Tuesday, November 6, 2018

2 - ප්‍රධාන නගර වල වාහන සහ පිරිස් තදබදය දෙස තවත් අයුරකින් බැලීම 2




මාතෘකාවෙන් පොඩ්ඩක් පිට පැන්නත් බලපු දෙවෙනි චිත්‍රපටිය වූ first man ගැන යමක් නොකියා අතහැර ගිය නොහැක. එය ඒ තරමට මගේ හිතට වැදුණු චිත්‍රපටයකි. එම චිත්‍රපටියට පාදක කරගෙන තිබුනේ නිල් ආම්ස්ට්‍රෝන් සඳට ගිය ගමන පිලිබඳවය. ඒ අතරම ඔහුගේ එම කාල පරිච්චේදයේ ජිවිත කතාවද අපුරුවට ඔහුගේ පවුල සහ එකට වැඩකරන මිතුරන් සම්බන්ධ කරගනිමින් පෙන්වා ඇත. 

මෙම චන්ද්‍ර ගමන සිදුවන්නේ 1969  වසරේදීය. එකල අඩු තරමින් ජංගම දුරකථන වත් තිබුනේ නැත. මෙතරම් පහල තාක්ෂණයක් පවතිද්දී හඳට යාම වැනි අභ්යෝගයක්  ජයගැනීම ඇත්තෙන්ම පුදුම සහගත බව සිතෙන්නේ අවුරුදු 50 ක් පමණ අනාගතයට ගොස් ඒ දෙස බලන විටය. රොකට්ටුවේ තිබෙන දර්ශක පවා යාන්ත්‍රික ඒවා වෙයි. ඩිජිටල් මීටරයක් වත් නැත.
මෙම චිත්‍රපටියේ එක දර්ශනයක ; මට හැඟුණු විදිහට එහි උච්චම අවස්ථාව , ආම්ස්ට්‍රෝන්ග් හඳට යාම සඳහා පිටත්වීමට නිවසින් බැහැර වීමට ඔහුගේ ඇඳුම් පිළියෙළ කරමින් සිටියි. ඔහු කල් අරිමින් සිටින්නේ මේ දුෂ්කර ගමන  පිළිබඳව දරුවන්ට කියන්නට ඇති අපහසුව නිසා බවක් අපට පෙනේ.  තම සැමියාගේ අවිනිශ්චිත වෙන්වීම පිළිබඳව අතිශය කම්පාවට පත්ව සිටින ආම්ස්ට්‍රෝන්ග් ගෙ 'චේන් ස්මොකින්ග්' බිරිඳ ඔහුට ඔහුගේ දරුවනට ඔහු යන ගමන පිළිබඳව පැහැදිලි කර ඔහු සමහරවිට ආපසු නොපැමිණිය හැකි යයි ඔවුනට කියන ලෙස පවසයි.

එලෙස දරුවනට කීමට ආම්ස්ට්‍රෝන්ග් කැමති නැත. ඔහු එය තවදුරටත් මඟහැරීමට උත්සාහ කලද බිරිඳ ඉතාමත් ආවේගශීලිව ඔහුට දරුවනට එය කියන ලෙසට බලකර සිටියි. ඔහු දරුවන් කෑම මේසයට කැඳවා ඔහුගේ ගමන  පිළිබඳව විස්තර කරයි.

සමහරවිට බොහෝදෙනෙකුට චිත්‍රපටියේ උද්වෙගකරම අවස්ථාව එය විය හැක. මට මෙම දර්ශනය බලද්දී යුද්ධය කාලයේ අපේ සහෝදර හමුදා සගයන්ගේ පවුල් ලක්ෂ ගණනකට මෙම අවස්ථාව මාසයෙන් මාසය , මාස දෙකෙන් දෙක එසේ නැත්නම් මාස තුනෙන් තුනට සිදුවූ බව සිහියට නැගුණි. එහෙත් අප භාර්යාවන් අපට මෙලෙස කරදර කරේ නැත , නිශ්ශබ්දව එම දුක මාසයෙන් මාසය, වසරෙන් වසර , දශකයෙන් දශකය විද දරා ගත්හ. තම සැමියා මේ ගෙදරින් පිටවන්නේ අවසන් වතාවට වෙන්නට බොහෝ ඉඩ තිබෙන බව ඔවුන් හොඳින්ම දන ගෙන සිටියහ. ජැනට්  ආම්ස්ට්‍රෝන්ග් මහත්මිය ට එම අවස්ථාවට මුහුණ දීමට ලැබුනේ එක්වරකි.




මෙම චිත්‍රපටිය මා නරඹන ලද චිත්‍රපට වලින් හොඳම දහයට පමණ ඇතුළුවිය හැකි චිත්‍රපටයකි. එහි හඳට යාමට ගත් වෑයමෙහි තාක්ෂණික පැත්ත , එහි දේශපාලන කෝණය සහ ආම්ස්ට්‍රෝන්ග් පවුල ඒ කාලයේ කාලය ගත කරන අන්දම මැනවින් පෙන්වා දී තිබේ. හඳට මිනිසෙකු යැවීමට ජනාධිපති කෙනෙඩි ජාතිය මෙහෙයවූ ආකාරයත් එමෙන්ම එම ප්‍රයත්නයට රටෙහි ඇතිවූ විරෝධයත් විශේෂයෙන්ම එකල පැවැත්වුන වියට්නාම් යුධ විරෝධයත් ඉතා කෙටි දර්ශන වලින් එහෙත් මනා ලෙස චිත්‍රපටයට ඇතුලත් කර තිබේ..........

