Monday, October 1, 2018

ජපාන සංචාරය 4






නරිටා ගුවන්තොටුපලේදීම ජපානයේ රජය වැඩ කරන කාර්යක්ෂමතාවය කෙනෙකුට පහසුවෙන්ම වැටහේ. ලෝකයේ මෙතරම් රටවල් ගණනාවකින්; අපේ රටත් ඇතුළුව, තම රට තුලට පැනගන්නට සැලසුම් කරන ජපානයේ මෙතරම් ඉක්මනට පිටරටින් එන ජනයා ඇතුලට ගැනීමට හැකිවන පරිදි කාර්යක්ෂම ක්‍රමවේදයක් සාදා තිබීමෙන්ම එය ප්‍රත්‍යක්ෂ  වෙයි.

රටකට පැමිණෙන අමුත්තෙකුට ඒ රට ගැන මුල්ම හැඟීම දෙන්නේ මෙම ආගමන හා විගමන නිලධාරින්ය. විශේෂයෙන්ම ඒ හා සම්බන්ධව රාජකාරි කටයුතු කෙරෙන ආකාරයෙනි.

ඒ අතින් යම් ජානවල එසේත් නැත්නම් ඉතිහාසය නිසා ඉන්දියාව, ශ්‍රීලංකාව, පකිස්තානය වැනි රටවල් මේ සම්බන්ධයෙන් ඉතාමත් පසුපසින් සිටින අතර සිංගප්පුරුව, වියට්නාමය, ජපානය වැනි රටවල් ඉතාමත් ඉහලින් සිටින බව මෙම ප්‍රදේශවල ගමන් කර ඇති අයට නොකිවමනාය. 
පෝලිම් හැඳීමේ සිට ආගමන කටයුතු අවසාන වන තෙක් ඒ රටවල එය හොඳින්ම කල යුත්තේ කෙසේදැයි හදාරා දිනෙන් දින දියුණු කරමින් සිටින බවට කිසියම්ම වූ සැකයක් නැත්තේය.

මම ගුවන් තොටුපළෙන් පිටවීමට පෙර බ්ලැක් ලේබල් විස්කි බෝතල් දෙකක්ද මිලදී ගත්තේ ඉදිරි සති දෙකක කාලය තුල පානය කිරීමට යමක් තිබිය යුතු යයි සිතාය. මම මිතුරාත් සමඟ ඔහුගේ රථයෙන් ගුවන් තොටුපළෙන් පිට වී ගුවන් තොටුපලට විනාඩි 15 ක් පමණ දුරින් පිහිටි ඔහුගේ නිවස වෙත ගියෙමි. මෙම ප්‍රදේශය තනිකරම පාහේ ගොවිතැන මුල් කොට ගත් පිරිසක් ජීවත්වන පළාතකි.

මම ජපානයට යාමට අදහස් කරන බව මා මිතුරු අද්මිරාල් සෝමතිලක දිසානායකට කිවූ විට ඔහු මට මුලින්ම කියා සිටියේ හැකි තරම් ජපානයේ ගම්බද ප්‍රදේශ වෙත සංචාරය කරන ලෙසත් ඔහු වරක් ජපානයට ගොස් එසේ කිරීමට නොහැකි වූ නිසා කණගාටු වන බවත්ය. මට ගම්බද සංචාරය කිරීමට පමණක් නොව ගම්බද නැවතී සිටිමටම අවස්ථාවක් ලැබී ඇති බව දැක මම සතුටට පත් වුනෙමි.

මගේ මිතුරා නැවතී සිටියේ තට්ටු දෙකක් ගොඩනැගිල්ලක ඉහල තට්ටුවේ නිවාස ඒකකයකය. එහි නිදන කාමර දෙකක්, තරමක කුස්සියක්, නාන කාමරයක්, සහ බැල්කනියකින් සමන්විත විය. රාත්‍රියට මිතුරා විසින් ඉතා රසවත්ව සාදන ලද ශ්‍රී ලාංකීය ආහාර වේලක් අනුභව කොට අපි නින්දට ගියෙමු.

