Wednesday, May 31, 2017

ලංකාවේ ආපදා කලමනාකරණය ; බස්තියන් පයින් යෑමක්ද?





ලංකාවේ ආපදා ඇතිවීම නිරතුරුවම සිදුවේ. ඒවා කොතරම් සිදු වන්නේද යත් අපට ඒ සදහා කැබිනට් අමාත්‍යවරයෙකුද සිටි. මා හිතන හැටියට ලෝකයේ ආපදා බොහෝ සිදුවන බංගලාදේශය, ඉන්දුනීසියාවේ හෝ ටහිටියේ වත් ආපදා කලමනාකරණයට ඇමතිවරයෙකු පත්කර නොමැත. 

ආපදා කලමනාකරණය යනු ගං වතුරක් පැමිණි විට අමුඩයක් ගසාගෙන එයට පැනීමවත්, කුණු ගොඩක් පෙරලෙන විට එය පෙරලෙන්නට නොදී උරිහ තබාගෙන සිටීමවත් නොවේ.  

ආපදා කලමනාකරණයේ ප්‍රධාන අරමුණක් විය යුත්තේ ආපදාවක් සිදු වන්නට නොදී නවතා ගැනීමය. උදාහරණයක් වශයෙන් පසුගිය දිනක කළුතර සිදු වූ බෝට්ටු අනතුර ගත හැක. මෙතනදී මේ බෝට්ටු පෙරහැර සෑම වසරකම සිදුවන්නක් නම් ආපදා කලමනාකරනයේ යෙදෙන්නන් විසින් සිදුකල යුතුව තිබුනේ,


  1. බෝට්ටුවට ආරක්ෂා සහිතව රැගෙන යා හැකි ප්‍රමාණයක් පෙර නිර්නය කර ඊට වඩා ගෙන නොයාමට කටයුතු කිරීම. 
  2. එම බෝට්ටු වල ඒ යන පිරිස් වලට අවශ්‍ය ප්‍රමාණයේ ආරෂිත උපකරණ තිබෙනවා දැයි සහතික කිරීම. 
  3. එම බෝට්ටු පදවන්නන්ට ඒවා පැදවීමේ හැකියාවක් සහ පුහුණුවක් තිබේදැයි පරීක්ෂා කර බැලීම. 


වැනි දෑ සිදුකර ආපදාවක් සිදු වන්නනට තිබෙන ඉඩකඩ හැකි තරම් අඩු කිරීමයි. 

එහෙත් සමහර ආපදාවන්, විශේසයෙන්ම ස්වාභාවික ආපදා වැලැක්වීම ප්‍රායෝගික නොවේ. ගිනි කඳු පිපිරීම්, භූ චලන, ජල ගැලීම් සහ නාය යෑම් වැනි උපද්‍රව මේ ගණයට අයත්ය. මේවායින් අපට බොහෝ විට බලපාන්නේ - මීතොටමුල්ල වැනි අපිම හදාගත් ඒවා නොවන්නට ගං වතුර සහ නාය යෑම්ය. මෙයින් ගං වතුර ඇත්තෙන්ම නොයෙකුත් ඉංජිනේරු ක්‍රම යොදා වලක්වා ගැනීමට පුලුවන. වැස්ස වැඩි වී උතුරන ගඟක් රටේ එක් පැත්තක තිබෙනවා නම් රටේ තවත් පැත්තක වැස්ස අඩු නිසා සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා ජල පරිමාව අඩු ගඟක් තිබේ නම්, මෙය සෘතුමය ආකාරයට සිදු වන්නේ නම් ජලය වැඩි ගංඟාවෙන් ජලය අඩු ගංඟාවට ගුරුත්ව බලයෙන් ජලය ගෙන යා හැකි ඉංජිනේරුමය ක්‍රමයක් ඇති කිරිම මෙයින් එක් ක්‍රමයකි. 

එහෙත් මෙවැනි ක්‍රම සදහා විශාල ආයෝජනයක් අවශයයයි. ඒ ආයෝජනයටත් වඩා එඩිතර, නිර්මාණශීලී එමෙන්ම දුර දක්නා නායකත්වයක් තිබිය යුතුය. හැම දෙනාම සතුටු කරන්නට උත්සාහ කරන නායකයන්ට මෙවැනි දේ කිරිමට හිත හදා ගැනීමටවත් නොහැකිය. ලී ක්වාන් යූ එසේත් නැත්නම් අඩු තරමින් මහාතීර් මොහොමඩ් වැනි වූ නායකයෙකුවත් සිටිය යුතුය. ලංකාවේ නම් මෙතෙක් සිටි නායකයන් ගෙන් එවැන්නක් හිතන්නටවත් පුලුවන්. ඩී.එස්. සේනානායක හෝ ගාමිණී දිසානායක වැන්නන්ය. 