මතු සම්බන්ධයි 

Monday, November 5, 2018

ප්‍රධාන නගර වල වාහන සහ පිරිස් තදබදය දෙස තවත් අයුරකින් බැලීම



මම 1996 වසරේ ඇමෙරිකාවේ මාණ්ඩලික පාඨමාලාව හැදෑරුවෙමි. අප ඇමෙරිකාවේ යම් ප්‍රදේශයකට රැගෙන යාම එම පුහුනුවේම කොටසක් විය. රට තුල පමණක් නොව වරෙක අප මෙම සංචාරයන්ගේ කොටසක් ලෙස මෙක්සිකොවෙහි තිගුවානා නගරයටද ඔවුන් අපව රැගෙන ගියහ.

මෙම සංචාරයන් සංවිධානය කර තිබුනේ ඇමෙරිකාවේ සමාජය පිළිබඳව අපට යම් හැඟීමක් ලබා දෙනු පිණිසය. මෙම ගමනාන්ත අතර නිව්යෝක් කොටස් වෙළඳපොල සිට රෝඩියෝ ක්‍රීඩා තරඟයක් නැරඹීම දක්වා එකතු කර තිබුනේ මේ නිසාය. මෙම සංචාරයන් අතර අපට හිම මත ලිස්සා යාම සහ අධික හිම ඇති නගරයකට ගෙනයාම සඳහා ඔවුන් තෝරාගෙන තිබුනේ වර්මොන්ට් ප්‍රාන්තයේ කුඩා නගරයකි. අප එහි කුඩා හෝටලයක නවාතැන් ගත් අතර අනෙකුත් සෑම ගමනාන්තයකදිම මෙන්ම සියලු වියදම් නාවික යුධ විද්‍යාලයෙන් ගෙවන ලද අතර මධ්‍යසාර පානය කළහොත් පමණක් එම මුදල අප විසින් ගෙවිය යුතු විය.

මට මේ සියල්ල සහ තවත් බොහෝ දෑ සිහියට නැගුනේ මෙම ප්‍රාන්තය පිළිබඳව time international  සඟරාවේ දුටු ප්‍රවෘතියක් දැකීමෙනි. එහි කියා තිබුනේ වර්මොන්ට් ප්‍රාන්තය ඇමෙරිකාවේ වෙනත් ප්‍රාන්ත වලින් රැකියා සඳහා එම ප්‍රාන්තය වෙත පැමිණ එම ප්‍රාන්තයේ පදිංචි වන්නේ නම් එහි නිවාස මිලදීගෙන පිළිවෙලක් වීමට ඩොලර් 10000 ක පමණ දීමනාවක් ගෙවීම සඳහා පනතක් සම්මත කරගෙන ඇති බවයි. මම මේ පිළිබඳව ටිකක් ගැඹුරට අන්තර්ජාලයෙන් සොයා බැලුවෙමි. 

තම ප්‍රාන්තයට පුරවැසියන් ගෙන්වාගැනීමට දිරිදීම් කරන තවත්  ප්‍රාන්ත 7 ක්  ඇමෙරිකාවේ තිබෙන බව දුටුවෙමි. නමුත් වර්මොන්ට් ප්‍රාන්තයේ දිරිදිමෙහි යම් වෙනසක් තිබෙන බවත් දුටුවෙමි. ඒ නම් මෙම දිරිදීම සඳහා සුදුසුකම් ලැබීමට නම් අයදුම් කරන්නා  රැකියාව සඳහා දිනපතා ගමන් නොකරන පුද්ගලයෙකු විය යුතු බවයි. ඒ කියන්නේ රැකියාව ගෙදර සිට කරන්නෙකු විය යුතු බවයි. 

මෙම අවශ්‍යතාවය මෙතනට යොදා ඇත්තේ බොහෝ කරුණු සලකා බලා බව පෙනේ. ඒ සඳහා විය හැකි හේතු වන්නේ 
  • පාරවල වාහන අඩුකර ගැනීම 
  • වාහන ගමනාගමනයෙන් ඇතිවන පරිසර හානිය අවම කිරීම 
  • මෙවැනි රැකියා බොහොමයක් ඉහල පෙලේ රැකියා නිසා වඩා හොඳ ප්‍රාන්ත වැසියන් පිරිසක් ප්‍රාන්තය වෙත ගෙන්වා ගැනීම.
  • මෙවැනි රැකියා වැඩි ආදායම් ඇති රැකියා නිසා ප්‍රාන්ත බදු ආදායම වැඩිකර ගැනීමට ප්‍රාන්ත රාජ්‍යයට හැකිවීම.
මෙලෙස වැඩපොළට නොපැමිණ තම රැකියාව ඉටුකිරීම දියුණු රටවල දැන් බොහෝවිට කරන දෙයක් බව පෙනේ. පසුගිය වසරේ ඇමෙරිකාවේ සේවකයන් 15000 ක් යොදාගෙන ගැලොප්  විමසීමකින් ප්‍රත්‍යක්ෂ වී ඇත්තේ සාමාන්‍යයෙන් නුතන සේවකයන් ගෙන් 45% ක් පමණ යම් අයුරකින්; 100% ම නොවුවද, නිවසේ සිට තම රාජකාරි ඉටුකරන බවයි.

මෙම කරුණ ලෝකයේ අනාගතය යන දිසාව පෙන්වයි. තව ටික කලකින් මෙම ප්‍රතිශතය තවත් වැඩි වනු ඇත. අමු ද්‍රව්‍ය සහ ආහාර ගමනාගමනය හැරෙන්නට අනෙක් සියලු ගමනාගමනයන් අනවශ්‍ය වනු ඇත. 

netflix ගෙදර තිබේනම් රුපවාහිනි දවසින් දවස විශාල වන්නේ නම් චිත්‍රපට බලන්නට චිත්‍රපට ශාලා වලට යන්නේ කවුරුන්ද? මම පසුගිය සතියේ සිංගප්පුරුවට ගියෙමි. මම ඕනෑම රටකට ගියපසු එරට චිත්‍රපට ශාලාවකට ගොස් චිත්‍රපටයක් බලන්නට උත්සාහ කරමි. ඒ චිත්‍රපට ශාලාවක චිත්‍රපටයක් නැරඹීමෙන් ඒ රට ගැන බොහෝ දෑ දැනගන්නට පුළුවන් වන නිසාය. සිංගප්පුරුවේ ප්‍රසිද්ධ show චිත්‍රපට සංකීරණයට එක දිනක් ගොස් return of jonny england බැලුවෙමි. අති විශාල සිනමා ශාලාවේ අප හැරෙන්නට සිටියේ තවත් එක යුවලක් පමණි. එදින එම චිත්‍රපටයේ අවසාන දිනය නිසා එසේ වන්නට ඇතැයි අපි සිතුවෙමු. 

