Friday, September 17, 2021

අතීතයෙන් සත්‍ය කතා 1 මිනිරන් සහ හා දඩයම

 දැනට අවුරුදු දහයකට පමණ පෙර මා දන්නා හඳුනන වැඩිහිටියෙකු ඉඳහිට අපේ ගෙදරට පැමිණ මා සමඟ කතා කිරීමට පුරුදුව සිටියේය. ඔහුගේ අතීත කතා ඉතා රසවත් වූ බැවින් මම ද ඔහු එන එක ධෛර්යමත් කළේ ඔහු පැමිණි විට තේකක් සහ සිගරට් එකක් වැනි දෑ පිළිගැන්වීමෙනි.


ඔහුගේ මෙම අතීත ස්මරණයන් ලියා තබන්නට ඒ දවස් වල මට සිත් වූ හෙයින් මම කෙනෙකු ලවා ඔහුගේ කතාව CR පොතක ලියන්නට සැලැස්සූ වෙමි. ඒ කාලේම වගේ ඔහු මියගිය අතර මට ද ඒ ලියාගත් පොත පිළිබඳව අමතක වී ගියේ ය. 

අද මම මගේ පොත් රාක්කයක් පිළිවෙලකට තැබීමට අස් කරමින් සිටියදී එම පොත දකින්නට ලැබුණි.


මේ පහතින් ලියා දැක්වෙන්නේ ඔහුගේ එම ජීවිත කතාව ස්මරණය කරමින් ලියාගත් සටහන ය


අපේ මුල් පෙලපත ගාල්ල කෝදාගොඩ ...... වලව්ව. අපේ වාසගම ,.,................. ඒ කාලේ මිනිරන් පතල් කපන්න අපේ සීයා කෙනෙක් ඇවිත් තියෙනවා නුවර පැත්තේ ඉඩම් අරගෙන. මිනිරන් පතල් කපල සරුවට හම්බ කරල තියනව. බොක්කාවල සුදුවැල්ල ට යනකල්ම ටවුම අපිට තමයි අයිති වෙලා තිබුනේ. ඒ වැඩ සීයා හොඳට කරගෙන ගිහින් තියෙනවා. කොතලාවල මහත්තයාගේ තාත්තා ආපුහාම නතර වෙන්නේ මෙයාලගේ ගෙදර. එයා නරි දඩයමේ හා දඩයමේ යනවා. එයා එනකොට පහළොවක් විස්සක් විතර පිරිවර අරගෙන එන්නේ. සීයාට දරුවන් පහක් ඉඳලා තියෙනවා. එයාලා ඔක්කොම වතු රස්සාව කළේ. ඉඩකඩම් තියෙන ඒවගේ පාලනය වෙනම ගෙන ගියා. සීයා මියගියාට පසු ළමුන් ඒවා පාලනය කරන්න පටන් ගත්තා. ඒවා පාලනය කරගෙන යනකොට එයාලා අතරේ බෙදිලා ගිහින් තිබුණා. විවාහ වෙලා එක එක පැත්තට ගියා. මගේ තාත්තා ........ සමඟ විවාහ වුණා. ඇය ගුරුවරියකි. මගේ මවටත් අරඹේපොල .......

 යනකල්ම දෙපැත්තෙ ඉඩම් තිබුණා. ඒවත් හැමෝම අතරේ බෙදිලා ගියා. මගේ පවුලේ දරුවන් තිදෙනෙකි. මාව බලාගන්න තුන්දෙනෙක් හිටියා. මම කවදාවත් මගේ මව දැකල නැහැ. මල්ලි හම්බ වෙද්දි මව නැති වුණා. තාත්තගේ බීමත්කම වැඩි නිසා ගෙදර බඩු කඩනවා. නමුත් පහුවෙනිදාට ඒවා ගේනවා. අම්මා මැරෙන බව දැනගෙන තියෙනවා. අම්මා මැරුනහම පූජා කරන්න කියලා අම්මා කොට්ට උර පණහක් මහලා තියෙනවා. මව මිය ගියාට පසු මවගේ අක්කා කෙනෙක් ....... බැඳල හිටියා. ඔවුන්ටත් ගොඩක් ඉඩම් තිබුණා. මේ ලොකු අම්මට දුවලා පස්දෙනෙක් හිටියා. ලොකු අම්මා බැඳල හිටපු කෙනාගේ කෑමට වස දාලා ඔහු මිය ගියා. 

එදා එයාලගේ කුඹුරු වගයක් හානවා. ලොකු තාත්තා කුඹුරු ඉඩම්වල ඇවිදින්න යනවා. ඔහු ඇවිදගෙන එන විට ඥාති සහෝදරයා කතා කරලා කියලා තියෙනවා අයියේ ඇවිත් යන්න එන්න කියලා. මෙයාලගේ හිත යටින් ඉඩකඩම් සම්බන්ධව විරුද්ධත්වයක් තියෙනවා. එදා මෙයාල ලහිලහියේ ලොකු තාත්තට හා එයත් සමග හිටපු මුදියන්සේ බණ්ඩාට කෑම ලෑස්ති කරල තියෙනවා. කරෝල යෙක් මරලා විස කුප්පියක් ඇතුලේ දාලා කොස් ගහක බෙනයක දමා තියලා තමයි වස මිශ්‍ර කරල තියෙන්නෙ. මුදියන්සේ ත් මස් කෑමට ඉතාමත් ආස නිසා ඒ මස් ද කාලා තියෙනවා. ඒ වස කෑම නිසා ලේ වමනය වෙලා මිය ගිහිල්ලා තියෙනවා. ඒ මරණෙන් පසු ඒ මිනිස්සු බය වී ඔක්කොම දේවල් අත ඇරලා දාලා ගමෙන් පිට වෙලා තියෙනවා.  ඒ ඉඩම්වල වගාවන් තේ කෝපි පොල් ගස්ලබු කෙසෙල් වුණා. කිතුල් මදින්න තුන් දෙනෙක් හිටියා. දවසකට හකුරු මුල් විස්සක් විසිපහක් වක්කරනවා. ඒ ගමේ හොර කණ්ඩායමක් හිටියා. දවල් තිස්සේ නිදියනවා. රෑට හොරකම් කරනවා. මේ හොරු කණ්ඩායම වෙස් වලාගෙන රෑට කෙසෙල් කපනවා. හොරකම් කරනවා. 


අපේ ගෙදර හැමතිස්සෙම හූනියන් දේවතාවුන් වහන්සේ වැඩ ඉන්නවා. තාත්තා කොහේ හිටියත් වෙලාවට පහන පත්තු කරන්න එන්න ඕනේ. නැත්නම් තාත්තව ඇඳෙන් ඇදලා දානවා. ඒ ගෙදර සුදු බල්ලො හදන්න බැහැ. මොකද හූනියම් දේවතාවුන් වහන්සේ සුදු ඇඳලා නේ එන්නෙ. ඒ එන වෙලාවට බල්ලො බුරන නිසා හදන්න බැහැ. බිරුවොත් උදේට කකුල් පන නැති වෙලා වැටෙනවා. ඒ හොරු කණ්ඩායමේ දහ දොළොස් දෙනෙක් හිටියා. .......ඊළඟ කොටස අනිද්දා.....

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...