Sunday, December 2, 2018

1 - ටොම් සෝයර් සහ මැල්සිරිපුර කුරුඳු වැවීම - 1





මම මේ දිනවල මැල්සිරිපුර කටුවලන්ද ප්‍රදේශයේ පිහිටි ඉඩමක කුරුඳු වගා කරමින් සිටිමි. මුලින් එතරම් අපහසු කාර්යයක් නොවේ යැයි සිතා පටන් ගත්තද පැල කිරීමේ අදියරට එනවිට එය සිතූ තරම් පහසුවෙන් කරගත නොහැකි බව පෙනුනි. ඒ පහත කාරනා ත්‍රිත්වය නිසාය.

හෙක්ටර් යාරයකට පැලකල යුතු අධික පැල ප්‍රමාණය; පැල 7200 ක් පමණ, සහ ඒ සඳහා 1x1x1 වලවල් එම ප්‍රමාණයකම අඩි 4 x 3 දුරින් කැපීම.

පැල මුල් අල්ලා ගන්නා තුරු වර්ෂාව නොලැබුනොත් ජලය ලබාදීමේ අවශ්‍යතාවය.

මේ සියලු දෑ සඳහා අවශ්‍ය කම්කරුවන්ගේ හිඟය.

වලවල් කපාගැනීමේ ප්‍රශ්නය නම් කම්කරුවන් වෙනුවට බැකෝ යන්ත්‍රයක් යෙදීමෙන් මඟහැර ගත්තෙමු. පැයකට රුපියල් 1500 ගනනේ පොරොන්දු වී වැඩය පටන් ගත්තෙමු. මුල් දවසේ පැය හයක් වැඩකර හාරා තිබුනේ වලවල් 600 ක් පමණි. මෙය වලකට රුපියල් 15 පමණ වැය වීමකි. පසුව ක්‍රියාකරු සමග සාකච්ඡා කර වලවල් වෙනුවට අඩි 4 ක පරතරයකින් අඩියක් පමණ ගැඹුරට කානු ගැසීමට තීරණය කර ගත්තෙමු. එයින් පැයකට වලවල් වේගය 120 කට පමණ වැඩිකර ගන්නට හැකියාවක් ලැබුණි.

කානුවල දැන් අඩි 3 ක පරතරයකින් පැල සිටුවීමට අවශ්‍යය. අපට පැල ලබාගැනීමට තිබුනේ රිදීගම අසල රජයේ පැල තවානකිනි. පෙර වර්ෂයේ මෙම සහනාධාරය සඳහා ලියාපදිංචි වී සිටි නිසා අපට අප මිලදීගත් පැළවලින් 50% ක ප්‍රමාණයක් නොමිලේ ලැබුණි.

අපට මෙම කාර්යයේ බරපතල කම වැටහුනේ පැල ගෙනවිත් බා ගත්විටය. පැල ප්‍රමාණය බිම අඩි 15 x 15 පමණ ප්‍රමාණයක් පුරා විසිරි තිබුණි. වවන තැනට මෙතන සිට පැල රැගෙන යා යුත්තේ අතිනි. එතැනදී කාණුවල වලවල් කපා පැල වල මලු ප්‍රවේශමෙන් ගලවා පැලකල යුතුය. පැල 7200 ක් පමණ මෙලෙස පළකිරීම, විශේෂයෙන්ම පවතින කම්කරු හිඟයත් මත ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

අපි තිදෙනෙකු මෙය කිරීම සඳහා අත්දැකීම් ලබාගෙන ඒ සඳහා යම් සැලසුමක් ඇතිකර ගැනීම සඳහා පසු දිනෙක පැළ කිරීම පටන් ගත්තෙමු. පැයකට අප; නුපුහුණු කම්කරුවන් තිදෙනෙකුට, මා, මගේ බිරිඳ සහ මගේ රියදුරු පැලකිරීමට හැකි වුයේ පැල 60 ක් පමණි. ඊළඟ පැයේ එය 40 ට පමණ බැස්සේය. තවත් වෙලාව ගතවනවිට මෙම වේගය තවත් අඩුවී පැල 15 ක පමණ රිද්මයකින් නතර විය හැකි බව මට පෙනුනි. මැල්සිරිපුර අධික උෂ්ණත්වයද අප වේගය මහත්සේ අඩාල කරන බව පෙනුනි. මෙවැනි වේගයකින් පැළකරන්නට ගියොත් වැහි කාලයට පෙර පැලකරගන්නට අපහසු වනවා පමණක් නොව මේ කම්කරු පිරිවැය ද ඉතා ඉහල මට්ටමකට යන බව මට පෙනුනි.

