Saturday, June 8, 2019

නයා මාරුවීම - කෙටි කතාව





ඕන් අද ඉඳල තමයි හරියටම පැන්ෂන් ගියා කියල කියන්න පුළුවන්, අන්තිම බැඳීමත් ගියා” රතු සහ කළු පැහැ කොටු සරමක් කැහැපට ගසාගෙන උඩුකය නිරාවරණය කරගෙන සිටි අමරසිංහ මහතා තම කළු මහත බඩ දකුණතින් පිරිමදින ගමන්, අසල සිටි තම බිරිඳට කීවේය.  ඇයට තරහ ගියේ ඔහුගේ ප්‍රකාශයට නොව ඔහු එය කියනවිට මුහුණේ ඇතිවූ පණ්ඩිත සිනහවටය.
එහෙත් ඇයට නම් ඒ පිළිබඳව, ඔහුට තරම් සතුටක් ඇති බවක් ඇගේ මුහුණින් නම් පිළිඹිබු වුයේ නැත. ඇය පැහැපත්ය. සිහින් සිරුරකින් හෙබිවිය. ඔහුට වඩා බොහෝ තරුණ බව පෙනුනද, ඇත්තෙන්ම ඔහුට මාස 5 කින් වැඩිමල් විය. රජයේ සාත්තු සේවිකාවක් ලෙස සේවයට බැඳුනු ඇය විශ්‍රාම යනවිට ප්‍රධාන මෙට්‍රන් වරියක වූ ඇය ඔහුට වැඩිමල් නිසා මාස කිහිපයකට කලින් විශ්‍රාම ගන්නට සිදුවුවත් ඇය එය කාටවත් නොදැනෙන්නට කරගත්තාය.
“එයාට මාස හයක් ඇමතිතුමා වැඩකරන්ට කියල තියෙනවා”, ඇය තම ස්වාමියාට පෙර විශ්‍රාම ගැනීම පිළිබඳව රෝහලේදී අසන්නට තරම් එඩිතර වුවන්ට කීවාය.
ඔවුන් දෙදෙනා මිදුලට වී බලාසිටියේ ඔහුට මෙතෙක් කලක් රජයෙන් දී තිබු රාජකාරි වාහනය, තම නිවසින් පිටවී යන ආකාරයය. විශ්‍රාම ගෙන මාස තුනක් ඉදිරියටත් රාජකාරී වාහනය පාවිච්චි කිරීමට අයිතිය දී තිබුන නිසා, නිවසේ තබාගෙන තිබු වාහනය අද නිවසින් පිටව යන්නේ අවසාන වතාවටය. සැමදේම බොහෝ සැහැල්ලුවෙන් ගන්නා සමරසිංහට නම් මෙය එතරම් ප්‍රශ්නයක් නොවීය.
“අපි ඉතින් එතරම් ගමන් යන එකක්යැයි, අනික දැන් හැමතැනම ත්‍රිවිලර් තියෙනවානේ” බිරිඳ මේ පිළිබඳව මතක් කල විට ඔහු කීවේය. වාහනය ගෙදර නැතිවීමේ පාඩුව වැඩිපුර දැනෙන්නේ තමනට බව බිරිඳ දැන සිටියාය. එහෙත් ඈ කිසිවක් කියන්නට ගියේ නැත. නැවතත් අහන්නට වෙන්නේ එම පිළිතුරම බව ඇය දැන සිටියාය.
පළාත් ලේකම් වරයෙකුව කාලයක් සේවය කළ සමරසිංහ මහතාට, එක්වරම කිසි දෙයක් නොකර ගෙදරට වී සිටීමට පුරුදු වීම පහසු නොවන බව, ඔහුගේ සේවයේ අවසාන කාලයේ, පවුලේ සියලු දෙන සිතූහ. කතා කළහ. එහෙත් ඔහු විශ්‍රාමික ජීවිතය බාරගත්තේ වැරදීමෙන් අසුවූ මාළුවකු වතුරට දැමුවිට නැවත ඊ ගසක් මෙන්   වතුර ඇතුලට පිහිනා යනවාක් මෙන්ය. ඔහු අක්කරයක් පමණ වූ තම මවගෙන් ලැබුණු උද්‍යානය පුරා පලතුරු වවන්නට පටන්ගත්තේය. නිවසේ උතුරු පැත්තට වන්නට තිබුණු කැලෑව සුද්ධකර, ඊසානදිග පැත්තට තිබු කිසිම දෙයක් වැවෙන්නේ නැති බෑවුම පුරවන්නට පටන් ගත්තේය. එය පිරෙනවිට අසල වලවල් හාරා දිරන රොඩු මතට පස් තට්ටුවක් දැම්මේය. නිවෙස අසල නිවසක ජීවත් වෙන දුරින් නෑයකු වන කෘෂිකර්මේ වැඩකරන ලිපිකරුවෙකුට කියා පලතුරු පැල ගෙන්වා ගත්තේය.
