බන්ධනාගාර ප්‍රතිසංස්කරණය: රාජ්‍ය වගකීම සහ පෞද්ගලික කාර්යක්ෂමතාව සුසංයෝග කරන "PPP" ආකෘතිය
මෑතකදී මීගමුව බන්ධනාගාරය ආශ්‍රිතව වාර්තා වූ සිදුවීම් මෙන්ම, අජිත් ප්‍රසන්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැන්නවුන් විසින් මාධ්‍ය හමුවේ සිදුකළ බන්ධනාගාර අභ්‍යන්තර තොරතුරු හෙළිදරව් කිරීම් ඕනෑම සංවේදී මිනිසෙකුගේ ඇඟ කිලිපොලා යන සුළුය. ඇතැම් ප්‍රකාශ සත්‍යයක් විය හැකිදැයි සැක සිතෙන තරමටම ඒවා පිළිකුල් සහගත මෙන්ම යුගුප්සා ජනකය.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය අද වන විට පවතින්නේ මුළුමනින්ම ජරාජීර්ණ වූ, තවදුරටත් සාමාන්‍ය ක්‍රමවේද ඔස්සේ අලුත්වැඩියා කළ නොහැකි බිඳවැටීමක බව පෙනේ. මිනිස් අයිතිවාසිකම් සහ මූලික මානුෂීය සැලකීම් පසෙක තබා, දූෂණය සහ අමානුෂිකත්වය බන්ධනාගාර සංස්කෘතියේ "සාමාන්‍ය තත්ත්වය" බවට පත්ව ඇති පසුබිමක, මෙයට සාම්ප්‍රදායික විසඳුම් සෙවීම නිශ්ඵල කාර්යයකි.
මෙම අර්බුදයට ඇති එකම ප්‍රායෝගික විසඳුම වන්නේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (Public-Private Partnership - PPP) ආකෘතියක් ඔස්සේ බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමයි.
පැහැදිලි කරගත යුතු වැදගත්ම කරුණ:
මෙයින් අදහස් කරන්නේ රජය බන්ධනාගාර පද්ධතියෙන් අත පිසදාගෙන එය මුළුමනින්ම පුද්ගලික අංශයට විකුණා දැමීමක් නොවේ. මෙහිදී නීතිමය පාලනය සහ අධීක්ෂණය රජය සතුව තබා ගනිමින්, දෛනික ක්‍රියාකාරීත්වය සහ පරිපාලන කාර්යක්ෂමතාව පමණක් පෞද්ගලික අංශයට පැවරීම සිදු කරනු ලබයි.
මේ සඳහා අප යෝජනා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළ මෙසේය:
1. ශ්‍රී ලංකාවට ගැළපෙන නව බන්ධනාගාර ප්‍රමිතියක් (Standard) සැකසීම
වර්තමාන රටේ පවතින දුර්වල ආර්ථික තත්ත්වයන්ට ඔරොත්තු දෙන, එහෙත් සිරකරුවෙකුට හිමිවිය යුතු අවම මානුෂීය අයිතිවාසිකම්, සනීපාරක්ෂාව සහ මූලික පහසුකම් ආරක්ෂා වන පරිදි නව රෙගුලාසි මාලාවක් රජය විසින් වහාම සකස් කළ යුතුය.
2. නියමු ව්‍යාපෘතියක් ලෙස පෞද්ගලික කළමනාකරණය පැවරීම
මෙම ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා රටේ එක් බන්ධනාගාරයක් තෝරාගෙන, විනිවිදභාවයකින් යුත් ටෙන්ඩර් පටිපාටියක් හරහා එහි දෛනික ක්‍රියාකාරීත්වය පෞද්ගලික අංශයේ කළමනාකාරීත්වයකට (Contract Management) පැවරිය යුතුය. එහිදී රජය බලාපොරොත්තු වන සේවා මට්ටම් සහ දැඩි කොන්දේසි (Key Performance Indicators - KPIs) ගිවිසුම්ගත කළ යුතුය.