එදින එම සිනමා සංකීර්ණයේ imax ශාලාවේ the first man තිරගත වන බව දැනගත් හෙයින්මෙම චිත්‍රපටය බොහෝ ප්‍රසිද්ධ වී ඇති හෙයින් උදයේ water park ගොඩනැගිල්ලට ගිය නිසාත් ඩොලර් 15 ගන්නේ ටිකට් 4 ක් වෙන් කර ගත්තෙමු. අපි රාත්‍රී 2040 ට චිත්‍රපටය බැලීමට පොප් කෝන් මලුද රැගෙන ගියෙමු . එදින චිත්‍රපට ශාලාවේ ද 10 දෙනෙකුට වඩා නරඹන්නන් සිටියේ නැත. එම චිත්‍රපට ශාලා වලටද සිදුවන්නේ ලංකාවේ ශාලා වලට සිදුවූ දෙයම බව පෙනුනි. ............
මතු සම්බන්ධයි 

Thursday, November 1, 2018

සිංගප්පුරුව මංගල සුත්‍රය සහ බටම් දුපත




සිංගප්පූරු  නිදහස් ගිවිසුම ගැන බොහෝ උනන්දුවක් ඇතිවී තිබෙන මෙම වකවානුවේ මම ලඟකදී සතියක් පමණ සිංගප්පුරුවේ සංචාරය කලෙමි. ඒ අතරතුර එහි සිට දවස් දෙකකට  ඉන්දුනීසියාවේ බටම් නගරය වෙත මඟී යාත්‍රාවකින්  ගියෙමි. මෙම ගමන ගැන උනදුවක් ඇතිවුයේ දැන් අපට ඉන්දුනීසියාවට යාමට විසා අවශ්‍ය නොවන නිසාය. විනාඩි 45 ක මුහුදු ගමනකින් පසුව බටම් ජෙටියකට අප යාත්‍රාව යනවිට මම බලාපොරොත්තු වුවේ සිංගප්පුරුවට හාත්පසින්ම වෙනස් අවුල් සහගත කළමනාකරණයක් සහිත ආගමන කාර්යාලයක් සහ රේගු පහසුකම්ය. ඒ රටවල් දෙකේ පවතින සැලසුම් සහ සංවිධාන වල වෙනස්කම් නිසාය.
                     
නමුත් එතනට ගියවිට මෙම ස්ථානය සහ සින්ගප්පුරුවෙන් අප පිටවූ ස්ථානයෙ පහසුකම් සහ සංවිධානය අතර කිසිම වෙනසක් නැති බව පෙනුනි. එතනින් ඉන්දුනීසියාව ඇතුලට යනවිට මෙම සංවිධානාත්මක බාවය, කෙනෙකුට නිරීක්ෂණය වන ආකාරයට  තරමක් අඩුවිය.
මෙම වෙනස දුටුවිට මට මතක් වුනේ වඩා තත්වයෙන් වැඩි සංවිධානයක්  හෝ මිනිසෙකු  සමග කෙනෙකු වැඩකරන විට එම ඉහල තත්වය අපට පුරුදු වී අප රටාවන් වලට අනුයුක්ත විය හැකිබවයි. මෙලෙස රටක ආර්ථිකයක්ද හොඳ පද්ධතියක් සමග ගැටෙන විට හොඳ පැත්තට වෙනස් වන්නට පුළුවන් බව මට සිතුනී.
මංගල සුත්‍රයේද මෙලෙස නුවනැත්තන් බුද්ධියෙන් තීරණය ගන්නන් ආශ්‍රය කිරීමේ ලබාගත හැකි යහපත් ප්‍රතිපල මෙසේ කියා ඇත්තේය.
"අසේවනාච බාලානං
පණ්ඩිතානඤ්ච සේවනා
පූජාච පූජනීයානං
ඒතං මංගල මුත්තමං "
" අනුවණ බාලයන් ආශ්‍රය නොකිරිම (අසේවනාච බාලානං) ගුණ ධර්ම වලින් පහත් ගති විදහාපාන එමෙන්ම තම ජීවිතයට කිසිදු අයුරකින් සාරධර්ම වශයෙන් යමක් ගත නොහැකි මනස මෙහෙය වා බුද්ධියෙන් කටයුතු නොකරන අපාය සහාය ආදි පරිහානියට මග කියන්නා වූ පිරිස් සමග කටයුතු කිරීම සුබ නොවේ. සමාජ ව්‍යවහාරයට අනුව අනුන්ගෙ පව්වලට කරගහන්නසිදුවන්නේද මෙබඳු ආශ්‍රයන් නිසාවෙනි.
නුවණැති පණ්ඩිතයන් ඇසුරු කිරීම (පණ්ඩිතානඤ්ච සේවනා) උසස්ගති විදහාපාන බුද්ධියෙන් තීරණ තීන්දු ගන්නා දියුණුවට මඟ කියන තමාට වඩා දැනුමෙන් අකාල්පවලින් යුතු පිරිස් ආශ්‍රය කිරීම මංගල හෙවත් සුබ කටයුත්තකි.
ලඟකදී ඇතිකරගත් අප නිදහස් වෙළඳ ගිවිසුමෙනුත් අපට මෙවැනි ආශ්‍රයෙන් ලැබෙන ප්‍රයෝජන ලැබිය හැකි දැයි මට සිතුනි.


