Thursday, September 15, 2016

නිදහස් අධ්‍යාපනය සමානාත්ම කිරීම; අල්ලට සිඟාකා අනෙකෙකුට බුරියානි අරන්දීම නවත්වමුද?










නිදහස් අධ්‍යාපනය සාධාරනීකරණය කිරීම; අල්ලට සිඟාකා අනෙකෙකුට බුරියානි අරන්දීම නවත්වමුද?



ලංකාවේ අධ්‍යාපන පද්ධතිය නිදහස් එකක් යැයි කියනු ලැබේ. නිදහස් කියන්නේ නොමිලේ යන්න පමණක් නම් මෙම කියමනේ වැරැද්දක් නැත. නමුත් නිදහස් යන්න නොමිලේ පමණක් වෙන්නට බැරිය. නිදහස් යනුවෙන් නම් කරද්දී එය නිදහස, ස්වාධීනත්වය, සමානාත්මතාවය වැනි බොහෝ හොඳ දේවල් නිරූපනය කරන එක් වචනයක් එසේත් නැත්නම් සලකුණක් වන්නට ඇතැයි මට සිතේ. 
එම අදහසින් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයක් යැයි කියන්නේ නම්, එය සම්පූර්ණ වැරදි කථාවකි. මෙතරම් අසාධාරණ වූ අධ්‍යාපන ක්‍රමයකට නිදහස් අධ්‍යාපනය යැයි කියන්නේ කෙසේද? මේ තරම් පන්ති බේදය, මුදල් බේදය, බල බේදය සහ දූෂණය පිරුණු සේවාවකට, සේවයක් යැයි කිව හැක්කේ කෙසේද?
පාසැල් වලට ළමුන් බදවා ගැනීමේදීම සිදුවන වංචා දූෂණ සහ අසාධාරණ කම් දෙස බලමු. අධ්‍යාපනයේ මුල් අවධියේම ප්‍රශ්නය ඇතිවන්නේ ජනප්‍රිය පාසැල් යැයි කොටසක් වෙන් කර ඇති නිසාය. එවැනි පාසැල් කොටසක් පද්ධතියේ තිබෙන අතර, දෙමව්පියන්ට ගෙවීමට සිදුවන්නේ ළමයා කොයි පාසැලට ගියත් එකම මුදලක් නිසා මෙම ජනප්‍රි පාසැල් වලට ළමුන් ඇතුලත් කිරීමේ තරගය ඉතාමත් උග්‍ර වී ඇත.  ඒ සදහා ජනප්‍රිය පාසැල් වලට ළමුන් ඇතුලත් කර ගැනීමේ ක්‍රමවේදයම ප්‍රමාණවත්ය.
1.පාසැල් ලගින්ම සිටින්නන්ගේ ළමුන්ට ප්‍රමුඛස්ථානය ලැබීම. මෙයින් සිදුවන්නේ ධනවත්ම ළමයින්ට පමණක් එම පාසැල් වලට ඇතුලත් කර ගැනීමට හැකිවීම. මා දන්නා පාසැල් වන ධර්මරාජ හා මහාමායා කිට්ටුවෙන් ඉඩම් පර්චසයක් දැන් ලක්ෂ 25 ත් පැන ඇත. අඩු ගානේ මධ්‍යම පන්තියේ කෙනෙකුටවත් කිසිම චාන්ස් එකක් නැත.
2.සහෝදරයා/සහෝදරිය සිටින නිසා බදවා ගැනීම. මෙය කිසිම තර්කානූකූලභාවයක් නොමැති ක්‍රමවේදයකි. එක් පවුලකට දැනටමත් දී ඇති වරප්‍රසාදයක් නැවත වරක් දීමය. ඇත්තෙන්ම සිදුවිය යුත්තේ එහි අනික් පැත්තය.  
3.මාරු වී පැමිණෙන්නන්ට ජනප්‍රිය පාසැල් ලබාදීම. මෙවැනි ක්‍රමයකින් ළමයින් බදවා ගත්තොත් රජයේ සේවකයන් සෑම දෙනාම මාරු වී පැමිණීමට කටයුතු යොදා ගනු ඇත. එවිට ජනප්‍රිය පාසැල් වලට ඇතුලත් විය හැක්කේ රජයේ සේවකයන්ගේ ළමයින්ට පමණක් වනු ඇත.     
මෙම විශමතාවය ඉවත් කල හැක්කේ කෙසේද? ඒ සදහා විකල්ප පිළිතුරු කිහිපයක් සිතට නැගේ.
1.ජනප්‍රිය පාසැල්වල කුඩා පන්ති නැති කිරීම; එහෙත් කොතැනකදී හෝ සිසුන් ඇතුලත් කර ගන්නා විට නැවතත් මෙම ප්‍රශ්නයම ඇතිවේ.
