Tuesday, May 16, 2017

චිනය හරහා දින 10 කින් - 07.

http://lakshmanillangakoon.blogspot.com/2017/05/10-06.html
previous blog
                                 හුටොන්හි නිවසක්    
උදේ හය හමාරට හෝටලයෙන් පිටවීමට අපට අපහසු බව පෙර දින රාත්‍රියේ කොතරම් කීවද වැඩක් වූයේ නැත. දවසේ අපේ කාලයෙන් පැය දෙකක් පමණ වෙළඳ උපක්‍රම සදහා රැගෙන යන බව අප දන්නා නිසා එසේ නම් අපට එදින පැමිණිය නොහැකි බව දන්වා ඔවුන් බිය ගැන්වීමට උත්සාහ කලද. ඔවුන් අපට කීවේ එසේ නොපැමිනෙන්නේ නම් ඔවුන්ට අප පැහැදිලිව දැන්විය යුතු බවය.   

දැනටමත් මේ සංචාරය සදහා මුදල් ගෙවා ඇති හෙයින් අප පරාජය පිලිගෙන හය හමාරට යාමට එකග වුයෙමු. 

අපි මුලින්ම එදින ගියේ Forbidden city හෙවත් තහනම් නගරය වෙතයි. මෙම පෞරානික නගරය 1420 සිට 1912 දක්වා මින්ග් හා ක්වින්ග් රාජ වංශවල මාලිගා සංකීර්ණය ලෙස පරිහරනය කෙරුණි. මෙය අක්කර 180 ක් වූ ගොඩනැගිලි සංකීර්ණයේ ගොඩනැගිලි 980 ක් වෙයි. වසරකට නරඹන්නන් මිලියන 14.6 ක් පැමිණෙයි.



 මෙම සංකීර්ණයට තහනම් නගරය යැයි කියන්නේ රාජ පරිවාරය හැරෙන්නට අධිරාජ්‍යයාගේ අවසරයක් නොමැතිව නගරය තුලට කෙනෙකුට ඇතලුවීමට නොහැකි නිසා වෙනි. මෙම සංකීර්ණය මීටර් 961 ක් දිග වන අතර, මීටර් 753 ක් පලලය. එහි කාමර සහ ශාලා 9999 තිබෙන බව විශ්වාස කලද දැනට තිබෙන්නේ 8886 ක් බව සදහන් වෙයි. එය වටා අඩි 26 ක් උස අඩි 28 ක් ඝනකම ආරක්ෂක බිත්තියකින්ද, අඩි 171 ක් පලල අඩි 20 ක් ගැඹුර දිය අගලකින් වට වී තිබේ. 

සංකීර්ණයේ දකුණු පැත්තේ උත්සව ශාලාද, උතුරු පැත්තේ අධිරාජ්‍යයාගේ මාලිගාව සහ ප්‍රධාන රැජිනන්ගේ මාලිගාවන්ද, අවශේෂ බිසවන්ගේ කාමරද, දිනපතා රාජකීය කටයුතු සිදුවන ශාලාද ඇත. මේ ශාලාවන් අතර උතුරු පැත්තේ එක් විශාල ශාලාවක් වෙන්කර තිබුනේ ප්‍රධාන රැජිනගේ උපන්දින උත්සව සදහාම පමණක් බව දැන ගත්තෙමු. එදින මහ රැජිනය එහි ඉදගෙන සිටින අතර රාජ පරිවාර සහ අන්ත:පුර දේවියන් ඇයට ත්‍යාග පිරිනැමූහ.  

චීනයේ මේ ඓතිහාසික ස්ථාන නැරඹීමට යාමේදී අපගේ එවැනි ස්ථාන වලට වඩා ලොකු වෙනසක් තිබේ. ඒ මෙම බොහෝ ස්ථාන 20 වන ශත වර්ෂය දක්වාම වාගේ පරිහරනය වී තිබීමයි. එසේම ඉන්පසු ඉතාමත් විනාශකාරී කැරලි සහ යුද්ධ තිබුනද මෙම ස්ථාන පරිහරනය වූ ආකාරයෙන්ම තිබීමය.  

