Tuesday, October 23, 2018

සිංගප්පුරුවෙන් ලංකාවට කුණු ගෙනවිත් දැමීම



කසල කී විට ඇඟ කිලිපොලා යන ලෙසට කසල අප රටට බිය ගෙනදෙන කාරණයක් වී ඇත්තේ අප එය හරියට කළමනාකරණය කරගන්නේ නැති නිසාය. අපට කසල කියූ විට මතක් වන්නේ අවලස්සන, බ්ලුමැන්ඩල් සහ මීතොටමුල්ල වැනි ස්ථානයන් සහ ඒ හා සම්බන්ධ ගිනිගැනීම් කඩා වැටීම් වැනි සිද්ධීන්ය. එසේත් නැත්නම් අපේ ගම අසලට කුණු ගෙනත් නොදානු කියන ජනතා අරගලයන් ය.
අප මෙම ප්‍රශ්නයට උත්තර සෙවීමට පෙර සිංගප්පුරුවේ කසල කළමනාකරණය කුමන ආකාරයේදැයි පරීක්ෂාකර බැලීම ප්‍රයෝජනවත් වෙයි.

 කසල කළමනාකරණය සිංගප්පුරුවේ අපට වඩා බොහෝ වෙනස්ය. සිංගප්පුරුව වසරකට නිපදවෙන ඝන කසල ප්‍රමාණය ටොන් මිලියන 7.67 ක් වෙයි. මුල් කාලයේ; හැත්තෑ ගණන්  වල පමණ, කසල පුරවන ස්ථාන (land fills) තිබුනේ ජීවත්වන ස්ථානයන්ට කිට්ටුවෙනි. දැන් තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්ය. කුණු එකතුකර ගෙනගිය පසු ඔවුනට ඒවාට කුමක් වන්නේ දැයි දැනගන්නට වත් සිංගප්පූරු වැසියන්ට  නැවත දකින්නට ලැබෙන්නේ නැත.

එකතු කරගත් කසල කෙලින්ම කසල එකතු කරන අංගනයකට  ගෙනයනු ලැබේ. එම ට්‍රක් රථ වල තිබෙන කසල අඩි 32 ක් ගැඹුර උමගක් වැනි අති විශාල පරිමාවක් ඇති ඇති විශාල බංකරයක් වැනි ස්ථානයකට දමනු ලැබේ. ඉහල තට්ටුවක සිට මෙම කසල කන්ද දෙස බලා සිටින දොඹකර ක්‍රියාකරවන්නකු දොඹකරයක අත පහලට දමා මෙම කසල කවලම් කරනු ලැබේ. ඉන්පසු ටොන් අටක් පමණ වන කසල දොඹකර අතෙන් ඔසවා සෙල්සියස් 850 -1000 දක්වා උෂ්ණයකින් රත්වන පුච්චනයන්ට දමනු ලැබේ. එයින් පිටවන වායු පරිසරයට හානියක් නොවන තත්වයට පිරිසිදු කර වායු ගෝලයට මුදාහරිනු ලැබේ. 

මෙම පිලිස්සීමෙන් නිපදවන විදුලියෙන් 80% ක් ජාතික විදුලිබල පද්ධතිය මගින් අලෙවි කරනු ලැබේ.

මෙම ක්‍රියාවලියෙන් කසල වල පරිමාව 90% කින් අඩුකරන අතර අලු තුල ඉතිරි වී ඇති  ඇති ලෝහ කොටස් එලියට ගෙන ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. ඉන්පසු ඉතිරි අළු, මුහුදේ පැය තුනක ගමනකින් බාජ් මගින් සේමාකොව් මුහුද ගොඩකිරීමේ  ස්ථානයට[1] ගෙන යනු ලැබේ. 

ඒවා නැවත ට්‍රක් රථ මඟින් ගොඩකිරීම මධ්‍යයේ තිබෙන බිත්ති කාන්දු නොවන පටකයකින් සාදා ඇති විශාල වලකට පුරවනු ලැබේ. මෙම වල, සිංගප්පුරුවට වසර 2035 වනතුරු ප්‍රමාණවත් යැයි ගණන් බලා ඇත. 

මෙම land fill එක ගැන කරුණු සොයද්දී මෙම දිවයින සාදන කාලයේ එහි සේවය කල ශ්‍රී ලාංකික ඉංජිනේරු මා මිත්‍ර එම් එස් ලීලසේන නිවාඩුවකට මෙහි පැමිණ සිටි බැවින් මට ඔහුගෙන් මේ පිළිබඳව බොහෝ කරුණු දැන ගන්නට හැකිවිය. අපගේ ඉංජිනේරුවන් මෙවැනි නවීන ඉංජිනේරු ආශ්චර්ය ගොඩනගද්දී අපි තවමත් ගැමියන් සමග රණ්ඩු කරමින් කුණු ගෙනවිත් ගොඩ ගසන්නට ස්ථාන සොයමින් සිටීම පුදුම සහගතය.

                           සේමකොව් ගොඩකිරීමේ ස්ථානය



මෙවැනි ක්‍රම වේදයක් දියුණු කරගෙන ඇති සිංගප්පුරුව, අපේ රටේ අක්කර 100 ක් දෙසීයක් මිලට ගෙන කසල නැව් වලට පටවා මෙහි වරායකට ගෙනවිත් ට්‍රක් රථ මගින් අර මිලදී ගත ඉඩමට ගෙන ගොස් ප්‍රදේශ වාසීන්ගෙන් බැනුම් අසමින් කුණු ගොඩගැසිය හැකි යැයි සිතිය හැකිද?
සමහරවිට මෙහි අනික් පැත්ත නම් සිදුවන්නට ඉඩ තිබේ. අනාගතයේ කසල වලින් විදුලිය ජනනය කිරීම ලෝකය පුරා පැතිරී කසල වලට තිබෙන ඉල්ලුම වැඩිවී සිංගප්පුරුව අපේ කසල එරටට ගෙන යාමට ඉඩක් ඇති වන්නට පුළුවන. ජපානයේ වසරකට කසල ටොන් මිලියන 40 ක් පුළුස්සා බලය ජනනය කරගනු ලැබේ.


[1] සිගප්පුරුවේ ප්‍රථම සහ එකම ගොඩකිරීමේ ස්ථානය වන මෙම ස්ථානය ප්‍රමාණයෙන්  වර්ග කිලෝ මීටර 3.5 ක් වන අතර එහි පරිමාව වර්ග මීටර මිලියන 63 ක් වෙයි. මෙහි වටා ඇති බැම්ම කිලෝ මීටර 7 ක් දිග වෙයි.




5 comments:

  1. මීතොටමුල්ල කුණු කන්ද උඩ ඉන්න අපි...
    ඕව දන්නෙ නෑ සර්

    ReplyDelete
  2. වැදගත් විස්තරයක්. සිංගප්පුරුවේ කුණු මුහුදට දාන කතාවක් අහල තිබුනට. එක කෙරෙන්නේ කොහොමද කියල දැනගෙන හිටියේ නෑ..

    ReplyDelete
  3. ඔබේ ලිපි සරලයි .නව දැනුමෙන් පෝෂිතයි .ස්තුතියි .අපි දෙන්නම ඔබේ නිරන්තර පාඨකයෝ !

    ReplyDelete
  4. ලංකාවේ අපි පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි කියන දේ අහලා ඒක විශ්වාස කරන්න. ඒ ගැන හොයන්න බලන්න උනන්දු නෑ. ඉතින් වැරදි මත සමාජගත වෙනවා.

    ReplyDelete

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...