Monday, July 19, 2021

trial and error

මට මේ සියල්ල ලියන්නට සිතුනේ මේ ලඟකදි මට සිදු වූ යම් සිදුවීමක් නිසාය. අපේ මිදුලේ වර්ග අඩි පන්සීයක පමණ තණ පිටියක් තිබේ. දැන් අවුරුදු දහයකට පමණ පෙර එහි තිබුනේ කොළය ලොකු දේශීය තණකොළ වර්ගයකි.

මම පොඩි කාලේ මෙම තණකොළ මිදුලේ වවන්නට කුඹුරු වල සිට පිඩලි ගෙනාවා මතකය. නමුත් කාලයක් ගිය පසුව මේ තණකොළ වර්ගයේ තිබුණු ලොකු ප්‍රශ්නයක් අපට අත්දැකීමට සිදුවිය. ඒ කුඹුරු වල මෙන්ම මිදුලේද කූඩැල්ලන් ව්‍යාප්ත වීමයි. මුලදී ගෙදර මිදුලේ කූඩැල්ලන් සිටි නැති නමුදු, හොඳින් වැවුණු පසු මිදුලේද ව්‍යාප්ත විය. එහෙත් මීට වඩා බොහෝ කුඩා පත්‍ර සහිත අලුත් තණකොළ වර්ගයේ එසේ කූඩැල්ලන් හැදෙන්නේ නැති බව මට දැනගන්නට ලැබුණි.

මම එවැනි තණකොළ වර්ගයක් සොයමින් සිටින විට, ඒ වර්ගයේ පිඩලි විකුණන ස්ථානයක් දියත උයනේ දැක, පිඩැල්ලක්  රුපියල් හැත්තෑවකට මම මිලදී ගත්තෙමි. ඉන්පසු ඊළඟ සති අන්තයේ ගෙදර පැමිණි පසු, මිදුලේ එක කොටසක ලොකු තණකොළ පිඩලි ලෙස ඉවත් කර, ඒවාට පස් පුරවා මිලදී ගත් වල් කිහිපය බැගින් ගලවා එම ස්ථානවල හැදැව්වෙමි.

අවුරුද්දක් පමණ යනවිට තණකොළ වර්ගය සම්පූර්ණයෙන්ම මාරු කර ගන්නට හැකි වුණි. එහෙත් තවමත් මෙම ක්‍රියාවලිය අවසන් වී නැත. තවත් සියයට දහයක් පමණ work in progress  ලෙස පවතී.

ඇත්තෙන්ම මේ වල්වල කූඩැල්ලන් සෑදෙන්නේ නැත. මෙය මහනුවර ප්‍රදේශයේ ගෙදරකට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයකි. නමුත් අවුරුදු කිහිපයකට පසු මගේ ලෝන් එකට උඳුපියලිය ආක්‍රමණයක් සිදු විය. තැනින් තැන එක දෙක උඳුපියලිය පැල, සමහර කොටස් වල තණකොල වසාගෙන ඉතාමත් සරුවට වැවෙන්නට පටන් ගත්තේය. අනෙක් වල් මෙන් නොව උදුපියලිය ගලවා දැමීමත් ඉතාමත් අපහසු වන්නේ ඒවා පොළොවට සමාන්තරව, ඉතාමත් ඉක්මනින් සීග්‍රව වැවෙන නිසාය. ඒවා ගලවා දැමූවත් මුල් එළියට එන්නේ නොමැති නිසා, නැවත වරක් දළු දාගෙන වැවෙන්නට පටන් ගනී.

අපි ගෙදර අය මෙය ගලවා ඉවරයක් කිරීමට උත්සාහ කළද, එසේ කිරීමට හැකියාවක් ලැබුනේ නැත. මේ සඳහා වෙනම උපකරණද බංකු දෙකක්ද සාදා ගත්තෙමු. එහෙත් අපි එක් පැත්තකින් පටන්ගෙන උදුපියලිය ගලවාගෙන යනවිට, අනෙක් පැත්තෙන් නැවත වැවෙන්නට පටන් ගනී. කාන්තාවක් දවසට රුපියල් 800 පඩියට කුලියට ගෙන මේ වැඩේට යෙදෙවුවද, ඇය දවස් තුනකින් පැමිණීම නතර කළාය. ඇය නොයෙකුත් නිවෙස් වල කෑම සෑදීමට බාරගන්නා නිසා, මෙලෙස එක් තැනක දිගටම වැඩ කිරීම අපහසු බව ඇය මට කීවාය.
තවත් කාන්තාවක් මේ සඳහා යොදවා ගත්තද, ඇයද දවස් දෙකකට පසු ආපසු පැමිණියේ නැත. සමහර විට මේ වැඩය ඉතාමත් ඒකාකාරී එසේම බංකුවක ඉඳගෙන කළ යුත්තක් නිසා, එපා වනවා වන්නට පුළුවන.

