Sunday, December 2, 2018

1 - ටොම් සෝයර් සහ මැල්සිරිපුර කුරුඳු වැවීම - 1





මම මේ දිනවල මැල්සිරිපුර කටුවලන්ද ප්‍රදේශයේ පිහිටි ඉඩමක කුරුඳු වගා කරමින් සිටිමි. මුලින් එතරම් අපහසු කාර්යයක් නොවේ යැයි සිතා පටන් ගත්තද පැල කිරීමේ අදියරට එනවිට එය සිතූ තරම් පහසුවෙන් කරගත නොහැකි බව පෙනුනි. ඒ පහත කාරනා ත්‍රිත්වය නිසාය.

හෙක්ටර් යාරයකට පැලකල යුතු අධික පැල ප්‍රමාණය; පැල 7200 ක් පමණ, සහ ඒ සඳහා 1x1x1 වලවල් එම ප්‍රමාණයකම අඩි 4 x 3 දුරින් කැපීම.

පැල මුල් අල්ලා ගන්නා තුරු වර්ෂාව නොලැබුනොත් ජලය ලබාදීමේ අවශ්‍යතාවය.

මේ සියලු දෑ සඳහා අවශ්‍ය කම්කරුවන්ගේ හිඟය.

වලවල් කපාගැනීමේ ප්‍රශ්නය නම් කම්කරුවන් වෙනුවට බැකෝ යන්ත්‍රයක් යෙදීමෙන් මඟහැර ගත්තෙමු. පැයකට රුපියල් 1500 ගනනේ පොරොන්දු වී වැඩය පටන් ගත්තෙමු. මුල් දවසේ පැය හයක් වැඩකර හාරා තිබුනේ වලවල් 600 ක් පමණි. මෙය වලකට රුපියල් 15 පමණ වැය වීමකි. පසුව ක්‍රියාකරු සමග සාකච්ඡා කර වලවල් වෙනුවට අඩි 4 ක පරතරයකින් අඩියක් පමණ ගැඹුරට කානු ගැසීමට තීරණය කර ගත්තෙමු. එයින් පැයකට වලවල් වේගය 120 කට පමණ වැඩිකර ගන්නට හැකියාවක් ලැබුණි.

කානුවල දැන් අඩි 3 ක පරතරයකින් පැල සිටුවීමට අවශ්‍යය. අපට පැල ලබාගැනීමට තිබුනේ රිදීගම අසල රජයේ පැල තවානකිනි. පෙර වර්ෂයේ මෙම සහනාධාරය සඳහා ලියාපදිංචි වී සිටි නිසා අපට අප මිලදීගත් පැළවලින් 50% ක ප්‍රමාණයක් නොමිලේ ලැබුණි.

අපට මෙම කාර්යයේ බරපතල කම වැටහුනේ පැල ගෙනවිත් බා ගත්විටය. පැල ප්‍රමාණය බිම අඩි 15 x 15 පමණ ප්‍රමාණයක් පුරා විසිරි තිබුණි. වවන තැනට මෙතන සිට පැල රැගෙන යා යුත්තේ අතිනි. එතැනදී කාණුවල වලවල් කපා පැල වල මලු ප්‍රවේශමෙන් ගලවා පැලකල යුතුය. පැල 7200 ක් පමණ මෙලෙස පළකිරීම, විශේෂයෙන්ම පවතින කම්කරු හිඟයත් මත ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

අපි තිදෙනෙකු මෙය කිරීම සඳහා අත්දැකීම් ලබාගෙන ඒ සඳහා යම් සැලසුමක් ඇතිකර ගැනීම සඳහා පසු දිනෙක පැළ කිරීම පටන් ගත්තෙමු. පැයකට අප; නුපුහුණු කම්කරුවන් තිදෙනෙකුට, මා, මගේ බිරිඳ සහ මගේ රියදුරු පැලකිරීමට හැකි වුයේ පැල 60 ක් පමණි. ඊළඟ පැයේ එය 40 ට පමණ බැස්සේය. තවත් වෙලාව ගතවනවිට මෙම වේගය තවත් අඩුවී පැල 15 ක පමණ රිද්මයකින් නතර විය හැකි බව මට පෙනුනි. මැල්සිරිපුර අධික උෂ්ණත්වයද අප වේගය මහත්සේ අඩාල කරන බව පෙනුනි. මෙවැනි වේගයකින් පැළකරන්නට ගියොත් වැහි කාලයට පෙර පැලකරගන්නට අපහසු වනවා පමණක් නොව මේ කම්කරු පිරිවැය ද ඉතා ඉහල මට්ටමකට යන බව මට පෙනුනි.

මේ විටම කුඩා ළමුන් කණ්ඩායමක්: 6 දෙනෙකු එහා වත්තෙන් එලියට පැමිණ අප වත්ත හරහා පාර අසල ඇති කඩයක් වෙතට දුවනවා මම දුටුවෙමි. ඔවුන් ඉතා සතුටෙන් එසේම කඩිසර ලෙස කඩය පැත්තට දුවන දෙස බලාසිටි මට අප කුඩාකල කියවූ Adventures of Tom Sawyer පොතේ ටොම් තම මිතුරන් ලවා ඔහුගේ වැට පින්තාරු කරගත් අන්දම සිහිවිය. මම අවසානයේ දුවපු ළමයා කතාවට අල්වාගෙන මෙම පැල සිටුවීමට ඔවුන් සහභාගී කරගැනීමට උත්සාහ කලෙමි.


අපට මෙම පැල සිටුවීමට උදව් කරන ලෙසද එසේ කරන්නේ නම්  වල අප කපාදෙන බවත් පැලයකට රුපියල් 5 බැගින් ගෙවන්නට අපි කැමති බවත් ඔහුට කියා සිටියෙමි. ඔහු එතරම් උනන්දුවක් නොදක්වා කඩය පැත්තට දුවගොස් ටික වෙලාවකට පසු ආපසු මිතුරන් සමග යනවිට කණ්ඩායමේ අවසානයෙ සිටි ගැහැණු ළමයෙකුට මම නැවත වරක් යෝජනාව ඉදිරිපත් කලෙමි. ඇය එයට කැමති වී අනෙක් මිතුරන් සමග පැමිණ වැඩට බැස්සාය. මම ඔවුනට හදන විදිහ පැහැදිලි කර අවසානයේ ඔවුන් කඩියන් සේ වැඩට බැස්සහ. පැයක් පමණ ඔවුන් වැඩකළ වේගය දුටු මම මේ විදිහට ගියහොත් අපට අද දවසේ පැල 1000 ක් වත් පැල කරගන්නට හැකිවේ යැයි අනුමාන කලෙමි.