2.ජනප්‍රිය විද්‍යාල වලට සමාන පහසුකම්  අනෙක් විද්‍යාල වලත් ඇති කිරීම; ඇත්තෙන්ම බලන විට බොහෝ පහසුකම් පහසුවෙන්ම ඇති කල හැකි ඒවා වුවද, ඒවා ඇති කිරීමෙන් විද්‍යාල දෙස බලන ආකාරයේ වෙනසක් වේයැයි සිතිය නොහැක. අනෙක මේ සදහා ලොකු මුදලක්ද වැය කිරිමට සිදුවේ.   
3.ශිෂත්ව විභාගය සමත් වූවන් පමණක් ජනප්‍රිය පාසැල් වලට බදවා ගැනීම; මෙම විකල්පය සාකච්ඡා කල විකල්ප අතරින් හොදම විකල්පය ලෙස පෙනුනද, මෙයිනුද අවසානයේ සිදුවන්නේ ශිෂත්ව ටියුෂන් ගුරුවරු නොයෙකුත් වර්ගයන් නිර්මාණය වී, වැඩිම මුදලක් ගෙවා හොදම සේවයක් ලබාගත හැකි දෙමව්පියන්ගේ දරුවන්ට වාසි වීමයි.
ඇත්තෙන්ම මේ සියල්ල සලකා බැලූ විට පෙනීයන්නේ ජනප්‍රිය පාසැල් සංකල්පය නිසා නිදහස් අධ්‍යාපනයේ ඇති වී ඇති අවුල කොහෙන්, කෙසේ විසදන්නට බැලුවත් කාට හෝ අසාධාරණයක් සිදුවන බවයි.
එසේ නම් ඇත්තෙන්ම මෙම අසාධාරණය නිවැරදි කිරීමට කල යුත්තේ කුමක්ද?
අවසාන අරමුණ සෑම සිසුවෙකුටම සමාන පහසුකම් ඇති අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලැබීමට ඉඩ ප්‍රස්ථා ඇති කිරීමයි. මෙය නොකල හැක්කක් නොවූවද අඩු තරමින් අවුරුදු 10 ක් වත් ගතවන ක්‍රියාවලියකි. 
එහෙත් ඒ අතරතුර මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට රජයට ක්‍රියාත්මක කල හැකි ක්‍රමවේදයක් තිබේ. ඕනෑම සීමාසහිත සම්පතක් අපි පාවිච්චි කරන්නේ නම් අපි එයට ගෙවිය යුතුය. නිකන් දවල් කෑමක් ලැබෙන්නේ නැති බව අපි සියලු දෙනාම හොදින් දන්නෙමු. කෙනෙකුට නිකන් දෙයක් ලැබෙන විට එයට තවත් කෙනෙකු ගෙවිය යුතුය. රටේ බඳු ආදායමෙන් කෙනෙකුට නොමිලේ යමක් දෙන විට එය ලබා ගන්නා කෙනා හැර, අනෙක් සියලු දෙනාම එහි බිල ගෙවිය යුතුය. ඇත්තෙන්ම එම බිල ගෙවිය යුත්තේ සේවය නොමිලේ ලබා ගන්නා පුද්ගලයාය.
ජනප්‍රිය පාසැල්ද ඉතාම අධික ඉල්ලුමක් තිබෙන සීමිත සම්පතකි. එහෙයින් අනෙක් මිනිසුන්ගේ මුදලින් එම සේවය ලබා ගන්නා පුද්ගලයන් ඒ සදහා ගෙවිය යුතුය.
ලංකාවේ ජනප්‍රිතාවයේ ඉහලින්ම තිබෙන පාසැල් හතර කොළඹ රාජකීය, ආනන්ද, විශාකා  සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයයි. ( Royal College, 186 marks: VisakhaVidayalaya – 185; Ananda College Colombo and Dharmaraja College, Kandy – 183 -)
මෙම පාසැල් වලින් වැඩිම මාසික ගාස්තුවක් අය වෙන ලෙසට සහ ජනප්‍රිය ලැයිස්තුවේ පහලට යන විට ගාස්තුව අඩුවන ලෙසට මාසික ගාස්තුවක් මෙය අසාධාරණය අධ්‍යාපන පද්ධතියෙන් ඉවත් කිරිමට තිබෙන හොදම පිලිවෙලය. 25% ක් පමණ දරුවන් ශිෂත්ව ලකුණු මට්ටමෙන් බඳවාගෙන ඔවුනට නොමිලේ අධ්‍යාපනයක් ලබාදිය යුතුය. මෙලෙස එකතු වන මුදල් කෙලින්ම ග්‍රාමීය පාසැල්වල, දුෂ්කරම පලාත් වලින් පටන් ගෙන, පහසුකම් වැඩි දියුණු කිරීම සදහා යෙදවිය හැක.

