Thursday, July 11, 2024

රිලව් එලවීම

 දැන් මාතලේ උකුවෙල පැත්තේ, පදිංචිව සිටින අපේ ගමේ කෙනෙකු  අවුරුදු තිහකට පමණ පසුව අප නිවසට පැමිණියේය. 

ගොවිතැන් ගැන කතා කරමින් සිටියදී ඔහු මම කවදාවත් අසා නැති යමක් කීවේය. 

අපේ පොල් ගස්වල හොඳින් ගෙඩි තිබෙනවා දැක මේ පැත්තට ම රිලව් වෙන්නේ නැද්දයි ඔහු ඇසුවේය.

අපට රිලවුන්ගෙන් කරදරයක් නොමැති බවත් ඉඳ හිට හෝ එකෙක් දෙන්නෙක් පැමිණියත් එයා රයිෆල් එක දික් කල විට, පැන දුවන බවත් නැවත බොහෝ කාලයකට මේ පැත්තට නොඑන බවත් මම කීවෙමි.  ඔහුගේ ඇස් සතුටින් දිලිසින.

ඔහුගේ ගෙවත්තේ, පොල් ගස්වල  පොඩි ගෙඩියක්වත් ඉතිරි නොකරන අතර, පනහක් හැටක  ලොකු රංචුවක් පැමිණ ෙන්නේ වත්තේ තිබෙන සෑම භෝගයක්ම පාහේ විනාශ කර දමන බව ඉතා කණගාටුවෙන් පැවසීය. 

කොස් දෙල් පොල් පමණක් නොව බඩ ඉරිඟු එළවළු වැනි කෙටි කාලීන බෝග සියල්ල ද විනාශ කර දමන බව දැනගන්නට ලැබුණි. 


ඔහු මගෙන් එයා රයිෆල් එක බලන්නට අවශ්‍ය බව කී නිසා මම එය ගෙනැවිත් ඔහුට පෙන්නුවෙමි. ඔහු එහි මිල කීයක් පමණ වනවා දැයි ඇසීය. 


රුපියල් 50000 ක් පමණ වන බව කී විට ඔහු ට එතරම් මුදලක් වියදම් කළ නොහැකි බවත් මෙවැනි එකක් පිටතින් පෙනෙන්නට ලී වලින් සාදා ගන්නා බවත් පවසා එය හොඳින් පරීක්ෂා කර බැලීය. ඔහු පෙදරේරු වැඩ කරන්නෙකු නිසාත් යම් අතේ වැඩ පිළිබඳව හැකියාවක් තිබෙන නිසා මෙවැන්නක් සාදාගන්නා බවට සැකයක් නැත. 


නමුත් මෙය ඉතාමත් කණගාටුදායක යා තත්ත්වයකි. තමන්ට තමන්ගේ ගෙවත්තේ යමක් වවා ගන්නට බැරි තත්ත්වයක් මෙවැනි සතුන්ගෙන් සිදුවී තිබීමත් මෙම තත්ත්වය  මඟ හැර ගැනීමට කිසියම් දෙයක් නොකර සිටින  රාජ්‍ය යන්ත්‍රණයක් තිබීම පුදුම සහගතය. 

ඔවුන් දැනට  එම රිලවුන්ගෙන් ගෙවත්ත ආරක්ෂා කර ගැනීමට කුමක් කරන්නේදැයි මම  ඔහුගෙන් විමසුවෙමි.


ඔහු මම කවදාවත් අසා නැති පුදුම උපදවන ්‍රමයක් පැහැදිලි කළේය. 

ඔවුන් ලොකු ග්‍රීස් තලියක් පරණ පේන්ට් ටින් එකකට දමා එය කළුතෙලින් පුරවා වහලේ උඩ තබති. රිලව් මෙය දුටු විට ඒ අසලට පැමිණ  ඒ කළු තෙල් සහ ග්‍රීස් තමන්ගේ ඇඟේ ගාගනිති.  මෙය තරමක් පිළිගැනීමට අපහසු ක්‍රියාවක් වුවද රිලවුන්ගේ බොහෝ කුතුහලයක් තිබෙන බව නම් මම කලිනුත් දැක ඇත.


මෙලෙස ග්‍රීස් ගාගන්නා විට ඒවා අත්ලේද තැවරී, ඉන්පසු රිලවා ගසක් උඩට යන විට හරියට අත්තක් අල්ලා ගැනීමට බැරිව  ඔහු බිමට කඩා වැටෙයි. මෙලෙස රිලවෙක් ගහෙන් බිමට කඩා වැටුණු විට රිලව් රංචුවේ අනික් රිලව්ද වැටුණු සගයා අසළට එක්ව මහත් කරදරයක් ඇති වූ කලෙක මෙන්  ලොකු කලබගෑනියක් වේටර් ඇතිකර ගනිති. 


මෙවැනි සිද්ධියක් ඇති වූ විටෙක මාස කිහිපයක් රිලව් කරදරයෙන් ඒ ගෙවත්ත න්න බේරී තිබෙන බව ඔහු පැවසීය. 


මෙය මම මීට පෙර අසා නොතිබුණු ක්‍රමයක් නිසා නිකමට ලියා තබන්නට සිත් විය.