“තව අවුරුද්දක් දෙකක් ඔහොම ගෙනල්ල දෙයි, පැන්ෂන් ගිය අලුත නිසා, ඊට පස්සේ මඟහරි මොනවා හරි කියලා, බලන්න මම කිව්වේ නැද්ද කියලා” පැල දුටුවිට බිරිඳ කීවාය.
“මම දන්නවා, මම දන්නවා,” සමරසිංහ මහතා කීවේ සිනාසෙමිනි. ඒ කියලා මේකත් ගෙන්න ගන්නේ නැතුව ඉන්ටද? 3 ක් නෙවෙයි මිනිහ අවුරුදු 5 ක් විතර කරයි, මම ළමයෙකුත් ඒ කාලේ ඉස්කෝලෙට දාගන්ට ප්‍රින්සිපල් කෙනෙකුට කතාකරා”
“ඒ වුනාට ස්ටාෆ් එකට නෝනා නම් කියල තිබ්බේ ගානක් දීල දාගත්ත කියලා” බිරිඳ කියද්දීම ඔහු හෙමිහිට නිවස ඇතුලට ගියේ, හවස ඇවිදින්නට යාමට ඇඳ ගැනීමටය.
ඔහු හවසට ඇවිදින්නට පටන් ගත්තේ විශ්‍රාම ගන්නට අවුරුදු දෙකකට පෙර සිටය. ඒ ඔහුගේ රුධිර පීඩනය වැඩි බව වෛද්‍යවරයා කී පසුය. කිහිප වරක් විවිධ ක්‍රමවලට හවසට ඇවිදීමේ පුරුද්ද පටන් ගන්නට උත්සාහ කර, අවසානයේ කාර්යාලයට යනවිට ඇඳුමක් රැගෙන ගොස් කාර්යාලය අවසානයේ මාරුකර, මධ්‍යම මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියට ගොස් එහි රවුන් 10 ක් ඇවිදීම, ඔහු වැඩ කරන දිනවල දිනපතා පුරුද්දක් කර ගත්තේය.
විශ්‍රාම ගත් පසු ඔහු ගමේ පාරවල් වල ඇවිදින්නට පටන් ගත්තේය. උපන් ගෙහිම පාරවල මෙලෙස ඇවිදීම මුලදී තරමක සබකෝලයක් දැනුනද, දවස් කිහිපයකින් එය නැතිව ගියේය. ඔහුව දන්නා පිරිස්; නොදන්නා අයට වඩා දන්නා අය ඔහුට පාරේදී  මුණගැසුණි, ඔහුට යමක් කීවහ, සිනාසුනහ. එසේත් නැත්නම් ගෞරවයට වාගේ එසේ අවශ්‍යතාවයක් නැතත්, පාරේ ඔහුට ඉඩ දුන්හ.
මෙලෙස මහපාරේ ඇවිදීමේදී ප්‍රශ්න කිහිපයක් විටින්විට ඇතිවුනි. ලොකුම කරදරය ත්‍රි විලර්ය. ඒ ඉදිරියෙන් එන ඒවාගෙන් නොවේ, පසුපසින් එන ඒවාගෙන්ය. සමහර ඒවා ඔහුගේ පසුපසින් පැමිණෙනවා ඔහුට ඇසෙයි. ඔහුට හැරී බලන්නට සිතුනත්, එසේ බැලීමට නම් නැවතිය යුතුය, එලෙස නැවතී නැවතී ත්‍රි වීලර් වලට ඉඩ දෙන්නට ගියහොත්, විනාඩි දහයකට පස් වතාවක් වත් නවතින්නට සිදුවිය හැකි බව ඔහු ගණනය කළේය.
