Saturday, August 26, 2017

ස්කිනර් සහ කළුබණ්ඩා - 6



http://lakshmanillangakoon.blogspot.com/2017/08/5.html
සිට 

නයිදේ, ආරච්ච්ගේ නිවසට එන විට ආරච්චි ගමනක් යන්නට ලැහැස්තිවී සිටියේය. සිහින් දුඹුරු ඉරි සහිත සුදු සරමක්ද ,කිහිලි අසල දැල් රෙද්දක් මැසු බෙල්ලටම රවුම් කරකින් අවසන් වූ සුදු අත් දිග බැනියමක්ද ඇඳ  ඉන වටා අඟල් හතරක් පමණ පළල ලා දුඹුරු පැහැති බොත්තම් තද කර වැසිය  හැකි හම්  පටියකින් ඔහුගේ ඇදුම සම්පුර්ණ විය. ඝන රතු පැහැ ලොකු කළු ඉරක් මැදින් ගිය මෆ්ලරයක් ඔහු කරේ දමාගෙන සිටියේය.

" උඹෙන් මම අහන්ටමයි හිටියේ, මට ඕක මතක් වුනේ ඊයේ උදලු තලාගෙන ආපුහාම, උඹ පහුගිය කන්නෙ බඩල් පංගුව ලොකු මැණිකෙ ගෙන් ඉල්ල ගත්තද ?" ආරච්චිල, නයිදේ කළුගල් පඩිපෙළින් උඩට නඟිනවා දුටු  විගසම ඇසුවේය.

" ආරච්චි මහත්තයෝ ගිය කන්නේ බඩල් පංගුව ගත්ත විතරක් නෙමෙයි , ඊට පස්සෙ දෙවිඩක් යලේ බඩල් පන්ගුවෙනුත් අත්තිකාරම් ඉල්ලා ගත්ත, නිලමෙලාගෙන් ඉල්ලා ගන්නේ නැතුව අපි වෙන කාගෙන් ඉල්ල ගන්ටද?" නයිදේ මුවගට සිනාවක් නංවා ගනිමින් පිළිතුරු දුන්නේය.

" එහෙනං ලොකු මැණිකෙ ගෙන් සුදු රෙදි යාර හතරකුයි , රීදී කාසියකුයි ඉල්ලගෙන හනිකට වරෙන් , අපිට ගමනක් යන්ට තියෙනවා, මම කොහොමටත් උඹට පණිවුඩයක් යවන්ටයි හිටියෙ" ආරච්චි මෆ්ලරය කර වටා ඔතාගනිමින් පැවසුවේය.

"මට ගමන ගැන නං ආරංචියක් ලැබුනා, ඒ වුනාට මං  නම් ලොකු නිලමේ කොරන්ට යන වැඩේට මනාපයක් නෑ " නයිදේ අමනාපය මුහුනෙහිද සනිටුහන් කර පෙන්විය, " නිලමෙයි මමයි එක පලෝලේ, නිලමෙ කසාද නොගත්තට මම කලින්ම ගෑනියෙක් ගත්ත , දැන් මගේ මුනුබුරත් මගෙත් එක්ක හරි හරියට කම්මලේ වැඩ කොරනවා, අපි දැන් ඉලංදාරි නෙවෙයි අපේ නිලමෙ, ඒ කාලේ කොරපු කෙලි  දැන් අපිට බෑ " ඔහු ආරච්චිල කෙසේ හෝ තරඟයෙන් ඉවතට ගැනීමට උත්සාහ කළේය. 

" යමූ  නැගලම බලමු, අපිට නගිනකොට තේරුනොත් මේක කොරන්ට බෑ කියල..."

"තරගෙන් අයින් වෙලා නිකා ඉමු , නේද නිලමේ " නයිදේ සතුටින් ආරච්චිල ගේ කතාවට බාධා කළේය.

 "නෑ,  පුළුවන් වෙනකන් උඩහට පල්ලහට යන්, උඹට දැන් කම්මලේ වැඩටික කොරන්ටත් මුනුබුරෙක් ඉන්නවනෙ , වැඩ පාඩුවක් වෙන එකකුත් නෑනෙ " කියමින් ආරච්චි මහ දොරෙන් වම් පැත්තේ අයිනකින් තිබෙන  පහලට බසින ගල් පඩිපෙළ වෙත හෙමින් පියවර මැන්නේය.

"ඉස්සර වාගේම තමයි, තිබ්බ අඩිය ආපස්සට ගන්නේ නෑ, මම දැනගෙන හිටිය මේක වෙයි කියල, හොඳයි යන් , දෙකෙන් එකක් වෙන්නැතෑ" කියූ නයිදේ වටෙන් පිටුපස දොරෙන් ගෙට ඇතුළු විය.

ලොකු මැණිකේ ගෙන් රෙදි කැබැල්ල සහ කාසිය ඉල්ලා ගෙන කඩමණ්ඩිය පැත්තට වේගයෙන් ආ නයිදේට ආරච්චිල මුණගැසුනේ කඩමණ්ඩිය පසුකර ටික දුරක් ගිය පසුවය. " ඇසල මාසෙ හින්ද වැස්සත් අඩුවෙච්චි , කන්ද නගින්ට හොඳම කාලෙ " ආරච්චි  ඔහු තමන් අසලට පැමිණි විට පැවසීය.

"එහෙමයි , අපි දැන්මම පටන්ගත්තොත් ඉර මුදුන් වෙලා දෙපැයක් යන කොට වාගේ ආපහු පල්ලම් බහින්ට පුළුවන් වෙයි, නේද නිලමේ?" ඔහු පිළිතුරු දුන්නේය.

" හ්ම් ඉස්සර වෙලා නැගල බලමුකෝ ..."

උස ගස් සහ අතු වියනින් වැසුණු කැලෑ පාරෙන් ගමන ආරම්භ කල ඔවුහු පැරණි කළුගල් වලින් නිමවුණු අඩි හතරට අඩියක අනුපාතයට  උස්වන පඩිපෙළ දිගේ ගමන් ඇරඹුහ. කිලෝ මීටර එක හමාරක් ගිය පසු හමුවුන කුඩා අම්බලමේ විනාඩි පහක් පමණ ඉඳගෙන ගිමන් ඇරියහ.

ඊළඟ කොටසට

http://lakshmanillangakoon.blogspot.com/2017/08/7.html 




5 comments:

  1. ආශාවෙන් කියවමි .සුබ පතමි !

    ReplyDelete
  2. ටිකක් දිගට ලියමුකෝ

    ReplyDelete
    Replies
    1. දවසකට වචන 500 ක් ලියන්නේ , 600 කරන්නම්

      Delete
  3. නියමයි දිගටම ලියන්න
    ඔබට ජය💪

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...