Monday, September 4, 2017

ස්කිනර් සහ කිරිබණ්ඩා -8



from http://lakshmanillangakoon.blogspot.com/2017/08/7.html



ආරච්චිල නින්දෙන් ඇහැරුනත් ඇඳෙන් නොනැගිට ටික වෙලාවක් ඇඳෙන් නොනැගිටම කල්පනා කළේය. මෙලෙස ඇඳට වී දවසේ කරන්නට තිබෙන වැඩ එහෙමත් නැත්නම් මේ දිනවල විසඳා ගැනීමට ඇති ප්‍රධාන ප්‍රශ්න ගැන කල්පනා කර ඒවා විසඳා ගැනීමට කුමක් කලයුතු දැයි සිතීම ඔහුගේ පුරුද්දකි. කුඩා කල සිට එන මේ පුරුද්ද තමන්ට බොහෝ විට ලොකු ප්‍රයෝජනයක් ගෙන දුන් බව ඔහු නිතරම සිහි කළේය.

 අදද එලෙස යම් විශේෂ යමක්  කරන්නට තිබෙන බව ඔහුගේ සිත ඇතුලේ කැකෑරෙයි. එහෙත් ඒ කුමක්දැයි එක්වරම සිහියට එන්නේ නැත. ජුනි මාසයේ අග කච්චේරියට බාර දීමට තිබූ කාර්තු අග ලිකියවිලි සියල්ල බාර දී ඇත්තේය. කිසිදු ඉහල නිලධාරියෙකු තම ප්‍රදේශයේ සංචාරයකට ලඟකදී  පැමිණෙන බවක් හෝ දන්වා නැත.  

මෙකල අවට පරිසරය උණුසුම් නිසා කාමරයේ තිබූ එකම ජනේලය ඇර තිබුණි. ශීතල කාලයට නිදාගැනීමට පෙර මෙය වසා තැබීම ඔහුගේ අක්කාගේ පුරුද්දක් විය. කුරුල්ලන් කිහිප දෙනෙකුම ලී ජනේලය අසලින්ම එළියේ තිබූ රට අඹ ගසේ අතුවල සිට කෑ ගැසුවත් ඔහුට එය එතරම්  ගණනකට ගියේ නැත. එක්වරම කොහෙක් කෑ ගසන හඬ මුලින් ඇසුණු කුරුළු හඬ අභිබවා ඇසෙන්නට පටන් ගත්තේය. ආරච්චිලට සිනා ගියේය. 

" අතරමං වෙච්ච කොහෙක් , ඔක්කොම පටලවගෙන වාගේ" අලුත් අවුරුද්ද කාලයට කෑ ගසන කොහෙක් ගේ හඬ ඇසීම ගැන ඔහු සිතුවේය.
"නැත්තං මේ අගෝස්තු ...."

ඔහු ඇඳෙන් බැස්සා නොව පැන්නා කිව්වොත් නිවැරදිය. කුඩා මේසය හා ඇඳ හැර කාමරයේ තිබූ අනික් එකම ලී බඩුව වූ අල්මාරිය ඇර සරුවාලයක් සහ කාකි කමිසයක් ඇඳ ගත්තේය. හම් ඉනපටියේ ගාන්චුව දමාගෙන එහි පසුපසින් වක් පිහිය ගසා ගත්තේය. මෆ්ලරය කරේ දමාගෙන කුඩා නිල්පාට තුවායකින් ඔලුව වටා සුම්බරයක් බැඳ ගන්නා විටම සහෝදරිය පැමිණ දොර රෙද්ද මෑත් කලාය.

" ආන් නයිදෙත් ඇවිල්ල ඉන්නව, අපි බලාගෙන උන්නෙ නොයා ඉන්ටවත් තීන්දු කොරාද කියල"

ආරච්චිල සිනාසී ඉතිරි ඉඩ ටිකෙන්  කාමරයෙන් එලියට පැමිණියේය. දිග්ගේ  දොර රෙද්ද මෑත් කර කෑම මේසය දෙස බැලුවේය. 
" නයිදේ වරෙන් , තලප ටිකක් කාලම යමු" කිවූ ඔහු කිතුල් පිටි තලප පිඟානට  දමා ගෙන පැණි රසට හදා තිබූ පොල්කිරි හොද්දෙන් ටිකක්‌  වක්කරගෙන එයින් තලප පිඟානට වැටුණු ගම්මිරිස් ඇට දෙකක් අහුලා අයින් කළේය.

"වරෙන් තව ටිකක් බෙදා ගමු" , ඔහු කන අතරම දිග බංකුවේ වාඩිවී තලප කමින් සිටි නයිදේට කිවේය.

" හොඳයි, ඒක නෙවෙයි නිලමේ. හීන් මැණිකෙලා දෙන්නත් යන්ට ඕනැ කියනව , එක්ක ගියොත් හොඳයිද ?"

"නෑ ,ඕනැන්නේ නෑ, එතන ආයෙ බලන්ට පෙරහැරක් තියෙනව යැයි" කියූ ආරච්ච්ල ඔහුගේ කළුවර සැරයටියත් රැගෙන නිවසින් පිටව කළුගල් පඩි පෙලෙන් පහලට බැස්සේය. 

ඔවුන් කන්ද පාමුලට ලඟා වනවිට දුටු දෙයින් දෙයින් දෙදෙනාම පුදුමයට පත්විය.

" මොකක්ද බං අර සුදු පාටට වනාතෙ කෙලවරේ පෙනෙන්නෙ ?" ආරච්චිල නැවතී නයිදේ දෙස බැලුවේය.

නැවත ගමන් ඇරඹු ඔවුහු අවට එලි පෙහෙළි කර කාකි පැහැති කැන්වස් රෙද්දෙන් ඉදිකර තිබූ කුඩාරම් දෙකක් අසලට පැමිණියහ. එතන සිටි මැලේ සාජන් ආරච්චි දැක ඔහු අසලට පැමිණියේය.

" ලොකු ආරච්චිල ,කොහොමද වාස දේස?" ඔහු ඇසුවේය. ඔහුගේ කතා විලාසයේ තරමක ඔලොක්කුවක සේයාවක් වැටි තිබුනේ දැයි නයිදේ කල්පනා කළේය. 

" මොකටද සාජන් උන්නැහ මේ කුඩාරම් " ආරච්චිල ඇසුවේය. " අපිට කිව්වනම් අපි මඩුවක් පිළියෙළ කොරනවනේ" ඔහු එකතු කළේය.

" අපේ ස්කිනර් තුවාන් තමයි මෙහෙම හදන්ට කිව්වෙ, හදිස්සියෙන්ම ඊයේ රෑ , නුවර රෙසිඩන්සි තව මහත්තුරු කට්ටියක් එක්ක මෙහෙ එනව කියල" යනුවෙන් ඔහු පවසන විටම වාගේ අසුන් පිට නැගුනු සුදු නිලධාරින් හතර  දෙනෙකු දෙවට දිගේ එනු පෙනින.

ඊළඟ 
http://lakshmanillangakoon.blogspot.com/2017/09/9.html

3 comments:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...