Friday, September 8, 2017

ස්කිනර් සහ කිරිබණ්ඩා -10

ආරච්චිල ආපසු බැහැගෙන එද්දී  මහගිරි දඹය මඟදී, මීටර 200  ක් පමණ පහලින් ස්කිනර් උඩට නඟිද්දී මුන ගැසින. 

" නිලමෙ  මම හිතුවට වඩා වේගයෙන් නගිනවනේ, දැන් මට වැඩිය අඩි 500ක් විතර ඉස්සරහින් ඉන්නේ " ස්කිනර් කනගාටුවෙන් මෙන් හෙමින් කිවේය.

" ස්කිනර් උන්නැහේ, කන්ද බැහිල්ලේදී තමයි වයස බලපාන්නේ, තව ඩිංගක් යනකොට  මගේ දනිස් පොල්කටු බෑ කියනකොට ඔන් තමුන්ගේ වාරෙ " කියූ ඔහු සරුවාලයේ ඔඩොක්කුවෙන් තව කටු ඇඹිල්ල ගෙඩි අහුරක් ගෙන ස්කිනර්ට දුන්නේය. 

"ගල්වන්ගෙඩිය හරියේ මං දුටුව හොඳ මොර ගහක්, යන කොට ඒකෙන් ගෙඩි ටිකක් අහුලගෙන කෑවහම පිපාසෙ කොහෙන් ගියාද නැතිවෙයි" ආරච්චිල කියාගෙනම අඩි හයක් පමණ වූ සැරයටිය ගල් පඩියකට තබා තදකර පරික්ෂාකර පහලට  ගියේය. එහෙත් තත්වයේ එතරම් වෙනසක් වුයේ නැත. පසුපසින් වුවද ස්කිනර් ද ඔහුත් සමගම වාගේ පහලට බැස්සේය.

මහගිරි දඹේ අවසන් කර ස්කිනර් ආපසු අම්බලමේ පිලේ ඉඳගෙන තම කකුල්වල කුඩල්ලන් එල්ලී ඇත්දැයි පරීක්ෂා කළේය. පිලේ ටිකකට හාන්සි විය. ශබ්දයක් ඇසි ඔහු එක්වරම ගැස්සී නැවත පිලේ ඉඳ ගත්තේය. 

" මම මෙතෙන්ට එනකොට නිලමෙට නින්ද ගිහිල්ල" වම පැත්තේ පිලේ ඉඳගෙන සිටි ස්කිනර් සිනාසෙමින් කිවේය. " තව පොඩ්ඩෙන් මට හාවට වෙච්චි එක තමයි වෙන්නේ එහෙනං" කියූ නිලමේ නැගිට වම් කකුල ඉදිරියට දිග හැර පරීක්ෂා කළේය. 

"යන්ට වෙලාව හරි , යමුද එහෙනං පහලට" , ආරච්චිල ගමන් ආරම්බ  කළේය. 

" දැන් අපි දෙන්න මෙහෙම ගියොත් මේක රේස් එකක් වෙන්නේ නැහැ, මෙතන ඉඳල වේගෙන් ගිහිල්ල කවුරු හරි එක්කෙනෙක් අනෙකා පහුකරලා පාමුලට යන්ට ඕනෑ නිලමෙ" කියූ ස්කිනර් ද නැවත ගමනට වැටුනේය. ස්කිනර් වේගය වැඩි කරන්නට උත්සාහ කලද ආරච්චිලටද  පොල්ල බිමට තබමින් ඒ වේගයෙන්ම බසින්නට හැකිවිය. 

ගල්වන්ගෙඩිය හන්දියේදී මොර අහුලා ගැනීමට ආරච්චිල කුරුවිට අඩි පාර ඇතුලට ගිය විට, නැවතී බලාසිටි ස්කිනර් ට මෙය ඔහු පසුකරගෙන යාමට හොඳම අවස්ථාව යැයි සිතුනද ඔහු මොර අහුලන්නට ගියේ ඔවුන් දෙදෙනාම සඳහා නිසා එසේ කිරීම නුසුදුසු යයි ස්කිනර් කල්පනා කළේය.

මොර කමින් පහලට බසින ඔවුන් කඳු හතේ මුල්ම කඳු ශිකරයට පැමිණියහ. තව ඇත්තේ කිලෝ මීටර 4 ක් පමණි. 

" හරි එහෙනං, දැන් පටන්ගමු ස්කිනර් උන්නැහේ, ඕන් මං මගේ පුළුවන් තරන් වේගෙන් පල්ලම් බහිනවා" කියු කිරිබණ්ඩා ආරච්චිල ස්කිනර් පසුකර තම වේගය වැඩි කළේය. එහෙත් තත්වයේ එතරම් වෙනසක් වුයේ නැත. පසුපසින් වුවද ස්කිනර් ද ඔහුත් සමගම වාගේ පහලට බැස්සේය. ටික වෙලාවක් යන විට දෙදෙනා අතර පරතරය ටිකෙන් ටික වැඩි වන්නට පටන් ගත්තේය.

විනාඩි පහලවක් පමණ ගතවන විට පරතරය අඩි විස්සක් පමණ විය. පැය බාගයක් යනවිට වංගුවකදී ස්කිනර් ට ආරච්චිල නොපෙනෙන ගානට පරතරය වැඩි විය. තව ඉතිරිව ඇත්තේ කිලෝ මීටර 2ක් පමණි. තමා මෙතනට ජේෂ්ඨ නිලධාරින් ගෙන්වාගෙන කර ගත්තේ ලොකු මෝඩ කමක් වත්දැයි යන අදහස ස්කිනර් ගේ සිතට වධ දෙන්නට පටන් ගත්තේය.

"දැන් එන්ට වෙලාව හරි වාගේ නේද?" රෙසිඩන්ට් තම ජැකට් සාක්කු වෙන් ගත් තඹ පැහැති ලොකු ඔරලෝසුවෙන් වෙලාව පිරික්සා, පිරිස ගෙන් ඇසුවේය. 

" ඔව්, දැන් කිට්ටුවම ඇති" රත්නපුර ඒජන්ත වරයා පිළිතුරු දුන්නේ කවුරුන් හෝ රෙසිඩන්ට් සමඟ එකඟ විය යුතු නිසා මිස පිළිතුර හරියටම දැනගෙන නොවේ.

ඈත කෙළවරක බිම ඇන තබාගෙන බුලත් විටක් හපමින් සිටි නයිදේ හෙමින් හෙමින් කුඩාරමේ පසුපසට පැමිණ ඒ අසලින් සිට ගත්තේය.

" කිව්වා විතරයි , අන්න පළමුවැනිය කැලෙන් මතුවෙනව" කෙනෙක් කිවේය. සියලු දෙන පුටුවලින් නැගිට අත්පුඩි ගැසුහ. ස්කිනර් අවුල් වූ මුහුනකින් යුක්තව ආපසු හැරී බැලුවේය.

"ඇයි, ආරච්චිල තවම ආවෙ නැද්ද? " ඔහු පුදුමයෙන් පිරිසගෙන් අසා ආපසු හැරී අඩි පාර දෙස බැලුවේය. 








2 comments:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...