Tuesday, October 23, 2018

සිංගප්පුරුවෙන් ලංකාවට කුණු ගෙනවිත් දැමීම



කසල කී විට ඇඟ කිලිපොලා යන ලෙසට කසල අප රටට බිය ගෙනදෙන කාරණයක් වී ඇත්තේ අප එය හරියට කළමනාකරණය කරගන්නේ නැති නිසාය. අපට කසල කියූ විට මතක් වන්නේ අවලස්සන, බ්ලුමැන්ඩල් සහ මීතොටමුල්ල වැනි ස්ථානයන් සහ ඒ හා සම්බන්ධ ගිනිගැනීම් කඩා වැටීම් වැනි සිද්ධීන්ය. එසේත් නැත්නම් අපේ ගම අසලට කුණු ගෙනත් නොදානු කියන ජනතා අරගලයන් ය.
අප මෙම ප්‍රශ්නයට උත්තර සෙවීමට පෙර සිංගප්පුරුවේ කසල කළමනාකරණය කුමන ආකාරයේදැයි පරීක්ෂාකර බැලීම ප්‍රයෝජනවත් වෙයි.

 කසල කළමනාකරණය සිංගප්පුරුවේ අපට වඩා බොහෝ වෙනස්ය. සිංගප්පුරුව වසරකට නිපදවෙන ඝන කසල ප්‍රමාණය ටොන් මිලියන 7.67 ක් වෙයි. මුල් කාලයේ; හැත්තෑ ගණන්  වල පමණ, කසල පුරවන ස්ථාන (land fills) තිබුනේ ජීවත්වන ස්ථානයන්ට කිට්ටුවෙනි. දැන් තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්ය. කුණු එකතුකර ගෙනගිය පසු ඔවුනට ඒවාට කුමක් වන්නේ දැයි දැනගන්නට වත් සිංගප්පූරු වැසියන්ට  නැවත දකින්නට ලැබෙන්නේ නැත.

එකතු කරගත් කසල කෙලින්ම කසල එකතු කරන අංගනයකට  ගෙනයනු ලැබේ. එම ට්‍රක් රථ වල තිබෙන කසල අඩි 32 ක් ගැඹුර උමගක් වැනි අති විශාල පරිමාවක් ඇති ඇති විශාල බංකරයක් වැනි ස්ථානයකට දමනු ලැබේ. ඉහල තට්ටුවක සිට මෙම කසල කන්ද දෙස බලා සිටින දොඹකර ක්‍රියාකරවන්නකු දොඹකරයක අත පහලට දමා මෙම කසල කවලම් කරනු ලැබේ. ඉන්පසු ටොන් අටක් පමණ වන කසල දොඹකර අතෙන් ඔසවා සෙල්සියස් 850 -1000 දක්වා උෂ්ණයකින් රත්වන පුච්චනයන්ට දමනු ලැබේ. එයින් පිටවන වායු පරිසරයට හානියක් නොවන තත්වයට පිරිසිදු කර වායු ගෝලයට මුදාහරිනු ලැබේ. 

මෙම පිලිස්සීමෙන් නිපදවන විදුලියෙන් 80% ක් ජාතික විදුලිබල පද්ධතිය මගින් අලෙවි කරනු ලැබේ.

මෙම ක්‍රියාවලියෙන් කසල වල පරිමාව 90% කින් අඩුකරන අතර අලු තුල ඉතිරි වී ඇති  ඇති ලෝහ කොටස් එලියට ගෙන ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. ඉන්පසු ඉතිරි අළු, මුහුදේ පැය තුනක ගමනකින් බාජ් මගින් සේමාකොව් මුහුද ගොඩකිරීමේ  ස්ථානයට[1] ගෙන යනු ලැබේ. 

ඒවා නැවත ට්‍රක් රථ මඟින් ගොඩකිරීම මධ්‍යයේ තිබෙන බිත්ති කාන්දු නොවන පටකයකින් සාදා ඇති විශාල වලකට පුරවනු ලැබේ. මෙම වල, සිංගප්පුරුවට වසර 2035 වනතුරු ප්‍රමාණවත් යැයි ගණන් බලා ඇත. 

මෙම land fill එක ගැන කරුණු සොයද්දී මෙම දිවයින සාදන කාලයේ එහි සේවය කල ශ්‍රී ලාංකික ඉංජිනේරු මා මිත්‍ර එම් එස් ලීලසේන නිවාඩුවකට මෙහි පැමිණ සිටි බැවින් මට ඔහුගෙන් මේ පිළිබඳව බොහෝ කරුණු දැන ගන්නට හැකිවිය. අපගේ ඉංජිනේරුවන් මෙවැනි නවීන ඉංජිනේරු ආශ්චර්ය ගොඩනගද්දී අපි තවමත් ගැමියන් සමග රණ්ඩු කරමින් කුණු ගෙනවිත් ගොඩ ගසන්නට ස්ථාන සොයමින් සිටීම පුදුම සහගතය.

