Wednesday, May 10, 2017

චීනය හරහා දින 10 කින් - 5


http://lakshmanillangakoon.blogspot.com/2017/05/10-4.html
previous blog 






මම චීනයේ මුලින්ම බොහෝ පුරවැසියන් සුරතල් බල්ලන් සමග ඇවිදීනු දැක්කේ මේ ප්‍රදේශයේදීය. චීන කොමියුනිස්ට් විප්ලවයෙන් පසු එය ආර්ථික වශයෙන් වැඩකට නැති ක්‍රියාවක් කියා බල්ලන් ඇති කිරීම රජයෙන් තහනම් කර ඇති බව මා අසා තිබූ හෙයින් මේ පිළිබඳව මා මාර්ගෝපදේශකයා ගෙන් ඇසුවෙමි. ඇය කීවේ එසේ තහනම් කර තිබුනත් දැන් ප්‍රාදේශීය ආයතන වලින් අවසර ගෙන ඇති කල හැකි බවයි. නොයෙකුත් වර්ගවල අමුතුම හැඩයන් ගෙන් සහ පාට වලින් බල්ලන් මිනිසුන් ඇවිදින්නට රැගෙන යනවා පෙනුණි. 

අප සිටි හෝටලය තිබූ වීදියේදී කෙලවරෙක කණ්ඩායම් දෙකක් සල්ලි වලට කාඩ් ක්‍රීඩා කරනවා මම දුටුමි. 10 දෙනෙකුගෙන් පමණ වූ මෙම කණ්ඩායම් අසලම බල්ලන් දෙතුන් දෙනෙකු අයිතිකරුවන් සමග ලණුවල සිටීම සුලභ දර්ශණයක් බව දැක්කෙමි. 

අප උදයේ නැගිට ටෙරා කොටා හමුදාව බැලීමට මාර්ගෝපදේශකයෙකු සමග පැයක පමණ ගමනකින් සංචාරක බසයකින් ලින්ටොන්ග් වෙත ගියෙමු. අපත් සමග වෙන රටවල් කිහිපයකම සංචාරකයින් මේ ගමනට හෝටල් කිහිපයකින් එකතු වූහ. ටෙරා කොටා හමුදාව පිළිබඳව මා හතරවෙනි වෙලුමේ විස්තර කලෙමි. මෙම හුවාන්ග් අධිරාජ්‍යයාගේ සොහොන - මොහු සම්පූර්ණ චීනයේ පලමුවන අධිරාජ්‍යයා, මෙම ස්ථානයද චීනයේ නොයෙකුත් සංචාරක ආකර්ශණයන් මෙන්ම ඉතාමත් අලංකාර ලෙස එමෙන්ම පැමිණෙන සියලු දෙනාට බොහෝ දුරක් ඇවිද ගෙන යන්නට සිදුවන ආකාරයට සාදා තිබේ. එම විශාල ප්‍රදේශයම  මල් වත්තක් ලෙසින් ඉතාමත් අලංකාර ලෙස නඩත්තු කරනු ලැබේ. ඇතුලුවන සෑම කෙනෙකුගෙන්ම - විදේශික හෝ එරට සංචාරකයන්ගෙන් රුපියල් 2000 ක පමණ මුදලක් අය කරන අතර, තිබෙන පහසුකම් සහ පවත්වාගෙන යන ආකාරය දුටු විට එම ගණන අය කිරීමේ කිසිම අසාධාරණයක් සිතෙන්නේ නැත. 




ඒ අතරම නොයෙකුත් අලංකාර ආපනශාලා, විසිතුරු භාණ්ඩ සහ ස්මරණ සිහිවටන විකුණන ස්ථාන ඉතාමත් පිලිවෙලකට සංවිධානය කර තිබේ. මෙවැනි එක් ස්ථානයක පමණක් දහස් ගණනක් ජනයාට ව්‍යාපාර කරගැනීමට මේ මගින් කටයුතු සම්පාදනය කර ඇත්තේය. පැය හතරක් පමණ මෙම ස්ථානයේ ගතකර අපි ආපසු නගරයට පැමිණියෙමු. ඉන්පසු අප බුලට් දුම්රියෙන් බීජින් නගරය වෙත ගියෙමු. කිලෝ මීටර් 1280 ක් පමණ වන මෙම දුර බුලට් දුම්රිය පැයකට කිලෝ මීටර් 300 ගණනේ ගමන් කර පැය පහකින් ගමන අවසන් කරයි. මෙම දුම්රිය මේ වේගයෙන්ම කොළඹ සිට යාපනය දක්වා ගමන් කලේ නම් එයට ගත වන්නේ පැයකුත් විනාඩි 20 කි. දුම්රියේ පලවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, ව්‍යාපාර පන්තිය සහ වී.අයි.පී. පන්තිය යනුවෙන් වෙනස් මිළ ගණන් වලට පන්ති බෙදා ඇති අතර, දෙවෙනි පන්තියේ ටිකට්ටුවක් යුආන් 515 (රුපියල් 11934) ක් සහ ව්‍යාපාර පන්තියේ ටිකටි එකක් යුආන් 1625 (රුපියල් 35750) ක් පමණ මිළ වෙයි. කොතරම් ඉක්මනින් කොමියුනිස්ට් වාදයේ සිට පන්ති බේදයට පැමිණ තිබේද? 




අප හවස් වන විට චීනයේ අගනුවර වන බීජින් නගරයට පැමිණියෙමු. පසුදින මුටියන්යු හිදී චීන මහා ප්‍රාකාරය සහ මින්ග් රජවරුන්ගේ සොහොන් බැලීමට සනිටුහන් කරගෙන හෝටලය වෙත ගියෙමු.



    

3 comments:

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...