එහෙත් මුලදී අකමැති වූ ළමයා ඔවුනට එකතු වී ටික වෙලාවක් වැඩකර කණ්ඩායම තුල අවුල් ඇතිකර වේගය අඩාල කර කානු කපන බැකෝ එක අසලට වී එය වැඩකරන ආකාරය නරඹමින් සිටියේය.

ඉතිරිය හෙට





     

Friday, November 23, 2018

2 ජපාන සංචාරයේ නිරීක්ෂණ සහ නිගමන 2




මගේ සිත්ගත තවත් ජපන් සමාජ සලකුණක් වුයේ එහි ජනතාවගේ විනයයි. මෙයට හොඳ උදාහරණයක් මගේ මිතුරෙකු සමග ඔහුගේ ව්‍යාපාරික කටයුත්තකට ජපාන ජාතිකයකුගේ වාහන සේල් එකකට ගිය විට දුටුවෙමි.

අපි එදින ටිකක් උදයෙන් එතනට ගියේ එම වැඩ කටයුත්තෙන් පසුව අපි වෙන යම් ගමනක් යාමට සැලසුම් කරගෙන සිටි නිසාවෙනි. ඒ යනවිට එම සේල් එක උදයේ විවෘත කරන වෙලාව විය. ඒ අවස්ථාවේම වාහනයකින් එතනට පැමිණි , ටයි එකකින් ද සරසි සිටි  එහි අයිතිකරු ඉක්මනින් එලියට පැමිණ එහි මිදුලේ ව්‍යායාම කරන්නට පටන් ගත්තේය. එතන වැඩ කරන සේවකයන් 5 දෙනෙකු පමණ ‘; දෙදෙනෙකු කවර් ඕල් වලින් සැරසී, ඔහුත් සමග රිද්මයට ස්ට්‍රෙචින්ග් ව්‍යායාම කරන්නට පටන් ගත්හ. මෙම ව්‍යායාම පන්තිය පැය බාගයක් පමණ පැවතින. ඉන්පසු මගේ මිතුරාට කතාකල අයිතිකරු වෙනත් වැඩකට යාමට පිටත්විය. මට තේරුණා විදිහට ඔහු තම ව්‍යාපාරික ස්ථානයට පැමිණ තිබුනේ සේවකයන් සමග ව්‍යායාම ප්‍රෝග්‍රෑම් එකට සහභාගී විමටමය.



වරෙක අපි ගමනක් යන අතරමඟ ජපන් ආපනශාලාවකට දහවල් ආහාර ගැනීමට ගියෙමු. මේස 10 ක් පමණ තිබුණු මෙම අවන්හලේ එක මේසයක් ජපනුන්ට ආවේනික පුටු රහිත එකක් විය. මගේ මිතුරා වාහනය එලවන්නට තිබෙන නිසා මම පමණක් ආහාර පැමිණෙන තුරු බියර් බෝතලයක් ගෙන්වා ගෙන පානය කලෙමි. එහි මෙවැනි ආපන ශාලා උදයේ විවෘත කර දහවල් 2 කට වසා දමන බව මම දුටුවෙමි. දෙකට දහයක් පමණ තිබියදී පිරිසක් පැමිණ ආහාර ගැනීමට උත්සාහ කලද එහි සිටි කාන්තාව ඔවුනට වැසීමට පෙර ඔවුනට ආහාර දීමට ප්‍රමාණවත් වෙලාවක් නොමැති බව කීවාය. ඔවුන් කිසිම විරෝධයක් පල කරන්නේ නැතිව සිනාමුසු මුහුණින් පිටව ගියහ.



මාර්ගයේ සැමතැනම කඩ සාප්පු නොමැති ජපානයේ ඒවා තිබෙන්නේ නගරය කිට්ටුව විශාල වෙළඳ සංකීරණ ලෙසිනි. එසේම සම වෙළඳසැලකම ඉතා පිරිසිදු ;බොහෝවිට උණුසුම් කළහැකි කොමඩ් කවර සහිත වැසිකිලි අනිවාර්යයෙන්ම තිබේ. අපි ගිය පාවිච්චි කරන ලද භාණ්ඩ විකුණන ස්ථානයක පවා පාරිභෝගිකයන් සඳහා වැසිකිලි පහසුකම් තිබෙනවා මම දැක්කෙමි. බොහෝවිට මේවාට යම් රජයේ හෝ පලාත්පාලන ආයතන වල නීති රෙගුලාසි පනවා තිබෙනවා වන්නට පුළුවන. අපේ මෙන් පලාත්පාලන ආයතන වල නියෝජිත වරුන්  තමන් ගේ ඥාති මිත්‍රාදිනට ඉඩතිබෙන තැන්වල කුඩා කඩ කැබලි තනාගන්නට ඉඩ ලබා දෙන සිරිතක් එහි නැතිවා විය යුතුය.


තවත් ජපන් සමාජයේ මා දුටු විශේෂ දෙයක් නම් ඔවුන්ගේ වෙළඳසල් වල පාරිභෝගිකයනට දක්වන සැලකිල්ලයි. පාරිභෝගිකයන් රජවරුන් යයි කියමනක් තිබේ. එය හරියටම ක්‍රියාත්මක වන්නේ ජපානයේ යයි මට සිතුනු වාර ගණන අනන්තය. සමහරවිට ඔවුන් බොරුවට අපව අන්දවනවා වත්දැයි සැකයක් සිතට නැගෙන තරමට එම සැලකීම ඔවුන් කලාවක් කරගෙන ඇත. වරෙක අපි මගේ මිතුරාගේ යම් වැඩකට ජපනෙකුට අයත් වාහන සේල් එකකට ගියෙමු. එතන වැඩකරන තිදෙනාම තවත් ජපනෙකුට වාහනයක් විකුණමින් සිටි නිසා අපට ටික වෙලාවක් එතන රැඳෙන්නට සිදුවිය. එම ගනුදෙනුකරු අවසානයේ වාහනය මිලදී ගත්තේය. එය සාමාන්‍ය කුඩා වාහනයකි. අවසානයේ ඔහු වාහනය පදවාගෙන රැගෙන ගියේය. එම වාහනය විකිනීමට සහභාගී වූ වෙළද සේවකයන් තිදෙනාම ඔහුගේ වාහනය නොපෙනී යනතුරුම ඒ දෙසට නැමී ආචාර කරමින් සිටියහ. ඇත්තෙන්ම පාරිභෝගික සැලකිල්ල බොහෝ අඩු අප වැනි සමාජයක ජීවත්වූ කෙනෙකුට සිතාගනිමටවත් නොහැකි තරම් පාරිභෝගික සැලකිල්ලකි.