ජංගම දුරකථන භාවිතය සහමුලින්ම නැති කිරීම: බන්ධනාගාර තුළ සිට සිදුවන අපරාධ මෙහෙයවීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් නැවැත්වීම සඳහා, සිරකරුවන් සතු නීතිවිරෝධී ජංගම දුරකථන භාවිතය 100% කින් තුරන් කිරීමේ වගකීම සහ ඒ සඳහා අවශ්‍ය නවීන ජැමර් (Jammer) ඇතුළු තාක්ෂණික උපක්‍රම යෙදවීම සහ නඩත්තුව මෙම කළමනාකාරීත්වයට පැවරිය යුතුය.
3. රාජ්‍ය මට්ටමේ ස්වාධීන අධීක්ෂණය සහ විගණනය (State Oversight)
පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යනු ලබන මෙම බන්ධනාගාරය, රජයේ නියමිත ප්‍රමිතීන්ට සහ මානව හිමිකම් රීතීන්ට අනුකූලව පවතින්නේද යන්න නිරීක්ෂණය කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ ස්වාධීන කොමිෂන් සභා මගින් අඛණ්ඩව, පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකරන හදිසි පරීක්ෂණ (Surprise Audits) ක්‍රියාත්මක කළ යුතුය. යම් හෙයකින් නියමිත ප්‍රමිතීන් කඩ කරන්නේ නම්, අදාළ සමාගමට බරපතළ දඩ මුදල් පැනවීමට හෝ ගිවිසුම අවලංගු කිරීමට රජයට පූර්ණ බලය තිබිය යුතුය.
ලෝකයේ සාර්ථක අත්දැකීම්
රාජ්‍ය අධීක්ෂණය යටතේ පෞද්ගලික අංශය ලවා බන්ධනාගාර කළමනාකරණය කිරීම (Contracted Prisons) ලෝකයට අමුතු අත්හදා බැලීමක් නොවේ. දියුණු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් රැසක් මේ හරහා දූෂණය අවම කරගැනීමට සහ රාජ්‍ය වියදම් පාලනය කරගැනීමට සමත්ව ඇත:
එක්සත් ජනපදය (USA)
එක්සත් රාජධානිය (UK)
ඔස්ට්‍රේලියාව (Australia)
නවසීලන්තය (New Zealand)
දකුණු අප්‍රිකාව (South Africa)
චිලී රාජ්‍යය (Chile)
පේරු රාජ්‍යය (Peru)
අපේක්ෂිත ඉදිරි පියවර
පළමු අදියරේදී මාස හයක (06) පරීක්ෂණ කාලසීමාවක් (Pilot Project) සඳහා එක් බන්ධනාගාරයක මෙම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ක්‍රමය ක්‍රියාත්මක කළ හැකිය. එහි සාර්ථක-අසාර්ථකභාවය, අඩුපාඩු සහ ලැබෙන ප්‍රායෝගික අත්දැකීම් විද්‍යාත්මකව ඇගයීමට ලක් කිරීමෙන් පසු, එම අත්දැකීම්ද උපයෝගී කරගනිමින් දිවයිනේ සෙසු බන්ධනාගාරද ක්‍රමයෙන් මෙම නව කළමනාකරණ පද්ධතියට පරිවර්තනය කළ හැකිය.
ජරාජීර්ණ වූ පද්ධතියක් ඇතුළතින් පමණක් සුවපත් කළ නොහැක. එයට රාජ්‍ය නියාමනය සහ පෞද්ගලික අංශයේ වෘත්තීයමය කාර්යක්ෂමතාව මුසු කළ "නව්‍ය කළමනාකරණ ව්‍යුහයක්" බද්ධ කළ යුතුම කාලය එළඹ ඇත
No comments:
Post a Comment