Sunday, June 16, 2019

ආරච්චි පයින්ඩේ - කෙටි කතාව







                                               ආරච්චි පයින්ඩේ


ඔවුන් හතර දෙනාම නොතාරිස් රාලහාමිගේ නිවසට රාත්‍රී හත වනවිට එකතු වුහ. කරත්ත පාර අයිනේ මහා වංගුවට උඩින් තිබු ගරාදි ගැසූ නිවසේ සාලයේ සුදු සරමක් සහ බැනියමක් ඇඳ සිටි නොතාරිස් රාලහාමි, චිමිනි ලාම්පුවක එළියෙන් යමක් ලියමින් සිටියේය. ඔලුවේ පිටිපස්සට වන්නට පීරා කුඩා ගැටයක් ගැටගසා තිබුණු ඔහුගේ කොණ්ඩයේ, තරමක් සුදු පැහැ ගන් වෙමින් තිබුණු කෙස් රැල ලාම්පු එලියට දිලිසුණි.
“ලොකු  නිලමේ, ටිකිර මාමයි තව කට්ටියකුයි ඇවිල්ල ඉන්නව නිලමේ හම්බුවෙන්ට” ඔහුගේ මෙහෙකාරිය ඔහුට දැන්වූවාය. ඔහු ඉඳගෙන සිටි මේසයෙන් නැගිට සකස් කරමින් සිටි ලියවිල්ල මේසය ළඟ තිබු රාක්කය මත තැබුවේය.
“කිරී, එහෙනං දුවන් ගෙහුං පුංචි බණ්ඩා මලයටත්  එන්ට කියපන්” ඔහු ඉතාමත් හෙමින් කීවේය. ඒ ඔහුගේ ස්වභාවය වෙයි. කිසිවිටෙකත් තම ස්වරය වැඩිකර හෝ වේගයෙන් කතා නොකරන ඔහු, එසේ කතාකරන තැනක වැඩි වෙලාවක් සිටියේත් නැත. ඔහුට මෙම පුරුද්ද උපතින් ලැබුනක් නොවේ. ඔහු සේවය කර ඇති පෙරකදෝරුවන් සහ එම පෙරකදෝරුවන්ගේ මිතුරන්  ගේ එම පුරුදු දැක, බොහෝ උවමනාවෙන් පුරුදු කරගත් ඒවාය. නීතිඥ ලිපිකරුවෙකුව සිට පුරුදු කරගත් එම පුරුදු නොතාරිස් කෙනෙකු වූ විට තවත් තිව්ර විය.
“අපේ නොතාරිස් රාලහාමි අබ්බගාත් මහත්තයෙක් උනොතින් කතා නොකරම අරින්ට පුළුවන්” ගැමියෝ ඔහු නැති තැන, ඔහුට නොකියන බවට හොඳටම විශ්වාස කවුරුන් හෝ සමග කියා සිනාසුනහ.
වයස 35 ක පමණ පෙනුම ඇති, නොතාරිස් රාලහාමිට වඩා අඟල් හයක් පමණ උස සිහින් සවිමත් සිරුරක් ඇති පුංචි බණ්ඩා සාලයට ඇතුල්වුයේ “නොතාරිස් අයියා” කියමින් ගෞරවයෙනි.
“ඕන් ඔහෙන් ඉඳ ගනින්කෝ මලයා” කියූ නොතාරිස්, එතන තිබු හාන්සි පුටුවකට බර වුයේය. තමන්ට ඉඳ ගන්නට කිව්වත් නොතාරිස් වාඩිවන තුරු හිටගෙන සිටි පුංචිබණ්ඩා අසල තිබු කුඩා පුටුවක හරි බැරි නොගැහි ඉඳ ගත්තේ, තම මස්සිනා වුවත් වැඩිහිටි එසේම තත්වයෙන් ඉහල නොතාරිස් ගෞරවයක් ලෙසටය.
“ටිකිරයි අනික් තුන් දෙනයි ඇවිල්ල ඉන්නවා, උන්ටත් එන්ට කියන්ටද?” ඔහු ඇසුවේය.
“එපා අපි පිටිපස්සේ ගල උඩට යමු, අහල තියෙනවා නේද, දවල් කැලෙයි රෑ ගෙදරයි රහස් මන්ත්‍රණ කරන්ට එපා කියලා” නොතාරිස් නැගිට්ටේය. නිවස පිටුපස තිබු ගල් තලාව මතට ගියේය.
