Saturday, October 20, 2018

ජපාන සංචාරය 13

https://lakshmanillangakoon.blogspot.com/2018/10/12.htmlසිට 




ජපානයේ නරිටා ගුවන් තොටුපලට  යන මඟියෙකුට  ගුවන් යානය පහත් කරන විට එය දහවලක් නම්; අනෙක් සෑම ගුවන් තොටුපලවලත් එසේ විය යුතුය, ගොවිතැනට හෝ පරිසරයට උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මුලින්ම ඇස ගැටෙන්නේ ඒ රටේ භුමිය නොයෙකුත් භාවිතයන්ට බෙදා ඇති ආකාරයය.
හරියට කවුරුන් හෝ කොලයක පැන්සලකින් ඉඩම් කොටස්
භෝග වගාවට
වී වගාවට
කැලෑ වගාවට
නිවෙස් සහ උද්‍යාන වලට
මාර්ග වලට
වෙන්කර, එම කටයුත්ත පමණක්ම කරන සැටියකි. මේ එක වර්ගයක් වත් තව වර්ගයකට වෙන්කර ඇති භූමියකට ඇතුළු වන්නේ නැත. කැලෑ නම් කැලෑය. කුඹුරු නම් කුඹුරය. පාර දෙපැත්තේ ගස් නැත. ගස් තිබෙන්නේ කැලෑ  වලය.


මේ කැලෑ අක්කර 10/15 ඒවාය. ඒවා බැලු බැල්මටම ස්වභාවික කැලෑ නොවන බවත් කෘතිමව වැවු එසේම යම් ආර්ථික ප්‍රයෝජනයක් සඳහා නඩත්තු කරන බවත් පෙනේ. මෙම බොහෝ පුද්ගලික හිමිකාරත්වයේ ඇති කුඩා කැලෑ වවන්නට පටන්ගෙන ඇත්තේ දෙවෙනි ලෝක මහා යුද්ධයෙන් පසුවය. යුද්ධය සඳහා අධික ලෙස ලී පාවිච්චි කල ජපානයට යුද්ධයෙන් පසුව ඇමෙරිකාවේ ද සහයෝගය ඇතිව කෙරුණු නැවත ගොඩනැගීම සඳහා අධික ලෙස ලී අවශ්‍ය විය. ජපානයේ නිවෙස් ද ඇමෙරිකාවේ මෙන්ම බොහෝවිට ලී වලින් සාදන නිසා මෙම ලී අවශ්‍යතාවය අප වැනි රටකට වඩා බොහෝ වැඩි විය යුතුය.

ඔවුන් මේ නිසා මේ අවශ්‍යතාවයට මුහුණදීමට සයිප්‍රස් සහ සේඩාර් කුඩා කැලෑ ලෙස පුද්ගලික කෘෂිකර්මයේ කොටසක් ලෙස ජාතික වශයෙන් සිදුකරන්නට සැලසුම් කළහ. දැන් මෙම කැලෑ ජාතියේ වැවිලි සඳහා යටවී ඇති ඉඩම් ප්‍රමාණයෙන් 40% ක් වෙයි. වසරකට මෙම කැලෑ වල දැව ප්‍රමාණයේ  වර්ධනය ඝන මීටර මිලියන 70 ක් වෙයි. නමුත් ජපානය ලෝකයේ වැඩියෙන්ම දැව ආනයනය කරන රටය. ඒ රටෙහි නිෂ්පාදනය කරන දැව වලට වඩා අඩු මුදලට, ඇමෙරිකාව, කැනඩාව, රුසියාව, මලයාසියාව, ඉන්දිනිසියාව, ඔස්ට්‍රේලියාව සහ චිලි වැනි රටවලින් මිලදී ගත හැකි නිසාය. දැන් ජපානයේ වන වගාවන් ස්වභාවික කැලෑ බවට පත්වෙමින් පවතී.

ජපානයේ දැන් රටේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් කැලෑවෙන් වැසි ඇති ඉඩම් ප්‍රතිශතය 68% ක් වෙයි. මෙය අපේ වන ප්‍රතිශතය මෙන් දෙගුණයකට කිට්ටුය. අනෙක මේ බොහෝ කැලෑ  පුද්ගලික දේපල වීම කැපී පෙනෙන ලක්ෂණයකි.
අපි මෙම කැලෑ මධ්‍යයේ හැකි සැමවිටම ඇවිදින්නට ගියෙමු. එක දිනක අපි අපේ රටේ දේශපාලනය ගැන කතාවකට වැටුනෙමු. එතැනදී අප සාකච්ඡා කලේ ලෝකයේ පිළිවෙලටම දුවන රටක් වේ නම් ඒ ජපානය විය යුතු බවයි. අනෙක් පැත්තෙන් අපේ රට එම දර්ශකයේ අපිළිවෙල කෙලවරේ අගටම යන්නට ලොකු තරඟයක් දී සිටින බවය.

මෙලෙස කතාකරමින් සිටියදී මා  අප රටේ රාජ්‍ය නායකයා වුවහොත් කුමක් කරන්නේ දැයි මගේ මිත්‍රයා මගෙන් ඇසිය. මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස පාසලේදී රචනාවක් ලිවූ බව මට මතකය. එහෙත් මෙවර වෙනස් පිළිතුරක් මගේ සිතට නැගිණ. මා දිව්රුම් දී පසුදිනම ජපානයේ හිරෝහිතෝ අධිරාජයා බැහැදැකීමට අවසර ඉල්ලා සිටින බව ඔහුට කීවෙමි.

“ඒ කුමක් සඳහාද?” ඔහු මවිතයෙන් ඇසුවේය.
ඒ ඔහු ඉදිරිපිට දණගසා වැඳ යමක් ඉල්ලා ගැනීම සඳහා යැයි මම කීවෙමි. මම ඔහු ළඟ දනින් වැටි වයසක ජපන් ගොවියන් 10 දෙනෙකු පමණ ලංකාවට ගෙනියන්නට ඉල්ලා සිටින බවත් කීවෙමි. ඔවුන් ලංකාවට ගෙන්වා ගෙන එක ගොවියෙකුට මහවැලි ප්‍රදේශයක අක්කර 100 බැගින් දී ගොවිපල 10 ක් ඇතිකරන්නට සලස්වා ඒවායේ අපේ තරුණ ගොවියන් පුහුණු කර ඔවුන්ට උදව්කර මෙහි ජපානයේ මෙන් ගොවිපල ඇතිකිරීම සඳහා කටයුතු කරන බව කීවෙමි. ඇත්තෙන්ම අප ණය ඉල්ලන්නේ නැතිව එවැනි දෙයක් ඉල්ලා සිටියහොත් ජපනුන් අපට උදව් කරනවාට කිසිම අනුමානයක් නැත්තේය.

5 comments:

Diary of a German traveller of his travels in Sri Lanka

 The spirit of Henry Miller is with me... Sometimes he drives into me, is a part of me, I feel like Henry Miller, I feel his feeling back th...