මේ විටම කුඩා ළමුන් කණ්ඩායමක්: 6 දෙනෙකු එහා වත්තෙන් එලියට පැමිණ අප වත්ත හරහා පාර අසල ඇති කඩයක් වෙතට දුවනවා මම දුටුවෙමි. ඔවුන් ඉතා සතුටෙන් එසේම කඩිසර ලෙස කඩය පැත්තට දුවන දෙස බලාසිටි මට අප කුඩාකල කියවූ Adventures of Tom Sawyer පොතේ ටොම් තම මිතුරන් ලවා ඔහුගේ වැට පින්තාරු කරගත් අන්දම සිහිවිය. මම අවසානයේ දුවපු ළමයා කතාවට අල්වාගෙන මෙම පැල සිටුවීමට ඔවුන් සහභාගී කරගැනීමට උත්සාහ කලෙමි.


අපට මෙම පැල සිටුවීමට උදව් කරන ලෙසද එසේ කරන්නේ නම්  වල අප කපාදෙන බවත් පැලයකට රුපියල් 5 බැගින් ගෙවන්නට අපි කැමති බවත් ඔහුට කියා සිටියෙමි. ඔහු එතරම් උනන්දුවක් නොදක්වා කඩය පැත්තට දුවගොස් ටික වෙලාවකට පසු ආපසු මිතුරන් සමග යනවිට කණ්ඩායමේ අවසානයෙ සිටි ගැහැණු ළමයෙකුට මම නැවත වරක් යෝජනාව ඉදිරිපත් කලෙමි. ඇය එයට කැමති වී අනෙක් මිතුරන් සමග පැමිණ වැඩට බැස්සාය. මම ඔවුනට හදන විදිහ පැහැදිලි කර අවසානයේ ඔවුන් කඩියන් සේ වැඩට බැස්සහ. පැයක් පමණ ඔවුන් වැඩකළ වේගය දුටු මම මේ විදිහට ගියහොත් අපට අද දවසේ පැල 1000 ක් වත් පැල කරගන්නට හැකිවේ යැයි අනුමාන කලෙමි.

එහෙත් මුලදී අකමැති වූ ළමයා ඔවුනට එකතු වී ටික වෙලාවක් වැඩකර කණ්ඩායම තුල අවුල් ඇතිකර වේගය අඩාල කර කානු කපන බැකෝ එක අසලට වී එය වැඩකරන ආකාරය නරඹමින් සිටියේය.

ඉතිරිය හෙට





     

9 comments:

  1. වැඩේ හොදයි. අමාරුයි. ඒත් ළමයි අවුරුදු දා හතරට අඩු නං මුදල් දී සේවය ලබා ගැනීම අනුමත කරන්න බෑ. මම දන්නෑ ළමයි අවරුදු 14ට වැඩිද කියලා.

    මං කුරුදු වවන්න හිතා හිටි බලාපොරොත්තුවත් නිකම්ම වාස්ප වෙලා ගියා මේක දැක්කම

    ReplyDelete
  2. හොඳ වැඩකට අතගහලා තියෙන්නේ...මම නම් පැල වලට වලවල් හාරන අත් යන්ත්‍රයක් කුලියට ගත්තා. මාතර ඩීන්ස් එකේ විකුනන්න තියෙනව. කුලිය දවසට රුපියල් 500/- යි. දවසකට වලවල් 1500-1750 ප්‍රමානයක් කපන්න සහ හිටවන්න පුලුවන්. ඒ වලට පොල් ලෙල්ලක් දෙකක් දාන්න තෙතමනය රැඳෙන්න. අවුරුදු තුනක් විතර හොඳට පැල බලාගන්න, වැල් යන්න දෙන්නේ නැතුව.දැන් කුරුඳු කිලෝ එකක් 2100/- යි...👍
    ජය වේවා...👍

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...