අනෙක් ප්‍රශ්නය ඇතිවුයේ වැසි කාලයටය. යල කන්නය කාලයට වැඩියෙන්ම ඒ පැත්තට වහින්නේ හවස් කාලයටය. නිවසින් පිටවන වෙලාවට වහින්නේ නම් නොයා ඉන්නට පිළිවන. එහෙත් අතරමඟදී වැස්ස පටන් ගතහොත් කොහේ හරි කඩයක හෝ නිවසක් අසල අගුවක නැවතී සිටින්නට සිදුවේ. එය නිවසක් වුවේ නම් නිවැසියන් ඔහුට ඇතුලට කතාකරන අවස්ථාද ඇතිවේ. ඔහු එවැනි අනවශ්‍ය සතුටු සාමිචි වලට  කැමති වුයේ නැත. සාමාන්‍ය ජීවිතයේ පවා තමන් තරමක් දුරට හෝ අන්තර්වර්තිකයෙකුද යන ප්‍රශ්නය ඔහුගේ සිතට නැගුනු වාර අනන්තය.
ත්‍රි විලර් ප්‍රශ්නයට පිළිතුරක් ලෙස, ඔහු වාහන එතරම් නොමැති කුඩා කොන්ක්‍රීට් පාරක් සොයා ගත්තේය. එහෙත් ඒ පාරේ අතරමග ගෙවල් කිහිපයක බල්ලන් ඔහු දුටුවිට බුරාගෙන ඔහු වෙත එන්නට වූ නිසා, ඔහුට දවස් කිහිපයකින්ම ඒ පාරත් එපාවිය. වෙනත් මිනිසුන් යද්දී අහක බලාගෙන සිටින බල්ලන් ඔහු දුටුවිට රංචු ගැසී බුරන්නට පටන් ගනියි. මෙයට පිලියමක් ලෙස ඔහු පාරේ මුල හරියේදී කවුරුත් නොමැති වෙලාවක අඩි 3 ක පමණ වැටහිරියා ලී කෑල්ලක් කඩා ගත්තේය. එය කාටවත් වැඩිය නොපෙනෙන්නට අත දිගේ තබාගෙන බල්ලන් ලඟට පැමිණියහොත් බය කිරීමට සිතාගෙන බල්ලන් නොදැක්ක සේ ඇවිද්දේය.
“වේලුනු ලීයකින් කෝටුවක් හදාගෙන ඒක හංගාගෙන යන්න බොටම් එක දිගේ පොඩි මැහුමක් නන්දාට කියල මහගන්න ඕනෑ” ඔහු සිතුවේය.
බල්ලන යම් විදිහකින් කොටුව දැක්කා වියයුතුය. ඔවුහු හයිනාස් රැලක් මෙන් ඉතාමත් ආක්‍රමණකාරී ලෙස ඔහු වෙතට පැමිණෙන්නට පටන් ගත්හ. ඔහු අවසානයේදී කෝටුව එළියට ගෙන බල්ලන්ගෙන් බේරීමට හැකි වුවද, ඒ වතාව එම පාරේ ඇවිදින්නට ගිය අවසාන දිනය විය.

පසුදින උදේ වරුවේ වත්ත පිරිසිදු කරමින් සිටිනවිට, ඔහුට දෙයියෝ දුන්නා වැනි අදහසක් ඔලුවට ආවේ, එවැනි අදහසක් සිතේ කොනකවත් නැති වෙලාවකය. ඒ තමන්ගේම ඉඩම වටා ඇවිදින්නට කුඩා අඩි පාරක් තනා ගැනීමය.  සමරසිංහ මහතා එකෙනෙහිම වැඩට බැස්සේය. අලුත් අදහසක් ආවිට එසැනින් ක්‍රියාත්මක වුයේ නැත්නම් අදහස අමතකවීමට ඉඩ තිබේ. හොඳ අදහස් සියයකින් අනුවක්ම අමතක වෙයි. ඒ සියල්ල අමතක නොකර ක්‍රියාත්මක කලානම් මෙලහකටත් ලෝකය සුරපුරක් වීමට ඉඩ තිබුනේ යයි ඔහු නිතරම සිතන්නේය.
