Thursday, September 7, 2017

ස්කිනර් සහ කිරිබණ්ඩා - 9



http://lakshmanillangakoon.blogspot.com/2017/09/8.html  න් පසු කොටස

හතර  දෙනාගෙන් මුලින්ම අසු පිටින් බැස්සේ ස්කිනර්ය. ඔහු ඉතිරි තිදෙනාගෙන්, රැවුලක් මුහුනපුරා වවාගෙන සිටි පළල සහ දිග නළලක් සහිතව ස්ථිර සිනහවකින් මුව සරසාගෙන සිටි අසරුවා වෙත් ගොස් ඔහුට පහලට බැසීමට උදව් කරන ලෙසකින් අසල සිටියමුත් ඔහු එය ගණනකටවත් නොගෙන අසුපිටින් එක් ගලායන පිම්මකින්ම බිමට බැස්සේය, ස්කිනර් ද පෙරටුකරගෙන ආරච්චිල වෙතට පැමිණියේය.

" මේ අපේ ගිලිමලේ ආරච්චිල වෙන්ට ඇති මගේ හිතේ" ආරච්චිල අත්  දෙක එකතු කර එම නිලධාරියාට ආචාර කළේය. 

"එහෙමයි, මටත් ආරංචි වුනා තමුන්නාන්සේ බදුල්ලට ඇවිල්ල ඉන්නව කියල , ඒ වුනාට මං හාන්කාවිසියක් වත් හිතුවේ නැහැ තමුන්නැහේ අද මෙතෙන්ට එයි කියල " ආරච්චිල රෙසිඩන්ට් වරයාට අඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් එතැන සිටි ස්කිනර් පුදුමයෙන් රෙසිඩන්ට් වරයා දෙස බලා සිටියේය.

"මම දැනගෙන හිටියේ නැහැ , ඔබතුමා ආරච්චිල දන්නවා කියල"ස්කිනර් පිළිතුරක් බලාපොරොත්තුවෙන් රෙසිඩන්ට් දෙස බැලුවේය.

" ඇයි ස්කිනර්ට ආරච්චි කිව්වෙ නැද්ද ? මට ආරච්චිල ඉස්සරලාම මුණගැහුනෙ ලන්ඩන් ඔල හොම් ඔෆිස් එකේදී" කියූ ඔහු ආරච්චිලට පමණක් පෙනෙන්නට වම ඇහැ කුඩා කළේය. ටික වෙලාවක් ස්කිනර් හා බදුල්ලේ නිලධාරින් දෙදෙනා අවිනිශ්චිතව තබා " මම විහිලුවටයි කිව්වෙ, ආරච්චිල මට පරණ රටේ මහත්තයත් එක්ක කිහිප වතාවක් හම්බුවෙලා තියෙනව, මම බොහොම කැමතියි, ආරච්චිලගෙ කැලෑව ගැනයි ගම ගැනයි පරණ කතා අහන්ට, අපි ඒ කාලේ හුඟාක් රෑ වෙනකන් ඕව ගැන කතා කරනව" සියලු දෙනාට ඔහු පැහැදිලි කළේය.

" මට මේ කතාව අපේ රත්නපුරේ ඒජන්ට් කිව්වහම පුදුම හිතුන, ආරච්චිල ඔය වයසට මේ වගේ තරඟයකට කැමති වුන ඒක ගැන , හැබැයි මට දැන් ආරච්චිල දැක්කහම හිතෙනවා අපේ ස්කිනර්ට මේක හිතන තරම් ලේසි නෑ කියල" ඔහු සිනහවුනේය.

ඉතිරි නිලධාරින් කුඩාරමේ පනවා තිබූ පුටු වල ඉඳගත් පසු තරඟය ආරම්ඹ  විය. ඔවුන් කිසි උදව්කරුවකු නොමැතිව කඳු මුඳුනට නැඟ ඒ මත සිටින මැලේ සාජන් වරයා මුණගැසී ආපසු කන්ද බැස කුඩාරම වෙතට පැමිණිය යුතු විය.

දෙදෙනාම එතරම් වේගයකින් ගමන් ඇරඹුවේ නැත්තේ කිලෝ මීටර 8.5ක් අඩි 2 ට 1 බැගින්, 3ට 1  බැගින් සහ 4 ට එක  බැගින් නැග්ම  තැනින් තැන විසිරි ඇති මෙවැනි නැගීමකට තත්පරයක් දෙකක් එතරම් වටිනාකමක් නොමැති නිසාය.දෙදෙනාම නිශ්ශබ්දව නැගීමේ යෙදුනහ.
  ආඬියා මල තැන්න අම්බලමට එන තෙක් වචන දෙක තුනකට වඩා හුවමාරු වුයේ නැත. අම්බලම අසල කටු ඇඹිල්ල ගහක් දුටු ආරච්චිල ගසේ උස අතු කිහිපයක් නමා පිහියෙන් කපාගෙන තද රතු පැහැති ඉදුණු ගෙඩි පොකුරු කිහිපයක් කඩා ගෙන කොටසක් ස්කිනර් ට ලබා දුන්නේය.

" ඩිංගක් ඇඹුල වැඩි උනාට බොහොම හොඳ පළතුරක් උගුර වෙලේනවට " කියූ ස්කිනර් ගෙඩි පහ හයක්ම කට ඇතුලට දාගෙන හපන්නට පටන් ගත්තේ අම්බලමේ පිලේ ඉදගනිමිනි.

 ගෙඩි කිහිපයක් කටේ දමා ගත ආරච්චිල  " මං මහගිරත් නැගලාම හුස්මක් ගන්නවා" කියා නැග්මේ අපහසුම කොටස නගින්නට පටන් ගත්තේය.

" මේ කාලෙට අලිය මේ හරියේ අඩුයි ද ?" මේ අතර රෙසිඩන්ට් පොදුවේ ප්‍රශ්නයක් යොමුකළේ ඔහුගේ පයිප්පය බිමට හරවා එහි තිබූ පිළිස්සුනු දුම්කොළ බිමට හලමිනි.

" බොහොම අඩුයි, දැන් ඕනෑම කෙනෙකුට සිලිං  තිහකට තුවක්කුවක් ගන්ට පුළුවන්, සිලිං  දෙකකට වෙඩි බෙහත් අරගෙන දඩයමේ ගිහිල්ල අලි පස් දෙනෙක් බිම දාගෙන වලිග පහ කපාන ඇවිල්ල පෙන්නුවහම  එකකට සිලිං  හත ගානේ ආණ්ඩුවෙන් එකතු  කර ගත්තහැකි  , එක  දඩයමෙන්ම මුල් ආයෝජනය එහෙමපිටින්ම  ආපහු ලැබෙනව. අලියො කීප දෙනෙක් වත් ඉතිරිවෙලා ඉන්න ඒක තමා පුදුමෙ." එතැන සිටි වල් අලි වෙඩිතැබිමට සැමදා විරුද්ධ  වූ රත්නපුර ආණ්ඩුවේ ඒජන්ත පිළිතුරු දුන්නේය.




2 comments:

  1. මේක ටිකක් දිගට ලිවුවනම් මක් වෙනවැයි....

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...