තවත් ගැමියන් හතර දෙනෙකු ගල්තලාව මතට පැමිණ, නොතාරිස් ගේ අවසරය ලැබුණු පසු නොතාරිස් සහ පුංචිබණ්ඩා ඉඳගෙන සිටි තැනින් පහතට වන්නට පහසු තැන් බලා, හෙමින් කතා කරන දෙයක් අසාගන්නට හැකි මානයෙන් ඉඳ ගත්හ.
“උඹල දන්නවද, ඇයි උඹලට මෙතන්ට එන්ට කිව්වේ කියල?” නොතාරිස් සියලු දෙනාගෙන්ම පොදුවේ ඇසුවේය.
“පුංචි බණ්ඩා නිලමේත් මෙතන ඉන්න හින්දයි ලොකු ආරච්චිල නිලමේ ලෙඩ ඇඳේ වැටිලා ඉන්න හින්දයි අපිට හාන්කවාසියක් නම් තියෙනවා, අපේ නිලමේ”  අවශේෂ පිරිසේ වැඩිහිටියා වූ ටිකිරා පිළිතුරු දුන්නේය. ඔහු ඕනෑම තැනක බයක් නැතුව කටහැර කතා කරන්නට ගැමියන් අතර ප්‍රසිද්ධියක් උසුලයි.
“හොඳයි, උඹලට තියෙන්නේ ලබන අඟහරුවාදා අම්බලමේ තියෙන සුද්දගේ රැස්වීමට ඇවිල්ල කිරිබණ්ඩා මලයට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කොරන එක, බීගෙන මිනිස්සුන්ට අල්ලාගෙන ගහන එක, අමුණුගම හොර ගෑනියක් තියාගෙන ඉන්න එක, ගිය අවුරුද්දේ අන්තිම පෙරහැර දවසේ ටවුමේ ගොරිල්ලා මාර්ක්  එක්ක ගහගෙන මහා කලබැගෑනියක් කොරපු  එක,  ඕන් ඔයවගේ දේවල් ඔක්කොම කියල ඒජන්ත උන්නාන්සේට පෙන්නන්ට ඕනෑ කිරි බණ්ඩා මහා එපා කරපු එකෙක්ය, ඒක නිසා අපේ මේ පුංචි බණ්ඩා මලයා තමයි ආරච්චි පයින්දෙට ටක්කෙටම හරියන මනුස්සය කියලා”
“නිලමේ ඕක කරන්ට පුළුවන්, මමත් කැමතියි, එක පාරක් උන්නැහෙටම මනමාලියක් බලන්ට එකතු කරගෙන ගිහිල්ල, වචනයක් වැරදුනා කියල මට අල්ලාගෙන ගහල තියෙනවා. හැබැයි අපි ඕව ප්‍රසිද්ධියේ කිව්වට පස්සේ කිරි බණ්ඩා නිලමේම ආරච්චි පයින්ඩේට පත්වුනොත් අපි මේ ගමේ ඉඳල නම් ඉවරයි.” ටිකිරා යතාර්ථය පැහැදිලි කළේය.
“කොහේ වරදින්නද බන්, කච්චේරියේ තෝල්ක ආරච්චිටත් කතාකොරලා තියෙන්නේ, උන්නැහේට යමක් පොරොන්දුත් වුනා. අනික මැණික්හින්නේ රොඩී ගුරා ගෙන්නලා ඇහුවා, ඌ පරල වෙලා එක පයින්ම කිව්වා, පුංචි බණ්ඩා මලයට මේ පාර ආරච්චි පයින්ඩේ හම්බුවෙනවා කියල, අඟහරුවාදා රැස්වීමට කලින් දොහේ ඌ මෙහෙ ගෙන්නලා තොවිලයකුත් අරිනවා, කිසි සැකයක් නෑ” නොතාරිස් ශපත කළේය. ඔහු තමා ළඟ තිබු කඩදහි මල්ලෙන් සීල් අරක්කු බෝතලයක් එලියට ගත්තේය.
“මේන් මේක බීලා පලයල්ලා එහෙනම්, අපි තව පාරක් මුණගැහෙමු අඟහරුවාදාට කලින්” කියූ ඔහු නැගිට නිවස තුලට ගියේය.
