මම බොහොකලක සිට සිරස රුපවාහිනිය නරඹා ඇත්තෙමි. එහි මුල්
කාලයේ තිබු සුපර් ස්ටාර්ස් වැඩ සටහන සහ දැන් ප්‍රචාරය වන ලක්ෂපතිය එහි මගේ ප්‍රියතම
වැඩසටහන් විය. මම බොහෝවිට ප්‍රවෘති බැලීමට පුරුදුව සිටින්නේද සිරස චනලයේය. එහෙත්
මම කවදාවත් එහි අයිතිකරුවා වන රාජමහෙන්ද්‍රන් මහතා ගැන කිසිවක් අසා තිබුනෙවත් දැක
තිබුනෙවත් නැත. එහෙත් ඔහු මියගිය පසු ඔහුගේ බොහෝ ගුණයහපත්කම් සහ සමාජයට සේවය
කිරීම් ගැන අහන්න ලැබුණි.
පසුව මට දැනගන්නට ලැබුනේ ඔහු ප්‍රසිද්ධියක් පිලිබඳ
බලාපොරොත්තුවක් නොමැතිව තමන්ට හොඳ යයි සිතන ආකාරයට සමාජයට සේවය කල දැන් අප සමාජයේ
කලාතුරකින් දක්නට ලැබෙන වර්ගයේ පුද්ගලයකු බවයි. පහත විස්තරය එයට කදිම උදාහරණයකි.
මා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකව සිටියදී හඳුනා ගත් ප්‍රේමලාල්
විජේරත්න මහතා ඉන්පසුවත් බොහෝ කලක් යනතුරුත් ලඟින් ආශ්‍රය කලෙමි. මහා රාජ
සභාපතිතුමා ලඟදි මියගිය පසු ප්‍රේමලාල් මට සභාපතිවරයා ගැන බොහෝ කෘතඥාතාවයකින්
දුරකතනයෙන් ඉතාමත් සංවේදීව විස්තර කළේය. ඒවා මා කිසි දිනෙක අසා නැති තරමේ යහපත් ක්‍රියාවන්
නිසාත්, ප්‍රේමලාල්ගේ ශෝකය තුනී කර ගැනීම සඳහාත්, ඔහු මෙය ලියා ප්‍රසිද්ධ කරන්නේ
නම් යහපත් බව මම කීවෙමි. ඔහු එය පිටු හතරක අතින්ම ලියා වට්ස්ඇප් අංකයකින් ඡායාරුප කර මා වෙත එවීය. මේ ඒ
ලිපියයි.
පසුගිය 26 දා උදේ කණකොකා මගේ නිවස අසලින් ඉගිල ගියේ
කිසියම් දුක්බර පණිවිඩයක සේයාවක් ඉඟිකරමින්ය. කණකොක් හඬේ සෝබර කථාවල පැරණි කියමන්
අදටත් වලංගු බව වැටහුනේ තවත් හෝරා කිහිපයක් පසු කරද්දීය. ඒ අසුභ ආරංචිය මගේ කනට
වැටුනේ සිරස මාධ්‍ය ජාලයේ නාලිකා ප්‍රධානියෙකු වූ මා මිත්‍ර මාධ්‍යවේදී සුසාර
දිනාල්ගේ දුරකථන පණිවිඩයෙනි.
ඒ දුක්බර පණිවිඩයත් සමග මගේ හදවත තුල ගැලු කදුළු තවමත්
වියලී නැති සේය. එදා සිට මා අදටත් හදවතින්
හඬා වැටෙන්නෙමි. කැපිටල් මහා රාජා සංවිධානයේ සභාපති රාජේන්ද්‍රන් රාජ මහේන්ද්‍රන් මහතා
පෞද්ගලික රෝහලකදී මෙලොවින් සඳහටම සමු ගැනීම ඒ දුක්බර පණිවිඩයට මුල පිරුවේය. ඒ
දුක්බර පණිවිඩය මගේ හඳවතේ වේදනාවෙන් වියැකී ගියේය. රාජ මහේන්ද්‍රන් නමැති මේ අපුරු
මාධ්‍ය ප්‍රධානියා වසර 16 ක් තිස්සේ අප ප්‍රධානියා වශයෙන් කටයුතු කලේ මගේ පියාටත් වඩා නොදෙවෙනි පිය සෙනෙහසකිනි. මා
සිරස මාධ්‍ය ජාලයේ සිරස ගුවන් විදුලියේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක වශයෙන් සේවය
කරද්දී ඒ හිත හොඳ අපුර්ව මිනිසාගේ හඳවතින් පෙරී යන ගුණ සුවඳ හඳුනා ගත්තෙමි.
