Monday, July 5, 2021

තැඹිලි ව්‍යාපාරය

 


පසුගිය දිනක අපේ ගෙවත්තේ තැඹිලි කැපීමට අපේ පොල් කඩන wijaya මහත්මයා පැමිණියේය. ඔහු සාමාන්‍යයෙන් පොල් කැඩීමට මාසෙකට දෙතුන් වතාවක් පැමිණෙන අතර  සෑම විටම ඔහු පැමිණෙන්නේ ඔහුට අවශ්‍ය දවසකට ය. පොල් කඩා ඒවා ගණන් කර නිවසට අවශ්‍ය ප්‍රමාණය තබා අනෙක්වා ඒ ලඟ කඩේකට ගෙන යන්නේ ද ඔහු විසිනි.

නමුත් තැඹිලි කුරුම්බා කැපීම වෙනම බිස්නස් එකකි. සමහර විට ඔහුට පොල් කඩන්නට එදිනම තැනක් නැත්නම් ඔහු එසේ තැඹිලි කපන්නට පැමිණෙනවා ඇත. පොල් කැඩීමට වඩා තැඹිලි කැපීම තරමක් දුෂ්කර ක්‍රියාවකි. ඒ ලණුවක් ද ගසට රැගෙන ගොස් තැඹිලි ඉත්ත ලණුවේ ගැටගසා එය තවත් අක්කට පටලවා පහළට බැස්ස විය යුතු නිසාය. පොල් කඩනවා මෙන් දෙතුන් ගුණයක් මේ සඳහා මහන්සි විය යුතුය. 
අනෙක ගෙවත්තේ බොහෝ පොල් ගස් යට වෙනත් පැළ වර්ග තිබෙන නිසා කුරුම්බා ඉතා බොහෝ ප්‍රවේසමෙන් පහලට බෑ යුතුය. නැතිනම් නිවැසියන්ගේ කෝපයට ද ඔහු ලක් වන්නට පුළුවන. ඉති දෙකක් කපන්නට තිබේනම්, කවුරු හරි කෙනෙක් පහළ සිට බිමට පැමිණුනු තැඹිලි වල්ලෙන් ලණුව ලිහා ඔහුට ආපසු උඩටද ගැනීමට නිදහස් කර දිය යුතුය.

මෙදින ඔහු කුරුම්බා කපන්‍ර බලාගෙන මම පොතක් කියවමින් සිටියෙමි. මේ අවස්ථාවේ මට මගේ මිතුරකු සති දෙක තුනකට පෙර  තැඹිලි ගෙඩි පනහක පමණ අවශ්‍යතාවයක් තිබෙන බවයි කියා සිටි බව මතක් විය.
මම මේ නිසා විජයගෙන් ඔහු මේ තැඹිලි රැගෙන ගොස් කඩේට විකුනන්නෙ කීයටද ඇසුවෙමි. ඔහු කිව්වේ ඔහු එම තැඹිලි විකුණන්නේ රුපියල් 40 බැගින් බවය. අපිට රුපියල් 15 ගණනේ තැඹිලි ගෙඩි වලට දී ඉන්පසු ත්‍රීවීලර් එකක රුපියල් 200ක කුලිය ගෙවා, තැඹිලි දාගෙන ගොස් කඩයට රුපියල් 40 නේ දෙනවට වඩා මම ඔහුට මෙම තැඹිලි ටික මෙතන දීම රුපියල් 40 ගණනේ විකුණා දුන්නොත් ඔහු සතුටු දැයි මම ඇසුවෙමි.
ඔහුගේ අකමැත්තක් නොතිබුණු නිසා මම මගේ මිතුරාට දුරකථනයෙන් කතා කර මේ පිළිබඳව පැවසුවෙමි. ඔහු එයට කැමැති වූ අතර එහෙත් ඔහු එදින නුවරඑළියට ගොස් එක නිසා පසුදින පැමිණ තැඹිලි අරන් යන බව කීවේය. 
තැඹිලි ගස් තුනේ තැඹිලි කඩා අවසන් වූ wijaya අපි තැඹිලි බී අවසන් වූ පසු තැඹිලි ගෙඩි 44ක් ඉතිරිව ඇති බව කීවේය. මම ඔහුට ඒ තැඹිලි ගෙඩි 44 සඳහා 44x40,  1760 මුදල ගණනය කර එයින් 44x15 , 660 ක මුදලක් අඩු කර ඉතිරි මුදල ලබා දුන්නෙමි.
ඔහු මුදල් රැගෙන සිනාසී ආපසු යන ගමන් මට පොඩි උපදේශයක් ලබා දී මට අමතක නොකළේය. 
"අපරාදේ සර්ට තිබුණේ, ගහකට රුපියල් 200 ගානේ මට කුලිය දීලා, ඉතිරි සල්ලි ටික තියාගන්න" 

මෙම ගනුදෙනුවේදී වැඩියෙන් ලොකු වැරැද්ද කළේ කවුදැයි මට තාම විශ්වාස නැත. හරියට අවස්ථාව අධ්‍යයනය නොකර, ඔහුට ව්‍යාපාරික යෝජනාවක් ඉදිරිපත් කළ මම ද, එසේත් නැත්නම් ඔහුට මෙතරම් වාසියක් ැවත ලබා ගැනීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව නැති කරගත් විජය දැයි, යන්නය.


1 comment:

  1. මචං ඉකොනොමැට්ටට හොඳ ආරම්භයක්.

    ReplyDelete

Voluntary patrol - a short story

  2. Voluntary Patrol During the 1960s, a wave of crime was reported all across Sri Lanka. Housebreakings, murders, bank robberies, and shop...