Wednesday, July 3, 2024

4 උතුවන්කන්දේ සරදියෙල් 4

 

සිරිමලා ගේ පාපොච්චාරණය

 

මමයි සරදියෙලයි ඉගෙනගත්තේ එකම පන්තියේ ඉලුක්ගොඩ පන්සලේ. පන්සලේ ඉස්කෝලෙට ගියේ අපේ ගම්පැත්තේ රජයේ පාසලක් තිබ්බේ නැති හන්ද. පන්සලේ ඉස්කෝලේ එක පන්තියේ වයස අවුරුදු හතර පහ  වෙනස තියෙන ළමයි හිටිය. මොකද ළමයි පන්සලේ ඉස්කෝලෙට බාර ගත්තේ වයසේ විදිහට නෙවෙයි, දෙමව්පියන්  ගෙනා විදිහට.

මම සරදියෙල්ට වැඩිය අවුරුදු ගානක් බාල උනාට, අපේ අම්මා මාව ස්කෝලෙට බාරදෙන අවුරුද්දෙමයි සරදියෙල් වත් පන්සලේ ඉස්කෝලෙට ඇවිල්ල තිබ්බේ. සරදියෙල් හරිම මැරැටියා, ආපු දවසෙම කොල්ලොත් එක්ක ගහගෙන හාමුදුරුවන් ගෙන් ගුටි කෑවා. කිසිම බයක් නැහැ, ඕනෑ එකකට ඉස්සරහට පැනල ගහගන්ට යනවා. මේ හින්ද සරදියෙල් කොල්ලෝ රංචුවේ නායකයා වෙන්ට ලොකු කාලයක් ගියේ නැහැ. නමුත් මේ විදිහට සරදියෙල් කැපී පේනවට අකමැති කොටසකුත් පන්සලේ ඉස්කෝලේ හිටියා. විදානේ රාලහාමිගේ අයියගේ පුතා එකෙක්. ඌ ටිකක් ඇඟ පතෙනුත් අපිට ලොකුයි. හාමුදුරුවොත් ඉතින් පෝසත් හින්ද ඌ කියන දෙයක් අහනවා.

සරදියෙල් අපිට වඩා වේගෙන් අකුරුත් ඉගෙන ගත්ත. සමහරවිට අපිට වැඩිය මෝරලා හිටපු හින්දද දන්නේ නැහැ, ඉක්මනටම පාඩමුත් අල්ල ගත්තා. පන්තියේ හැම ළමයෙක්ම වාගේ මිනිහත් එක්ක රංචු ගැහෙන්ට ලොකු ආශාවක් තිබ්බා. මට මෙතෙන්දි පොඩි වාසියක් වුනා , සරදියෙල් ගෙදර, අපේ ගෙදරට බොහොම ලඟින් තිබුන එක. ඒ හේතුව හින්දම ඕන වැඩකට යනකොට මිනිහා මාව තමයි මුලින්ම හොයන්නේ. මමත් මේක ගැන ලොකු ආඩම්බරයකින් හිටියේ.

සරදියෙල්ට කොහොමටත් පාසල් යන්ට හම්බවුනේ අවුරුදු කිහිපයක් විතරයි. දවසක් ඉස්කෝලෙදි විදානේ රාලහාමිගේ අයියගේ පුතා සරදියෙල්ට මොනවහරි කියල සරදියෙල් මිනිහට ගහන්ට ගියා. මේ ගුටිකෙලිය බොහොම කාලෙක ඉඳල හැමදෙනාම බලාපොරොත්තුවෙන් හිටපු එකක්. දෙන්න කැමති වුනා ඉස්කෝලෙන් පස්සේ තනි තනියම ගහගන්ට. ඌ ඇගෙන් ගොඩක් ලොකු හින්ද මයේ හිතේ ඌ හිතුව ඌට ලෙහෙසියෙන්ම සරදියෙල්ව පරද්දන්ට පුළුවන් කියල.

පන්සලේ ගල් පඩි පෙලෙන් පල්ලහ පොඩි කමතක් තිබ්බ. පන්සලේ කුඹුරේ විතරක් නෙවෙයි පන්සලට කිට්ටුව හුඟක් කුඹුරු වල ගොයම් පාගැව්වේ ඒ කමතේ.එතන තමයි පොරපිටිය. ඉස්කෝලේ ඇරුන ගමන් අපි ඔක්කොම එතෙන්ට ගියා. දෙන්න කමතේ මැද හිටගෙන පොරකන්ට යන කොටි දෙන්නෙක් වගේ අනික් එකාගේ මුණ දිහා බලාන හිටිය. අපි පන්තියේ ඔක්කොම වටේට වෙල මේක දිහා බලාන හිටිය.

එක පාරටම පොඩි අප්පුහාමි පැනල සරදියෙල් බදාගත්තා. ටිකක් වේලා ගියා සරදියෙල්ට මොකුත් කරගන්ට බෑ වගේ පෙනුන. අපි හිතුව පුදන කොටම කෙලපි යකා කියල. පොඩි අප්පුහාමි වම අත බුරුල් කොරල ඒකෙන් සරදියෙල්ගේ බඩට ගහන්ට පටන්ගත්ත. මං හිතන්නේ ඌ වමත් කාරයා. එක පාරටම සරදියෙල් පොඩි අප්පුහාමිව ඉනෙන් අල්ලාගෙන පොලවට වැටුන, අල්ලාගෙන හිටපු අත බුරුල් කරගෙන. එහෙමම බිම ඉඳල පොඩි අප්පුහාමිගේ කකුල් දෙක තදකරගෙන, ඔලුවෙන් තල්ලු කෙරුව මිනිහ පිටිපස්සට. මිනිහට පොලවේ අඩිය පැටලුනා. කෙහෙල් කඳ කැපුවා වගේ පිටිපස්සට වැටුන. සරදියෙල් උගේ ඇඟ දිගේ බඩ ගාගෙන ගිහිල්ල, පොඩි අප්පුහාමිගේ ඔලුව අත් දෙකෙන්ම අල්ලා ගත්ත. පපුව උඩ ඉඳගෙන ඔලුව බිම ඇනගෙන ඇනගෙන ගියා. පොඩි අප්පුහාමි “බුදු අම්මෝ මිනී මරනවෝ” කියල කෑ ගහල, අතක් බිම ගහල සිහි නැති වුනා.

