Tuesday, June 4, 2019

3 ඇමෙරිකානු මිලිටරි ගිවිසුම් 3




ඉහත බ්ලොග් දෙකෙන්  පෙන්වා දුන් කරුණු සහ හේතු වලින් ඇමෙරිකාවට ලංකාවේ හමුදා කඳවුරක් පිහිටවීමට කිසිම හේතුවක් නොමැති බවත්, එසේ පිහිටවීමට ඔවුනට බලකරන කිසිම ගෝලීය දේශපාලන හේතුවක් නොමැති බවත් පැහැදිලිව පෙනී යයි.

මෙයට අවුරුදු 50  කට පමණ පෙර නම්, එලෙස කඳවුරක් පිහිටුවා ගැනීමට ඇමෙරිකාවට ඕනෑ කමක් තිබෙන්නට ඉඩ තිබිණ. ඒ ශීතල යුද්ධය ලොව පුරා පැවතී අවධියේදීය. ඒ කාලයේ වුවද ඇමෙරිකාව වියට්නාම් යුද්ධයෙන් බැට කා තම තුවාල ලෙවකමින් සිටි නිසා, තවත් එවැනි පටලැවිල්ලකට තුඩු දෙන හමුදා ස්ථාපිත කිරීමකට කිසිසේත්ම යන්නට හැකියාවක් තිබුනේ නැතැයි මම සිතමි.

අනෙක් විශේෂ කාරණය වන්නේ ඉන්දියාව අපේ රටට ඉතාම ලඟින් පිහිටා තිබීමය. ඉන්දියාව ඇමෙරිකාවට ඉතාමත් හිතවත් රටක් වීමය. ශීතල යුද්ධය කාලයේදී (1947-1991) අනෙක් බොහෝ යටත් විජිතයනට නතුවූ අනෙක් රටවල් මෙන් ඉන්දියාවද රුසියානු බල කඳවුරේ පැත්ත ගත්තද, ඔවුහු ඔවුන්ගේ අනාගතය තිබෙන්නේ කොයි පැත්තේදැයි හොඳින් දැන සිටියහ. මෙයට හොඳම උදාහරණයක් මම අත්දැකීම් කර ඇත්තෙමි. මම අපේ තවත් නිලධාරින් කණ්ඩායමක් සමග 1980 වසරේ ඉන්දියාවේ අවුරුද්දක මුලික පුහුණුව ලබමින් සිටියෙමි. මේ කාලයේ අප වැඩි කලක් සිටියේ දැන් කොච්චි යනුවෙන් හඳුන්වන එකල කොචින් නගරයේ ඇති විශාල නාවික හමුදා කඳවුරකය.

එකල දැන් කාලයේ මෙන් නිලධාරීන්ගේ නිවාසයන්හි පුද්ගලිකව රූපවාහිනි නොතිබුණු අතර හවසට රූපාවාහිනි නැරඹීමට නිලධාරි නිවස්නය වෙත යා යුතු විය. අප රටේ මේ කාලයේ වර්ණ රූපවාහිනි තිබුනද, ඉන්දියාවේ එකල තිබුනේ කළු සහ සුදු රුපවාහිනි පමණක් බවද මෙතැනදී සිහිපත් වෙයි. මේ කාලයේ සතියේ එක දිනක ඇමෙරිකානු හිටපු ජනාධිපති වරයෙකු වූ ජෝන් එෆ් කෙනෙඩි පිළිබඳව, යම් රූපවාහිනි කතාවක් ඉන්දියානු දුරදර්ශන් චැනලයේ සතිපතා විකාශනය වුනි. ඉන්දියානු නාවික හමුදා නිලධාරින් අතර ජනප්‍රියම රුපවාහිනි වැඩසටහන වුයේ එම ප්‍රෝග්‍රෑම් එක වූ අතර, රූපවාහිනි කාමරයේ එදිනට ලොකු නරඹන්නන් පිරිසක් සිටි නිසා, අප මේ දිනයේ රූපවාහිනි නරඹන්නට යාම මගහැරියෙමු.

කොතරම් සෝවියට් කඳවුරට මිත්‍රශීලි යැයි පෙන්නා ගෙන සිටියද, ඉන්දියාව හදවතින් සිටියේ බටහිරත් සමගය. ඔවුනගේ  එකල සිටම අරමුණ වුයේ බටහිර පන්නයට දියුණු වන්නටය. දැන් ඔවුන් එම අරමුණ සාක්ෂාත් කරගනිමින් සිටිති.