ඉහලින්ම තිබෙන පාසැල්වල මාසික ගාස්තුව රුපියල් 10,000 ක් පමන වූ විට ඇත්තෙන්ම මේවාට ළමයින් මෙතරම් වියදම් කර යැවීම ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් දැයි දෙමව්පියන් කල්පනාකරනු ඇත. ටියුෂන් රජයන ලොවක ජනප්‍රිය පාසැලට යාමෙන් ඇති ප්‍රයෝජනේ කුමක්ද? 
when we travel if you would like to go in AC comfort rather than usual bus you have to pay extra for that, If you want to get more decent  health care  at private hospital you pay for it , eat batter food pay more , travel in comfort with style buy a BMW type vehicle by paying more . Then why are you expecting to get better and bigger in education without paying extra that is  at the cost of others , the public.   

8 comments:

  1. ඇත්තෙන්ම, සල්ලිකාරයෝ පොරකන කිසිම විද්‍යාලයක නොමිළයේ අධ්‍යාපනය ලබා දිය යුකු නෑ, සේවාවේ මිළ වෙළඳපොළ ඉල්ලුම අනුව තීරණය වෙන්න ඉඩහැර රජයේ ආයෝජනයට බද්දක් ලබාගත යුතුයි. එය එම විද්‍යාලවල කැපවීමෙන් සේවය කරන ආචාර්ය වරුන්ට, ඔවුන් වර්තමානයේ මුදල් උපයන අයාතා මාර්ග වලින් මිඳී දෑත් පිරිසිඳුකර ගැනීමට උදව්වේවි.

    ReplyDelete
    Replies
    1. සියල්ල වෙනස් විය යුතුය. සමාජ ක්‍රමය අර්ථ ක්‍රමය සියල්ලම...එහිදී..පවතින ක්‍රමය අනුව සැප පහසුකම් ලත් කෙනෙකු සිටිද්ද ඔහු ඊට එකඟ නොවනු ඇත....

      Delete
  2. ටියුෂන් රජයන ලොවක ජනප්‍රිය පාසැලට යාමෙන් ඇති ප්‍රයෝජනේ කුමක්ද? මහත්මයාණෙනි, ගැටළුව අන්න එතනය. ජනප්‍රිය පාසල් වලට තම ළමුන් යැවීමට දෙමාපියන් මේ තරමටම පොරකන්නේ ඇයි? අන්න ඒ ප්‍රස්නයට පිලිතුර සොයාගෙන එයට විසඳම් දීමෙන් ඔය ප්‍රස්නය නිරාකරණය වනු ඇතිය යන්න මගේ පුද්ගලික හැඟීමයි.එහෙත් මේ මිහිතලය පවතින තාක් එම ගැටළුවට විසඳුමක්ද නොලැබෙනු ඇත යන්න මගේ හැඟීමයි. මන්ද මෙලොව වසන සියල්ලන් පෘතග්ජන මිනිසුන් බැවිනි.

    ReplyDelete
  3. # ටියුෂන් රජයන ලොවක ජනප්‍රිය පාසැලට යාමෙන් ඇති ප්‍රයෝජනේ කුමක්ද? # කිසිම ප්‍රයෝජනයක් නැත...මං රෝයල්...අම්මප !!...ඔව්...පොළොන්නරුවෙ රෝයල් !

