඩ නොදී තබා ගැනීම ඉන්දියානු ශ්‍රී ලාංකික රටවල් දෙක අතර පවතින මිත්‍රත්වයට අපහසු  පරීක්ෂණයක් වූ බව පැහැදිලිය. එම අභියෝග වලට සාර්ථකව රටවල් දෙක මුහුණදී ඇති ආකාරයෙන් දෙරටෙහිම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ දක්ෂතාවය සහ දෙරටටම මෙවැනි ප්‍රශ්න සංකීර්ණ නොවී තබාගැනීමට ඇති ඕනෑකම  පෙන්නුම් කරයි. 
මෙතරම් කටුක එමෙන්ම දීර්ඝ යුද්ධ කාලයක් තුල ඉන්දියානු ට්‍රෝලර් ප්‍රශ්නය මෙතරම් පහල පැති කඩක තබා ගන්නට හැකි වීමෙන්ම පමණක් මෙම ප්‍රශ්නය අපගේ ජාතික ආරක්ෂාවට අනාගතයේදී ප්‍රශ්නයක් ඇති කල හැකි යැයි සිතීමට ඇති ඉඩ කඩ ඉතාමත් අල්ප බව පෙනේ. එහෙත් මේ ප්‍රශ්නය ඉතාමත් සංවේදීව එසේම සිහි කල්පනාවෙන් විසදාගත යුත්තේය. මෙතෙක් කල් මෙම ප්‍රශ්නය යම් සිවිලිමකින් උඩට උත්සන්න වීමට ඉඩ නොදුන් පහත සාධක මෙම ප්‍රශ්නය විසදීම සදහා තව දුරටත් උදව් කර ගැනීම යෙහෙකි. 
දෙපැත්තෙහිම ධීවරයන් එකම භාෂාවක් කථා කරන ද්‍රවිඩ සම්භවයක් ඇති ජන කොට්ඨාශයන් වීම. 
මෙම ජන කොට්ඨාශයන් දෙක මතම ක්‍රිස්තියානි පල්ලියේ ඇති බලපෑම. 
ඉන්දියානු ට්‍රෝලර් සහ ශ්‍රී ලාංකික ධීවරයන් තරඟ කරන්නේ ඉතාමත් සීමා සහිත සම්පතක් සදහා වීම. 
ජන කොට්ඨාශ දෙකෙහි සංස්කෘතික සබඳතා.
දැනට ලෝකයේ මුහුදේ ඇති මත්ෂ්‍ය සම්පත සහ එහි ජෛව විවිධත්වය ආරක්ෂාකර ගැනීමට නොයෙකුත් අන්තර් ජාතික ආයතන සහ රජයයන් විසින් ගනු ලබන උත්සාහයන් සහ ක්‍රියාකාරකම් - මෙම ක්‍රියාකාරකම් යටතේ මාළු අල්ලා ගැනීමට යොදවා ගන්නා වූ නොයෙකුත් ක්‍රමද සාකච්ඡාවට භාජනය වන අතර ඉන්දියානු ට්‍රෝලර් භාවිත කරන භූමිය දිගේ දැල් ඇදගෙන ගොස් මසුන් ඇල්ලීම පරිසරයට ඉතාමත් විනාශකාරී මසුන් අල්ලන ක්‍රමයක් බව දැන් සියලු දෙනාගේ පිලිගැනීම වේ. ඉදිරි අනාගතයේදී මෙවැනි ක්‍රම වලට නැගෙන විරෝධතාවය ජාත්‍යන්තර වශයෙන් තවත් වැඩිවන අතර මෙම විරෝධතාවයද ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රාව අපගේ මුහුදු කලාපයට පැමිණීම අඩුකර ගැනීමට අපට මහෝපකාරි වනු ඇත.  
මෙම ඉන්දියානු ට්‍රෝලර් ශ්‍රී ලංකා මුහුදට පැමිණීම වැලැක්වීමට හොඳම ක්‍රමය වනුයේ ඉහත සදහන් සියලු කරුණු ප්‍රයෝජනයට ගෙන ක්‍රමයෙන් ට්‍රෝලර් ඇතුලට පැමිණීම අඩුකර ගැනීමට විසදුමක් සොයා ගැනීමයි.  

සියලු කරුණු සලකා බැලුවිට ,මේ සඳහා මට පෙනෙන හොඳම ක්‍රමය ශ්‍රී ලංකික ධීවර සමිති විසින් මෙම බිම දිගේ ට්‍රොලින්ග් කිරීම පිළිබඳව ජාත්‍යන්තර තලයේ  මේ පිළිබඳව උනන්දුවක් දක්වන ආයතන වලට දන්වා දිගින් දිගටම ඔවුන් හා වැඩ කිරීමයි. එය රජයෙන් මෙය නවත්වන්නට උත්සාහ කරනවාට වඩා මහත් පලදායි වනු ඇත. රජයට උතුරේ ධිවර සමිති වලට ප්‍රච්ඡන්න ලෙස උදව් කරන්නට පුළුවන. මෙවැනි සාගර සම්පත් හා ජෛව විවිධත්වය විනාශ කිරීමට විරුද්ධව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර හා රාජ්‍ය නොවන ආයතන තිබේ. ඒවාට බැන බැන ඉන්නේ නැතිව ,ඒවායෙන් නිර්මානශිලිව ප්‍රයෝජන ලබාගෙන ප්‍රශ්න විසදාගැනීම අපේ අරමුණ වියයුතුය.

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...