මෙම මාලිගා සංකීර්ණයට ගිය විටම මගේ සිහියට ආවේ 1987 බර්ටෝලුසී ගේ ‘ද ලාස්ට් එම්පරර්‘ චිත්‍රපටයයි. මෙහි ජීවත් වූ අවසාන අධිරාජ්‍යයා ඔටුනු පැලදුවේ කුඩා දරුවෙකුව සිටියදීය. කුඩා දරුවෙකුව සිටියදී ඔහු විසින්ම ලියන ලද ඔහුගේ ජීවිත කතාව මෙම චිත්‍රපටයේ කථා වස්තුව වූ අතර,  චීන රජය දැන් කෞතුක නගරයක් ලෙස පවත්වා ගෙන යන මෙම නගරයේදීම එය චිත්‍රපට ගත කිරීමට පළමු වරට ඉඩ දුන්නේය.  



මම ලංකාවට ආපසු පැමිණි පසු මෙම චිත්‍රපටය නැවත වරක් නරඹා මුල් වරට නැරඹුවාට වඩා බොහෝ රස වින්දෙමි.   

මෙයින් පසු අපි ප්‍රධාන ආකර්ශණ දෙකක් මැද අතුරු ආකර්ශණයක් වෙත රැගෙන යන ලදහ. ඒ හුටොන් නමින් හැදින්වෙන නගරයේ එක් පැත්තක පිහිටි විශේෂ ප්‍රදේශයකටය. චීනය ආක්‍රමණය කර එය එක් අධිරාජ්‍යයක් ලෙස එක්සේසත් කල මොංගෝලියානු හමුදා බීජින් නගරය අල්ලා ගත් පසු නගරයේ ලිඳවල් අසල ඉඩම් අල්ලා ගෙන ඒවායේ නිවාස තනාගෙන ඇත්තේ ඔවුන් මොංගෝලියාවේදී ලිං වලට තිබූ බලවත් ගෞරවය නිසාය. 

හුටොන් යන වචනයේ මොංගෝලියානු තේරුම ලිඳ යන්නයි. මෙම ප්‍රදේශය පටු මාවත් සහ කුඩා නිවෙස සහිතව එකල තිබූ ආකාරයටම පවත්වාගෙන යන අතර, අපගේ දවල් කෑම ඒ නිවෙසක පිලියෙල කර තිබිණ. ප්‍රධාන පාරේ සිට අතුරු මාවතක රැගෙන ගියේ රික්ෂෝ කරත්ත වලිනි. මෙම  ප්‍රදේශවල වෙසෙන ජනයා සාමාන්‍ය චීන ජනතාවට වඩා දුප්පත් බව පෙනුනි. 

දෙදෙනකු ගමන් කල මේ රික්ෂෝ කරත්තයකට යුආන් 40 ක් අපට ගෙවන්නට සිදු වූ අතර, දහවල් කෑමට ගෙව්වේ චීන සංචාරක සමාගමෙන් වූ අතර මෙලෙස එම ප්‍රදේශයට සංචාරකයන් යැවීම මොංගෝලියානු පැවත එන්නන්ට චීන රජයෙන් කරන කෟතගුන සැලකීමක් විය හැක්කේය. මක් නිසාද චීනය එක්සේසත් කර දුන්නේ ගෙන්ගීස් කාන් ඇතුලු මොංගෝලියානු හමුදා නිසාවෙනි. 




    

කෑම නම් රසවත් වුවද වටපිට තරමක් අපිරිසිදු නිසා රුචිය තරමක් අඩුවිය.              

2 comments:

  1. පීකින් ඩක් කෑවෙ නැද්ද

    ReplyDelete
  2. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.

    ReplyDelete

එළඹෙන පලාත්පාලන මැතිවරණය; ප්‍රධාන සාධකය කුමක් විය හැකිද ?

මේ දිනවල රටේ වැඩියෙන්ම කතා බහා වෙන්නේ එක්කෝ පලාත්පාලන චන්දය ගැනය, එසේත් නැත්නම් අර්ජුන ඇලෝෂියස්ගේ දුරකථන ඇමතුම් පිළිබදවය. චන්ද කොහ...