Tuesday, June 19, 2018

චිත්‍රපට සංස්ථාව ගල් යුගයට යාම


ඊයේ ප්‍රවෘත්ති තුල ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවේ සභාපතිවරයා සහ ප්‍රසිද්ධ සිනමා නළු රවින්ද්‍ර රන්දෙනිය ඇතුළු පිරිසක් ප්‍රවෘත්ති සාකච්චාවක් පැවැත්වුහ. මේ සාකච්චාවේදී ඔවුන් ගත් අපුරු තීරණයක් ගැන කියවින. ඒක හරියටම 1985 ප්‍රදර්ශනය කල හොලිවුඩ් චිත්‍රපටියක නම මතක්වන ආකාරයේ තීරණයකි. ඒ රොබට් සෙමෙකිස්ගේ back to the future චිත්‍රපටයයි.
මෙහිදී ප්‍රකාශ කල අන්දමට චිත්‍රපට සංස්ථාව නැවත ගල් යුගයට යාමට තීරණය කර ඇත. එනම් 1971; බොහෝ විට ලංකාවේ මෑත ඉතිහාසයේ මාධ්‍ය නිදහසට රජයකින් වැඩියෙන්ම බාධා ඇති වූ කාලයේ, ඇති කරන ලද නීතියක් අනුව චිත්‍රපට බෙදා හැරීම නැවතත් රජය මගින් චිත්‍රපටි සංස්ථාව හරහා බෙදා හැරීමට පටන් ගැනීමයි.
චිත්‍රපට, අනෙක් සෑම කලාවක් මෙන්ම රජයෙන් ස්වාධින විය යුතුය. රජය යම් කළා මාධ්‍යයකට ඇඟිලි ගහන්නට පටන් ගත්තොත් ඒ කලා මාධ්‍යයේ ස්වාධිනත්වය කෙලෙසේ, දියුණුව ඇන හිටී, නිර්මාණශිලිත්වය පලා යයි.
ඒකාධිපති රටවල, විශේෂයෙන්ම කොමියුනිස්ට් රටවල කලා කරුවන්ට ඇති මේ නිදහස බොහෝ අඩුය. ස්වාධින එමෙන්ම  රජයේ ප්‍රතිපත්ති වලට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන කලා කරුවන් හිරේට දමන්නේ, මරා දමන්නේ මේ නිසාය. ඒ නිසා රජය යම් විදිහකින් යම් කලා ක්ෂේත්‍රයක රාජ්‍ය බලය යොදා ගෙන තම අණසක පතුරවන්නට උත්සාහ කරන්නේ නම් එම ක්ෂේත්‍රයේ සිටින කලා කරුවන් සැක පහල කල යුතුය, සැකයෙන් බැලිය යුතුය, විරිද්ධ විය යුතුය.
මෙයට හොඳ උදාහරණයක් අන්තර්ජාතික සිනමාවේ මුදුන් මල්කඩ වන ඇමරිකාවේ හොලිවුඩ් වෙතින් අපට බලා ගත හැක. ඒ හොලිවුඩ් චිත්‍රපටවල එම චිත්‍රපටය නැරඹීමට සුදුසු වන්නේ කුමන කාණ්ඩවල නරඹන්නන්ට දැයි තීරණය කර ප්‍රසිද්ධ කිරීමයි. මෙම වර්ගීකරණය සිදු කරනු ලබන්නේ motion picture association of America නමැති ස්වාධින ආයතනයක් විසිනි. එහි සාමාජිකයන් වන්නේ ඩිස්නි, පැරමවුන්ට්, සෝනි පික්චර්ස්, 20th century fox, යුනිවර්සල් සහ වෝර්නර් සහෝදරයන් විසිනි. රජයේ කිසිම සම්බන්ධයක් නැත. ඔවුන් විසින් ස්වාධින දෙමව්පියන් කණ්ඩායමක් යොදාගෙන සෑම චිත්‍රපටයක්ම,
  • සාමාන්‍ය නරඹන්නන්ට
  • දෙමව්පියන්ට මඟ පෙන්වීම අවශ්‍ය
  • දෙමව්පියන්ට දැඩි ලෙස අනතුරු හැඟවීම
  • සීමා ඇති කිරීම
  • වයස 17 ට අඩු අය ඇතුල් නොකිරීම

යන වර්ගීකරණයන්ට ඇතුල් කරනු ලැබේ. මෙම වර්ගීකරණය සිදු කිරීමට කිසිම ලෙසකින් රජය සහභාගි නොවේ.
මෙසේ මෙවැනි වර්ගීකරණයන් පවා රජයේ කිසිම සම්බන්ධයක් නොමැතිව ස්වාධින සංවිධානයන් මගින් සිදු කරන්නේ කලාව ස්වාධින ලෙස තබා ගැනීම සඳහාය.
එහෙත් වසර 2018 නැවත වරක් 1971 සාදා ඇති පරිපාලනමය ක්‍රමවේදයක් නැවත පනගන්වා එය ක්‍රියාත්මක කරන්නට යාම නම් හරියටම නැවත ගල් යුගයට යාම වැනි ක්‍රියාවකි.
එහෙත් ලංකාවේ කලාකාරයෝ නම් මේ සම්බන්ධයෙන් කිසිම කලබලයක් වී නැත්තා සේය. ජාතික නාට්‍ය උත්සවයට රජයේ සහභාගිත්වය ප්‍රමාණවත් නොවන්නේ යැයි විරුද්ධත්වය ප්‍රකාශ කල කලා කරුවන්ගේ මෙයට වඩා බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?  
තව ටක කලකින් රජයේ ච්ත්‍රපට අංශය මගින් කෙලින්ම චිත්‍රපට නිපදවා අපට බලන්නට සලස්වුවහොත් එයිනිදු අප කනගාටු විය යුතු නොවේ.
තම චිත්‍රපටය පාසල් ළමයින්ට නරඹන්නට සුදුසු යයි  අධ්‍යාපන සහ බෞද්ධ කටයුතු අමාත්යංශය නිර්දේශ  කර ඇතැයි වෙළඳ දැන්වීම් දමන චිත්‍රපට නිපදවන්නන් සිටින රටක මේවා මොනවාද?     

No comments:

Post a Comment

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...