නිවසට නිරිතදිගින් අඩි තිහක් බැස්මකින් (උස උණ බම්බුවක් එතන සිට ඔසවා මිදුල උසට ලකුණු කරගෙන මැනීමෙන් මෙය මැනගත්තේ පසුවය.) තිබෙන ගේට්ටුවේ සිට කන්දේ නිවාස අසලට පැමිණ, ඉන්පසු තවත් අඩි තිහක නැග්මකින් කන්ද කෙලවර වන ඉඩමේ නැගෙනහිර කෙලවරට ඉඩමේ අයින දිගේ ඔහු කුඩා අඩිපාරක් නිර්මාණය කළේය. ඉන්පසු ඒ අඩිපාර ඉඩමේ අනෙක් පැත්තෙන් රවුමෙන් බැසයන්නට හැදුවේය. ඒ පැත්තේ එක්වරම බැස්මක් තිබුන නිසා පඩි කිහිපයක් ද කපන්නට සිදුවිය.
දවස් දෙකකින් ඇවිදින මාවතේ වැඩකටයුතු නිමාවිය. නිවසේ ටයිල් මත ඇවිද තම පියවරක දිග ආදී 2 ක් බව (පියවර 8 කින් ටයිල් 16 ක් පසුකරන්නට හැකි බව ඔහු නිරීක්ෂණය කළේය) ගණනය කරගත් ඔහු, ඔහුගේ අඩිපාරේ දිග මීටර් 300 ක් බව දැක්කේය; දිනකට 10 ක් ඇවිද්දොත් කිලෝ මීටර 3 කි. ප්‍රමාණවත්ය. සෑම රවුමකටම සිරස් අතට අඩි  60 ක් ඉහලටද නගියි. 10 ක් ගියවිට අඩි 600 ක් වෙයි. ඒ කියන්නේ 10 ක් ගියවිට දවසකට වරක් සීගිරිය නැංගා හා සමාන වෙයි.
මේ ක්‍රමය මහපාරේ ඇවිදිනවාට වඩා හැම අතින්ම ප්‍රයෝජනවත්ය. නිස්කලංකය, අනතුරු දස දහස් ගුණයකින් අඩුය, ඒකාකාරී නැග්මක් ඇත, වායු දුෂණය අවමය, ත්‍රිවිල් අනතුර ඇත්තෙම නැත, වැස්සක් ආවොත් විනාඩියෙන් ගෙදරය, කොයි පැත්තෙන් බැලුවත් හොඳක් මිස වැරද්දක් නම් පෙනෙන්නට නැත. අනෙක් අතින් සීගිරිය හා සම්බන්ධය සිතට නැඟෙන හැමවිටම සාමාන්‍යයෙන් යාන්ත්‍රික මාදිලි ආයාසයකින් කලයුතු ක්‍රියාකාරකමක් වන ඇවිදීමට අලංකාරයක්ද එකතු කළේය.
  සමරසිංහ මහතාගේ හවස ඇවිදීමේ කතාවේ මෙතැන් පටන් කතාව ඔහුගේ බිරිඳ පමණක් දනී.
ඔහු ඇවිදින්නට පාර සුද්ද කරනවිට, වත්තේ නැගෙනහිරට වන්නට කෙලවරේ ගොරක ගෙඩි විශාල ප්‍රමාණයක් බිමට වැටි ගොඩගැසී තිබෙනු දුටුවේය. ඒ ගොඩේ අවුරුදු ගණනාවක් තුල වැටුණු ගොරකා ඔහු දුටු අතර සමහරක් ඒවා පැල වී ද තිබුණු බව ඔහු දුටුවේ ඒවා උදුලු ගෑමෙන් පසුවය. කිහිපයක් යකෙකුගේ ඇස් මෙන් දිලිසෙමින් තිබුණි.
“අපරාදේ පැල ටික, කලින් දැක්ක නම් හෙමිට ගලවගන්න තිබුනා” ඔහු සිතුවේය.
මෙම ගෙඩි වැටි තිබුනේ අල්ලපු වත්තේ තිබුනු විශාල ගොරක ගසකිනි. පසුදින ඔහු මේ අඩිපාරේ ඇවිදින්නට පටන්ගත් විට, පළමු රවුමේදීම ඔහු අලුතින් වැටුණු රතුපාට ගොරක ගෙඩි කිහිපයක් නිරීක්ෂණය කළේය. ඒවා නොපෑගෙන ලෙස ඇවිද්දේය. තුන්වෙනි රවුම යනවිට ඔහුට එකක් අහුලාගන්නට සිතුනි. ඔහු අල්ලපු වත්ත දෙස එතරම් උවමනාවක් නොමැති ලෙස එහෙත් බොහෝ තියුණු ඇසින්, කවුරුත් සිටිනවාදැයි බලා ලඟින් තිබුණු කුඩා එහෙත් හොඳින් ඉදුණු ගෙඩිය අහුලාගෙන සාක්කුවට දමා ගත්තේය.