නිලමේට කියන්ට කච්චේරියේ තෝල්ක ආරච්චිගේ උදව් තියෙනවා කිව්වට වැඩිය, මට හිතේ විශ්වාසයක් ආවේ රොඩී ගුරා කිව්වා කියපු එකෙන්, අපි එහෙනම එක පයින්ම” ටිකිරා බෝතලය දෙස බලාගත්වනම කීවේය.
අඞුව කැඩුණු කෝප්පයක් පිරෙන්නට අරක්කු බෝතලයෙන් අරක්කු හලාගත් පුංචිබණ්ඩා, සගයන් ගෙන් සමුගෙන එතනින් පිටව ගියේය.
සඳුදා, ඒජන්තගේ විවෘත විභාගය පැවැත්වෙන දිනට පෙරදින රාත්‍රියේ, නොතාරිස් ගෙදර තොවිලයක් පැවැත්වින. තොවිලය බරපතල වුවද වැඩිපුර සෙනගක් හිටියේ නැත. ලොකුවට ශබ්ද කෙරුණේද නැත. පාන්දර තුනට පමණ පුංචිබණ්ඩාට නොතාරිස් ගේ කන්තෝරු කාමරයට එන ලෙසට පණිවුඩයක් ලැබිණ. ඔහු කාමරයට යනවිට නොතාරිස් හාන්සි පුටුවේ වාඩිවී, පැන්සලක් වැනි සබන් කූරක් නාසය අසලින් තබාගෙන එය ආඝ්‍රහනය කරමින් සිටියේය. රොඩී ගුරා ඔහු අසල කෙලින් කටින් ඉඳගෙන ඔහුගේ මුහුණ දෙස බලාගෙන සිටියේය.
“මලයා, මුන්දා දැන් අමුතු කතාවක් කියනවනේ” නොතාරිස් පුංචිබණ්ඩා කාමරයට ඇතුළු වනවිටම කීවේය.
“දෙයියෝ බුදුවන්ට” ගුරා පුංචිබණ්ඩා දෙසට හැරුනේය. “මගේ සාස්තරේට පේනවා, මෙතන පොඩි පටලැවිල්ලක් තියෙනවා කියලා, ඒක අයින්කොරලා මේක හරියටම කොරලා කැපිල්ල ඉවරකොරන්ට නම්, දැන්ම ගොහිල්ල මහා ගඟෙන් වැලි ගොට්ටුවක් ගේන්ට ඕනෑ කොරනවා”
“ඉතින් එක මහා වැඩක් නෙවෙයිනෙ” පුංචිබණ්ඩා කුඩා සිනහවක් මුවට නංවා ගනිමින් කීවේය.
“මේකේ පොඩි හුලහක් තියෙන්නේ මලයා” නොතාරිස් සබන් කූර නාසයෙන් ඉවතට ගනිමින් කල්පනා කළේය. “වැලි ගොට්ටේ ගඟට ගිහිල්ල ගේන්ට ආතුරයම යන්ට ඕනෑලු, ඒ කියන්නේ අපේ මලයම” ඔහු ගුරා දෙස බලාගෙනම පැහැදිලි කළේය.
“මං යන්නම්, ඒක ඒතරම් මහා වැඩක්  නෙවෙයිනේ” පුංචිබණ්ඩා ගණනක් නැතිව කීවේය.
“ආන්න ඒකනේ, ඒ වුනාට මලය මේකේ හුළහ තියෙන්නේ ආන්න එතන, ගඟට යන ආතුරය අමු නිර්වස්ත්‍රයෙන් තමයි මේ වැඩේ කොරන්ට ඕනෑ, මලය හිත එඩිතර කරගන්ට ඕනෑ මෙතෙන්දි” නොතාරිස් පැහැදිලි කළේය.
“අමුඩේ රෙදි කෑල්ලක් වත් නැතිව?” නොතාරිස් තිගැස්සුනේය.
නොතාරිස් කිසිසේත් මෙයට කැමති නොවිය. උපතින්ම තරමක් ලැජ්ජා කාරයකු වූ ඔහු නොයෙකුත් හේතු කියමින් මෙයින් මඟහැරීමට උත්සාහ කලද, අවසානයේ නොතාරිස්ට ඇති ගෞරවය සහ ඔහුගේ බලපෑම මත, මහත් අකමැත්තෙන් එකඟ වීමට සිදුවිය.
පාන්දර  පුංචිබණ්ඩා ඇඳුම් කිසිවක් නොමැතිව කුඩා වැටකෙයියා මල්ලකුත් රැගෙන නිවසින් පිටත්විය.
“හොඳ වෙලාවට අද හඳ  නෑ” සිතමින් ඔහු කරත්ත පාර දිගේ ගඟ පැත්තට ඇවිදින්නට පටන්ගත්තේය.

