Saturday, May 27, 2017

අපේ ගස් ගැන අමුතු කතා.



ඉංග්‍රීසීන් මෙහි පැමිණෙන තෙක් අපේ කැලෑවල වැවෙන්නාවූ නොයෙකුත් ගස් ගැන එතරම් විස්තර සහිත ලෙස ලේඛන ගත වූයේ නැත. එහෙත් ඉංග්‍රීසීන් පැමිණි පසු රටතුල ඇති නොයෙකුත් ගස් වර්ග පිලිබඳව සහ ඒවායේ ආර්ථික වටිනාකම සහ වෙනත් ප්‍රයෝජන පිලිබඳව ලේඛන ගත කෙරිණ. එම ලේඛනයක් මේ ලගදී මම කියෙව්වෙමි. එම විස්තරවල බොහෝ සිත් ගන්නා සුලු කරුණුද එමෙන්ම අප නොදන්නා විස්තරද දක්නට ලැබුණි. සමහරක් එම කරුණු මට බ්ලොග් එකක ලියන්නට සිතුණි. 

1.අශෝක ගස එකල පේරාදෙණිය මල් වත්තේ වවන්නට උත්සාහ කලද එය අසාර්ථක වී ඇත. එහෙත් දුම්බර සහ තුම්පනේ මේ ගස් බොහෝ සේ වැවෙන අතර, ඉතා අලංකාර තැඹිලි සහ තද රතු මල් හට ගනී. මේවාට දියරත් මල් යැයි කියනු ලැබේ. 

2.කටු ඉඹුල් යැයි කියන ගස් වර්ගය සෑම ගමකම වාගේ දක්නට ලැබේ. මල් පිපෙන කාලයට ටියුලිප් වැනි පෙති සහිත තද රතු පාට මල් වලින් ගස පිරී යයි. මේ විස්තර කරනුයේ කොට්ට ගස විය යුතුය. දැන් දකින්නත් ලැබෙන්නේ කලාතුරකිනි. 

3.එකල කුඹුක් ගස රට පුරා පැතිරී තිබුනු ගසක් විය. විශේෂයෙන්ම මහවැලි ගඟේ ඉවුරු දෙපස මහනුවර සිට ගඟ මුහුදට වැටෙනතාක් දක්වා වැවී තිබුණු අතර, නැගෙනහිර වැව් ඉවුරු වටාද වැවී තිබුනේ කුඹුක් ගස්ය. දැන් දකින්නත් ලැබෙන්නේ කලාතුරකිනි.  

4.ලංකාවට ආවේනික නොවන දූරියන් ලංකාවට හදුන්වාදී ඇත්තේ පෘතුගීසීන් විසිනි. සිංහලයෙන් මෙයට කටු බෝධ යැයි කියනු ලැබේ. 

5.පෙන්ටාප්ටේරා ටොමැන්ටෝසා (සිංහල නම?) නැමැති මෙම ගස් වර්ගයේ එක් ගසක් මුත්වාල් හි ඇති පොල් ගස් වලට වඩා බොහෝ උසට හැදී තිබුණි. මීගමුවෙන් මුහුදට යන ධීවරයන් මෙය ලෑණ්ඩ් මාක් එකක් සේ පාවිච්චි කලහ. 1850 දී පර්ගියුසන් මහත්මයා මෙහි බිමට ආසන්නව වට මනින ලද අතර, වටා ප්‍රමාණය අඩි 45 ක්ය. 

මෙහි ලී ප්‍රතිමා සෑදීමට පාවිච්චි කරන අතර, වෙනත් වැඩ කටයුතු වලටද භාවිත වේ. මෙහි පොත්ත කලු ඩයි සෑදීමට සහ ඖෂධ වලට යොදා ගැනීමට විකුණන ලදි. බුලත් කන විට හුණු වෙනුවට මේ පොතුවල අළු කෑමටද සිංහලයෝ පුරුදුව සිටියහ.  

7.ගොඩ කදුරු සෑම කැලෑවකම වාගේ තිබෙන මෙම ගස ලංකාවේ යුරෝපීයන් අතර බලවත් කැමැත්තට ලක්ව තිබේ. ඒ එම ගසේ ඇති විෂ සහිත ගෙඩි වලින් ස්ට්රලයිකයින් නැමැති විෂ වර්ගය සාදා ගැනීමට ඇති හැකි නිසාය. මෙම ගසේ එක් වර්ගයක ගෙඩි මෙසේ විෂ වුවද, ඒ ගසේම තවත් වර්ගයක ගෙඩි නිතරම ආහාරයට ගතහොත් නයෙකු දෂ්ට කලහොත් එයින් බේරීමට හැකි වන බව විශ්වාසයක් තිබේ. මේ ගෙඩි ඉන්දියාවේ අරක්කු පෙරන විට එම මිශ්‍රණයට දැමීමෙන් අරක්කු වල සැර වැඩිකර ගැනීමට පුලුවන් යැයි විශ්වාසයක් තිබේ.