මම දැන් ගොවිතැනට බැස ඇති නිසා මම එහිදී ගොවිතැන් පිලිබදව විශේෂ උනන්දුවක් දක්විමි. මම එහිදී දුටු ගොවිතැන පිළිබඳව වඩාත්ම සිත්ගත් කරුණ නම් ඔවුන්ගේ ගොවි ගෙදරක තිබෙන කෘෂිකර්ම උපකරණ සමුහයයි. සැම ගොවි ගෙදරකම වාගේ ට්‍රැක්ටර්, බැකෝ යන්ත්‍ර, අස්වැන්න නෙලාගන්නා යන්ත්‍ර,               යනාදී වශයෙන් යෙදීසිටින ගොවිතැනය අවශ්‍ය  විය හැකි සැම යන්ත්‍රයක්ම නිවාස අසල තිබුණි. බොහෝ නිවාස වල ඇලුමිනියම් ඉනිමඟ ; නොයෙකුත් දිගින් සහ යෙදීම් වලින් යුත් , 10 ක් පමණ තිබෙනවා මම දුටිමි. එහෙත් මෙහි මෙන්ම තරුණයන් ගොවිතැනෙන් ඈත් වී ඇති බවක්ද පැහැදිලිව පෙනුනි. සම තැනම ගොවිතැනෙහි දී සිටින්නේ බොහෝ වයස්ගත පිරිස්ය.


Monday, November 19, 2018

ජපාන සංචාරයේ නිරීක්ෂණ සහ නිගමන




මම මාස කිහිපයකට පෙර ජපානයේ සංචාරයක් සඳහා ගියෙමි. එම ගමන පිළිබඳව බ්ලොග් කිහිපයක්ද ලිව්වෙමි. මම සාමාන්‍යයෙන් එක බ්ලොග් එකක් වචන 500 කට සිමා කරන්නට උත්සාහ කරමි. මෙම ගමන පිළිබඳව ලියු බ්ලොග් 12 ඒ අනුව වචන 6000 ක් පමණ වන්නට ඇත. එහෙත් මට මෙම සංචාරය පිලිබඳ බ්ලොග් සටහන් අවසන් කරන්නට නොහැකි විය. ඒ මේ දිනවල කුඹුරු වැඩ සඳහා කාලය සහ ශ්‍රමය වය කරන්නට සිදුවූ නිසාය. එයට අමතරව රජයේ සහනාධාරද ලබාගෙන මැල්සිරිපුර ඉඩමක කුරුඳු වගාවක් ද පටන්ගත්තෙමි.

ජපානයේ සිටින මා සමග එකල නාවික හමුදාවේ සේවය කල මහින්ද නම් මිතුරෙකු සමග ජපානය පිළිබඳව මැසෙන්ජර් එකෙන් කතාකරමින් සිටියෙමි. ඔහු නාවික හමුදාවෙන් ගිය පසු ජපානයට ගොස් එහි වෘතිමය රැකියාවක් කර දැන් කුඩා, වාහන නොවන ව්‍යාපාරයක් කරයි. මා වාහන නොවන බව කිව්වේ එය එහි සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු කරන්නේ වාහන සම්බන්ධ ව්‍යාපාර බැවිනි. නමුත් මට පෙනුණු විදිහට එහි ඇත්තෙන්ම දැන් වාහන ව්‍යාපාරය අප පිරිස් සඳහා පහලට යමින් පවතී. එහෙත් වෙනත් ක්ෂේස්ත්‍ර වල ව්‍යාපාර සහ රැකියා අවස්ථා බොහෝ විවෘත වී තිබේ. මේ ලඟකදී ජපානයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ කෘෂිකාර්මික රැකියා සඳහා අප වැනි රටවලින් පිරිස් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය ද ප්‍රධාන වෙයි.

මහින්දත් සමග කතා කරමින් සිටියදී මා ඔහුට කිව්වේ ඔහුට  ජිවිතයේ පසු කලෙක හෝ ජපානයේ ජීවත්වීමට ලැබීම; පෙර පින් පිළිබඳව ඔහු විශ්වාශ කරන්නේ නම්, පෙර පිනක් නිසාම සිදුවිය යුතු බවයි. ඒ හරම්ම ජපානය මිනිසුන්ට ජීවත්වීමට සුදුසු ලෙසට ඔවුන් ගොඩ නඟාගෙන තිබේ. මෙතරම් කාර්මික අතින් පොහොසත් රටක් නැත්නම් කෙසේ වන ආවරණය 80% ක් පවහ්වා ගන්නේද?

මම දුටු එසේත් නැත්නම් අත්විඳි අනෙක් ජපානයේ ජීවත්වීමේදී ලැබෙන ප්‍රධානතම සතුට එහි ඇති නිශ්ශබ්ද තාවයයි. එහිදී මම උදය කාලයේ පාරවල ඇවිදින්නට ගියෙමි. කිසිම ශබ්දයක් නැත. බල්ලෙක් බුරන ශබ්දයක් වත් අසන්නට ලැබෙන්නේ නැත. කොහොම මේ තත්වය පවත්වාගෙන යනවා දැයි සිතන්නටත් අමාරුය. බොහෝ දෙනෙකු පාවිච්චි කරන පොදු ගමනාගමන සේවය වන දුම්රිය තුල කොතරම් මිතුරන් හෝ පවුලේ උදවිය එකට වාඩිවී සිටියද කිසිවෙකු උස් හඬින් කතාකරනු නොඇසේ. සියලු දෙන ජංගම දුරකථන දෙස බලාගෙන යමක් කියවමින් සිටිති. දුරකථන නාද වනු නොඇසේ. ඔවුන් ඒවා නිශ්ශබ්ද මොඩ් එකට දමාගෙන සිටිති. හදිසියේ වත් ඇමතුමක් පැමිණියහොත් නැගිට පෙට්ටි දෙකක් අතර ඉඩ ඇති ස්ථානයකට ගොස්  කෙටියෙන් එම ඇමතීම ඉක්මනින් අවසන් කර නැවත අසුන වෙත පැමිණ ඉඳ ගනිති.