උඳුපියලිය ඉවත් කිරීමට හැකියාවක් තිබේ යැයි මට හැඟුණු කුඩා මැෂිමක්, මම අලිබබා ආයතනයෙන් ගෙන්වා ගතිමි. එහෙයින් වැඩය තරමක් ඉක්මන් වුවද, උඳුපියලිය වගාවෙන් ඉවත් කිරීමට නම් හැකියාවක් ලැබෙන්නෙ නැති බව මට පෙනුණි. මේ අතර දවසක් අපේ මිදුලෙ තිබෙන වරකා ගහ යට වැටී තිබෙන කොස් කොළ ඉවත් කරමින් සිටින මට, එම කොස්කොළ යට අව්ව නොමැති නිසා අවපැහැ ගැන්වී ඇති වල්වල, උඳුපියලිය වඩාත්ම විනාශයට පත්වී ඇති වල් වර්ගය බව දුටුවෙමි. තණකොළ සාමාන්‍යයෙන් කහපාට පමණක් වී තිබුණු අතර උඳුපියලිය දුඹුරු පාට වී මියයන තත්ත්වයට පත්ව තිබුණේය.

මගේ යුරේකා අදහස පැමිණියේ මේ නිරීක්ෂණයෙන් පසුවය. මම ලොකු පොහොර ගෝනියකින් උඳුපියලිය වැඩිපුර තිබෙන ප්‍රදේශයක් වසා තැබුවෙමි. 

දිනකට වරක් ගෝනිය ස්වල්පයක් උස්සා (මෙය කියද්දී මට අර චර්චිල්ගේ ස්කර්ට් එකේ කතාව මතක් වුනි.) බැලුවෙමි. දවස් තුන හතරක් යන විට සියලුම යටවී තිබුණු වල් වර්ග අවපැහැ ගැන්වී තිබුණි. දවස් අටක් ගිය තැන උදුපියලිය සම්පුර්ණයෙන් විනාශ විය. මට අවශ්‍ය වල් වර්ගය ඉතිරි වී තිබුණි. ඒවාද අවපැහැ ගැන්වී තිබුනද සති දෙකක් විවුර්තව තැබූ පසු සාමාන්‍ය පැහැයට පත්වී නැවත ව්‍යාප්ත වීමට පටන් ගත්තේය.

ඉන්පසුව මම ගෙදර තිබු පරණ කොලපාගන විට පාවිච්චි කරන ලොකු කළු ප්ලාස්ටික් රෙද්දකින් වැසුවෙමි. සතියකටත් [පෙර උඳුපියලි සමුලගාතනය විය.

 

මෙය අපගේ දිනපතා ජීවිතයේ නොයෙකුත් වැඩ කටයුතු විද්‍යාත්මකව සිතීමෙන් සහ අහඹු නිරීක්ෂණයන් වැඩදායක අන්දමින් යොදා ගැනීමෙන් පහසුකර ගැනීමේ සරල උදාහරණයකි.

 

මෙම සරල යොදා ගැනීමෙන් මට මසකට රුපියල් 5000 ක පමණ ඉතිරියක්ද, පැය 10 ක පමණ මගේ කාලයද, ඉතිරි විය. ඒ සියල්ලටම වඩා මට ඕනෑ කරන තෘණ වලින් පමණක් සමන්විත වූ lawn එකක් දිනපතා මිදුලේ දැකීම ඒ මත ඇවිද යාම කොතරම් සතුටක් ගෙන දෙන්නේද?   


  

3 comments:

  1. Sir. New grass variety? Malaysian grass or Australian grass?

    ReplyDelete
  2. In the Western Province i think Undupiyaliya is not that difficult to get rid of. In fact, it is difficult to get a good undupiyaliya cover all year around.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...