පසු ආපදා කලමනාකරණය මෙයට වෙනස්ය. ගං වතුර හෝ නාය යාම් සිදු වූ පසු එයින් අසරණ භාවයට පත්වන පුරවැසියනට සහන කටයුතු සිදු කිරීම හා හැකි තරම් ඉක්මනට ඔවුන් පෙර සිටි තත්වයට පත් කිරීම ආපදාවේ මෙම අදියරේ ප්‍රධානතම පරමාර්ථය විය යුතුය. මෙම කාලයේ බොහෝ දෙන සිදු වූ අපදාව හා ඉන් ඇති වූ නොයෙකුත් මිනිස් පීඩා නිසා ව්‍යාකූල තත්වයට පත්වේ. එකිනෙකාට වැරදි පැටවීම ආපදා කලමනාකරණය නිසි අයුරින් ඉටු නොවන්නේ යැයි චෝදනා එල්ල කිරීම සහ තමන් හැකි පමණින් ආපදාවන්ට ගොදුරු වූවන්ට සහන සැලසීමට උත්සාහ කිරීම වැනි දෑ සිදු වන්නට පටන් ගනී. 

ඇත්තෙන්ම මේ අවස්ථාවේ මේ කිසිදේකින් නොසැලී සම්පූර්ණ ආපදා කලමනාකරණයම ඉටුකල හැකි යාන්ත්‍රණයක් අප සතුව තිබේ. ඒ අපේ ත්‍රිවිධ හමුදාවන් වෙති. ඒවායේ සාමාජිකයෝ නොයෙකුත් ආකාරයේ නොයෙකුත් රටවල මෙවැනි අවස්ථාවන් වලට මුහුණදීම සදහා පුහුණුවක් ලබා ඇත්තෝය. 

 සංග්‍රාම විද්‍යාව පුහුණුවන විට යුද්ධයෙහි මූල ධර්ම දහයක් මුල් කරගෙන එම අභ්‍යාසයන් කරනු ලබයි. 

  1.  අරමුණෙහි සිටීම.
  2. කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ උදව් උපකාර කර ගැනීම. 
  3. ඉක්මනින් වෙනස්වීමේ හැකියාව.
  4. ධනාත්මක චින්තනය පවත්වා ගැනීම.
  5. මෙහෙයුම්වල ආරක්ෂාව.
  6. සතුරා පුදුමයට පත් කිරීම.
  7. අවශ්‍ය තැනට තමාගේ බලය යෙදවීම.
  8. වඩාත්ම කාර්යක්ෂම ලෙස මෙහෙයුම් කටයුතු සිදු කිරීම.
  9. මෙහෙයුම් නොකඩවා පවත්වා ගැනීමේ හැකියාව.
  10. ආක්‍රමනික හෝ ධනාත්මක ලෙස මෙහෙයුම් කිරීම.

  

මෙම මූල ධර්ම මත පුහුණු වූ සංවිධානයක් ආපදා කලමනාකරණයට වෙසෙසින්ම නිර්මාණය කරන ලද්දක් ලෙස පෙනේ. ඇත්තෙන්ම  තොරතුරු එකතු කිරීමද මෙයට ඉතා වැදගත්ය. හමුදාවල බුද්ධි යන වචනය පාවිච්චි කලද intelligence යන වචනයේ තේරුම පාවිච්චි කල හැකි තොරතුරු යන්නයි. පසු ආපදා කලමනාකරණයේදී ප්‍රධානතම අවශ්‍යතාවයක් වනුයේ පාවිච්චි කල හැකි තොරතුරුය. හමුදා සාමාජිකයන් මේ සදහාද හොදින් පුහුණු කර තිබේ. 

මෙයට අමතරව ත්‍රිවිධ හමුදා සතුව මෙවැනි අවස්ථාවලට මුහුණදීම සදහා අවශ්‍ය තරම් උපකරණ තිබේ. විශේෂයෙන්ම අවුරුදු 30 ක දරුණු යුද්ධයකින් පසු එකතුවී ඇති ආම්පන්න සහ උපකරණ ඕනෑම රටක කුඩා හමුදාවකට ඊර්ෂියා උපදවන තරම්ය. මෙවැනි ත්‍රිවිධ හමුදාවක් මෙවැනි ආපදා කලමනාකරණයන් සිදු කරන්නට හොඳම සංවිධානය නොවන්නේ කෙසේද? පුහුණුව, නායකත්වය, උපකරණ සම්පාදනය සහ ගැලපීම ඉහටත් උඩින්ය. එහෙත් එම හමුදා මෙවැනි අවස්ථාවක යෙදවිම මිට වඩා මනා සංවිධානයකින් කල යුතුව ඇත්තේය.