    ReplyDelete
  4. ඔබතුමා නේවි එකේ නෙ? නිකමට මතක් කරල බලන්නකො ඇතුලට ගන්න ඉන්ටර්විව් එකේදි ඉස්කෝලෙ නමට එන පවර් එක.ඕබී එකෙන් දෙන චාන්ස්.කොම්පැණි වල ජොබ් වලට කෙලින්ම ඉස්කෝලෙට දෙන කෝටා එක.කෝස් කරල බිම් මට්ටමින් කට්ට කාල සුදුසුකම් හදාගන්න අය කැපිල ලොක්කගෙ ඉස්කෝලෙ අයට තනතුරු ලැබෙන සිස්ටම් එක.. හොඳ ඉස්කෝලෙක නම කිව්වාම ඒ ඇතිවෙන සම්බන්ධතා හරහා සමාජයේ ලැබෙන පිළිගැනීම.. නම,ගම,පාසල අහල පුද්ගලයින් රෑන්ක් කිරීම ..
    මෙන්න මෙව්ව වෙනස් උන දවසක යම් වෙනසක් වෙයි.එතකන් ඔය පොරකෑම එහෙම්මමයි.
    ජයවේවා..!!

    ReplyDelete
  5. ඕක නැති කරන්න තමයි මම මේ ක්‍රමය යෝජනා කරන්නේ. ජනප්‍රිය පාසැලට යන්න ගානක් ගෙවන්න වුනහම, ටිකක් ලොකු ගානක්, මාසෙකට 10000 ක්, දෙමව්පියෝ කල්පනා කරනවා මේ වගේ වරප්‍රසාද ටිකකට මේ තරම් ගෙවන එක වටිනවද කියලා, ඒ අය කරන ගාන ජනප්‍රියත්වයේ රෑන්කින් එකේ හැටියට වැඩිවන කොට ඉන්ටනැෂනල් ඉස්කෝලෙක ගානට කිට්ටු කලොත්, ළමයා ඒකට අරියි. මොකද ඇත්තෙන්ම ළමයට වාසි ඉන්ටනැෂනල් ඉස්කෝලෙට යනවා නම්.
    අනෙක එහෙම වරප්‍රසාද තියෙනවා නම්, මම නම් පිළිගන්නේ නැහැ ඔබ කියන තරම් තියෙනවා කියලා, සමාජේ පිළිගැනීමක් හැරෙන්නට. ඒකට දෙමව්පියොත් ගෙවිය යුතුයි.

    ReplyDelete
  6. දැනටත් ඔය ඉස්කෝල වල තියන එක එක වැඩසටහන් වල බර අදින්න වෙලා තියෙනෙ දෙමව්පියන්ටමයි.වෙලාවට සල්ලි දෙන්න අමාරු ළමයිට 'මෙව්ව කරන්න බැරිනම් මොකටද මේ ඉස්කෝලෙට එන්නෙ ගමේ ඉස්කෝලෙට යන්නැතුව' කියල කියනවා මම අහගෙන ඉඳල තියනවා.ඉහත කියපු කාරණාත් මම පුද්ගලිකව දන්න දේවල්.දැනටත් සමහර ඉන්ටර්නැශනල් ඉස්කෝල වලට ළමයි දාන්න අනිත්වට වගේම තරගයක් තියනවා.එකම දේ ඒවා එලියට දාන්නෙ නෑ.සල්ලි තියන 'පුළුවන්' පංතියේ ළමයිට ලොකු ඉස්කෝල ටික පැහැදිලි සීමාවකින් වෙන් වෙනවා ඔය අයකිරීමත් එක්ක.ඉන්ටර්නැශනල්+ජනප්‍රිය එක කුලකයක්,මධ්‍ය විද්‍යාල+ගොඩේ එක කුලකයක් විදිහට තියන බෙදීම අමු අමුවට තහවුරු වෙනව. වෙන්න ඕනෙ අනෙකුත් පාසල් දියුණු කරන අතරෙම ජනප්‍රියත්වය බෙදාහැරීම (දිය කිරීම?) වගේ දෙයක්.
    උදාහරණයක් විදිහට ලංකාවේ ජනප්‍රියම ඉස්කෝලෙට ළමයි 25000ක විතර බරක් දරන්න වෙයි.එකම සීල් එක වදින සහතික ඒ 25000ම ගනියි.මේ ක්‍රමෙන් ටිකක් විතර සහනයක් ලැබේවි කියන එකයි මගේ මතය.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...