8.කිතුල් ගස ගැන අප නොදන්නා දෙයක් ලියවී නොමැති නමුදු අඹගමුවේ තිබුණු එක් පුදුම කිතුල් ගසක් ගැන සදහන් වෙයි. ඒ මෙම එක් කිතුල් ගසෙන් පමණක් දරුවන් තිදෙනෙකු ගෙන් යුත් පවුලක් ජීවත් වූ බවය. මෙම කිතුල් ගසෙන් දවසකට කිතුල් රා පයින්ට් 100 ක් දිනපතා ලබාගත් බැවිනි. 

වඩුවැඩ සදහා පාවිච්චි කල හැකි ලංකාවේ ලී වර්ග ගැන එකල රාජකීය හමුදාවේ ඉංජිනේරු බලකායේ වඩු මුදලියාර් වූ මොරටුවේ ඒඩ්‍රියන් මෙන්ඩිස් ලැයිස්තුවක් පිලියෙල කර ඇත. එහි එම ලේඛනයේ වඩු වැඩට ගන්නා ලී වර්ග 90 ක් පමණ ඇතුලත් කර ඇත්තේය. 

පොල්, තල් සහ කොස් එහි මුලින්ම අන්තර්ගත වෙයි.  මෙහි පුදුම සහගත ඇතුලත් කිරිම දෙල් ලී වෙයි - සමහර විට මේ වල් දෙල් වීමට පුලුවන. මෙම දෙල් ලී විශාල වශයෙන් කරත්ත, බැරල් සහ බෝට්ටු සෑදීමට යොදා ගත් බව පැවසේ. 

සූරිය ගසද එහි ඇති ටියුලිප් වැනි මල් හා තද ලීය කරත්තවල කැරේජ් සහ තුවක්කු කඳවල් සෑදීමට යොදා ගැනීම නිසා අගය කෙරේ. කළුවර ගසද ත්‍රීකුණාමලයෙන් බටහිරට පහත් බිමිවල ඕනෑ තරම් තිබේ. කඩුබේරිය නැමැති කළුවර ගසේ බාල වර්ගයක්ද තිබේ. ලීය කළුපාට වුවද එහි දුඹුරු සහ රෝස පාට කුඩා ඉරි වැටී තිබේ.

 කලමන්ඩර් නැමැති ගස් වර්ගය රටේ වටිනාම ලීයයි. එය එංගලන්තයේ රෝස් වූඩ් හා සමාන වුද අලංකාරයෙන් සහ කල් පැවැත්මෙන් ඊටත් වඩා හොඳය. ශ්‍රී පාදය බෑවුමේ සහ දකුණු පලාතේ ව්‍යාප්ත වී තිබුනු මෙම ගස් වර්ගය ඕලන්ද සහ ඉංග්‍රීසි ජාතිකයන් විසින් විශාල ලෙස කැපීමෙන් දැනටත් ඒ ලීයක්වත් සොයා ගැනීමට නොහැක. 

නැඳුන් ගසද මෙලෙස කැබිනට් සාදා ගැනීමට ගන්නා තවත් ගස් වර්ගයක් වෙයි. සියඹලා ගසද කැබිනට් සාදා ගැනීම හොඳ ලී වර්ගයක් වුවද කදෙහි ඇති ඉතා තද ගතිය නිසා වඩු වැඩ කිරීම සදහා යොදා ගැනීම ඉතාමත් අපහසුය. 

සියඹලා ගස්වල සෙවන සෞඛ්‍යයට අහිතකර බවට ඉන්දියාවේ විශ්වාසයක් තිබුනද, ලංකාවේ සියඹලා ගස් සෙවනින් නිවාස සෑදීමට මිනිසුන් කැමති වන්නේ සියඹලා ගස් යට සෙවන අනෙක් ගස්වල සෙවනට වඩා සිසිල් බව විශ්වාස කරමිනි. ග්‍රීෂ්ම කාල වලදී රණවරා කොටු කෑල්ලක් අතේ තබා ගැනීම සිසිලසක් ලැබෙනවා යැයි විහ්වාසයක්ද ජනයා අතර තිබේ. 


