Saturday, April 3, 2021

මගේ ගුරු ගීතය 3

 https://lakshmanillangakoon.blogspot.com/2021/03/2_30.html?m=1

එතැන් සිට 

මට  කුමක් කරන්නේද යන්න සිතා ගන්නට බැරි විය . මා මෙතනට පැමිණියේ මගේ මිත්‍රයා නිසාවෙන් ඔහු මෙසේ අමනාපයෙන් එතනින් ඉවත් වූ පසු මම එහි දිගටම සිටීම මගේ හිතට හරි ගියේ නැත . ඒ අතරම මේ ප්‍රිය කරන තැන අතහැර යාමට ද මට සිත දුන්නේ නැත . 


එහෙත් පසුදිනත්  කල්පනා කර මම පන්තියෙන් ඉවත්වීමට තීරණය කළෙමි . 


එසේ තීරණය කර පසුදින රාජපක්ෂ මහතා පුද්ගලිකව මුණ ගැසී ඔහුට මගේ තීරණය පිළිබඳව දැනුම් දුන්නෙමි . ඔහු මෙයින් බලවත් අපහසුතාවයට පත් පත් වුනු අතර මා පිළිබඳව මුලදී  ඇති වූ සිදුවීමක් ඔහු  මට විස්තර කළේය. ඇත්තෙන්ම එය ඇසීමෙන් පසුව  මා එම ගත් තීරණය වැරදි තීරණයක් දැයි මට පසුතැවීමක් ද ඇති විය .

" ඔබ මේ පන්තියට පැමිණි මුල් දවස් වල පන්තියේ ළමුන් කණ්ඩායමක් මා පුද්ගලිකව මුණ ගැසී , ඔබ ඉතාමත් පළපුරුද්දෙන් හා වයසින් අඩු ගුරුවරයෙකු බවත්, පන්තියේ සමහර ළමයින් ඔබට වඩා වයසින් වැඩි බවත් , ඔබ දිගටම මේ පන්තියේ ඉගැන්වූ හොත් සමහර විට ඔවුනට පන්තිය හැර වෙනත් පන්තියකට යාමට සිදුවන බවත් මට ඇවිල්ලා කිව්වා ,නමුත් මම ඔවුන්ට කියා සිටියා, ඔහු උගන්වන දෙස මමත් බලා සිටියා , මට හොදටම විශ්වාසයි ඔහු සති දෙකක් විතර යන විට   හොඳ ගුරුවරයෙක් බවට පත් වෙයි කියලා , සති දෙකක් ගිය පසු මා හමු වෙන්න , ඔබ ඒ වන විටත් ඔහු හොද නැතැයි කියනවා නම් , මම ඔහු මාරු කරන්නම් "

" සති දෙකකින් පස්සේ ඔවුන් මා මුණ ගැසෙන්නට පැමිණියේ නැහැ " ඔහු කතාව අවසන් කළේය .

ඔහු මා පන්තියට පැමිණි මුල් දිනවල සිදුවූ  මෙම සිද්ධිය අසා සිටි මට ඔහුව මෙලෙස බලාපොරොත්තු කඩ කිරීමකට පත් කිරීම පිළිබඳව බොහෝ කණගාටුවක් ඇතිවිය .


කෙසේ වුවද දැන් ආපසු එම තීරණය වෙනස් කළ නොහැකි නිසා මම පන්තියෙන් ඉවත්ව ආපසු මගේ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින mode එකට වැටුනෙමි . 


මෙසේ සති දෙකක් විතර ගත වන විට මට නොදැනුවත්ව අප පන්තිය පිළිබඳව යම් ක්‍රියාකාරකමක්  සිදු වෙමින් පැවතිණ .පන්තියේ සියලුම ළමයින් මා මිත්‍ර  ලක්ෂ්මන් දසනායක හමුවී ඔවුනට තව විභාගයට තිබෙන්නේ මාස කිහිපයක් බවත් ඔවුනට පුරුදු ගුරුවරයන් සමගම මේ වසරේ අධ්‍යාපනයේ අවසන් කරන්නට ඉඩ  ලැබුනොතින් හොඳ බවත් දන්වා ඔහුට වෙනම පන්තියක් පටන් ගන්නා ලෙසට ඉල්ලා සිටියහ .බලවත් ඇවිටිල්ල නිසා මෙයට එකඟ වූ ඔහු අස්ගිරිය පන්සලට අයත් අස්ගිරිය පිට්ටනියට හැරෙන   හන්දිය අසළ කුඩා ධර්ම  ශාලාවක්  කුලියට ගෙන පන්තියක්  පටන් ගත්තේය .


මමද ඒ පන්තියේ ඔහුගේ සහයක ගුරුවරයා බවට පත්වුනෙමි  .ඉංග්‍රීසි බුද්ධාගම වැනි විශයන්නට ද අප ගුරුවරියක් සොයා ගත්තෙමු . මාස කිහිපයකින් දෙසැම්බර් විභාගය සඳහා පන්තිය නවතා දැමුණු අතර ඉන්පසු මම විශ්වවිද්‍යාලයටත් මා මිත්‍ර ලක්ෂ්මන් දසනායක පුහුණු වන වතු අධිකාරී වරයෙකු ලෙසත් අලුත් ජීවිත පටන් ගත්තෙමු . 

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...