Saturday, June 16, 2018

නිරීක්ෂණ සහ උගත හැකි දෑ - වියට්නාම් සංචාරය 10








මම ලඟකදී කල වියට්නාම් සංචාරය පිළිබඳව බ්ලොග් 9 ක් ලිව්වෙමි. සංචාරය පිළිබඳ වාර්තාව අවසන් විය. එම ගමනේදී දුටු සමහර දේවල් පිළිබඳව මගේ නිරීක්ෂණයන් සහ නිගමනයන් මම එතැන්හිම සටහන් කරන්නට උත්සාහ කලද ලියා අවසන් වූ පසු මට සමහර නිරීක්ෂණයන් අතපසු වී ඇති බව මට හැඟුනි. ආර්ථික සා සමාජීය වශයෙන් අප කිට්ටුවෙන්ම සිට, දැන් අප වටා සිටින අනෙක් රටවල් මෙන්ම දැන් සීග්‍ර සංවර්ධනයක් දෙසට ගුවන් ගත වීමට ලැහැස්ති වන, මෙවැනි රටකින් අපට ඉගෙන ගැනීමට ලැබෙන පාඩම්, අපෙන් දැනටමත් ආර්ථික සහ මානුෂික වශයෙන් බොහෝ ඇත්වී තිබෙන රටවලින් ඉගෙන ගත හැකි පාඩම් වලට වඩා අපේ හදවතට කිට්ටුය, ඉගෙන ගැනීමටත් පහසුය.
1.   
 1. ඔවුන් අප හා  සසඳන බත් කන්නේ ඉතා අඩුවෙනි. පස් හය දෙනෙකු කන්නේ එක කුඩා බත් පිඟානක් පමණි. මේ හේතුව නිසාම එහි උදරය ඉදිරියට නෙරා ඇති මිනිසුන්; කාන්තාවන්ද ඇතුළුව, ඇත්තෙන්ම නැති තරම්ය. ඔවුන් වැඩියෙන්ම කන්නේ ඌරු සහ කුකුල්  මස්, එළවලු පලතුරු යනාදියය.
2.     වියට්නාමය ලෝකයේ දෙවෙනියට විශාල සහල් අපනයනය කරන රට වෙයි. ඔවුන්ගේ ජාතික මධ්‍යසාරය  සහල් වයින් ( rice wine) ය. අපිත් හොඳට කන බොන; කන කෙසේ වෙතත් බොන ජාතියකි. එහෙත් අපි බොන මධ්‍යසාර සහල් වලින් පෙරන සංස්කෘතියක් හදාගෙන නැතිවීම පුදුමයට කාරණයකි.
3.     වියට්නාමය දැන් කලකට පෙර ප්‍රධාන අපනයනය භාණ්ඩයන් වුයේ සහල්, ධීවර නිෂ්පාදන, කෝපි, වැනි කෘෂිකාර්මික සහ ධීවර නිෂ්පාදනයන්ය. නමුත් වර්තමානයේ ඔවුන්ගේ අපනයනයන් ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන පැත්තට හැරෙමින් පවතී. සැම්සුන් සමාගම ප්‍රධාන වශයෙන් එහි කර්මාන්තශාලා පවත්වාගෙන යන්නේ වියට්නාමයේය. අපේ සංචාරයේදී බොහෝ විදේශීය කර්මාන්තශාලා කුඹුරු ගොඩකරමින් කර්මාන්තශාලා ගොඩ නැගෙන අයුරු දැකීම සුලබ දසුනක් විය. මෙයට ප්‍රධාන හේතුවක් වනවා ඇත්තේ එරටේ ව්‍යාපාර කිරීමේ පහසුව නිසා විය හැක. කොමියුනිස්ට් ඒකාධිපති පාලනයක් තිබියදීත් ලෝක බැංකුවේ ව්‍යාපාර කිරීමේ පහසුව ලැයිස්තුවේ වියට්නාමය සිටින්නේ 68 වන ස්ථානයේය. මෙතරම් විවෘත  ආර්ථිකයක් යැයි කෑ මොර දෙන අපි මෙම ලැයිස්තුවේ පත් වී ඇත්තේ 111 වන ස්ථානයේය. FDI එන්නේ නැතැයි කෑ මොර දෙන වුර්තිය සමිති සහ දේශපාලඥයෝම අනෙක් පැත්තෙන් ව්‍යාපාර කිරීමට ඇති පහසුවේ ලැයිස්තුවේ ඉහලට යන්නට නොදී බාධා කිරීම මෙයට හේතුවයි.
4.     වියට්නාමයේ පාරවල් අපේ පාරවල්  හා සංසන්දනය කරන විට පළලින් ඉතා වැඩිය. අනාගතය ගැන කල්පනා කරන බව පෙනේ. වාහනත් බොහෝ වෙති; හැනෝයි නගරයේ පමණක් මෝටර් බයිසිකල් මිලියන පහක් තිබේ.එහෙත් වාහන ප්‍රවාහය ඉතා සුමට ලෙස ගලාගෙන යයි. පොලිස් නිලධාරින් පෙනෙන්නම නැතුවා වාගේය. අපි හැනෝයි සිට පැය තුනට වැඩි ගමන් දෙකක් ගියෙමු. ඒ කිසිම තැනක් අපි පොලිස්කරුවන් දුටුවේ නැත. නගරවලත් වෙනසක් නැත. බොහෝ විට කැමරා පද්ධතියක් මේ සේවාව වඩා හොඳින් කරනවා විය හැක. අපේ සතියක් පමණ වූ මුලු ගමනටම වාගේ අපි පොලිස් නිලධාරින් 5 දෙනෙකුට වඩා දුටුවේ  නැත. ඇත්තෙන්ම ඔවුන්ගේ නිල ඇඳුම කොයි වාගේ දැයි මට මතවත් නැත.අපේ ජාතික ප්‍රවාහන සැලසුම් කරුවන් ; එහෙම ජාතියක් ඉන්නවානම්, පුහුණු කරන්නට , සැලසුම් කිරීම ඉගෙන ගන්නට යැවිය යුත්තේ ජර්මනිය ඇමෙරිකාව වැනි දියුණු රට වලට නොවේ, වියට්නාමයටය.
5.     වියට්නාමය අපේ රට මෙන් 5 ගුණයක් පමණ විශාල රටකි. එහි උතුරෙන් සිටින මහා බලවතා වන චීනය සමග ඔවුන්ගේ දේශසීමාවේ දිග පමණක් කිලෝ මීටර 1306 ක් වෙයි ; ලංකාවේ වෙරළ දිගේ දේශසීමාවේ දිගට ඉතාම කිට්ටුවෙන් සමානය.මෙම දේශසීමා හොඳින් වෙන්කරන ලද ඒවා නොවෙති. චීන්නුන් මසට මි හරක් මිලදිගන්නටත් පැමිණෙන්නේ වියට්නාමයේ මි හරක් වෙන්දේසි වලටය.ඇමෙරිකාව සහ ප්‍රංශය සමග යුද්ධ වලදී චීනයේ උදව් ලබා ගත්තද චීනය ඔවුන්ට පහර දුන්විට වියට්නාමයට  එම ප්‍රහාර මර්ධනය කර එලවා ගැනීමට හැකිවිය.නමුත් දැන් චීනය පිළිබඳව වියට්නාම් වැසියන් මහත් බියකින් පසුවන බව පෙනේ. චීනයේ පිරිමින් කම්කරුවන් ලෙස වියට්නාමයට පැමිණ ටික කලකින් එහි කාන්තාවක් සරණ පාවාගෙන බින්න බැසීමේ ප්‍රවනතාවයක් හටගෙන තිබෙන බවද අනාගතයේ මෙලෙස චීනය වියට්නාමයේ කොටසක් බවට පත්වනු ඇතැයි එහි වැසියන් බියෙන් පසුවන බව ඔවුන් සමග කතා කරද්දී දැනුනි.
6.     වියට්නාමය  කොමියුනිස්ට් රාජ්‍යයක් වුවද ලෝක ආර්ථිකයේ යතාර්ථය අවබෝධ කරගෙන තිබේ. ඔවුහු රාජ්‍ය මගින් පාලනය වන ව්‍යාපාර පුද්ගලික කරණය කරමින් සිටිති. ලඟකදී රජයට අයත්ව තිබූ අති විශාල  බියර් සමාගමක්  වන සයිගොන් බියර සමාගම තායිලන්ත සමාගමකට ඩොලර් බිලියන 4.8 කට විකිණීම සිදුවිය. මේ ඉදිරියේ බොහෝ  පුද්ගලික කරණයනට පාර කැපීමක් බව පෙනේ. ව්‍යාපාර පුද්ගලික සමාගම් වලට ලබාදී එයින් ලැබෙන විකිණීමේ මුදල සහ ඉන්පසු බදු  මුදල් ලබාගෙන රටේ සංවර්ධනයට සහ සුබසාදනයට යෙදවීම රාජ්‍ය පාලනයේ හරි  ක්‍රමය බව ඔවුන් තේරුම් ගෙන ඇත. අපේ රටේ මෙන් රාජ්‍ය සම්පත් විකුනනවෝ කියමින් කවුරුත් පෙළපාලි යන්නේ නැත.
තව කොටසක් ඉදිරියේ ........http://lakshmanillangakoon.blogspot.com/2018/06/2.html