උදාහරණයකට මෙවර ගං වතුනේ හා නාය යෑමෙන් ප්‍රධාන වශයෙන් විපතට පත්වූයේ රත්නපුර, කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කයන්ය. කොළඹ මෙවර එතරම් අපහසුතාවයට මුහුණ දුන්නේ නැති වුවද කොළඹත් මේ කණ්ඩායමට ඇතුලත් විය යුතුය.

මා යෝජනා කරන්නේ මෙම දිස්ත්‍රික්ක පහ ත්‍රිවිධ හමුදා හතරේ ආපදා කලමනාකරණය සදහා බෙදා දීමයි. කොළඹ සහ කළුතර නාවික හමුදාවටද, රත්නපුර සහ මාතර යුධ හමුදාවටද, ගාල්ල ගුවන් හමුදාවටද, ලබා දීම සුදුසු වන්නේ එම හමුදාවල ප්‍රධාන පහසුකම් එම දිස්ත්‍රික්කවල තිබීම සදහා සලකා බලාය.

එම හමුදාවනට මෙම දිස්ත්‍රික්ක සදහා සම්බන්ධීකරණ නිලධාරියෙකු පත් කල හැකිය. මෙවැනි ආපදා සිදුවන්නේ කලාතුරකින් බැවින් එම නිලධාරීන් එම දිස්ත්‍රික්කයේම සිටීම අත්‍යවශය නොවේ. උදාහරණයක් වශයෙන් නාවික හමුදාවේ බටහිර ආඥාපතිවරයා කොළඹ දිස්ත්‍රික්කයටද, දකුණේ ආඥාපතිවරයා කළුතර දිස්ත්‍රික්කයටද, යෙදවිය හැක. ඔවුනට තමන්ගේ දිස්ත්‍රික්කයේ තොරතුරු එක්රැස් කරමින් සන්නිවේදන ජාලයන් ගොඩනගමින් සම්මන්ත්‍රණ සහ සාකච්ඡා පවත්වමින් ආපදාවක් සිදු වූ විට එයට කෙසේ මුහුණ දෙන්නේ දැයි සැලසුම් සකස්කර කලින් කල පුහුණුවීම් සහ පෙර පුහුණු පවත්වමින් ආපදාවන්ට මුහුණදීමට සූදානම් විය හැක.

මෙවැනි සංවිධානයක් ඇති කිරීමෙන් පහත ප්‍රයෝජන ලබා ගැනීමට පුලුවන.