ජපානය කියවන්නන් ගෙන් පිරුණු රටක් යයි කියනු ලැබේ. එහි මංගා  මැගසින් ( නොයෙක් විෂයයන් ගැන ලියවුනු චිත්‍ර කතා) සහ පොත් වසරකට බිලියන දෙකක් විකුණන බව කියනු ලැබේ. අප කුඩාකාලයේ ජපාන දුම්රිය ගමනක් චිත්‍රපටයක දුටුවොත් එහි මගීන් සැමදෙන චිත්‍ර කතා පොතක් හෝ පුවත් පතක් කියවමින් සිටිනු දක්නට ලැබේ.

 නමුත් දැන්නම් එලෙස පොත් කියවන්නන් දුම්රිය වල දක්නට ඇත්තෙම නැත. සමහරවිට ඔවුන් නිවෙස් වලට වී එම පොත් කියවනවා වන්නට පුළුවන. ඔවුන්  පුවත්පත් සහ පොත්පත් දුරකථනයන් ගෙන් කියවනවා විය යුතුය.
මම ඊළඟට ජපානයේ සිත් ගත්තේ එහි යම් ව්‍යාපාරික ස්ථානයකට ගිය විට ඒවායේ සේවය කරන්නන් සහ අයිතිකරුවන් ගනුදෙනුකරුවනට සලකන ආකාරයයි. යම් කිසිවක් ඇසුවහොත් හරි දේ අපට වැටහෙන තුරු ව්‍යාපාරික ස්ථානය තුල කිලෝ මීටරයක් හෝ ඇවිද අපට උදව් කරන ආකාරය පුදුම සහගතය.

එහි ගිය දෙවන දවසේ මට රෝමින් සාදාගැනීම සඳහා අපි වරක් ඊ මොබයිල් ආයටහනයේ කාර්යාලයක් වෙත ගියෙමු. එතැනදී මා දුටු එක ගනුදෙනු කරුවනට සලකන ආකාරය මම හිතන්නේ ලොව කොතැනක හෝ ගනුදෙනු කරුවනට සලකන ආකාරයේ අග රැජිණිය විය යුතුය. එනම් ඒ ගනුදෙනුකරුට ඔහුගේ වැඩය කරදුන් නිලධාරියා වැඩය අවසන් වූ පසු ගනුදෙනු කරු පිටවන දොරටුව වෙත් රැගෙන ගොස් ඔහු එලියට ගිය පසු ඔහු යන දෙසට කොන්ද නමාගෙන සිටීමයි.
500 පැන ඇත. ඉතිරිය ඊළඟ කොටසෙන් ......

Wednesday, November 14, 2018

මේජර් බ්‍රෙන්ට් ටේලර්







බ්‍රෙන්ට් ටේලර් ඇමෙරිකාවේ උටා ප්‍රාන්තයේ ඔග්ඩේන් නගරයේ නගරාධිපතිවරයාය. ඇත්තෙන්ම ඔහු හිටපු නගරාධිපතිවරයාය. ඔහු ඇමෙරිකානු හමුදා ස්වෙච්චා සේවයක් වන ජාතික ආරක්ෂක හමුදාවේ (natonal guard) ස්වෙච්චා හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළේය.
මෙම natonal guard හමුදාව ඇමෙරිකාවේ සැම ප්‍රාන්තයකම ස්ථාපිත කර ඇති අතර එම හමුදාව ප්‍රාන්ත රජයේත් මධ්‍යම රජයේත් පාලනය යටතේ ක්‍රියාත්මක වෙයි. හදිසියකදී කැඳවීම සඳහා යොදාගන්නා මෙම හමුදාවේ සාමාජිකයින් පූර්ණ කාලීනව වෙනත් රැකියාවක් කරන අතර ඉතා සුළු ගණනක් පූර්ණ කාලීනව සේවය කරන්නේ පරිපාලනය පවත්වා ගැනීමටය.

1824 පටන්ගෙන ඇති මෙම ස්වෙච්චා හමුදාව වර්තමානයේ 450000 ක පමණ භට පිරිසකින් සමන්විත වන අතර එහි ආදර්ශ පාටය ‘always ready,always there’ යන්නයි.

මේජර් ටේලර් ගේ ජීවිතය සහ ඔහු ජීවත්වූ ආකාරය අප බොහෝ දෙනෙකුට ආදර්ශයක් ගත හැකිවා පමණක් නොව අපට ප්‍රජාතන්ත්‍ර වාදය දියුණු රටවල ක්‍රියාත්මක වන්නේ කෙසේද ඒවායේ හමුදා දුවන්නේ කෙසේද යන්න  බලාගන්නට කුඩා කවුලුවක්ද විවෘත කර දෙයි.
ඔහු උපදින්නේ 1979 වසරේය. සහෝදර සහෝදරියන් අට දෙනෙකුගේ පවුලක දෙවනියා ලෙස උපත ලද ඔහු උසස්පෙළ ඉගෙනගන්නා කාලයේ ශිෂ්‍ය සමිතියේ සභාපති වරයා වූ අතර ඊගල් බාලදක්ෂයෙකුද විය. ඔහු 

 1997 වසරේ එම පාසලේ අධ්‍යාපනය හමාර කළේය.
ආගමට ඉතා බරවූ බ්‍රෙන්ට් තම පල්ලියේ මිෂනාරි වරයෙකු වශයෙන් වසර දෙකක් බ්‍රසීලයේ සේවය කළේය. එම වසර දෙකෙන් පසුව බ්‍රෙන්ට් ආපසු පැමිණ බර්මින්ග්හම් යන්ග් විශ්ව විද්‍යාලයට ඇතුළු වී මාස කිහිපයකින් අයගේ අනාගත සහකාරිය හමුවී විවාහ විය.ඔහු එදිනම උටා ප්‍රාන්තයේ නැෂනල් ගාර්ඩ් හමුදාවට සොල්දාදුවෙකු ලෙස බැඳුනු අතර අවුරුදු දෙකක පුහුණුවකින් පසුව නිලධාරියෙකු ලෙස පුහුණු වීමට ROTC වෙත තෝරා ගැනින. 