එවැනි මිතුරෙකු ගේ පිළිකන්නේ; ඉන්දියාව තම ස්වභාවික බල පරාසය යැයි සිතා සිටින වෙනත් කුඩා රටක කඳවුරක් ගසා, මෙතරම් බලගතු සහ මිත්‍රශීලි ඉන්දියාව තරහ කරගන්නට තරම් ඇමෙරිකාව අමනොඥ රටක් යැයි මම නම් නොසිතමි.

ඇමෙරිකාව මේ පැත්තෙන් ඉන්දියාවට ඇති ගෞරවය පෙන්වන්නට මම තවත් අත්දැකීමක් විස්තර කරනු කැමැත්තෙමි. ඒ 2005 වසරේ මම නාවික හමුදාවේ සැලසුම් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂක වරයාව සිටියදී සිදුවුවකි.

පහතින් දැක්වෙන්නේ  මා විසින් මගේ නාවික හමුදාවේ සේවා කාලය පිළිබඳව ලියන ලද ‘සතුරා මුහුදේදී මුලාකිරිම සහ තවත් නාවික කතා’ යන පොතෙන් උපුටා ගන්නා ලද්දකි. මෙහි MDA නමින් දක්වා ඇති ව්‍යාපෘතිය අමෙරිකාවෙන් යුධ සමයේදී අපට අප අවට මුහුද පිළිබඳව විමසිල්ලෙන් සිටීම සඳහා ලබාදුන් උපකරණ සහ මෘදුකාංග පද්ධතියකි.
 යුද්ධයේ අවසානයක් දැකිය හැකි වන්නේ දිවයින වටා ඇති සාගරය පාලනය කිරීමෙන් බව අපට ඒ වන විට සක්සුදක් සේ පැහැදිලි වී තිබිණි. ඇත්තෙන්ම යුද්ධය අවසානයේ එම අදහසෙහි නිවැරදිබාවය පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ විය. රේඩාර් සමීකරණය අනුව කොතරම් ඉහලට රේඩාර් ස්කෑන් එක ගෙන ගියොත්, රේඩාර් යන්ත්‍රය උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩකර අපට හොඳම රේඩාර් චිත්‍රය ලබාදිය හැකි දැයි, රේඩාර් සමීකරණය උඩු යටිකුරු කරමින් ගණනය කලෙමු.  ලංකාවේ උසම රේඩාර් ටවර් පේදුරු තුඩුවේ, කල්ලරාවේ, චැපල්හිල් මත සහ ඩෙල්ෆ්ට් දූපතේ ගොඩනංවමින් සිටියෙමු.   

මෙවැනි අවස්ථාවක ඇමරිකානුවන්ගේ  MDA  ව්‍යාපෘතිය අපට දෙවියන් දුන්නක් හා   සමාන බව පෙනුණි. ඔවුන්ගේ උපකරණ අපේ කනුවල කඩිමුඩියේ සවි කෙරුණි. ඔවුන්ගේ තාක්ෂණය සහ උපකරණ වලින් මේ රේඩාර් කනු වලින් ලැබෙන රේඩාර් දර්ශණ, අපගේ ගුවන් විදුලි සම්ප්‍රේෂණ මගින් නාවික හමුදා මූලස්ථානයේ මෙහෙයුම් මැදිරිය වෙත රැගෙන එන ලද්දේය. මේවාට බොහෝ වියදම් දරන ලද්දේ ඇමරිකානු රජය විසිනි. තාක්ෂණයද ඔවුන් ගෙන් ලැබුණි. අප කාර්ය මණ්ඩලත් එසේ ලැබුණු තාක්ෂණය පන්නරයට ගනිමින් හා තව දුරටත් දියුණු කිරීමෙන්, උතුරු සහ නැගෙනහිර මුහුදේ රේඩාර් සහ කැමරා කුළුණු වලින් ලැබුනු දර්ශණ, එවේලේම නාවික හමුදා මූලස්ථානයේ සිට අධීක්ෂණය කරන්නට පුලුවන් ලෙසට වැඩි දියුණු කළහ.  එහෙත් අවසන පද්ධතිය පණ ගැණුනේ ඇමරිකානුවන්ට වඩා ප්‍රයෝජනවත් විය හැකි දත්ත ලභාගැනීමට ඔවුනට හැකියාව තිබූ අපගේ දකුණු වෙරළ තීරයේ  නොවේ, ඒවා සවි වුනේ අපගේ උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයන් වලය.   .............. ඊළඟ බ්ලොග් එකෙන්

2 comments:

  1. oba hari ape samajaye me wagana pahadili kireem karnna kenek na

    ReplyDelete
  2. නියමයි සර් ඉදිරියට පැහැදිලි කරන්න

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...