Sunday, July 23, 2017

මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වලක්වන්නේ කෙසේද?


from
http://lakshmanillangakoon.blogspot.com/2017/07/rathmalane.html

මම ඊයේ රත්මලානේ දකින්නට ලැබ අල්ලා ගත් කොකේන් කිලෝ 150 ගැන බ්ලොග් එකක් ලීවෙමි.මෙම සිද්ධියේ භයානක කම රට ඇතුලට මෙවැනි තහනම් මත් ද්‍රව්‍ය රැගෙන ඒම වැලක්වීමට පොදුජන මුදලින් නඩත්තුවන ආයතන සියල්ලෙන්ම මිදී මෙම කොකේන් තොගය සොයා දුන්නේ CWE  එකේ කම්කරුවන් කිහිපදෙනෙකු වීමයි.

මෙලෙස අවසානයේ රට ඇතුලට ආ පසු අහම්බෙන් කෙනෙකු දැක අසුවෙනවානම් අප ගසා  ඇති වැට වලින් ප්‍රයෝජනයක් වෙන බවක් නොපෙනේ. අනෙක මෙතරම් ලොකු තොගයකුත් මෙලෙස ආරක්ෂාවෙන් මිදී ඇතුලට එන්නේ නම් කුඩා සිල්ලර ප්‍රමාන වලට කොතරම් පහසුවෙන් ඇතුලට එන්නට හැකියාවක් ඇද්දැයි සිතාගන්නට පුළුවන.

මෙලෙස තොග ගනනේ කොකේන් ගෙන එමෙන් පෙනෙන්නේ  එක්කෝ ලංකාවේ අති මහත් ජනතාවක් මේකට ඇබ්බැහි වී ඇති බවය, එසේත් නැතිනම් අප රට කොකේන් බෙදාහැරීමේ ජාත්‍යන්තර  මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බවය. මේ දෙකෙන් කෝකත් අති භයානකය. මෙය වැලක්වීමට වහාම පියවර ගත්තේ නැත්නම් අපට බොහෝ කනගාටුදායක ප්‍රතිපල අත්විදින්නට වනබව නොඅනුමානය. 

අපට මේ සඳහා කලහැක්කේ කුමක්ද? කලයුත්තේ අප වෙත ඇති සියලුම මෙවලම්, මෙම මත්  ද්‍රව්‍ය රට තුලට ඒම වැලැක්වීම සඳහා අතිශය සංවිධානාත්මකව  යෙදවීමයි. වෙනත් ජාතියකට වඩා අපට මෙතැනදී විශේෂ වාසියක් තිබේ. ඒ අප දීර්ඝ කාලින යුද්ධයක් අවසානකර සිටීමයි. ඕනෑම රටක් යුද්ධයක් අවසන් කල පසු යුද්ධයේදී පාවිච්චි කල උපකරණ සහ හමුදාවන්ගේ අතිරික්තයක් ඇතිවන බව නොකිවමනාය. එවැනි අතිරික්තයක් නැවත වරක් ජාතියේ ප්‍රමුඛ අවශ්‍යතාවයකට යොදාගන්නේ නැත්නම් එම මෙවලම් කොස්කොටන්නදැයි කෙනෙකුට අසන්නට පුළුවන. මෙලෙස කිසිම කරදරයක් නොමැතිව , වෙනත් කිසිම යෙදුමකට අවහිරයක් නොමැතිව එක්වරම යොදාගත හැකි සම්පත් කිහිපයක් තිබේ.

එහෙත් ඒ සියලු සම්පත් වලින් නිසි පල නෙලාගැනීමට නම් මුලින්ම එක් නිලධාරියෙකු සියලුම මත්ද්‍රව්‍ය රටතුලට ගෙන ඒම වැළක්වීමේ කටයුතු සංවිධානය සඳහා නම්කර ඔහුට සියලු බලතල ලබාදී රහස් තොරතුරු ඇතුළු සියලුම  සම්පත් ඔහුට යොදවාගත හැකි ආකාරයට නීති සකස් කිරීම අත්‍යඅවශ්‍යය. 