5 comments:

  1. ලංකාවේ රාජ්‍ය සම්පත් විකුණා දැමීමට විරුද්ධ ඇයි? රාජය ආයතන වල වැඩ කිරීමට අවශ්‍ය නැත. නිකම් හිටිය විට වැටුප් ලැබෙන නිසා.

    ReplyDelete
  2. එතකොට ඒ දේශසිමාවේ වැටක්වත් නැද්ද

    ReplyDelete
    Replies
    1. HANOI, Vietnam—The Vietnamese government says seven people have been killed in a shootout between Chinese migrants and Vietnamese border guards at a crossing in the north of the country.

      The government in the province of Quang Ninh says Vietnamese authorities early Friday detained a group of 16 Chinese including 10 men, four women and two children after they illegally entered the country.

      It says they were being taken to the border to be returned to China when one of them seized a gun from a guard, killing one of them.



      Read more: http://newsinfo.inquirer.net/595333/7-killed-in-shooting-in-china-vietnam-border#ixzz5IeTpIJLf
      Follow us: @inquirerdotnet on Twitter | inquirerdotnet on Facebook

      Delete
    2. පහත වීඩියෝවේ 3.30 සිට බලන්න.

      https://www.youtube.com/watch?v=IeZGUL9tHL8

      Delete
  3. ලින්ක් එක වැඩ කරන්නෙ නැහැ

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...