පසුදින උදෑසන මට ඇහැරුනේ ‘ටු ටු කියතෝ.......’ යන හඬින් කෑගසන කුරුල්ලෙකුගේ ශබ්දයෙනි. මේ කුරුල්ලා සෑම දිනකම උදෑසන මේ ශබ්දය කරන්නට යෙදුනු අතර ජපානයේ සිටින තාක් කල් සෑම දිනකම පාහේ අසන්නට ලැබුණු මේ ශබ්දය සංචාරය අවසන් කොට ආපසු පැමිණි මට ‘මිස්’ වන ප්‍රධාන කරුණකි.

අපි උදයේම නැගිට ප්‍රදේශයේ පයින් ඇවිදින්නට ගියෙමු. දෙවියන්ගේ භාෂාව නිශ්ශබ්දතාවය යැයි ඉංග්‍රීසි කියමනක් තිබේ. එසේ නම් දේව සභාව තිබිය යුත්තේ ජපානයේය. අප කිලෝමීටර් 5 ක් පමණ මෙම උදෑසන ඇවිද්ද නමුදු එක හෝන් හඬක් හෝ කතා බහක් හෝ අපට ඇසුනේ නැත. මේ එතරම්ම කැලෑබද ප්‍රදේශයක් නොවේ. එක් නිවසක් නොදැකී යන විට තව නිවසක් පෙනෙන තරමේ ජනගහනයක් සිටින ප්‍රදේශයකි. මේ සෑම ගෙදරකම පාහේ වාහනයක් දෙකක්, ට්‍රැක්ටරයක්, බැකෝ යන්ත්‍රයක්, දිරාගිය වාහන කිහිපයක් නිවෙස අසල පෙනෙන්නට තිබුණි. මෙලෙස ඇවිදින එක් දිනයකට මිනිසුන් එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට වඩා දකින්නට ලැබුනේත් නැත. බොහෝ විට නිවාස තුල හෝ ඒ අසල ඇති මඩුවකට වී යම් ප්‍රයෝජනවත් කටයුත්තක යෙදී සිටිනවා විය යුතුය.


අප ඒ උදෑසන ආපසු එද්දී ඉතා අලංකාර ලෙස නඩත්තු කරමින් පවතින සොහොන් භූමියක් දුටුවෙමු. මම එය ඇතුලට ගොස් පරීක්ෂා කර බැලුවෙමි. සෑම කොතක්ම නිපදවා තිබුනේ කළුගල් වලිනි. මෙයට බොහෝ කලකට පෙර මිතුරෙකු විසින් මා හට හදුන්වා දෙන ලද තායිවානයේ සිට පැමිණි වෙළෙඳ ව්‍යාපාරිකාවක වූ තෙරේසා නමැති කාන්තාවක ලංකාවට පැමිණියේ මෙවැනි සොහොන් කොත් වලට කළුගල් ලංකාවෙන් සොයාගෙන ජපානයට අපනයනය කිරීම සඳහාය. මගේද සහය ඇතිව ඇය ලංකාව පුරා මෙලෙස එයට ගැලපෙන කළුගල් වර්ගය සොයා ගැනීමට වෙහෙස වූ නමුදු එය කර ගැනීම නොහැකි විය. එම ව්‍යාපාරය සාර්ථක වූවානම් මාද අද ජපානයේ සොහොන් කොත් ව්‍යාපාරයේ පුරෝගාමියෙකුව සිටින්නට ඉඩ තිබුණු බව මට මෙහිදී මතක් විය.

ඇය ගල් පරීක්ෂා කලේ හොඳින් මදින ලද ගල් කැබැල්ලකට ජලය ස්වල්පයක් වත්කර එය ගලන ආකාරය සහ ජලය වේලීමට ගතවන කාලය ගණනය කිරීමෙන් බව මට මතකය.            

1 comment:

  1. කුරුළු නාදය මටත් මතක් වුණා මේක කියවනකොට.

    බොහොම ස්තුතියි.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...