මෙවැනි තවත් එකල තිබූ අමුතු විශ්වාසයක් නම් මිනිසුන්ගේ කටහඩ ඇසෙන්නේ නැතිව පොල් ගස් වලට ජීවත්වීමට බැරි බවය. ගමක මිනිසුන් යමි හේතුවක් නිසා ගම අතහැර ගියහොත් (ලෙනාඩ් වුල්ෆ් ගේ විලේජ් ඉන් ද ජන්ගල් පොතේ ආරච්චි මහත්තයා පොල් ගෙඩි දෙකක් දැකුම් රැගෙන යාම සිහියට එයි.) ටික කලකින් එහි තිබූ පොල් ගස් මිය යන බවට එම විශ්වාසය තවත් දිග හැරිණ.      

1860 දී ශ්‍රීමත් ජේම්ස් ටෙනන්ට් විසින් ප්‍රසිද්ධ කරන ලද ග්‍රන්ථයක් අනුසාරයෙනි. 

5 comments:

  1. කඩුබේරිය = කළුමැදිරිය

    පෙන්ටාප්ටේරා ටොමැන්ටෝසා (සිංහල නම?)= අසන (https://en.wikipedia.org/wiki/Terminalia_elliptica)

    ReplyDelete
    Replies
    1. Calamander = කලුමැදිරිය නෙමෙයිද?

      Delete
    2. නැහැ, මේ ගස් වඳ වෙලා ඒ කාලෙම, එච්චර සීඝ්‍රයෙන් කපල තියෙන

      Delete
  2. ඔබගේ ශාක පිලිබඳ 'විවරණය'ට ගහ කොළ වලට ප්‍රිය කරන මටත් යමක් ලියන්නට අවසර.
    අශෝක (Saraca indica ) වලට සමහරු දිය රත්මල් කියා කීවත් එය රත්මල් (රතඹලා) කුලයේ නොවෙයි. මලේ හැඩයත් බොහෝ වෙනස්. සාලිය අශෝකමාලා කතාවේ එන්නෙත් මේ මල්.
    ඔබ සඳහන් කර තිබුණු කටු ඉඹුල් වල මල තද රතු පාටයි. සමහරු ලංකාවේ වියලි කලාපයේ තිබෙන කොට්ට පුළුන් (Ceiba pentandra) වලටත් ඉඹුල් කියනවා. මේ ගසේ කඳේ ඉඳහිට කටු ස්වල්පයක් තිබෙනවා. ඇඹිලිපිටිය පැත්තේ සිටි විදුහල්පති මහත්මයෙක් මට කිව්වා තම ගෙදර වත්තේ තිබෙන පුළුන් ගස් හතරකින් වසරකට රුපියල් 15,000 ක පමණ ආදායමක් ලබන බව, කොට්ට සකස් කරලා '
    කුඹුක් (Terminalia arjuna) දිය සීරාව තිබෙන තැන්වල හොඳින් වැඩෙන ගසක්. මෙහි මුල් මගින් ජලය සිසිල් කරන ලක්ෂණයක් තිබෙනවා.අපි පුංචි කාලේ ගෙදර කිට්ටුව තිබුණු ඇළක නාන්නට යනවා. එහි තිබුණු කුඹුක් ගස සෙවනේ නාන විට ඇලට පාත්වී තිබෙන කුඹුක් අත්තක කොළ වලට වතුර ගසා ඒ වතුර ඇඟට වැටෙන විට අමුතුම සිසිලක් දැනෙනවා. මේ ගසේ විද්‍යාත්මක නාමයට 'අර්ජුනා' කියන්නේ සංස්කෘත භාෂාවෙන් එහි නම අර්ජුන නිසා.

    ReplyDelete
  3. ලස්සන විස්තරයක්, කටු ඉඹුල් ගස් කිහිපයක් තිස්ස නේවි ගොවිපලේ , රන්මිනිතැන්නෙ , සමහරවිට ඉස්සර සිංහලයො කොට්ට වලට කටු නිසා කටු ඉඹුල් කියන්න ඇති

    ReplyDelete

ටෙලිඩ්‍රාමා දෙකකින් ජාතියේ ක්ෂණික ඡායාරූපයක්

මම ලංකාවේ රූපවාහිනියේ නිවුස් ඇරෙන්නට බලන වැඩසටහන් තුනක් තිබේ. මේ අන්තර් ජාතික CNN BBC ,   චිත්‍රපට චැනල්ය හා   history  චැනල් එකේ පෝ...