2006 වසරේ ජුලි මස ඔහු එම පාසලෙන් නිලධාරියෙකු ලෙස උපාධිය ලබා පිටවිය.එම වසරේම ඔහු දේශපාලන විද්‍යාව පිලිබඳ ඔහුගේ උපාධිය ලබාගත් අතර, උටා විශ්ව විද්‍යාලයෙන් 2012 වසරේ master උපාධිය ලබාගත්තේය. ඒ සමගම ඔහු ආචාර්ය උපාධිය සඳහා එම විශ්ව විද්‍යාලයේම ලියාපදිංචි විය.

ඔහු මේ අතර තුන් වරක් 2007 ඉරාකයේ ; 2008 ඇෆ්ගනිස්තානයේ;2012 ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම් සඳහා යෙදවුණු අතර ඔහුට එම යෙදවීම් වලදී විශිෂ්ට සේවය සඳහා  purple heart සහ බ්‍රොන්ස් ස්ටාර් පදක්කම් ද ලැබිණ.

2009 වසරේ ඔහු ජීවත්වූ නගරයෙන් ඔහු නගර සභාවට තෝරා පත්කර ගන්නා ලද අතර 2013 එම නගරයේ නගරාධිපතිවරයා  ලෙස තෝරා ගැනින. 2017 වසරේද ඔහු නැවත වරක් නගරාධිපති වරයා ලෙස තෝරා ගැනුනේ විරුද්ධ අපේක්ෂකයකුද  නොමැතිවය.

තම දරුවන් සහ සහෝදරයන් සමග ගොවිපලේ වැඩකිරීම,දඩයම් කිරීම සහ මාළු ඇල්ලීම ඔහුගේ විනෝදාංශ  විය.

දරුවන් 7 දෙනෙකුගේ පියකු වූ බ්‍රෙන්ට් ට මෙවර නැවත වරක් කැඳවීම පැමිණියේ ඇෆ්ගනිස්තානයේ රජයේ හමුදා පුහුණු කිරීම සඳහා පිටත්වන්නටය. ඔහුට මෙවර 4 වරට කැඳවීම ලැබුනේ ඇෆ්ගන් රජයේ කොමාන්ඩෝ  හමුදා පුහුනුකිරිම සඳහා වසරකට එහි සේවය කිරීමටය. එහිදී ඔහු පුහුණු කරමින් සිටි හමුදා පිරිසේම  භටයෙකු විසින් වෙඩි තබා ඔහුව ඝාතනය කෙරින.

ඔහුගේ අවසන් කටයුතු ඔහුගේ නගරයේ සිදුවන අතර උටා විශ්ව විද්‍යාලය ඔහුට ඔහු හදාරමින් සිටි ආචාර්ය උපාධිය මෙවර උපාධි ප්‍රදානෝත්සවදී පිළිගැන්වීමට තීරණය කර ඇත.

Monday, November 12, 2018

ජනාධිපතිට මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පුලුවන්ද? spirit of law ;පුරවැසියෙකුගේ විග්‍රහය


ව්‍යවස්ථාව රාජ්‍ය පාලනය සඳහා මුලික ප්‍රතිපත්ති සහ පුර්වාදර්ශන  යොදා ගන්නා ආකාරය ලේඛන කර ඇති ලියවිල්ලයි. මෙම ලේඛනයේ රාජ්‍ය පාලනයෙන් ඔබ්බට ගොස් රාජ්‍ය බලයේ යම් මානුෂික අයිතිවාසිකම් වැනි සීමාවන්ද ඇති කරනු ලැබේ. මෙලෙස මුල්ම රාජ්‍ය පාලනය කෙරෙන ආකාරය ලේඛන ගත කර ඇත්තේ වර්තමාන ඉරාකයේ ක්‍රි:පූ: 2300 යේ පමණ පාලනය කල සුමේරියන් රජවරයෙකු විසිනි. මින්පසු ග්‍රීසියේ, රෝමයේ, සහ යුරෝපයේ නොයෙකුත් ස්ථාන වල මෙවැනි රාජ්‍ය පාලන ලේඛන පාලනය සඳහා යොදා ගැනින. මෑත කාලයේ ප්‍රථම වතාවට ව්‍යවස්ථාවක් සංස්ථාපිත කරන ලද්දේ ඇමරිකාවේ කොනෙක්ටිකට් ප්‍රාන්තයේ 1639 දීය. ඉන්පසු ඇතිවුණු බොහෝ ව්‍යවස්ථාවන්හි මුලාරම්භය මෙයින් සිදු වූ බව කියනු ලැබේ.

ව්‍යවස්ථාව ගැන බොහෝ රසවත් කතා ඇති නමුදු තවදුරටත් ඒවා ලියන්නට ගියහොත් මගේ බොහෝ බ්ලොග් වල සිදුවන්නාක් මෙන් මම මාතෘකාවෙන් පිට පනිනවා නොවනුමානය. දැන් අපි ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදුවුනා දැයි පරික්ෂා කර බලමු. ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධව ප්‍රධාන වශයෙන් වගන්ති තුනක් තිබේ. ඒවා 33, 62 සහ 70 වෙති.

33 හි සඳහන් වන්නේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවන් හෝ වෙනත් නීතියක් මගින් ලබා දී ඇති බලතල වලට අමතරව -
(c) පාර්ලිමේන්තුව රැස්කිරීමට, වාර හමාර කිරීමට සහ විසුරුවා හැරීමට බලය තිබෙන බවයි.
62 වගන්තියෙන් කියවෙන්නේ පාර්ලිමේන්තුව ඊට පෙර විසිරනු නොලැබුවේ නම් අවුරුදු පහක් දක්වා හා පහක් පමණක් බලයේ සිටිය යුතු බවයි.
70 වෙනි වගන්තියෙන් කියවෙන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 2/3 ගේ ඉල්ලීමකින් ඉල්ලා සිටියේ නැත්නම් පත්වී වසර හතර හමාරක් ගතවන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුතු බවයි.

