මාතෘකාවෙන් පොඩ්ඩක් පිට පැන්නත් බලපු දෙවෙනි චිත්‍රපටිය වූ first man ගැන යමක් නොකියා අතහැර ගිය නොහැක. එය ඒ තරමට මගේ හිතට වැදුණු චිත්‍රපටයකි. එම චිත්‍රපටියට පාදක කරගෙන තිබුනේ නිල් ආම්ස්ට්‍රෝන් සඳට ගිය ගමන පිලිබඳවය. ඒ අතරම ඔහුගේ එම කාල පරිච්චේදයේ ජිවිත කතාවද අපුරුවට ඔහුගේ පවුල සහ එකට වැඩකරන මිතුරන් සම්බන්ධ කරගනිමින් පෙන්වා ඇත.
මෙම චන්ද්‍ර ගමන සිදුවන්නේ 1969 වසරේදීය. එකල අඩු තරමින් ජංගම දුරකථන වත් තිබුනේ නැත. මෙතරම් පහල තාක්ෂණයක් පවතිද්දී හඳට යාම වැනි අභ්යෝගයක් ජයගැනීම ඇත්තෙන්ම පුදුම සහගත බව සිතෙන්නේ අවුරුදු 50 ක් පමණ අනාගතයට ගොස් ඒ දෙස බලන විටය. රොකට්ටුවේ තිබෙන දර්ශක පවා යාන්ත්‍රික ඒවා වෙයි. ඩිජිටල් මීටරයක් වත් නැත.
මෙම චිත්‍රපටියේ එක දර්ශනයක ; මට හැඟුණු විදිහට එහි උච්චම අවස්ථාව , ආම්ස්ට්‍රෝන්ග් හඳට යාම සඳහා පිටත්වීමට නිවසින් බැහැර වීමට ඔහුගේ ඇඳුම් පිළියෙළ කරමින් සිටියි. ඔහු කල් අරිමින් සිටින්නේ මේ දුෂ්කර ගමන පිළිබඳව දරුවන්ට කියන්නට ඇති අපහසුව නිසා බවක් අපට පෙනේ. තම සැමියාගේ අවිනිශ්චිත වෙන්වීම පිළිබඳව අතිශය කම්පාවට පත්ව සිටින ආම්ස්ට්‍රෝන්ග් ගෙ 'චේන් ස්මොකින්ග්' බිරිඳ ඔහුට ඔහුගේ දරුවනට ඔහු යන ගමන පිළිබඳව පැහැදිලි කර ඔහු සමහරවිට ආපසු නොපැමිණිය හැකි යයි ඔවුනට කියන ලෙස පවසයි.
එලෙස දරුවනට කීමට ආම්ස්ට්‍රෝන්ග් කැමති නැත. ඔහු එය තවදුරටත් මඟහැරීමට උත්සාහ කලද බිරිඳ ඉතාමත් ආවේගශීලිව ඔහුට දරුවනට එය කියන ලෙසට බලකර සිටියි. ඔහු දරුවන් කෑම මේසයට කැඳවා ඔහුගේ ගමන පිළිබඳව විස්තර කරයි.
සමහරවිට බොහෝදෙනෙකුට චිත්‍රපටියේ උද්වෙගකරම අවස්ථාව එය විය හැක. මට මෙම දර්ශනය බලද්දී යුද්ධය කාලයේ අපේ සහෝදර හමුදා සගයන්ගේ පවුල් ලක්ෂ ගණනකට මෙම අවස්ථාව මාසයෙන් මාසය , මාස දෙකෙන් දෙක එසේ නැත්නම් මාස තුනෙන් තුනට සිදුවූ බව සිහියට නැගුණි. එහෙත් අප භාර්යාවන් අපට මෙලෙස කරදර කරේ නැත , නිශ්ශබ්දව එම දුක මාසයෙන් මාසය, වසරෙන් වසර , දශකයෙන් දශකය විද දරා ගත්හ. තම සැමියා මේ ගෙදරින් පිටවන්නේ අවසන් වතාවට වෙන්නට බොහෝ ඉඩ තිබෙන බව ඔවුන් හොඳින්ම දන ගෙන සිටියහ. ජැනට් ආම්ස්ට්‍රෝන්ග් මහත්මිය ට එම අවස්ථාවට මුහුණ දීමට ලැබුනේ එක්වරකි.
මෙම චිත්‍රපටිය මා නරඹන ලද චිත්‍රපට වලින් හොඳම දහයට පමණ ඇතුළුවිය හැකි චිත්‍රපටයකි. එහි හඳට යාමට ගත් වෑයමෙහි තාක්ෂණික පැත්ත , එහි දේශපාලන කෝණය සහ ආම්ස්ට්‍රෝන්ග් පවුල ඒ කාලයේ කාලය ගත කරන අන්දම මැනවින් පෙන්වා දී තිබේ. හඳට මිනිසෙකු යැවීමට ජනාධිපති කෙනෙඩි ජාතිය මෙහෙයවූ ආකාරයත් එමෙන්ම එම ප්‍රයත්නයට රටෙහි ඇතිවූ විරෝධයත් විශේෂයෙන්ම එකල පැවැත්වුන වියට්නාම් යුධ විරෝධයත් ඉතා කෙටි දර්ශන වලින් එහෙත් මනා ලෙස චිත්‍රපටයට ඇතුලත් කර තිබේ..........
මතු සම්බන්ධයි