                           සේමකොව් ගොඩකිරීමේ ස්ථානය



මෙවැනි ක්‍රම වේදයක් දියුණු කරගෙන ඇති සිංගප්පුරුව, අපේ රටේ අක්කර 100 ක් දෙසීයක් මිලට ගෙන කසල නැව් වලට පටවා මෙහි වරායකට ගෙනවිත් ට්‍රක් රථ මගින් අර මිලදී ගත ඉඩමට ගෙන ගොස් ප්‍රදේශ වාසීන්ගෙන් බැනුම් අසමින් කුණු ගොඩගැසිය හැකි යැයි සිතිය හැකිද?
සමහරවිට මෙහි අනික් පැත්ත නම් සිදුවන්නට ඉඩ තිබේ. අනාගතයේ කසල වලින් විදුලිය ජනනය කිරීම ලෝකය පුරා පැතිරී කසල වලට තිබෙන ඉල්ලුම වැඩිවී සිංගප්පුරුව අපේ කසල එරටට ගෙන යාමට ඉඩක් ඇති වන්නට පුළුවන. ජපානයේ වසරකට කසල ටොන් මිලියන 40 ක් පුළුස්සා බලය ජනනය කරගනු ලැබේ.


[1] සිගප්පුරුවේ ප්‍රථම සහ එකම ගොඩකිරීමේ ස්ථානය වන මෙම ස්ථානය ප්‍රමාණයෙන්  වර්ග කිලෝ මීටර 3.5 ක් වන අතර එහි පරිමාව වර්ග මීටර මිලියන 63 ක් වෙයි. මෙහි වටා ඇති බැම්ම කිලෝ මීටර 7 ක් දිග වෙයි.




Monday, October 22, 2018

මහේස්ත්‍රාත් ගෙ මරණය 2



https://lakshmanillangakoon.blogspot.com/2018/10/blog-post_22.html

සිට

“මම ඔබ තුමන්ලා දන්නා පරිදි, මම මුදල් හබ බේරුම් කරන විනිශ්චයකරු  වෙලා ඉඳලා මේ පොලිසිය බාර අරගෙන මාස හතරක් බවත් මේ පොලිසිය මේ යටත්විජිතයේ පිහිටුවල මාස හයක් බවත් මම මුලින්ම කියන එක මට විතරක් නොවෙයි ලංකාවේ පොලිසියටම කරන සාධාරණයක් බව මම හිතනවා” පොලිසියේ ප්‍රධානියා වූ තෝමස් ඔස්වින් දිග කතාවක් පටන් ගන්නට ලැහැස්ති විය.

“ඔව්, ඔබගේ සේවා වාර්තාව අනුව ඔබ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අග්‍ර විනිශ්චයකාර තුමාගේ ලේඛම් විදිහට, වසර කිහිපයක් එතන සේවය කරල ඊට  පස්සේ ඔබ පානදුරේ, වැලිගම සහ ගාල්ලේ මහේස්ත්‍රාත් විදිහට වැඩ කරලා තියනවා. බේරුම් කරන නිලධාරියාගේ කාර්යාලය රජයෙන් අවසන් කලාට පස්සේ තමයි ඔබ වර්තමාන රැකියාවට තෝරා ගත්තේ.....” ඔහු තවත් පැහැදිලි කරන්නට උත්සාහ කලද 1 තම දකුණු ඇත උස්සා ඔහු නැවත්තුවේය.

“කරුණාකර, ලේඛම් තුමා ....... මේක සම්මුඛ පරීක්ෂණයක් හරි රැකියා ඉතිහාසය සාකච්ඡා කිරීමක් නෙවෙයි, මේක යටත් විජිතවල විතරක් නෙවෙයි මහා බ්‍රතාන්‍යයේත් , කොලනිවල පාලකයන්ට හිනාවෙන්න මොකක් හරි හේතුවක් හොයන හැම දෙනාටම හොඳ හාස්‍යයට කාරණයක්. ......අපි ඒ වැදගත් කාරණය ගැන සාකච්ඡා කරන්නට තමයි මෙතෙන්ට ආවෙ”.

ලේඛම් වරයා තරමක් අපහසුතාවයට පත් කල මෙම ප්‍රකාශයෙන් ඔහු ඉදිරියෙන් ඉඳගෙන සිටි ජනරාල් වරයාගේ මුවගට සිනහවක් නැගුනේය. එය නොපෙන්වා සිටීමට මෙන් ජනරාල් සිහින් දිග සුරුට්ටුවක් අතට ගෙන එහි එක කෙළවරක් දැඩි උන්නදුවකින් පරික්ෂා කළේය.

ඔස්වින් මහතා නැවත තම විස්තරය පටන් ගත්තේය. “ මේ මරණය වෙලා තියෙන්නේ ඊයේ රැ දෙකට විතර. පුරවැසියන්ගේ අවසාන මුර සංචාරය අපරාධය සිදුවුණු ස්ථානයෙන් ගිහිල්ල තියෙන්නේ රෑ 12 ට. මේ මුර සංචාරේ රෑ 10න් පස්සේ කිසිම කෙනෙකුට පන්දමක් අතේ නැතුව පාරේ ඇවිදින්නට දෙන්නේ නැහැ, අපරාධය  සිදුවෙලා තියෙන්නේ  පිටකොටුවේ මහ විදියේ අංක 135 දරණ නිවසේ. මුර සංචාරේ එතනින් යනවිටත් තමන්ගේ නිවසේ ඉදිරිපස ඉස්තෝප්පුවේ එතුමා හාන්සි පුටුවක ඉඳගෙන ඉන්නවා  දැකල  තියෙනව, රෑ දෙකට තමයි අසල්වැසියන්ට වෙඩි ශබ්දේ ඇහිලා තියෙන්නේ, අපිට ආරංචිය කිව්වේ මහා විදියේ බාරව ඉන්න පොලිස් සාජන්. මම ඒ වෙලාවේම පොලිස් පියන්ලා දෙන්නෙක් එක්ක එතනට ගියා. මහේස්ත්‍රාත්වරයාට ඔහුගේ නිවසේ ඉදිරිපස පැත්තෙන් ටිකක් දුර ඉදලා වෙඩි තියලා තියෙන්නේ කියලා බිත්තියේ වැදී තිබුණු මුනිස්සම් වලින් පෙනුණා. උදේ එළිය වැටෙන කොට අපි ඒ පැත්ත ගිහිල්ලා පරීක්ෂා කළා. එතන තිබුන සොහොනක ඉදලා තමයි වෙඩි තැබූ බව පෙනෙන්නේ . අපි අනුමාන කරපු පැත්තේ සොහොන් ගලක් උඩ සපත්තු නොමැතිව ඇවිදපු අළුත්  පා සටහන් තිබුණා. ඒ අතරම ඒ පරණ සොහොන් ගල ළඟ බුලත් කෙල පහර කිහිපයකුත් තිබුණා.”