මෙහි 70 අනුව  ජනාධිපති (අනුව පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර විසුරුවා හැරීමට ජනාතිපතිවරයාට හැකියාව තිබෙන්නේ,
පාර්ලිමේන්තු සාමාජිකයින් 2/3 ඉල්ලා සිටි විට හෝ පාර්ලිමේන්තුවේ අවසාන කාලයේ අවසාන මාස හයේ පමණි.  
 ව්‍යවස්ථාවකින් කෙරෙන තවත් වැදගත් කටයුත්තක් වන්නේ රාජ්‍ය පාලනයේ ප්‍රධාන කොටස් තුන වන  විධායක බලය ( ජනාධිපති ) , ( පාර්ලිමේන්තුව ) සහ අධිකරණ සමතුලිතව තබාගැනීමයි. එසේ නොමැති වුවහොත් එක් සංඝටකයකට අසීමිත බලතල ලැබීමෙන් වැරදි පුද්ගලයෙකු අතට පත්වීමෙන්  එම සංඝටකයකට  ඒකාධිපති ආකාරයකට ක්‍රියාකරන්නට හැකියාව ලැබෙනු ඇති බව ඇමෙරිකානු ව්‍යවස්ථා නිර්මාණය කල පුරෝගාමීන් අදහස් කළහ.

 මෙම වගන්තිනට අනුව එක වගන්තියකින්; 33, පාර්ලිමේන්තුව විසිරවීමට අයිතියක් තිබෙන බව පෙනේ. එම වගන්තිය ව්‍යවස්ථාවට ඇතුළු කර ඇත්තේ ඔහුට අයත් කාර්යයන් පැහැදිලි කිරීමට බව පෙනේ. 62 න් කෙරෙන්නේ පාර්ලිමේන්තුවේ බලය සිමා කිරීමයි. ඔවුනට අවශ්‍ය වුවත් කොතරම් ඒ සඳහා නීති සම්මත කරගත්තත් අවුරුදු 5 කට වඩා බලයේ සිටින්නට හැකියාවක් නොමැති බව පෙන්වා දීමටය.

70 වන වගන්තියෙන් කර ඇත්තේ සංඝටක ත්‍රිත්වයේ ජනාධිපති ගේ බලයෙ  අන්තොමතිකව බාවය යම් අයුරකින් පාලනය කිරීමයි. ඔහුට ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරිම හෝ වාර අවසානය කළහැකි නම් විධායක සංඝටකයෙ බලය අනවශ්‍ය ලෙස ඉහල යයි. පාර්ලිමේන්තුවෙහි බලය අතිශය හීන වෙයි. එවිට මෙවැනි ත්‍රිත්ව සංඝටක ඇති ප්‍රජාතන්ත්‍ර රජයක අත්‍යාවශ්‍යම බලතුලනය නැතිවී ඒකාධිපති පාලනය කට පාර කැපෙයි.

විශේෂයෙන්ම 2015 මැතිවරණයේදී මෙම බලයට පැමිණි යහපාලන කණ්ඩායමේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වුයේ ජනාධිපතිවරයාගේ අන්තොමතික බලතල අඩුකිරිමය. මෙයින් සිදුවී ඇත්තේ එම අභිලාශය බව කීමේ අවශ්‍යතාවයක් නොමැත.

මෙම කරුණු පරික්ෂා කරන විට පෙනෙන්නේ 70 වගන්තියට මේ අවස්ථාවේ ප්‍රමුඛත්වය දිය යුතු බවය. ඒ ලිඛිත නීතියේ යම් පැටලුමක් තිබෙන විට මෙම නිතිය ලියනවිට එම නීති සම්පාදකයන් හේ අරමුණ කුමක් වුයේ දැයි සොයාබැලිය යුතු නිසාය. අරමුණ වුයේ බල සමතුලනයයි. එහිදී පාර්ලිමේන්තුවට ඇති අයිතීන් තහවුරු කිරීමට නම් හිතු මතයට එය විසුරුවා හැරීමට හෝ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයාට බලයක් තිබිය නොහැක. එවිට ඔහු පාර්ලිමේන්තුවට කැමති නැත්නම් මාස හයෙන් හයට විසුරුවා හරින්නට පුළුවන. ඔහු කැමති පාර්ලිමේන්තුවක් එනතුරු එසේ කල හැක. එසේ  වුවහොත්  ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෝලමක් බවට පත්වනු ඇත.


නීතියට; මෙතැනදී ජනාධිපතිට ලියවුනු ස්වභාවයක් අමතරව යම් පණක්; spirit එකක් තිබේ. නිතිය අර්ථකථනය කරද්දී අර්ථකථනය කරන්නන් එම කරුණද සැලකිල්ලට ගත යුතුය. ඒ මුලින්ම මෙම නිතිය සැදුවේ කුමන හේතුවක් අරභයා ද යන්න සලකා බැලීමයි.       


Friday, November 9, 2018

අපේ ජාතියේ අනාගතය




මම මෙවර මහා කන්නයේ අපේ කුඹුරු වලින් බාගයක් පමණ ඒ කියන්නේ අක්කර දෙකක් පමණ වී ගොවිතැන් කරන්නට තීරණය කලෙමි. ගියවරද එසේ කරන්නට සිතුවද මගේ බිරිඳගේ විරුද්ධතාවයන් නිසා එය කරගැනීමට නොහැකි විය. 

ඇය විරුද්ධ වුයේ ඇය මට වඩා ප්‍රයෝගිකව සිතන නිසාය. කුඹුරු වැඩ කිරීමෙන් ඇති ලාබයක් නොමැති බවත් අස්වැන්න ලැබූනු පසු ගෙදර ආහාර සඳහා සහල් මිලදී ගැනීමට ඇති චොයිස් එකත් නැතිවී යන බව ඈ දනියි. මගේ මව ඇයට ගුරුවරියක ලෙස සේවයෙන් රජයෙන් ලැබුණු මුළු විශ්‍රාම වැටුපම වාගේ වැය කලේ කුඹුරු වැඩකිරීමට බවත් එහෙත් එයට ගැලපෙන ආදායමක් එයින් නොලැබුණු බවත් ඇය ගේ මෙම විරුද්ධත්වයට තව දුරටත් බලපාන්නට ඇත.

මෙවර කෙසේ හෝ බිරිඳද අමාරුවෙන් කැමති කරවා ගෙන මගේ රියදුරු සමග එකඟතාවයකට පැමිණියෙමි. ඒ කුඹුරු වැඩකිරීමට මුළු වියදම මා දරණ බවත් ඉතිරි ශ්‍රමයෙන් කරන වැඩ අප දෙදෙනා විසින් කරනු ලබන බවටත් අස්වැන්නෙන් 1/4 ක් මා විසින් ඔහුට ලබාදෙන බවටත්ය. 