  1. ආපදාව පටන් ගන්නා විටම එයට මුහුණදීමේ ක්‍රියාකාරකමද පටන් ගනී.
  2. ආපදා කලමනාකරණ ක්‍රියාවලිය මනා සංවිධානයකින් පවත්වාගෙන යාමට එක් ස්ථානයකින් ක්‍රියාත්මක වෙයි.
  3. සෑම සියලු ක්‍රියාවක්ම එක් ස්ථානයකින් සම්බන්ධිකරණය වේ.  
  4. බොහෝ දෙනෙකු එකම දෙය කරන්නට යන්නේ නැත. එමනිසා නාස්තිය අඩුවේ.
  5. මුලු දිස්ත්‍රික්කයේම ක්‍රියාකාරකම් වලට වග කියන්නේ එක් පුද්ගලයෙකි.
  6. පිටතින් එන උපකාර හා ආධාර ප්‍රදේශය ගැන දන්නා එක් පුද්ගලයෙකු මගින් සම්බන්ධීකරණය වේ.
  7. ආපදාවට ලක්වන නොයෙකුත් ප්‍රදේශවල පුද්ගලයන් ගං වතුරකදී එකතුවිය යුත්තේ කොතැනකද? එම ස්ථානයේ සිටින රජයේ නිලධාරියා කවුද? ඔහු හා සම්බන්ධ වන්නේ කෙසේද? යන සියලු දත්ත දිස්ත්‍රික් සංවරධන නිලධාරියා ලග තිබේ.
  8. දිස්ත්‍රික්කයේ තිබෙන සියලුම පසු ආපදා කලමනාකරණයට යොදා ගත හැකි සම්පත් පිලිබඳ විස්තර එක් තැනක තිබේ.
  9. ආපදාවට ලක් වූවන්ට උදව් කිරීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට සම්බන්ධීකරණ කාර්යාලය හා සාකච්ඡා කර ක්‍රියාත්මක විය හැකිය.
  10. තම තමන්ගේ දිස්ත්‍රික්කයේ ආපදා කලමනාකරණය හොදින්ම කිරිමට ඇති උනන්දුව නිසා එම සම්බන්ධීකරන නිලධාරීන් අතර සෞඛ්‍ය සම්පන්න තරඟයක් ඇති වීම.  
  11. දත්ත ගබඩාවක්  ස්ථාපිත වීම - මෙය තුල ගං වතුරට යටවීමට ඉඩතිබෙන ගම් , ඒවායේ ජිවත්වන ප්‍රමාණයන් , එම ගමෙහි ඇති ජනතාවට ප්‍රවේශමෙන් සිටිය හැකි  උස් ස්ථාන , එම ස්ථානයන්ට ගමන් කල හැකි ආකාරයන් , එහි කටයුතු සම්බන්ධීකරණය කල හැකි කෙනෙකුගේ දුරකථන අංක යනාදිය තිබිය යුතුය. එවිට ගං වතුරෙන් වතුරට රෝදය නැවත නැවත සොයාගන්නේ නැතිව එක්වරම වැඩට බැසිය හැක.
  12. රජයට ජනතාවගෙන් අකාර්යක්ෂම යැයි බැනුම් නොඅසා සිටිය හැකි වීම- ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ කාර්‍යබාරය නීති සම්පාදනය කිරීමය. නීති සැදීම යනු මෙවැනි දෑ සංවිධානය කර පිහිටවිමය. ඉන්පසු එම කටයුතු හොදින් සිදුවන්නේදැයි පරීක්ෂාවෙන් සිටීමය. එලෙස කටයුතු සිදුවන්නේ නම් ජනතාව ඇමතිවරයා කොහේ සිටින්නේද අගමැතිවරයා කොහේ යන්නේද සොයා බැලීමට අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. 
මේවාට අමතරව තවත් බොහෝ ප්‍රයෝජන මෙවැනි යෝජිත දිස්ත්‍රික් සම්බන්ධීකරණ ක්‍රමවේදයකින් ලබාගත හැක්කේය. මෙවැනි ක්‍රමවේදයක් ඇති කිරීමට සමහර විට ප්‍රාදේශීය දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් අතර යම් අකමැත්තක් ඇති වන්නට ඉඩ තිබේ. ඒ නිලධාරීන්ගේ හා දේශපාලඥයින්ගේ ප්‍රදේශයේ බලයේ ඛාදනයක් ඇතිවේදැයි යන සැකය ඉස්මතු වීමයි. නමුත් එවැනි සුලු බල අරගල වලට වඩා අප සියලු දෙන උත්සුක විය යුත්තේ මෙවැනි ආපදා අවස්ථාවක එහි කෘරත්වයට මුහුණ දුන් ජනතාවට හැකි උපරිම අයුරින් උදව් කර ඔවුන්ගේ ජීවිත යතා තත්වයට පත් කිරිමයි.

එසේ කිරීමට නම් අපි මේ සදහා අප සතුව ඇති හොඳම අවිය මුලු බලයම යොදා යෙදවිය යුත්තේය.      

3 comments:

  1. එහෙම කරල බෑ නෙ.එතකොට ප්‍රශ්න කියාගෙන දේසපාළුවා ගාවට අඬාගෙන එන්න කට්ටිය නැති වෙනවනෙ.එහෙම අඬාගෙන එන අයට රැස් පෙන්නලා,නිලධාරීන්ට කෝල් කරලා.. ඔන්න හරි.මම වැඩේ කරල දුන්නා කියල කියන්න බැරි වෙනවනෙ.රජයෙන් හෝ ආධාර කණ්ඩායම් වලින් ලැබෙන දේ තමින්ගෙ වගේ බෙදන්න බැරි වෙනවනෙ. ඒ නිසා සිස්ටම් හැදිලි නම් මේ කපේට කෙරෙන්නෙ නෑ කියල නම් කියන්න පුළුවන්.
    ජයවේවා..!!

    ReplyDelete
  2. ඇත්ත , ලේසියෙන් කරන්න පුලුවන් , ඇයි නොකරන්නෙ කියල හිතාගන්නත් බැහැ

    ReplyDelete

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...