“අලුතෙන් දාපු පොලිස් ස්ටේෂන් එක තියෙන්නේ ඒ හරියේ නෙවෙයිද?” 1 ඇසුවේය.



“නැහැ, අපි මුලින්ම දාපු පොලිස් ස්ටේෂන් දෙකෙන් පිටකොටුවේ ස්ටේෂන් එක තියෙන්නේ කයිමන් ගේට්ටුවයි හල්ෆ්ඩ්රෝෆ්  අතරේ. සිද්දිය වුන මහා විදියට ටිකක් දුරින්.” ඔවින් පිළිතුරු දුන්නේය.
“මටත් ප්‍රශ්නයක් ඇතිවුනා.” ජනරාල් කීවේය. “මම ලංකාවට ලගදි ආපු නිසා සමහර විට මගේ මේ ගැන දැනුම අඩු ඇති, ඒ නිසා මෝඩ ප්‍රශ්නයක් නම් මට සමාවෙන්න , සාමාන්‍යයෙන් ඉංග්‍රීසි නිලධාරින් පදිංචි වෙලා ඉන්නේ කොටුවේ ඇතුලේ නේද?”

“මුල් කාලයේ එහෙම තමයි තිබුනේ. නමුත් පස්සේ ටිකෙන් ටික පිටකොටුවටයි කොල්ලුපිටියටයි කිහිප දෙනෙක් පදිංචියට ගියා වඩා විශාල නිවාසයි උද්‍යනයි ඒ පැතිවල ලබාගන්න පුළුවන නිසා. පිටකොටුවේ මහා විදියේ නම් හිටපු එකම ඉංග්‍රීසි ජාතිකය මියගිය මහේස්ත්‍රාත් තුමා, පිටකොටුවේ අනෙක් සියල්ලන්ම වාගේ නෙදර්ලන්ත සම්භවයක් තියෙන පවුල්”     



මහේස්ත්‍රාත් ගේ මරණය


මේ මගේ අලුත්ම නවකතාවේ පටන් ගැන්මයි 

කොළඹ කොටුවේ වරාය පැත්තට කෙලවරට වන්නට පිහිටා තිබුණු අග්‍රාණ්ඩුකාර නිල නිවස කොටුවේ තිබෙන විශාලතම එමෙන්ම අලංකාරම මන්දිරය බව අමුතුවෙන් කිවයුතු නොවේ. අශ්ව කරත්තයක් දොරටුව අසල පෝටිකෝව තුල නැවැත්විය හැකි ප්‍රමාණයට පෝටිකෝවක් සහිතව සාදා තිබුණු මෙම මන්දිරය ඉදිරියෙන් හා දෙපැත්තෙන් කිසිදු අඩුපාඩුවක් නොමැතිව නොයෙකුත් වර්ණයන්ගෙන් යුත් රෝස මල් ඇතුළු ඝර්මකලාපීය මල් ගස් සහ හෙවන සඳහාවූ මහා ගස් වවා තිබුණි. අතරින් පතර මෙම දේපල පල්ලියක්ව තිබියදී පෘතුගීසින් විසින් මුල් කල පළකරණ ලද ඔවුන් බොහෝ ප්‍රියකළ රූස්ස කොහොඹ ගස් කිහිපයක්ද දක්නට ලැබුණි.

ඉංග්‍රීසිනට පෙර ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කල ලන්දේසි ආණ්ඩුකාරයා සඳහා ගොඩනගන ලද මෙම මන්දිරය ලන්දේසින් විසින් නෙදර්ලන්තයේ ගෘහ නිර්මාණ ශිල්පය ආසියාවට ගැලපෙන්නට, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවල දී අනුවර්තනය වී පැමිණි ගෘහ නිර්මාණ ශිල්පයේ මිශ්‍රණයක් බව ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේය.

ප්‍රතාපවත්, මිනිසෙකු තරම් මහත්වූ කුළුණු මත, තද දුඹුරු පැහැති කල්කටා උළු වසා තිබුණු පෝටිකෝවෙන් ඇතුලට ගිය විට නිවසේ දෙපැත්තට විහිදුනු විවෘත ඉස්තෝප්පුව දෙපසට අඩි 20 බැගින් පමණ දික් විය. ඉන්පසු ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වූ විට විශාල අමුත්තන්ගේ කාමරයක් සහ වරාය පැත්තට තවත් කාමර තුනක්ද, ගෝල්ෆේස් පැත්තට තවත් කාමර තුනකින්ද මුළු නිවාස සමන්විත විය. මේ හා සමානවම ඉහල මාලයේද කාමර විහිදී තිබුණි.

 නිවසෙන් පසුපස දකුණු දිශාවට මුළුතැන්ගෙය ඇතුළු සේවකයන්ගේ කාමර පිහිටා තිබුණි.  