ඒ අවදියේ මා හට හදිසි හදවත් සැත්කමක් සිදු කරන ලෙස වෛද්‍ය
උපදෙස් ලැබී තිබුණි. ඒ සිද්ධියේදී මේ අපුර්ව මිනිසාගේ හඳවතින් පෙරුණ කරුණා ගුණය මම
හඳුනා ගත්තෙමි. එම අවස්ථාවේ මේ අපුර්ව මිනිසා එසේත් නොමැතිනම් මේ දෙවියන් අතර
දෙවියා, එය දැනගත් විගස පැය 24 ක් ඇතුලත මා නවලෝක රෝහලට ඇතුලත් කර සැත්කමට යන
සියලු බර පැන ආයතනය සතු කර ගනිමින් මගේ ජිවිත සටනට උර දුන්නේය. මේ අවස්ථාවේ මගේ
දරුවන් දෙදෙනා විදේශ ගතව සිටි නිසා හදවත් සැත්කම සිදුවන අවස්ථාවේ රෝහලේ සිටි මගේ
බිරිඳ හා ඥාතියාට ශල්‍යකර්මය අවසන් වී මා හඳවත් ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවට යනතෙක්
සියලු පහසුකම් ලබා දුන්නේද, මේ ගුණගරුක මිනිසාය.
2018 වසර දක්වා දිවයන ඒ අතීත සිද්ධිය නිසාම මම අද
ජීවතුන් අතර සිටින්නේ ඒ මහඟු මිනිසාට පින්සිදු වන්නටය. හදවත් සැත්කමෙන් පසු දින 19
ක් රෝහලේ ගතකර නිවසට පැමිණි පසුවද, ඔහු මගේ දුක සැප සොයා බැලුවේය.
දිනක් උදේ 8 ට පමණ මා පදිංචිව සිටි පන්නිපිටියේ නිවසේ
ගේට්ටුව ඇරගෙන අමුත්තෙක් ඇතුළු වුනි. ඒ අමුත්තා අන් කවරෙකුවත් නොව මේ මම කියන
දෙවියන් මෙන් අදහන රාජ මහේන්ද්‍රන් සභාපතිතුමාය. ඔහු එදින මා නිවසට පැමිණියේද මාධ්‍යවේදී
සුසාර දිනාල් සමඟය. නිවසට පැමිණි ඔහු මා හිඳගෙන සිටින තැනට පුටුවක් ඇදගෙන
ඉඳගත්තේය. මගේ බිරිඳට කියා අඩු සීනි ප්ලේන්ටි එකක් බි මගේ දුකසැප විමසමින්, අවශ්‍ය
ඕනෑම දෙයක් තිබේනම් එවකට සිරස මාධ්‍ය ජාලයේ සේවය කල විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති
මිත්‍ර ආරියසිංහ මහතා අමතන ලෙසට බිරිඳට උපදෙස් දුන්නේය.
මගේ නිවසේ පැය කිහිපයක් රැදී සිටි ඒ අපුරු මිනිසා, ආපසු පිටව යෑමට පෙර,මගේ බිරිඳට උපදෙස්
දුන්නේ මා හට හරියට සුවවන තුරු මාස හතරක් හෝ නිවසේ රදවා ගන්නා ලෙසයි.