ඒ සද්දෙට හාමුදුරුවෝ දුවගෙන ආවා. ඇවිල්ල ඔලුව උස්සල බලනකොට පොඩි අප්පුහාමි ඔලුව බිම ගහපු තැන පොඩි ගල් කැල්ලක් තිබිල ඒක ඔලුව ඇතුලටම කා වැදිලා. අපි දැනගත්ත මේක ලේසි වෙන්නේ නෑ කියල අපි දිව්වා ගෙදර.

 සරදියෙල් උතුවන්කන්ද පැත්තේ කැලේ හැංඟුණා, ඒ වුනාට විදානේගේ මිනිස්සු පොලිසියත් එක්ක එකතුවෙලා කැලේ පීරුවා. හොයාගන්න ලැබුනේ නැහැ. ඒත් දවස් දෙකකට පස්සේ බඩගිනි වෙලා කන්ට ගෙදරට එනකොට මඟදී අල්ලා ගත්ත.  


https://lakshmanillangakoon.blogspot.com/2024/07/4-4_13.html?m=1

Next episode 


https://lakshmanillangakoon.blogspot.com/2024/07/4-4_13.html?m=1


Friday, June 28, 2024

3 උතුවන්වන්කන්දේ සරදියෙල් 3

 

“මොකද වුනේ?” මම දැරිවි ගෙන් ආහුවා.

“හිකනලෙක් කෑවා”, ළමිස්සි බොහොම අමාරුවෙන් කියලා මගේ අතින් අල්ලා ගත්තා.

 මට කලින් කියන්ට බැරිවුනා මගේ අම්මයි, ආච්චි අම්මයි, දෙන්නම වෙදකම් කෙරුවා. මං හිතන්නේ අම්මගේ පැත්තෙන් අපි පරම්පරාවෙන් වෙදකම කරන්ට ඇති කියලා. මම මිදුලට ගිහින් කන්ද දිහාවට ගියා, දැකපු බෙහෙත් කොළ ටිකක් කඩාගෙන ඇවිදින් මිරිස් ගලේ අඹරලා තුවාලේ හොඳට ගාලා, පොල්කිරි ටිකකුත් මිරිකලා පෙව්වා, නිකන් අනුමානෙට වගේ.

 ඒ කාලේ කතාවට කියනවා හිකනලෙක් කෑවොත් අහසේ තරුයි මුහුදේ වැලියි ඕනෑ කොරනවා කියලා ප්‍රතිකර්මෙට, නමුත් ළමිස්සි මේ ප්‍රතිකර්මෙට සුටුස් ගාලා සුව අතට හැරුනා, ඇඳේ ඉඳගත්තා. එදා පන්සලේ උත්සවයක් තියෙන හින්ද ගමේ මිනිස්සු ඔක්කොම පන්සලට ගිය විත්තියත්, මේ ළමිස්සි හදලා තිබ්බ දැහැත් වට්ටියක් අමතක වෙලා හින්ද, මඟක් ගොහිල්ල ආපහු ගේන්ට ගෙදරට ආවහම, වට්ටිය යට හිටපු සිකනලෙක් ගෙන් මේ ඇබැද්දිය සිද්දවුන බවත් මට කිව්වා. ඕන් ඔහොමයි මට පිචෝහාමි මුලින්ම මුණගැහුනේ. එතකොට පිචෝහාමිට වයස අවුරුදු 16 යයි.

උන්දැගේ දෙමව්පියන්ගේත් කැමැත්තෙන් අපි එදා ඉඳලම පවුල් කෑවා. ඊළඟ වාරේ ඉඳල මම වෙළඳාමේ ආවහම කෙලින්ම එන්නේ උතුවනට, ඇවිල්ලා එතන ඉඳල තමයි වෙළඳාම අහවර කොරන්නේ. අපේ කසාදෙන් ළමයි 5 යි. මුලින්ම හම්බවුනේ කොල්ලෙක්. ඌ ඉපදෙන කොට මම හිටියේ හලාවත, මම ඊළඟ පාර එනකොට කොල්ලට මාස තුනක් වයසයි. මමත් බොහොම සන්තෝස වුනා හුරුබුහුටි කොල්ල දැක්කහම.

ඒ වුනාට පිචෝහාම් නම් ඒ තරම් සන්තෝසෙන් නෙවෙයි හිටියෙ. කොල්ලගේ උපන් වෙලාව හාමුදුරුවන්ගේ ලඟට ඇරන් ගියහම වේලා කොලේ හදල කියල තියෙනවා, කොල්ලට කාලසර්ප යෝගයක් තියෙනවා කියලා. කාලසර්ප යෝගයක් තියෙනවා කියන්නේ පවුලට විතරක් නෙවෙයි, ගම රටටම මහා වින්නැහියක් කොරන්ට පුළුවන් එකෙක් කියලත්, හාමුදුරුවො කියල තියෙනවා.