  • යුද්ධ කාලයේදී සියලුම හමුදාවෝ : යුධ,නාවික සහ ගුවන්, සුනඛ ඒකක ආරම්භ කළහ. යුද්ධය අවසානයෙන් පසුවත් ටික කාලයක් බිම් බෝම්බ ගොඩගැනීමට මේ සුනඛයන් යොදාගත්හ. මේ සුනඛයන්ගේ එකතුව බොහෝවිට 300 කටත් වඩා වැඩි විය යුතුය. ඊටත්  වඩා වටින්නේ මේ සුනඛ ඒකක සඳහා ගොඩ නැගු යටිතල ව්‍යුහයන්ය. බලු කුඩු වලසිට පශු වෛද්‍යවරු දක්වා මෙම ව්‍යුහයන් දිවෙයි. මේ ඒකක සියල්ල එක් පුද්ගලයෙකු යටතේ සංවිධානය කර සුනඛයන් මත් ද්‍රව්‍ය සොයාගැනීම සඳහාම  නැවත පුහුණුකර  සියලුම වරායවල සහ ගුවන් තොටුපලවල සේවයේ යෙදවීම.
  • මෙම සුනඛයන් යොදා ගෙන වරින්වර සැක සහිත ස්ථානයන් සහ පුද්ගලයන් පරික්ෂා කරවීම.
  • නාවික හමුදාව යුද්ධ කාලයේදී තමන්ගේ නොයෙකුත් පහසුකම් සහ කඳවුරු වල ආරක්ෂාව සඳහා සතුරන් එන බව කලින් දැන ගැනීමට රේඩාර් උපකරණ සවි කළේය. මෙවැනි රේඩාර් යන්ත්‍ර සිය  ගණනක් දැන් එකල තිබු අවශ්‍යතාවයන් නැතිවී අතිරික්ත වී ඇති බවට කිසිම සැකයක් නැත්තේය. උදාහරණයක් වශයෙන් දැන් වැලිගම නාවික හමුදා නිවාඩු නිකේතනය තිබුණු තැන යුද්ධය අවසන් වනතෙක් තිබුනේ ගාල්ලේ වරයා ආරක්ෂාකිරීමට යොදා තිබුණු රේඩාර්  යන්ත්‍රයකි. මෙවැනි උපකරණ මුහුදෙන් මත් ද්‍රව්‍ය ගෙනවිත් ගොඩ බාන්නට ඉඩ තිබෙන ප්‍රදේශ වල කිලෝ මීටර් 5 න් 5 හට සවිකළ හැක. ඒවා එක පද්ධතියකට සවි කිරීමෙන් සියලුම රේඩාර් රූප එක මධ්‍යම ස්ථානයක සිට බලා ගැනීමටද පුළුවන.
  • එකල නැගෙනහිර මුහුදේ ඇතින් තිබෙන  ආයුධ රැගෙන ඒමට උත්සාහ කරන  නැව් හා ට්‍රෝලර් යාත්‍රා අල්ලා ගැනීමට HF රේඩාර් යන්ත්‍රයක් නැගෙනහිර මුහුදේ සවි කෙරුණි. මෙම රේඩාර් යන්ත්‍රය කැනඩාවේ නිපදවුනේ ඇමරිකාව අයත් රේතියොන් ආයතනයෙනි. එකල ඉතාමත් නවීනතම රේඩාර් පද්ධතියක් වූ මෙවැනි රේඩාර් දැන් ඈත මුහුදේ රැලි පද්ධති වල විශාලත්වය හා වේගය මැන සුනාමි අනතුරු ඇගවීම් සඳහාද යොදා ගැනේ. මෙම යන්ත්‍රය මුහුදෙන් වඩාත්ම මත්ද්‍රව්‍ය ගෙන ඒමට අවදානය තිබෙන තැනින් සවිකළ හැක.


මේ එවැනි මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා යොදාගත හැකි අතිරික්ත වී ඇති සම්පත් කිහිපයකි. නිර්මානකාරි වනවා නම් මෙවැනි නොයෙක් ආකාර යෙදවීම් යොදා ගැනීමට පුළුවන.


2 comments:

  1. මත්ද්‍රව්‍ය පිලිබඳ ඇති ඛේදවාචකය සුළු පටු නොවේ එහෙත් හැමදාම මත්කුඩු පිළිබඳව පොලිසිය වටලන්නේ එහි අන්තිම පූරුකය. මහා මොළකරුවන් නිදැල්ලේ හැසිරෙති ඔවුහු සුදු රෙද්දෙන් තම හෙළුව වාසාගෙන සිටිති. පාකිස්ථානයේ සිට මෙරටට කුඩු පැමිණෙන්නේ කෙසේද ? මේවායේ මහා ගනු දෙණු සිදුවන්නේ කොහෙද? මා මේ ලියන මොහොතේත් රාජගිරියේ කුඩු අළවි වේ. එහි ඩීල් සිදුවන්නේ මධ්‍යම රාත්‍රිය නික්මුණු පසුවය. ආරක්ෂාව සපයන්නේ විශේෂ කාර්ය බලකායෙනි. ඉතින් නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ වූකල දෝසය පවසන්නේ කාටද?
    විචාරක දියණිය

    ReplyDelete
  2. ඇත්ත, එක් වගකියන්නෙකු පත්කිරිම ඉතා අවැසි

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...