මම මම පසුගිය කල අසා තිබුණු වී ගොවිතැන පිළිබඳව අළුත් තාක්ෂණය යොදා මෙම කන්නයේ අළුත් වැඩක් කරන්නට ඉටාගෙන වැඩට බැස්සෙමි. මුලින්ම මම යොදාගන්නට අදහස් කලේ ජපානයේ හැත්තෑ ගණන් වල බොහෝ ප්‍රසිද්ධියට පත්ව සිටි  ජපාන දාර්ශනිකයකු සහ ගොවියෙකු වූ  මසනොබු ෆුකුඔකා (1913-2008) ගේ වී වගා කිරීමේ ක්‍රමයයි. ඔහුගේ ක්‍රමයට අප කුඹුරට වී වගාව සඳහා සී සෑම වැනි කිසිම කරදරයක් කලයුතු නොවේ. ඉපනැලි සහිත කුඹුරේ වතුර බැඳ වල් සහ ඉපනැලි කුනුවෙන්නට ඇර ඒ මතට බිජ වී ඉසීම ඒ ක්‍රමයයි.
මම මුලින්ම ඒ සඳහා වැස්ස පටන් ගන්නා විටම නියර යන්තම් පිළිසකර කර වතුර බැන්දෙමි. නමුත් දින කිහිපයක් වනවිට; මෙම කුඹුරු බොහෝ කඩක් වැඩ නොකර තිබු නිසා වන්නට පුළුවන, තිබු ලොකු වල් දිරා යන බවක් පෙනෙන්නට ලැබුනේ නැත. නමුත් ඒ වැඩය අපේ වර්ෂාපතන රටාව අනුව කරගන්නට හැකියාවක් නැති බවත් මට පෙනුනි. 




වල් කුණු වෙනකන් සති දෙක තුනක් බලා සිටින විට මහා කන්නයේ මාස දෙකක් පමණ වන මෝසම් වැස්ස වී ගස හැදෙන්නට පෙර අවසන් වී අපි අමාරුවක වැටෙන්නට ඉඩ තිබෙන බව මට වැටහින. බොහෝ සිංහල කාන්තාවන් මෙන් ප්‍රවේනිගත දේ වලින් වෙනස් වීමට නොකැමැති මගේ බිරිඳද මට ඒ දින කිහිපය තුල තදබල පීඩනයකට ලක් කලාය. මගේ හවුල්කරුද මෙම අළුත් ක්‍රමයට නොකැමැත්ත මුහුණින් පෙන්වා සිටියේය.

පසුව වතුර කපාහැර වල් කපන මැෂිමකින් කුඹුරුවල වල් සියල්ල පිට්ටනියක් ලෙස වන තෙක් කපා දැම්මෙමු. 

ඉන්පසු කුඹුරු යාය වටා යන ලුනුමඩ ඇල ඉහල ස්ථානයකින් හරස් කර ඇල කණ්ඩියේ බටයක් දමා කුඹුරට වතුර හරවා දවස් කිහිපයකට පසු අත් ට්‍රැක්ටරයක් අයිතිකරුවෙකුට කියා කුඹුර සී සා ගත්තෙමු. පළමුවෙනි දවසට ට්‍රැක්ටරයට රුපියල් 1000 කුත් සී සෑ ගෝටාභයට රුපියල් 2000 කුත් දුන්නෙමු. මෙදින සී සෑම ඉගෙනගත් අපේ හවුල්කරු දෙවන සහ තුන්වන දිනවල සී සෑ නිසා වියදම තරමක් අඩුවිය. දවස් හතරේ ඩිසල් සඳහා තවත් රුපියල් 1500 ක් වැය විය.

දැන් වතුර බැඳ ටික දවසක් ගිය පසු ට්‍රැක්ටර් අයිතිකරු සමග කතා කරන විට මට වටිනා තොරතුරක් දැන ගන්නට ලැබිණ. ඒ දැන් අතීතයේ මෙන් කුඹුරු දෙහිය ඇඹුල සහ ඇද්දුම යනුවෙන් තෙවරක් සී සාන්නේ නැති බවත් පලමුවරින් පසු ටිලර් කල පසු වී ඉහින්නට පුළුවන් බවයි.

හාන එක ගැන කතා කරන විට එකල මගේ ලොකු ඇත්තා: මගේ අත්තම්මාගේ මල්ලි, හොඳාකාරයෙන් සී සෑම නොකළ කෙනෙකුට" ඌ හොඳ හාන්ට නෙවෙයි, හාල රිපන්ට" යනුවෙන් කියන්නට පුරුදුව සිටි බව මගෙ සිහියට ආවේය.

 මේ අතර  මම CIC එකෙන් බිත්තර වී යාමට නුවරට යාමට සිටි දවසට පෙර දින මගේ මිතුරෙකු හමුවීමට ගුන්නෑපානට ගියවිට ඔහු ගෙන් ලැබුණු ආරංචියක් නිසා ඒ අසල කෘෂි සේවා මධ්‍යස්ථානයට ගියෙමි. බිත්තර වී ඔවුන් විසින් විකුනන බවත් බුසලක් රුපියල් 2000 ක් බවත් දැනගන්නට ලැබිණ.

විස්තරය දිග වැඩි නිසා තව කොටසකින් අවසන් කරමි.