මම මේ කතාව මගේ යාලුවන්ට කිව්වහම, උනුත් මට නොයෙකුත් බය හිතෙන කතා කිව්වා. මට කොල්ල දකින ගානට මේක මතක් වෙනවා. මගේ ඌත් එක්ක කතා බහත් අඩුවුනා. කොල්ලත් එන්ට එන්ටම දඩබ්බර වෙන්ට ගත්තා. මගෙයි පිචෝහාමිගෙයි අතර නිතර අඬදබර ඇති වෙන්ට පටන් ගත්තා. ඒ ගෑනි සැක කොරනවා මම තව ගෑනියෙක් අරගෙන කියල හලාවතින්. මෙහෙම කාලයක් ගතවුනා, තවත් ළමයි හතර දෙනෙක් අපේ පවුලට එකතු වුනා.

මේ අතරේ කොල්ල ගමේ වැදගත් ගෙදරක කොල්ලෙකුට ගහල උගෙන් මාලයක් හොරකම් කෙරුව කියලා, පිස්කල් බාරෙට අරගෙන දවස් කීපයක් අච්චු කෙරුවා කියල මට දැනගන්ට ලැබුනා. ඒ මම අන්තිමට උතුවන ගමට ගිය වෙලේ.

මම මේ කලබගෑනි වලින් පස්සේ වෙළඳාමේ යෑමත් අඩුවුනා. මම පල්ලියේ නැවතුනා ස්වාමිට ආවතේව කාරයෙක් විදිහට.

ඊට පස්සේ මට සරදියෙල් කොලුව මුණගැහෙන්නේ 1862 අවුරුද්දේ, එතකොට ඌට වයස අවුරුදු 30 යි. මම දවසක් පල්ලියේ ඉන්න කොට හවස් වරුවක ඇවිල්ලා කිව්ව ඌව පොලිසියෙන් හොයනවය, පොලිසියෙන් හැංගෙන්ට තැනක් හොයලා දෙන්ටයි කියලා. මට සර්දියෙල් එක්ක කතාකරන කොටම තේරුනා ඌ හොඳටම හැබිචොල් කාරයෙක් වෙලා ඉන්න විත්තිය. මට උදව් කරන්ට බැරි තරම් ඔබ්බට ගිහිල්ල විත්තිය. මම ඒක ඌට කෙලින්ම කිව්වා, ඌ ආපහු ගමට යනවා කියල ගියා. මගේ අතේ තිබ්බ රුපියල් 10 ක් මන් ඌ අතට දුන්නා. ඒ මම කොල්ලව දැකපු අන්තිම දවස.

 


Tuesday, June 25, 2024

උතුවන්කන්දේ සරදියෙල් 2

මට මගේ මුල්ම වෙළඳාමට හම්බවුනේ මැරුන පේඩියා මාමාගේ වැයික්කිය, ඒ කියන්නේ මාවනැල්ල ඉඳල උතුරු පැත්තට නුවර පාර දෙපැත්තේ ගම් ටික කඩුගන්නාවේ පොළ හන්දියට යනකං. මේ හරිය වෙළඳාමට හොඳ පැත්තක් කියල අපේ වෙළෙන්දෝ ඔක්කොම වගේ කිව්වා, මගෙයි මාමාගෙයි නෑකම හින්ද, එළියෙන් නොපෙන්නුවාට, මට පටන් ගන්න කොටම හොඳම වැයික්කියක් ලැබුණු එක පිළිබඳව ඔවුන්ගේ හිතේ පොඩි කහටකුත් නැත්තේ නැති බව මට කතාවෙන් තේරුණා.

 වෙළඳාමේ යනකොට අපි පාර අයිනටම හිර වෙන්නේ නැතුව, පාරවල් හොඳ නම්, වෙළඳාම සරු නම් , හුඟක් මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා කියලා තේරෙනවා නම් ඇතුලටත් යනවා.

මාවනැල්ල සිංහල, යෝනක , මැලේ, ජාති තුනම එක වගේ ඉන්න පැත්තක්. කුළුබඩු වගාවෙන් මිනිස්සු අතේ හොඳට සල්ලි තිබුනා. ඒ අතරේ ගොන් කරත්ත දහස් ගානක් කෝපි පටවාගෙන නුවර ඉඳල කොළඹ යනවා ආපහු කරත්තෙන් බාගයක් හාල් පටවාගෙන උඩහට යනවා. ඒවාට වෙළඳාම් කරලත් පාර දෙපැත්තේ මිනිස්සු කීයක් හරි හොයා ගන්නවා.

මුල් දවසෙම මාවනැල්ලේ ටවුම හරියේදී මට හිතුවට වඩා වෙළඳාමක් සිද්ද වුනා. මම නොදැනුවත්ම ටවුමට ඇවිල්ලා තිබ්බේ උසාවි දවසේ. ගම් වලින් නඩු හබ වලට ඇවිල්ලා තිබ්බ මිනිස්සුන් ගෙන් කඩ මණ්ඩිය  පිරිලා.

මම අද්වකාත් මහත්තයෙක්ගේ කන්තෝරුවක් ළඟ ඉඳගෙන වරුවක් යනකොට රුපියල් තුනක දුම්කොලයි, තවත් රුපියලක චේන් පොටවල් හතරකුයි විකුණලා අහවර කරා. තවත් පැය දෙකක් විතර හිටියට ආයෙත් එතන වෙළඳාමක් වෙන්නේ නැතය කියලා තේරුනහම, හෙමිට නුවර පාරේ කොළඹ පැත්තට යන්ට පටන් ගත්තා. හවස් වෙනකොට ඊළඟට හැරෙන්ට තියෙන පාරෙන් උතුවන ගම පැත්තට ගියේ, ඒ පැත්තෙත් වෙළඳාමක් කරගෙන ගමේම නැවතිලා පහුවෙනිදා උදේට ආයෙ වෙළඳාමේ යන්ට.