වසර 48 ක මාධ්‍ය ජීවිතය තුල කිසිදිනක දැක නැති මේ අපුර්ව
කාරුණික මාධ්‍ය ප්‍රධානියා දිනක් මා සේවය කරමින් සිටි දෙපානම සිරස මැදිරි
සංකීර්ණයට පැමිණියේය. ඔහු එලෙස පැමිණෙන
අවස්ථාවල මම ඔහු සමීපයට ගොස් රටේ
තොරතුරු බිඳක් පැවසීම සිරිතක්ව තිබුණි. ඒ අවස්ථාවේ ඔහු මගෙන් විමසා සිටියේ එකල
ඇමරිකාවේ පදිංචිව සිටි මගේ දියණියගේ සැපදුක් ගැනය. ඔවුනට කුඩා දරුවෙකු සිටින බව ඔහුට පැවසු විට ඒ බිලිඳා සියැසින් දැක
ඇත්දැයි ඔහු මගෙන් පෙරලා විමසුවේය. ඒ ප්‍රශ්නය හමුවේ මා නිහඬ වූ අවස්ථාවේ ඉවතට
හැරුණු මේ අපුරු මිනිසා, ඔහු සමඟ පැමිණි සිටි අධ්‍යක්ෂක මනෝ වික්‍රමනායක මහතාට
පවසා සිටියේ මට ගුවන් ටිකට් පතක් හා මාසයක නිවාඩුවක්ද ලබා දී, ඇමරිකාවේ මගේ
මුනුබුරා බැලීමට යවන ලෙසයි. මා ඒ විදේශ ගමන ගොස් ආපසු පැමිණ දරුවාගේ ඡායාරුපයද සමග
සභාපතිවරයාට ස්තුතිපුර්වකව මල් කලබක් පිළිගැන්වූ අවස්ථාවේ ඔහු ඒ මගේ මුණුබුරාගේ ඡායාරුපය
කාර්යාලයේ මේසය මත තබාගෙන, සතුටු වූ ආකාරයද මට සැමදා මතකයට නැගේ. මගේ මාධ්‍ය
ජීවිතය තුල මා පොලිසිය ත්‍රිවිධ හමුදාව පිලිබඳ ප්‍රවෘත්ති සංස්කරණය කිරීම නිසාවෙන්
ඔහු මා හට ‘පොලිස් මෑන්’ යන නමක්ද පටබැඳ තිබුනේ පවුලක පියෙකු ලෙසටය.
ප්‍රවෘත්තියක් ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර එය ‘චෙක් ඩබල්
චෙක් ට්‍රිපල් චෙක්’ යන සිද්ධාන්තයේ පිහිටා ඒවායේ නිවැරදිභාවය සොයන ආකාරය ගැන මාධ්‍යවේදීන්
නියම මඟ යවන ලද ප්‍රධාන නියමුවා වුයේ ඔහුය. ‘ඇත්ත කියන්නයි බිම හිඳ ගන්නයි’ බිය
විය යුතු නොවන්නේ යයි කියන අභීත අධිෂ්ටානයේ සෙවනැල්ල සිරස ජාලයේ පදනම කරන
ලද්දේ ඔහු විසිනි. ඒ සිද්ධාන්තයේ සිට සිරස
මාධ්‍ය ජාලය මෙහෙය වූ අභීත සෙන්පතියාද අපටද රටටද
අහිම විය. එවැනි නිර්ව්‍යාජ මාධ්‍ය
හිමි කරුවෙකු කිසි දිනෙක යලි ශ්‍රී ලංකාවට හිමි වෙතැයි සිතිය නොහැක.
16 වසරක් සිරස මාධ්‍ය ජාලයේ සේවය කරමින් සිටි මා යලිත්
අලුතින් පිටවන පුවත්පතකට සම්බන්ධ වීමට ආශාවෙන් සේවයන් ඉවත්වීමට ලිපියක් ලියා
සභාපතිවරයා මුණගැසී සමුගැන්මට ගිය අවස්ථාව,
අද දිනයේදේ මතක් වනවිට මා හද සොවින් පිරෙයි. මගේ ඉල්ලා අස්වීම දැනගත්තේද ඔහු එම
මොහොතේය. ඒ මොහොතේ ඔහු මගෙන් විමසු වදන් වැල මගේ හඳවතින් කදුළු වැල් කඩා
හැලෙන්නාක් මෙන් විය.
“ඇයි ප්‍රේමලාල් ඔයා මාව දාල යන්නේ” කියන වචන ටික ඇසුණු
විට ඉල්ලා අස්වීම ආපසු ගැනීමට පවා මට සිත්විය. මා එසේ සමු ගනිද්දී වචනයෙන් ප්‍රකාශ
නොකලද ඔහු ඉතා දුක්බර වූ බව මට වැටහුණි. ඔහු මාත් සමගම කාමරයෙන් පිටතට පැමිණ මා
විදුලි සෝපානය වෙත එකතු කරගෙන ගොස් මා සෝපානයට ගොඩවන තුරු එහි දොර අසල රැදී සිටි
ආකාරය සිහියට එනවිට දැනෙන වේදනාව අපමණය. සිරස මාධ්‍ය ජාලයේ ඒ අපූරු මිනිසා මට මුණ
ගැස්වුයේ එවකට අප අධ්‍යක්ෂකව සිටි මගේ කල්‍යාන
මිත්‍ර ටිරෝන් ඩි වොටා මහතාය.
No comments:
Post a Comment