කලිසමේ සාක්කුවේ චප්ප වේ යයි බියෙන් එය අනික් රවුම යාමට පෙර ගෙදර වැරෑන්ඩා වේ කොට බැම්ම උඩ තැබුවේය. මෙය ඔහු නිතරම බිරිඳ ගෙන් බැනුම් අහන ක්‍රියාවක් වුවද ඔහුට එය පුරුද්දකට ගොසිනි. උද්‍යානයේ වැඩ වලට යොදාගන්න උපකරණ අඩුතරමින් 5 ක් වත් දිනකට තමන්ට ඒ බැම්ම මතින් හවසට ඉවත් කරන්නට සිදුවන බව, වරක් බිරිඳ කීවා ඔහුට මතකය.
පසුදින උදයේ ඔහු බිරිඳට මෙම ගොරක ගෙඩි පිළිබඳව කිව්වේය. ඇය එතන බලන්නට ගොස් තවත් ගෙඩි 5 ක් පමණ ඇහිඳ ගෙන ආවාය. පෙරදින  සමරසිංහ මහතා ඇහිඳගෙන ආ ගෙඩියද සමග බික් ගලවා වට්ටියක වේලෙන්නට දැමුවාය.
දැන් දවසින් දවස එතනට වැටුණු ගොරක ගෙඩි දෙදෙනාම අහුලාගෙන පැමිණියහ. එය තරමක තරඟයක් බවටද පත්විය. ලොකු ගෙඩියක් හෝ අමුතු විදිහක ගෙඩියක් තමන්ට හමුවුනොත්, එය අනිකාට පෙන්වන්නටද ඒ පිළිබඳව සාකච්ඡා කරන්නටද ඔවුහු උත්සුක වුහ. ඔහු ගොරක පිළිබඳව ගූගල් වෙත ගොස් බොහෝ දෑ ගෙනගත් අතර, එසේ නොකරන බිරිඳ මෙතරම් ගොරක ගැන දැනුවත් කෙලෙසදැයි ඔහු කල්පනා කළේය. ඒ ඇය කුඩාකල ඇගේ නිවසෙහි වත්තේ තිබු විශාල ගොරක ගසක් නිසාවෙ යැයි ඔහුට කතාබහෙන් දැනගන්නට ලැබිණ.
මේ අතර ගොරක ගහ තිබුණු ඉඩමේ ඒ අසල නිවසේ ජීවත්වූ වයසක යුවලට,  මෙලෙස පහලින් ගෙදර යුවල තමන්ගේ ගොරක ගසින් වැටෙන ගෙඩි අහුලා ගන්නා බවට සැකයක්  ඇතිවන්නට පටන් ගත්තේය. මෙවැනි දෙයක් සිදුවනවිට කෙනෙකුට  සුවඳකින් හෙමින් පැතිරෙන්නාක් මෙන් දැනෙන ඔවුන්ගේ සැකය එන්ට එන්ටම වැඩිවිය. අග හැත්තැවේ පමණ වයස් වූ මෙම ජෝඩුවට ළමයින් හිටියේ නැත. අක්කරයක් පමණ වූ එම ඉඩමේ තිබු පොල් විකිණීමෙන් ජීවත්වූ අතර, අවුරුදු කිහිපයකට වරක් මේරු ගහක් දෙකක් විකිණීමෙන් බැංකුවේ දාගන්නට කීයක් හරි අතට ලැබිණ.
ටිකදවසක් යනවිට තමන්ගේ වැට අයිනේ තිබෙන ගොරක ගසේ ගෙඩි අල්ලපු ගෙදරින් අහුලගන්න බව වයසක ජෝඩුවට සාක්ෂාත් විය. මෙතෙක් කලක් වැටෙන් එහාට ගොස් ඒ පැත්තට වැටෙන ගෙඩි අහුලා ගත්තේ නැති නමුදු, මෙලෙස තමන්ගේ ගහෙන් වැටෙන් ගොරක ගෙඩි අල්ලපු ගෙදරින් අහුලා ගැනීම නැවත්වීමට කුමක් කලයුතු යැයි, ඔවුන් නිතර කතා කළහ. අවසානයේ කාන්තාව වැට කණුවක් මෑත් කර ඒ පැත්තට ගොස් වැටෙන ගොරක ටික අහුලා ගැනීමට තීරණය කළහ.