                                                             2


පල්දෙනියේ අම්බලමේ පන්සල දිශාව පැත්තට වන්නට ලොකු පුටුවක සුදු රෙද්දක් දමා දිසාපතිවරයා වාඩි වී සිටියේය. ඔහුට දකුණු පැත්තෙන් දමා තිබු තවත් කුඩා පුටුවක පල්ලේ ගම්පහ රටේ රාල බුලත් විටක් හපමින් ඒජන්ත දෙස බලා සිටියේය. ඒජන්තට වම පැත්තෙන් බංකුවක පුංචි බන්ඩා ආරච්චිලගේ පුතා වූ කිරිබණ්ඩා තරමක් අපහසුතාවයකින් මෙන්, රටේ රාල දෙස බලා සිනහ වෙන්නට උත්සාහ කළේය. තවත් ගැමියන් 30 දෙනෙකු පමණ අම්බලමේ ඇතුලත සහ පිටත තුන් පැති බැම්මේ නිශ්ශබ්දව සිදු වන්නට යන දේ බලා සිටියහ.
ඉඳගෙන සිටි ගැමියන්ගෙන් වැඩි දෙනෙකු කොණ්ඩය පිටුපසට කර බැඳ සිටියහ. එයිනුත් 20 දෙනෙකු පමණ උඩුකය වැස්මක් නොමැතිව සිටියේ එකල සිරිතට අනුව, කුලයෙන් අඩු පුද්ගලයන්ට උඩුකය වැස්මක් ඇඳීමට සමාජ රීති වලට අනුව කල නොහැකි වූ නිසාය.
“දැන් මේ වසමේ සෑම ගෙදරකින්ම පවුලේ වැඩිහිටියා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවද?” රටේ රාල තම අසුනෙන් නැඟිට ඒජන්ත දෙස බලා ඔලුව නමා සභාවේ වැඩ කටයුතු ආරම්භ කළේය.
“එහෙමයි, ඔක්කොම වාගේ ඉන්නවා, ලෙඩ ඇඳේ ඉන්න පන්සල් ඉඩමේ පුන්චිකිරා වෙනුවටත් උගේ මලයා ඇවිල්ලා ඉන්නවා.” හිටපු ආරච්චිලාගේ පුත් කිරිබණ්ඩා පිළිතුරු දුන්නේය.
ඒජන්තට දෙබසේ සමහරක් වචන නොතේරුනේ වුවද, සිදුවන්නේ කුමක්දැයි වැටහෙන බව ඔහුගේ මුහුණින් පෙනුනි. ඔහු ඉදිරියෙන් තබා තිබු කුඩා මේසය මත තිබු අළු දුඹුරු පැහැ ඝන කවරයක් සහිත සි.ආර්. පොතක් දිග හැර ගත් ඔහු යමක් සටහන් කළේය.
“මෙතන ඉන්න හැම දෙනාම දන්නවා ඒජන්ත තුමා මෙතනට ඇවිල්ලා ඉන්නේ, බොහොම වැදගත් පරීක්ෂණයක් කරන්න කියලා, මේ ආරච්චි වසමේ අවුරුදු 40 ක් ආරච්චි පයින්ඩේ කරපු පුංචිබන්ඩා ආරච්චිල මිය ඇදුනහම, උන්නැහැගේ පුතා කළුබණ්ඩාට ඒ රාජකාරිය ලබා දෙන්න ඕන. නමුත් මේ වසමෙන් ලියුම් කඩදාසියක් ගිහිල්ලා තියනවා ඒජන්ත උන්නාන්සෙටම, මේ කිරිබණ්ඩා බීමට පුරුදු වෙලා ඉන්නවා කියලා, හපුවෙල රා විකුණන ගෑනියක් තියාගෙන ඉන්නවා කියලා, වසමේ මිනිස්සුන්ට නිකරුනේ අඩත්තේට්ටම් කරනවා කියලා, ඒකෙ විභාගය තමා මේ පැවැත්වෙන්නේ.” රටේ රාල පිරිස දෙස බැලුවේ උත්තරයක් බලාපොරොත්තු මෙනි.
කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත. එහෙත් ගැමියන් කිහිප දෙනකු තරමක් කලබලයට පත් වී ඇති බවක් පෙනුනි. ඔවුහු සභාවට නොදැනෙන්නට හෙමින් බෙල්ල කරකවමින් ගඟ දෙස සිට එන කරත්ත පාර දෙස බැලුහ.
“දැන් මේ සභාවේදී කිරිබණ්ඩට විරුද්ධව යමක් ඉදිරිපත් කරන්න තියෙනවනම්, දැන් ගම්කොරේ වැසියන්ට ඒජන්ත උන්නාන්සේ ඉදිරියේදී ඒ කාරනාව කියන්ට පුළුවන්” රටේරාළ නැවත ප්‍රකාශ කළේය.
විනාඩි 5 ක් පමණ නිශ්ශබ්දව ගෙවින. ටිකිරා සහ ඔහු සමග අම්බලමේ බැම්මේ ඉඳගෙන සිටි සගයන් අපහසුවෙන් වටපිට බැලුහ. දෙල්ගහකොටුවේ රම්බරනා නැගිට සිටියේය.
“අවසර, අපිට නම් කිරිබණ්ඩා නිලමේ ගැන එහෙම කියන්ට වරදක්  දෙයක් නැහැ, අපි කාගේවත් එහෙම විරුද්ධත්වයක් ඇත්තේ නැහැ, ඔය කියන අඩුපාඩු මෙතන ඉන්න හුඟකට තියෙනවා” කී ඔහු නැවත බැම්ම මත ඉඳගත්තේය.
තවත් විනාඩි 5 ක පමණ නිශ්ශබ්දතාවයකට පසුව, රටේ රාල නැගිට වෙනත් කවුරුන් හෝ අදහස් දක්වන්නට ඉදිරිපත් වන්නේ දැයි අසා සිටියේය. එම විමසීමෙන් පසු නැගී සිටි ටිකිරාද රම්බරනා ගේ අදහසට එකඟවිය.
සභාවේ සියලු අදහස් දැක්වීම් දිසාපතිවරයාට පරිවර්තනය කර දන්වා සිටින ලදුව, කිරි බණ්ඩා ආරච්චිල පදවියට පත්කිරීම අනුමත කෙරින.
                                                         