මම කන්ද පාමුල තිබ්බ ගමට යනකොට හවස් වෙලා. ගෙවල් විස්සක් විතර එක මන්ඩියට තිබ්බ, මේ ගමේ වටේටම පොල්, කුරුඳු, සාදික්කා, එහෙම වැවිලා තිබුන හින්ද, මේ මිනිස්සුනට අතේ මිටේ කාසිපනන් ගැවසෙන බව මට තේරුනා. ගෙවල්  පොළොවෙන් අඩි දෙකක් විතර උස්සල ලොකු පිලවල් උඩ හදල තිබ්බෙ.

ඒ වුනාට එක මනුස්සයෙක් වත් පේන්ට හිටියේ නැහැ, සම්පුර්ණයෙන්ම පාලු සොහොනක් වගේ, මට පුදුම හිතුනා. සාමාන්‍යයෙන් මේවගේ ගමකට ඈතින් එනකොටම කොල්ලොකුරුට්ටන්ගේ සද්දේ ඇහෙන්ට පටන් ගන්නවා, කොල්ලෝ කුරුට්ටෝ එහෙ මෙහෙ දුවනවා, මමත් ටිකක් කල්පනාවෙන් ගෙවල් මණ්ඩිය ඇතුලට ඇවිදගෙන යනකොට, යාන්තම් එක මනුස්සයෙක් එළියේ පිලක් උඩ හාන්සිවෙලා ඉන්නවා දැකල එතෙන්ට ගියා. එතෙන්ට ගිහාම දුටුව දෙයින් මම තවත් පුදුම වුනා. මොකද එතන පිලේ හාන්සි වෙලා හිටියේ සුදු හැට්ටයක් ඇඳ ගත්ත නාඹර වයසේ ගෑනු ලමිස්සියක්. මට කිට්ටු වෙන්ටත් මොකක්දෝ වගේ, ගෑනු ළමයාගේ චිත්තෙත් දනිහ ගාවට විතර ඉස්සිලයි තිබුනේ.

ළමිස්සිට සිහිය නැති වෙලාද, එහෙම නැත්නම් ඊටත් වඩා භයානක දෙයක් වෙලාද කියලා මට හිතාගන්නට බැරිවුණා. මම උගුර පැදුවා , “ගෙදර කවුද.......” කියලා හයියෙන් කෑගැහුවා. වැඩක් වුනේ නැ, කවුරුත් ආවේ නැහැ. මම ලඟට ගිහිල්ලා බලපුවහම ළමයට පන තියෙන බව තේරුණා, මම ඊට පස්සේ හිතට දිරිය වඩාගෙන අතක් අල්ලලා බැලුවා. ඒ තමයි මම මගේ ජීවිතේටම ලමිස්සියක් ගේ අතින් අල්ලපු දවස.

මේ ළමිස්සි නැගිටින්නේ නැති හින්ද තව ඩිංගක් පිලේ එහෙම හිටියොත් බිමට වැටෙන්ටත් පුළුවන් හින්ද, මම උන්දෑ අත් දෙකින් උස්සගෙන ගේ ඇතුලට අරන් ගිහින් ඉස්තෝප්පුවේ තිබ්බ ලී ඇඳක් උඩින් තියලා, ළමිස්සි දිහා බලාගෙන කල්පනා කෙරුවා, දැන් මොකද කරන්නේ කියලා. ඒ තමයි මම ලමිස්සියක් එක්ක තනි පංගලමේ ගතකරපු පලවෙනි දවස. මට හිස්බඩ යාපනේ දුම්කොළ දෙකක් කෑවා වගේ ඇඟ ඇතුලෙන් අමුතු තෙරපිල්ලක් දැනුනා කිව්වොත් ආයේ එක බොරුවක් එහෙම නොවෙයි.

මම ඇඳ උඩින් ඉඳගෙන එයාගේ චීත්තේ පහලට දාලා හදන්ට යනකොට මම දැක්කා, එයාගේ වම් කකුලේ නාලීය උඩ රතුපාට වෙච්ච සතෙක් හැපුව ලකුණක් තියෙනවා. මුණ පාත් කරලා ඒ ලකුණ දිහා හොඳින් බලනකොට ළමිස්සි කෙඳිරි ගෑවා. 


Sunday, June 23, 2024

උතුවන් කන්දේ සරදියෙල්. 1

 

අදිසි අප්පුගේ කතාව

 

නම අදිසි අප්පු :- වයස අවුරුදු 57 යි. උපන්ගම හාල්දඬුව. දන්කොටුව හලාවත, ආගම කතෝලික, රැකියාව හලාවත මිසමේ ආවතේව කරු,

මහේ පියා යාපනයේ දුම්කොළ ගොවියෙක්. ලන්දේසි කාලයේ පල්ලියෙන් ලබාදුන් ඉඩම්වල තමයි, අපේ සීයාගේ කාලේ ඉඳල දුම්කොළ ගොවිතැන් කර තිබෙන්නේ. සීයාගේ මරණයෙන් පස්සේ, පියා සූදුවට පුරුදු වෙලා ඉඩම් උකස් තබා දේපල නැතිකරගෙන, ගෙදරයි වත්තයි උකසකට සින්න වෙලා තියෙනවා. ඉන්පස්සේ පියා; ඔහු පැවත ආවේ ලන්දේසි කාලයේ  දුම්කොල වවන්ට ඉන්දියාවෙන් අරන් ආපු වෙල්ලාල මිනිස්සුන්ගෙන් කියනවා මට ඇහිලා තියෙනවා, යාපනයේ තමන්ගේ මිනිස්සුන් අතර හිඟන්නෙක් වගේ ඉන්ට  ලැජ්ජාවෙන් හලාවත අම්මගේ ගමට ඇවිල්ල මෙහෙ පදිංචි වෙලා තියෙනවා, මෙහෙ අලුතෙන් දුම්කොළ ගොවිතැන හරි, එහෙම නැත්නම් වෙළඳාමක් හරි පටන් ගන්න කියලා. අම්මගේ මල්ලිත් ඒ වෙනකොට උපන් ගමේම සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙලයි හිටියේ.