“මම ගියොත් හොඳ නැහැ, පිරිමියෙක් නේ, තමුන් ගියොත් ඒ අය දැක්කත් ගෑණු කෙනෙක් නේ, කලබල වෙන්නේ නැහැ” පිරිමියා තම අදහස ඉදිරිපත් කල අතර, කාන්තාව එයට විරුද්ධ කරුණු ගෙනහැර පාන්නට අපොහොසත් වුවාය.
දවසක් දෙකක් යනවිට සමරසිංහ යුවලට සිදුවන්නේ කුමක්දැයි වැටහින. “පුදුම මිනිස්සුනේ, මෙච්චර කාලයක් කුනුවෙන්ට ඇරලා තිබ්බ ගොරක අපි අහුලා ගන්නකොටමනේ ලෝබකම ඇවිල්ල තියෙන්නේ” බිරිඳ සැමියාට කිව්වාය. ඔවුනට ඉන්පසු දවසකට ගොරක ගෙඩියකට දෙකකට වඩා අහුලාගැනීමට නොහැකි විය.
දවස් කිහිපයක් මෙසේ ගත වනවිට සමරසිංහ මහතාට අපුරු අදහසක් මොලයට ආවේය. “ඔයාට නම් පුදුම දේවල් හිතට එන්නේ”  සමරසිංහ මහත්මිය ඔහු එම අදහස ඇයට පැහැදිලි කලවිට සිනාසුනාය.
අවුරුදු දෙකකට පමණ පෙර ඔහු චීනයට අධ්‍යයන සංචාරයක් සඳහා ගියේය. ඔහු එහිදී මිලදී ගත් නොයෙකුත් විසිතුරු භාණ්ඩ අතර හරියටම පන ඇති සර්පයෙකු ලෙස පෙනෙන රබර් නයෙකුද විය. සමරසිංහ මහත්මිය ඒ දෙස බලන්නට බිය නිසා, එය නිදන කාමරයේ ලාච්චු අටේ කබඩ් එකේ යටම ලාච්චුවේ තැන්පත් කර තිබිණ.
තිබු තැන අමතක වීම නිසා, කිහිප තැනක සොයා බැලීමෙන් පසුව රබර් නයා සොයා ගැනීමට හැකිවිය. සමරසිංහ මහතා ඇවිදින්නට යනවිට අවසාන රවුමේදී නයා ගොරක ගෙඩි වැටෙන හරියේ පඳුරකට පෙනෙන නොපෙනෙන ලෙස ස්ථානගත කෙරින.
මෙම ස්ථානගත කිරීමෙන් හරියටම දවස් තුනකට පසුව, ගොරක ගෙඩි පෙර පරිදිම කවුරුත් අහුලාගන්නේ නැතිව ඉතිරිවන්නට පටන් ගත්තේය. සමරසිංහ ජෝඩුව නැවත තරඟයට තම ඉඩමේ තිබු ගොරක ගෙඩි අහුලා ගෙන එන්නට පටන්ගත්හ.
එක්  සවසක  සමරසිංහ මහත්මිය කුඹුර පැත්තට වන්නට ඇල්ල මුදුනේ තිබු රෝස පැල වලට වතුර දමමින් සිටියාය. ඒ දිගට තිබු ලෙමන් පැල වලට  සමරසිංහ මහතාද ඒ පැල අතරින් තිබු රෝස පැල වලට මහත්මියද, පුරුද්දක් වශයෙන් ඉඩවර කාල වල පමණක් හවසට වතුර දැමුහ. මෝසම් වැසි කාලවල කෙසේ වත් වතුර නොදැමූ අතර, නියඟ කාලයේ එක වැස්සක් වැස්සොත් සතියක් පමණ වතුර නොදා ඉන්නට හැකි බව, ඔවුන් නිරීක්ෂණය කර තිබිණ.