කෙනෙකු පහල මාලයේ අමුත්තන්ගේ කාමරයට ඇතුල් වනවිට දකුණු පැත්තෙන් පෙනෙන්නේ ආණ්ඩුකාර ගේ රැස්වීම් කාමරයයි. එය රැස්වීම් කාමරය මෙන්ම ආණ්ඩුකාර කොළඹ සිටිනවිට කාර්යාලයද විය. සාමාන්‍යයෙන් මෙම කාර්යාලයේ රැස්වීමක් පැවැත්වෙන්නේ මාසයකට වරකි. ඒ කොලනියේ විධායක සභාවේ මාසික රැස්වීමයි. කොලනිය සම්බන්ධව බොහෝ තීරණ ගනු ලබන්නේ මෙම විධායක සභාව විසින් වූ අතර එක්වරම ක්‍රියාත්මක කල හැකි තීරණ ක්‍රියාත්මක කලයුතු ආකාරය අදාළ රාජ්‍ය නිලධාරින්ට දන්වා යවන ලද අතර කිරීටයෙන් උපදෙස් හෝ අනුමැතිය ලබාගත යුතුයි. ආණ්ඩුකාර සතු කරුණු සඳහා උපදෙස් ඉල්ලා ලිපියක් රාජ්‍ය ලේකම් වරයා වෙත යවන ලද්දේය.

මෙදින මෙම රැස්වීම එවැනි කාලීනව පැවැත්වෙන රැස්වීමක් නොවේ. මේ කොලනිය; ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ, ඉංග්‍රීසින්ගේ පාලනය යටතට පත්වූ පසු ඇතිවූ ඉතාමත් බැරෑරුම් එමෙන්ම අවාසනාවන්තම සිද්ධිය යැයි කිව හැකි සිදුවීමක් පිළිබඳව පැවැත්වෙන රැස්වීමකි.

රැස්වීම පැවැත්වුනේ අඩි 15 ක් පමණ දිග බුරුම තේක්ක වලින් සැදු මේසයක් වටය. එහි පිටකොටුව පැත්තට කෙලවරේ රැස්වීමේ මුලසුනෙහි වයස හතළිහක් පමණ වූ පෙනුමක් ඇති තරබාරු එමෙන්ම එතන සිටි අනෙක් පිරිසට වඩා තරමක් මිටි නිලධාරියෙකු වාඩිවී සිටියේය. ඔහු තනි සුදු පැහැ කෑලි තුනේ; කබාය ඇතුලෙන් අත නොමැති කබායක් සහිත සම්පුර්න සුට් එකක් ඇඳ සිටියේය. ඔහුගේ නළල ඉතා පළල වූ අතර ඔලුව මැද හරියෙන් පටන්ගත්තාවූ කොණ්ඩය පසුපසට පීරා සිටියේය.
මේසයේ ඔහුගේ දකුණු පසින් යුධ හමුදා ජෙනරාල් වරයෙකු නිල ඇඳුමෙන් සැරසි වාඩිවී පයිප්පයක් උරමින් සිටියේය. ඔහු අසලින් ඉඳගෙන සිටියේ ඇටර්නි ජෙනරාල් වරයාය. ඔහු යමක් කියවමින් සිටියේය. මේසයේ ඔවුනට විරුද්ධ දිශාවෙන් යටත් විජිතයේ ලේකම් වරයා පොතක යමක් ලියමින් සිටියේය. ඔහුට පසුව ඔඩිටර් ජෙනරාල් වරයාත් විජිතයේ භාණ්ඩාගාරික වරයාත් වාඩිවී සිටියහ.

“මුඩ්ලියර් එන්න කියන්න පොලිස් සුප්රින්ටන්ඩන්ට් ට” යටත් විජිත ලේකම් වරයා දොර ළඟ සුදු සරමක් සහ සුදු අත්දිග කබායක් ඇඳ සිටි මැලේ ජාතිකයෙකු යැයි පෙනෙන පුද්ගලයාට පවසා සිටියේය.

ඔහු පිටතට ගොස් විනාඩි දෙකකට පමණ පසු වයස 30 ක පමණ සිහින් සිරුරක් ඇති යුරෝපිය ජාතිකයකු රැස්වීම් ශාලාව ඇතුලට පැමිණ මේසය ළඟ ගරුසරු ඇතිව නැවතී ආණ්ඩුකාර දෙස බලාගෙන සියල්ලන්ටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කළේය.

“කරුණාකර වාඩිවෙන්න, වාඩිවී අපට කියන්න මේ මිනීමැරුම ගැන” ආණ්ඩුකාර පොලිස් අධිකාරිවරයාට කියා සිටියේය.

“මම හමුදාවේ කපිතාන් වරයෙක් විදිහට ඉඳල මේ පොලිසිය බාර අරගෙන මාස හතරක් බවත් මේ පොලිසිය මේ යටත්විජිතයේ පිහිටුවල මාස හයක් බවත් මම මුලින්ම කියන එක මට විතරක් නොවෙයි ලංකාවේ පොලිසියටම කරන සාධාරණයක් බව මම හිතනවා” පොලිසියේ ප්‍රධානියා දිග කතාවක් පටන් ගන්නට ලැහැස්ති විය.

ඊළඟ කොටස ලබන සතියේ 

https://lakshmanillangakoon.blogspot.com/2018/10/2.html

Saturday, October 20, 2018

ජපාන සංචාරය 13

https://lakshmanillangakoon.blogspot.com/2018/10/12.htmlසිට 




ජපානයේ නරිටා ගුවන් තොටුපලට  යන මඟියෙකුට  ගුවන් යානය පහත් කරන විට එය දහවලක් නම්; අනෙක් සෑම ගුවන් තොටුපලවලත් එසේ විය යුතුය, ගොවිතැනට හෝ පරිසරයට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මුලින්ම ඇස ගැටෙන්නේ ඒ රටේ භුමිය නොයෙකුත් භාවිතයන්ට බෙදා ඇති ආකාරයය.
හරියට කවුරුන් හෝ කොලයක පැන්සලකින් ඉඩම් කොටස්
භෝග වගාවට
වී වගාවට
කැලෑ වගාවට
නිවෙස් සහ උද්‍යාන වලට
මාර්ග වලට
වෙන්කර, එම කටයුත්ත පමණක්ම කරන සැටියකි. මේ එක වර්ගයක් වත් තව වර්ගයකට වෙන්කර ඇති භූමියකට ඇතුළු වන්නේ නැත. කැලෑ නම් කැලෑය. කුඹුරු නම් කුඹුරය. පාර දෙපැත්තේ ගස් නැත. ගස් තිබෙන්නේ කැලෑ  වලය.