හලාවතදී අපේ නංගි ඉපදීල දවස් තුනකින් අම්ම මැරුණා. පියා නිතර  ට්‍රැවන්කොර් කියන නගරෙට මෙහෙන් දුම්කොළ ගෙනියන්න ලංකාවට ආපු ඉන්දියානු වෙළෙන්දෙක් එක්ක එකතු වෙලා ඔහුට උදව් කරගෙන, කාලයක් ඔහුගේ ව්‍යාපාර වැඩ වලට උදව් කළා. යාපනේ දුම්කොළ පඳුරු වලට ආඬි ළිං වලින් වතුර හැමදාම දාන නිසා ඝනකමයි තෙල්ගතියයි වැඩි හින්ද, ඉන්දියාවේ, ඒ පැත්තේ දුම්කොළ හපන්ට පුරුදු වෙලා හිටිය මිනිස්සු යාපනේ දුම්කොළ වලට  කැමතියි කියල ඒ මුදලාලි කියනවා මට ඇහිලා තියෙනවා. මගේ පියා විටින්විට කල්පිටියෙන් , මුදලාලිගේ රුවල් නැවක නැඟල ඉන්දියාවටත් ගියා. ඒ කාලේ ඉන්දියාවට යනවා එනවා කියන එක මහා දෙයක් නොවෙයි. එක පාරක් ඒ වගේ ගිහිල්ල ඔහු ආවේම නැහැ, ඊට පස්සේ අපට ඔහු ගැන කිසිම ආරංචියක් ලැබුනේ නැහැ. තාත්තා ඉන්දියාවට යනකොට මාවයි අපේ මල්ලියි අපේ මාමා කෙනෙක් ළඟ නවත්තලයි ගියේ.

 මාමා දවසක් මුදලාලිගෙන් තාත්තා ගැන අහපුහම තාත්ත එහෙදි විවාහයක් කරගෙන, කුමාරපාලන් කියන නගරයේ ජීවත් වෙනවා කියල කිව්වා කියල ඔහු අපට කිව්වා. පියා නැතිවුනා කියල අපට අඩුවක් කරපු නැති මාමා අපව බොහොම හොඳට බලාගත්තා. ඔහු බොහොම ආගමට බර නිතරම පල්ලියට ගිය, පල්ලියේ ස්වාමිට බොහොම හිතවත් කෙනෙක්.

මාමා රැකියාවට කලේ දුම්කොළ වෙළඳාම, ඔහු හලාවත ගොවියන් ගෙන් දුම්කොළ මිලට අරගෙන, රටපුරා ගම්වල වෙළඳාමේ යන වෙළෙන්දන්ට ණයට දුම්කොළ දුන්න වෙළඳාමට. ඔවුන් මුදල් ගෙව්වේ වෙළඳාමේ ගිහිල්ලා ඇවිල්ලා. ඊට අමතරව මාමා යාපනේ පේදුරු තුඩුවේ ගොවියෙක් ගෙනුත් දුම්කොළ ගෙන්නුවා, ඒවා හලාවත දුම්කොළ වලට වඩා ටිකක් ගණන්, ඒ පේදුරු තුඩුවේ දුම්කොළ වල තියෙන තෙල් ගතියටයි සැරටයි කියලා මම අහල තියෙනවා. මාමත් ඉඳ හිට හැපුවේ ඒ පේදුරු තුඩුවේ දුම්කොළ වර්ගයම  තමයි.

 මම පොඩි කාලේ ඉඳලම පල්ලියේ ඉස්කෝලෙට ගියා. මට වයස 15 ක් විතර වෙනකොට ලියන්ට කියන්ට පුළුවන් වුන හින්ද, මාමා මට එයාගේ දුම්කොළ වෙළඳාමේ පොත් හදන්ට බාර දුන්නා. අපේ නෑදෑ කමයි, ඒ හරියේ හිටපු කොල්ලන්ගෙන් මම ගණනක් හදන්න, ලියන්න කියන්න පුළුවන් ළමයි කිහිප දෙනාගෙන් එකෙක් හින්දයි තමයි මට මේ රස්සාව ලැබුනේ. එතරම් ලොකු  වැඩ තිබුනේ නැහැ, දුම්කොළ ගන්න මිල ගනනුයි ප්‍රමාණයයි පොතේ ඒ ගොවියාගේ පිටුවේ ලියා ගන්නව, අනික්  පොතේ වෙළඳාමේ යන අයගේ පිටුවේ දීපු බඩුයි ඒවගේ මිලයි ලියා ගන්නවා. වෙළෙන්දෝ ආපහු ආවහම ඉතුරු බඩු ගණන් ලියල ඒ වෙලන්දා කීයක් ණයද කියල ගණන් අඩුකරල බලනවා. එක ගමනකට එක කොලයයි.  