                                                            3

නොතාරිස් රාලහාමි හවස් වරුවේ නිවසට එන විටත්, ටිකිරා ඇතුළු ඔහුගේ සගයන් ඔහුගේ නිවාස පිටුපස ගල්තලාවට පැමිණ සිටියහ. ඔහු තම සුදු කබාය ගලවා තබා සුදු සරම සහ බැනියම පිටින් ගල් තලාව වෙත පැමිණියේය.
“මට තොටුපලේදීම ආරංචි වුනා මලය සභාවට ආවේ නෑ කියලා, මොකක්ද වෙලා තියෙන්නේ?” ඔහු විමතියෙන් ඇසුවේය. වැලි ගෙන ඒමට ගඟට ගිය කතාව මොවුනට කියන්නට ඔහුට සිත දුන්නේ නැත.
මහවැළි ගඟේ තොටුපලින් කිලෝ මීටරයක් පමණ පහල, ‘යහන් ඇඳ’ ළඟ වම් ඉවුරේ පුංචිබණ්ඩා ගේ මළසිරුර ගොඩගසා ඇති බවට ආරංචිය ලැබුනේ අඟහරුවාදා හවසය. ඉදිමි තිබු ඔහුගේ නිරුවත් සිරුර මුලින්ම දුටු ගඟට දිය නමට ගිය කාන්තාවට, පසු දිනෙක තොවිලයක්ද කරන්නට සිදුවිය.
“අලුත් ආරච්චි මහත්තයට මුල්ම රාජකාරියට තමන්ගේම මස්සිනාගේ මලගමම කරන්ට සිදුවෙච්චි හැටි” ගැමියෝ සිද්ධියේ ඇති දෛවෝපගත හාස්‍ය පිළිබඳව කතා කළහ.
“කිරී, උඹට හිතෙන්නේ නැද්ද, මහා ගුරා පුංචිබණ්ඩා මලයට අර විදිහට වැලි ගේන්ට කිව්වේ, වහෙන්ඔරෝ වෙන් මේ වැඩේ කෙරෙන්නේ නෑ කියන එක වද්ද කියල?” නොතාරිස්, කිරී ගෙනත් දුන් සබන් කූරක් නහයට ඇතුළු කරමින් ඇසුවේය.

No comments:

Post a Comment

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...