මේ කැලෑ අක්කර 10/15 ඒවාය. ඒවා බැලු බැල්මටම ස්වභාවික කැලෑ නොවන බවත් කෘතිමව වැවු එසේම යම් ආර්ථික ප්‍රයෝජනයක් සඳහා නඩත්තු කරන බවත් පෙනේ. මෙම බොහෝ පුද්ගලික හිමිකාරත්වයේ ඇති කුඩා කැලෑ වවන්නට පටන්ගෙන ඇත්තේ දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පසුවය. යුද්ධය සඳහා අධික ලෙස ලී පාවිච්චි කල ජපානයට යුද්ධයෙන් පසුව ඇමෙරිකාවේ ද සහයෝගය ඇතිව කෙරුණු නැවත ගොඩනැගීම සඳහා අධික ලෙස ලී අවශ්‍ය විය. ජපානයේ නිවෙස් ද ඇමෙරිකාවේ මෙන්ම බොහෝවිට ලී වලින් සාදන නිසා මෙම ලී අවශ්‍යතාවය අප වැනි රටකට වඩා බොහෝ වැඩි විය යුතුය.

ඔවුන් මේ නිසා මේ අවශ්‍යතාවයට මුහුණදීමට සයිප්‍රස් සහ සේඩාර් කුඩා කැලෑ ලෙස පුද්ගලික කෘෂිකර්මයේ කොටසක් ලෙස ජාතික වශයෙන් සිදුකරන්නට සැලසුම් කළහ. දැන් මෙම කැලෑ ජාතියේ වැවිලි සඳහා යටවී ඇති ඉඩම් ප්‍රමාණයෙන් 40% ක් වෙයි. වසරකට මෙම කැලෑ වල දැව ප්‍රමාණයේ  වර්ධනය ඝන මීටර මිලියන 70 ක් වෙයි. නමුත් ජපානය ලෝකයේ වැඩියෙන්ම දැව ආනයනය කරන රටය. ඒ රටෙහි නිෂ්පාදනය කරන දැව වලට වඩා අඩු මුදලට, ඇමෙරිකාව, කැනඩාව, රුසියාව, මලයාසියාව, ඉන්දිනිසියාව, ඔස්ට්‍රේලියාව සහ චිලි වැනි රටවලින් මිලදී ගත හැකි නිසාය. දැන් ජපානයේ වන වගාවන් ස්වභාවික කැලෑ බවට පත්වෙමින් පවතී.

ජපානයේ දැන් රටේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් කැලෑවෙන් වැසි ඇති ඉඩම් ප්‍රතිශතය 68% ක් වෙයි. මෙය අපේ වන ප්‍රතිශතය මෙන් දෙගුණයකට කිට්ටුය. අනෙක මේ බොහෝ කැලෑ  පුද්ගලික දේපල වීම කැපී පෙනෙන ලක්ෂණයකි.
අපි මෙම කැලෑ මධ්‍යයේ හැකි සැමවිටම ඇවිදින්නට ගියෙමු. එක දිනක අපි අපේ රටේ දේශපාලනය ගැන කතාවකට වැටුනෙමු. එතැනදී අප සාකච්ඡා කලේ ලෝකයේ පිළිවෙලටම දුවන රටක් වේ නම් ඒ ජපානය විය යුතු බවයි. අනෙක් පැත්තෙන් අපේ රට එම දර්ශකයේ අපිළිවෙල කෙලවරේ අගටම යන්නට ලොකු තරඟයක් දී සිටින බවය.

මෙලෙස කතාකරමින් සිටියදී මා  අප රටේ රාජ්‍ය නායකයා වුවහොත් කුමක් කරන්නේ දැයි මගේ මිත්‍රයා මගෙන් ඇසිය. මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස පාසලේදී රචනාවක් ලිවූ බව මට මතකය. එහෙත් මෙවර වෙනස් පිළිතුරක් මගේ සිතට නැගිණ. මා දිව්රුම් දී පසුදිනම ජපානයේ හිරෝහිතෝ අධිරාජයා බැහැදැකීමට අවසර ඉල්ලා සිටින බව ඔහුට කීවෙමි.

“ඒ කුමක් සඳහාද?” ඔහු මවිතයෙන් ඇසුවේය.
ඒ ඔහු ඉදිරිපිට දණගසා වැඳ යමක් ඉල්ලා ගැනීම සඳහා යැයි මම කීවෙමි. මම ඔහු ළඟ දනින් වැටි වයසක ජපන් ගොවියන් 10 දෙනෙකු පමණ ලංකාවට ගෙනියන්නට ඉල්ලා සිටින බවත් කීවෙමි. ඔවුන් ලංකාවට ගෙන්වා ගෙන එක ගොවියෙකුට මහවැලි ප්‍රදේශයක අක්කර 100 බැගින් දී ගොවිපල 10 ක් ඇතිකරන්නට සලස්වා ඒවායේ අපේ තරුණ ගොවියන් පුහුණු කර ඔවුන්ට උදව්කර මෙහි ජපානයේ මෙන් ගොවිපල ඇතිකිරීම සඳහා කටයුතු කරන බව කීවෙමි. ඇත්තෙන්ම අප ණය ඉල්ලන්නේ නැතිව එවැනි දෙයක් ඉල්ලා සිටියහොත් ජපනුන් අපට උදව් කරනවාට කිසිම අනුමානයක් නැත්තේය.

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...