මේ කාලේ තමයි මාමා ගෙන් දුම්කොළ ඇරන් වෙළඳාමේ යන පේඩියා මාමා අලියෙක් ගහල මැරුණේ. වයස 30 ක් විතර වුන ඒ මනුස්සයා බොහොම ජැන්ඩියට ඇඳුම් ඇඳපු වෙළෙන්දෙක්. රතු ලොකු සුම්බරයක් හැමවෙලාවෙම කරේ තිබුනා. ඉන වටේ ලොකු සාක්කු තියෙන හම් පටියක් තිබුනා. පටිය තද දුඹුරු පාටයි, සාක්කු යාන්තම් කහපාටට බරයි. වෙළඳාමේ ගිහිල්ලා ආපු වෙලාවට අපි දැක්කොත් ඒ කහපාට සාක්කුව ‘ටික්’ ගාල ඇරල අපට කාසියක් දෙනවා. නිමපු සුරුට්ටුවක් හැම වෙලාවේම කටේ ගහගෙන තමයි හිටියේ. මම කවදාවත් දැකල නැහැ ඒක පත්තුවෙලා තියෙනවා. ඒක හින්ද වෙන්ට ඇති මිනිහට ඒ වයසේ අය කිව්වෙත් ‘සුරුට්ටු පේඩියා’ කියල.

මිනිහ අලියා ගහල මැරුණට පස්සේ, මිනිහගේ ආම්පන්න ටික එයත් එක්ක ගිය කණ්ඩායමේ අය ගෙනල්ලා අපේ මාමාට දුන්නා. මාමා ඒ ටිකේ වටිනාකමට මුදල් පේඩියාගෙ අම්මට දීලා, ඒ ආම්පන්න තියාගත්තේ බඩු වලට තිබ්බ ඕනෑ කමට වඩා පේඩියගේ අම්මට කීයක් හරි දෙන්ට ඕනැවට. අනික අලියා පාගපු පාරට තොරොම්බල් පෙට්ටියත් දිග අතට පුපුරලයි තිබුනේ. මාස කිහිපයකට පස්සේ මේ ආම්පන්න ටික මෙහෙම තියෙනවා දකිනකොට, මට හිතුන මමත් වෙළඳාමේ ගියා නම් හොඳයි කියලා. නමුත් මම මාමාගෙන් අහන්ට ටිකක් බයෙන් හිටියේ, මොකද මාමා, මම පොත්පත් ටික හදාගෙන ව්‍යාපාරේ කරගෙන යන පිළිවෙලට බොහොම කැමැත්තෙන් හිටියේ. ඉතින් එයාගේ හිත නරක් කරන්න මට හිත දුන්නේ නැහැ. නමුත් මේ වෙළඳාමේ යන ආසාව මගේ හිත ඇතුලේ තදින්ම ලියලන්ට පටන් ගත්තා. මේ අතරේ වෙළඳාමේ ගිහිල්ලා ආපහු එන වෙළෙන්දෝ හැන්දෑවට අඩියක් ගහන ගමන් කියන ලස්සන ගමන් කතාන්දර අහනකොට, මේ ආසාව දෙගුණ තෙගුණ උනා.

දවසක් හැන්දෑවේ මාමා රා ටිකක් එහෙම බිලා ගෙදර ඇවිල්ලා සන්තෝසෙන් ඉන්න වෙලාවක, මම ඔහු කිට්ටුවෙන් පිලේ ඉඳගෙන මගේ ඕනෑකම හෙමින් හෙමින් කිව්වා. මම හිතපු තරම් මාමාට තරහ ගියේ නැහැ. ඔහු කිව්වා ඔහුගෙ ව්‍යාපාරයට මම නැතිවෙන එකෙන් පාඩුවක් වුනත්, තරුණයෙක් උනහම ලෝකයට යන්න ඕනෑ කියලා, ලෝකය බලන්ට ඕනැ කියල. සුද්දොයි ඊට කලින් ලන්දේසියි ඔච්චර දුර රටවල ඉඳල මෙහෙ ඇවිල්ලා තියෙන කාරණේ  ඔහු උදාහරණයකට ගත්තා. එච්චර දුර කෙසේ වෙතත් ලංකාව පුරහම ඇවිදලා ඉන්න එකත්, ජීවිතේ පටන් ගැන්මකට බොහොම වටිනවා කියලා කිව්වා.

සුමාන දෙකකට පස්සේ මම මගේ මුල්ම වෙළඳාමට අනික් වෙළෙන්දොත් එක්ක පිටත්වුනා. මාමාගේ යාලු ගනිතයෙක් හදල දීපු වෙලාවකට තමයි මම අපේ ලෑලි සාප්පුවෙන් මුලින්ම දකුණු කකුල එලියට තිබ්බේ.

මම අරගෙන ගියේ දුම්කොළ ටිකකුයි තොරොම්බල් පෙට්ටියකුයි, අපේ කණ්ඩායමේ වෙළෙන්දෝ තමන්ගේ වෙළඳාම කරන ප්‍රදේශ බෙදාගෙන හිටියේ. 

Tuesday, June 18, 2024

පැළ දෙකක් යැවීම

 අපේ කාලේ මහාමායා පාසලට ගිය මිතුරියක් ට මම මාස දෙකකට පමණ පෙර ඇසෑම් ලෙමන් පැළ දෙකක් දෙන්නට පොරොන්දු වුනෙමි. 


කිහිප වතාවක් ගෙනියන්නට රැගෙන ගොස් දෙන්නට කතා කර ගත්තද කිසිවක් සිදුවූයේ නැත. අවසානයේ ඊයේ ඇය මට කතා කොට  පික්මී ෆ්ලෑශ් එකක් එවන්නට ඇය සැලසුම් කරන බව කීවාය. 