 සමරසිංහ මහතා එදින ඇවිදින විට ගහ මුල එතරම් ගොරක ගෙඩි වැටි නොමැති බව දුටුවේය. වැටි තිබුණු ඉදුණු ගෙඩි දෙකම රබර් නයා ගේ පිටතට නිරාවරණය වී ඇති පිට කොටස අසලින්ම තිබෙනවා දැක, හෙමින් පාත්වී එම ගෙඩි දෙකම එකවර  අහුලාගෙන සාක්කුවට දමා ගන්නට යද්දී, එක ගෙඩියක් නැවත එතනටම වැටින. ඔහු එය අහුලාගන්නට නැවත අත දාන විටම රබර් නයා එක්වරම ආපසු හැරුනේය.  සමරසිංහ මහතාට කුමක් සිදුවුණු දැයි සිතා ගන්නටත් පෙරම අත දිගේ දරුණු වේදනාවක් ශරීරය පුරා පතුරුනි. ඔහුට වමනය වීමට යන බවක් දැනුනි. හුස්ම ගැනීමට අපහසු වෙද්දීම තම බිරිඳගේ නම කියා කෑ ගැසුවාය.
ගම්පොලින් ගෙනා රතු රෝස පැලයට වතුර දමා අවසන්වන විටම, සමරසිංහ මහත්මියට යමෙකු හයියෙන් කතා කරන්නට උත්සාහ කරන්නාක් වැනි සද්දයක් ඇසුනි. ඇය ටික වෙලාවක් කල්පනාවෙන් කන් දුන්නාය. නිතරම පාරෙන් සද්ද ඇසෙන නිසා, ඇය එය අමතක කර දමා මල් බාදියට වතුර එකක් පිරවීම පිණිස, වතුර දැමීම සඳහාම මිදුලේ සවිකර තිබු කරාමය වෙත ගියාය. එසේ යද්දී මේ වනවිට වත්ත වටේ රවුමක් යාමට තමන් පසුකර ගිය තම සැමියා මෙතනින් නැවත යාමට කාලය හරි නේදැයි ඇයට එක්වරම සිතුනි. බොහෝවිට අපට මෙලෙස එකිනෙකට සම්බන්ධ සිතිවිලි දෙකක් වරින්වර මනසට පැමිණියද, ඒ දෙක සම්බන්ධ කර යම් අපට වෙන්නට යන ලොකු කරදරයක් ගැන අනතුරු  ඇඟවීමක් සිතෙන් අපට දන්වයි. සමහර අවස්ථාවල එය අපට වැටහෙයි. සහරවිට අපට එය දැනෙන්නෙම නැත. නමුත් එදින   සමරසිංහ මහත්මියට එය දැනුනාය.
ඇය බාල්දිය බිම අතහැර අඩිපාර දිගේ වත්තේ උතුරු දිශාවට වේගයෙන් ඇවිද්දාය. අඩි කිහිපයකට පසු ඇය දුවන්නට පටන්ගත්තාය, තම සැමියා ගොරක ගහ අසල මුනින් අතට වැටි සිටිනු දුටුවාය. ඒ අසලට යනවිට තමන්ගේ රබර් නයා හෙමින් හෙමින් එහා වත්තට සේන්දු වන ආකාරය දුටුවාය. ඇය එතනම නැමී සැමියාගේ නාඩි බැලුවාය. ඇය තම සේවා කාලය තුල දහස් ගණනක් මිනිසුන්ගේ නාඩි බලා ඇත්තේය. තම සැමියා මියගොස් ඇති බව දැනගන්නට ඇයට වැඩිවෙලාවක් ගියේ නැත.


7 comments:

  1. සර් මේක ඔබතුමාගේම නිර්මාණයක් කියල මම හිතනව. සුපිරි කථාව. හිතන්න ගොඩක් දේවල් තියෙනවා. මමත් මේ 55 න් පැන්ෂන් අරන් ඇවිදින්න පිළිවෙලක් කර ගන්නේ කොහොමද කියල හිටියේ. මුලදි හිතුවේ අඩු වියදමෙන් නියම වැඩක් කරල කියල.නයා ආපුවහම මට හිතුන වැඩේ වෙයි කියල. ස්තූතියි.

    ReplyDelete
  2. How come artificial Cobra become real? Do you have any real life situation to this story? However good story I always enjoy your writing!

    ReplyDelete
    Replies
    1. Its real cobra the guy mistook a real one for the rubber one he placed there

      Delete
  3. හුස්ම ගැනීමට අපහසු වෙද්දීම තම බිරිඳගේ නම කියා කෑ ගැසුවාය.it must be needed to correct

    ReplyDelete
  4. අගලරුවාදා ලංකාදිප සාහිත්‍ය අතිරේකයට යවන්න, sure , it will be published

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...