Thursday, November 8, 2018

රැකියා සෙවීම




අද උදේ පාන්දර මාළු ගන්නට මෝටර් බයිසිකලයේ යන මාලුකාරයා කෑ ගසා නවතා ගේට්ටුව ලඟට ගියෙමි. බොහෝ දිනවල මෙසේ ඔහු නවතා ගැනීමට උත්සාහ කලද ඔහු හෙල්මට් එකකුත් දා ගෙන වේගයෙන් යන නිසා නවතා ගැනීමට නොහැකි වන නිසා අද මාළු කාරයා නවතා ගැනීමට හැකිවීම සුළු ජයග්‍රහණයක් ලෙස සැලකිය හැක.
රෝවර් මා සමග පහලට එන්නේ නැතිව ඔහු ගේ පහලට පැමිණීමට විරුද්ධත්වයක් ඇත්තේ දැයි විමසමින් මා දෙස බලා සිටියේය. මම ඔහුට මමත් සමග පැමිණිය හැකි යැයි සංඥාවක් කරමින් ගේට්ටුව දෙසට ගියෙමි. මා ගේට්ටුව ඇර එය වසා මාලුකාරයා ලඟට යන තෙක් බලාසිටි රෝවර් මා පෙනෙන ස්ථානයකට වී ඉඳගෙන අපගේ ගනුදෙනුව දෙස බලා සිටියේය.
මාළු වර්ග කිහිපයක්ම තිබුණි. මම සුදු මාළු කෑමට කැමැත්තක් දක්වන නිසාත් සුදු මාළු ශරීර සෞක්‍යයට හොඳ යැයි කියවා ඇති නිසාත් රුපිය 440 කට පරවා 500 ක් සහ රුපියල් 220 කට ලුන්නා 500 ක් මිලදී ගන්නට තීරණය කර මගේ තීරණය ඔහුට දැන්වුවෙමි.
මාළු කපා සුද්ද කරද්දී රෝවර්ට තවත් මිතුරෙකු එකතු වී සිටිනවා දුටිමි. ඒ මාළු වලට ඔහුට වඩා ප්‍රියකරන අපේ වෙන්ඩි පුසාය. දෙදෙනාම ගේට්ටුවේ තමන්ට හැකි උසක ඇති කවුළු වලින් මාළු කපන දෙස බලාසිටියහ.
පුසා ට ඕනෑ තරම් රිංගා ඒමට ඉඩ තිබුනද එසේ නොපැමිණීම ගැන මට පුදුම සිතින. උ දුටුවිට මට මාළුන්ගේ සුද්ද කර ඉවත් කරන කොටස් මල්ලක දමා දෙන ලෙස ඉල්ලා සිටීමට මතක් වුනි. මාළු කපමින් සිටිනවිට තවත් මාළු වෑන් එකක් ලාබෙට මුහුදු මාළු කියමින් යනවා ඇසී
“තරඟයක් තියෙනවා නේද” මම ඇසීමි.
“ඒක තමයි මමත් බැලුවේ” කියූ මාලුකරු නැගිට ඒ වැන් එක දෙස බලා නැවත පාත්වී මාළු කපන්නට පටන් ගත්තේය.
“කීයටද උදේට මාකට් එකට මාළු ගෙන්න යන්නේ?” මම ඇසුවෙමි.
“උදේ පාන්දර 3 ට මෙහෙන් යනවා”
“බයිසිකලේමද?”
“ ඔව්, තුන හමාරට වත් මාකට් එකේ ඉන්න ඕනෑ”
“ඔතෙන්ට ඔය වෙලාවට මාළු කාරයෝ කී දෙනෙක් විතර එනවද?” මට කුතුහලය සංසිදවා ගන්නට අවශ්‍ය විය.
“ගොඩක් එනවා”
“කීයක් විතරද? 100 ක් විතර?”
“අපෝ ඊට වැඩියි”
“200 ක් විතර?”
“ඊට හුඟක් වැඩියි”
“500 ක් විතර?”
“මයේ හිතේ 1000 කටත් වැඩියි,”
කොතරම් විශාල බෙදාහැරීමේ ජාලයක්ද? මෙය වැරදිලාවත් රජයෙන් කරන්නේ නම් අපට මාළු වලට ගෙවනවාට අමතරව කොපමණ අමතර මුදලක් ගෙවන්නට සිදුවිය හැකි දැයි මම කල්පනා කලෙමි. ලංගමට දුම්රියට ටිකටුත් මිලදීගෙන ඊට අමතරව ජනතාව බිලියන ගණනක් අමතරව බදු සල්ලි වලින් ගෙවන ආකාරය බලනවිට මෙවැනි බෙදාහැරීමක් රජයෙන් කලේ නම් අපට කොතරම් පාඩුවක් විඳින්නට වේ දැයි සිතා ගන්නටත් බැරිය.
“ඒ වුනාට මේ රස්සාවත් දැන් අමාරුවෙන් කරන්නේ, හැම තැනම, පොඩි කඩවල පවා මාළු විකුනනවා” ඔහු කීවේය.
“ඇත්ත, අපිත් ෆුඩ් සිටියට ගියොත් ඒකෙන් ගන්නවා” මම කීවෙමි.
“මම මේක කරන්නේ ළමයෙක් රස්සාවකට යනකන් විතරයි” ඔහු තරමක කනස්සල්ලෙන් කිවේය.
“ළමයි ලොකුද?” මම ඇසුවෙමි.
“ලොකු පුතාට වයස 21 යි, හොඳට ඉංග්‍රීසිත් පුළුවන්,” ඔහුගේ දෑස් ආලෝකමත් විය.
“එහෙම නම් හෝටලයක රස්සාවක් හොයාගන්න පුළුවන්” මම කීවෙමි.  ඔහු එතරම් උනන්දුවක් දැක්වුයේ නැත. “ඒවා තමයි අනාගතේට දියුණු වෙන්න පුළුවන් රස්සාවල් “මට TV එකේ පබිලිස්ගේ වෙළඳ දැන්වීමද සිහියට නැඟින.
“හෝටලයක කිව්වේ සුද්දෝ එන එකකද? සාමාන්‍ය හෝටලයක රැකියාවක් යෝජනා කලේදැයි ඔහු සැක කරන්නට ඇත.
“ඔව් මගේ යාලුවෙකුගේ එකකට, යන්න උදව් කරන්න පුලුවන්, පොඩි රැකියාවකින් පටන්ගෙන ඉහලටම යන්න පුළුවන්” මම ධෛර්යමත් කලෙමි. රූම් බෝයි කෙනෙකු ගෙන් පටන්ගෙන ලොකු සංචාරක හෝටලයක කළමනාකරුවෙකු වූ මගේ මිතුරෙකු මතක් විය.
“එහෙනම් මම පුතා හෙට මෙහෙට එවන්නම්, හමුදාවට පොලීසියට යන්න නම් කැමැත්තක් නැහැ” එක කිව්වේ මට නෝන්ඩිය ටද දන්නේ නැත.
“හොඳයි, උදේ වරුවට එවන්න, බල්ලා කුඩුවේ ඉන්න වෙලාවට” කියූ මම මාළු මලු තුනත් රැගෙන ගෙදර ගියෙමි.
“ඔව් ඇත්ත තමයි ඔය බල්ලා එක පාරක් ඔය පුතාම  බිම දාගෙන හපලා තියෙනවා.”

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...