එසේ අවශ්‍ය නොවන බවත් මට පැමිණ  ඇයට එය ලබාදීමට පුළුවන් බවත් පැවසූ මම වටපුලුවේ සිටින ඇයගේ නිවසේ ලොකේෂන් එක ේ whatsapp මඟින් එවන ලෙස ඉල්ලා සිටියෙමි. 


නමුත් ඒ හරියේ පාරවල් ගොඩක් තිබෙන නිසා whatsapp location පැටලෙන බව කී ඇය අසල හන්දියකට පැමිණෙන ලෙසත් පසුව ඇය දුරකථනයෙන් මා ගයිඩ් කරන බවත් කියා සිටියාය. 


මේ ලොකු පැටලීමක් බව තේරුම් ගත් මම ඇයගේ මූලික යෝජනාව වූ පික්මී ප්ලාස් එකට එකඟ වුණෙමි. 


මම මගේ ලොකේෂන් එක ඇයට යැව්වෙමි. විනාඩි පහකින් පමණ  සියලු විස්තර දැමූ sms එකක් පික්මී වෙතින් මට ලැබුණි.

 

විනාඩි දහයකින් පමණ  කුඩා මෝටර් සයිකලයක් පැමිණ  පැළ දෙක දාගෙන ගියේය. 


තවත් විනාඩි දහයකින් පමණ  පැල ලැබුණු බව මගේ මිතුරිය දුරකථනයෙන් මට කීවාය. ඇයට වියදම් වී තිබුණේ රුපියල් 240ක් පමණි.


මම කාර් එකේ ගියානම් ඉන්ධන වලටම මෙයට වඩා මුදලක් වැය වෙන්නට තිබුණි. මගේ කාලයත් මට ඉතුරු වුණි. 


මින්පසු කුමන හෝ අවස්ථාවක නගරයෙන් හෝ නිවස කිට්ටුවෙන් යමක් ගෙන්නා ගැනීමට තිබේ නම් මෙම පහසුකම පාවිච්චි කරන්නට සිතා ගත්තෙමි.


සන්නිවේදනය සහ සංවිධානය මගින් කොතරම් දේවල් පහසුවට සහ ලාභයට කරගත හැකිද?

Thursday, June 6, 2024

බල්ලාගේ කරදර

පෙරේදා රෑ අපේ බෘණෝ අපේ ටෙලිෆෝන් එක සහ රවුටර් එක  සම්බන්ධ කර තිබෙන වයර් එක බිමට ඇද කපා දෙකට කඩා තිබුණි. ටෙලිෆෝන් එක සහ රවුටර් එක යන දෙකම වැඩ කරන්නේ නැතුව ගොස් ඇත. 
පසුව රවුටර් එක පමණක් වැඩ කරන ආකාරයට රෙපෙයාර් කර ගැනීමට හැකි වුවද ටෙලිෆෝන් එක වැඩ කළේ නැත. 
එසේ ඩැමේජ් කරන ලද වයර් එක  මිලදීගැනීමට සැලසුම් කළ මම, එදින කොන්ඩේ කපන්නට යොදාගෙන සිටි නිසා කොණ්ඩය කපන්ට ඇවිදගෙන යන විට එයත් රැගෙන ගියෙමි. 
මුලින්ම හමු වුණු විදුලි මෝටර් රෙපෙයාර් කරන තැනෙන් ඇසූවිට ඔහු  නුවර නගරයේ තැන් දෙකක් නිර්දේශ කළේය. 
එසේ නම් හවස් වරුවේ නගරයට යන්නට සිතාගෙන කොන්ඩේ කපන්නට සැලූන් එකට ගියෙමි. එහි සිටි කීප දෙනෙකුගෙන් වයර් එක පෙන්නා ඇසූ විට ඒ ළඟ තිබෙන හාඩ්ව්යාර් එකක  සමහර විට තිබෙන්නට පුළුවන් යැයි පැවසූහ. 
මුලින් ළඟින් තිබූ හාඩ් වෙයාර් එකට ගොස් එහි නැති බව පැවසූ නිසා  පාලිතගේ හාඩ්වෙයාර් එකට ගොස් වයර් එක පෙන්නා ඇසූ විට ඔහු එය සොයා ලැබුණු නැති හෙයින් ඔහුගේ නිවසේ සමහරවිට තිබෙන්නට පුළුවන් බවත් හවස අපේ නිවසට එකක් එවන්නට පුළුවන් බවත් පැවසීය. 
කෝකටත් කියා කොණ්ඩය කපාගෙන අවසන් වූ පසු ලේ වැල්ල පාලම අසල කොම්පියුටර් හදන තැනකටත් ගොස් බලාපොරොත්තු කඩ වී ආපසු නිවසට පැමිණියෙමි. 
ගෙදරට ඇවිත් මේ පිළිබඳ පවසා  එවැනි දුරකථන සවි කරන වයර් ගෙදරක් තිබෙන්නට පුළුවන් නේදැයි සොයා බැලුවෙමි. 
අඳෝමය, එවැනි වයර් දෙකක්ම පරණ පෙට්ටියක තිබී හමුවුණි. 
එකක් ගෙන දුරකථනය අලුත් වැඩියා කරගත්තෙමි. 
පාලිතට කෝල් එකක් දී ට වයර් එකක් ඇබීමට අවශ්‍ය නැති බවද කීවෙමි.

The voyage to Siam

  This story is based on King Kirti Sri Rajasinha’s embassy of 1750–1751, supported by the Dutch, to seek Siamese monks who could restore up...