Sunday, September 30, 2018

ජපානයේ චාරිකාව - 3




දින දෙක තුනකින් ජපන් තානාපති කාර්යාලයෙන් කාන්තාවක් මා සමඟ දුරකතනයෙන් කතා කලාය. මගේ සංචාරය පිලිබඳ විස්තර කිහිපයක් ඇසු ඇය අවශ්‍ය වුවහොත් නැවත කතා කරන බව පැවසුවාය. සතියක් ගිය පසු තානාපති කාර්යාලයෙන් ලියකියවිලි ඔවුන් වෙත ලැබුණු බව පවසා ආයතනයෙන් එස්.එම් එකක් ලැබුණි. 

මම කොළඹ සිටින ඥාති පුත්‍රයෙකුට බලය දී ලිපියක් යවා මගේ ගමන් බලපත්‍රය ගෙන්වා ගතිමි.

11 වන දින ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් සිංගප්පුරුව බලා පිටත් වුනෙමි. මේ අප ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් කජු ප්‍රශ්නය ප්‍රසිද්ධියේ සාකච්ඡා කර තිබු කාලයයි. ඇත්තෙන්ම වෙනත් ඔහු කියන බොහෝ දේවල් හා එකඟ විය නොහැකි නමුත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මගීන්ට සැලකීම සහ වල් සතුන්ගෙන් ගොවිතැනට වන කරදරය ගැන නම් ඔහු හා සම්පුර්ණයෙන් එකඟ විය හැකිය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මගීන්ට සලකන ආකාරය ආසියාවේ බොහෝ වෙනත් ගුවන් සමාගම් හා සසඳන කල ඉතාමත් පහල තත්වයක පවතී.

ආහාර වට්ටෝරුවේ චිකන් සහ ෆිෂ් තෝරා ගැනීමක් තිබුනද මා මෙම ගමනේදී ගමන් කළ ශ්‍රී ලංකා ගුවන්යානා දෙකෙහිම ෆිෂ් ඉල්ලා සිටියද ඒ වන විටත් ෆිෂ් කෑම අවසන් වී ඇති බවත් මට කියා සිටියහ. ඒ විතරක් නොව එම ගුවන් සේවිකාවන්ගේ ආකල්පයම මගීන්ට සැලකීමට නොව එයින් මග හැරීමට බව ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පෙනේ. කෑම බිම දීමට නොව නොදීමට දරණ වෙහෙස ඕනෑම මගියෙකුට පහසුවෙන්ම දැනෙයි. සේවය කොතරම් පහලට ගොස් ඇත්දැයි කියන්නේ නම් මට ලබා දුන් ආහාර වේලේ අතුරුපස භාජනය හිස්ව තිබුණි. මම ඒ පිළිබඳව ඔවුන්ට දැන්වීමටවත් උනන්දුවක් ගත්තේවත් නැත්තේ එය කිමටවත් මහන්සිවීමේ තේරුමක් නොමැති බව සිතුනු නිසාය.

සිංගප්පුරුවේ පැය 16 නැවතීමක්  තිබුණ නිසා ගුවන් තොටුපළෙන් පිටව නගරයට ගොස් රාත්‍රී ආහාර ගෙන ඥාති නිවසක රාත්‍රී ගතකර පසුදා උදෑසන ජපාන ගුවන් සමාගමේ ගුවන් යානයකින් ජපානය වෙත පියාසර කලෙමි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවාවන් සහ ආකල්ප කොතරම් පහල මට්ටමක පවතීදැයි සංසන්දනය වන්නේ ජපාන ගුවන් සමාගමේ සේවාවන් සහ සංසන්දනය කරන විටය. ඔවුන් එම සේවය කරන විට එය කරන්නේ ඉතා කැමැත්තෙන් බව එහි සේවක සේවිකාවන්ගේ ඉරියව් වලින් සහ හැසිරීමෙන් පැහැදිලිව පෙනේ. එම ගුවන් සේවිකාවන් කිසිම විටක මගීන්ගෙන් සැගවී සිටීමට උත්සාහ කරන්නේ නැත.

පැය 7 ක ගුවන් ගමනකින් මම චිත්‍රපට දෙකක් බලන්නට සැලසුම් කරගෙන සිටියෙමි. එහෙත් තිබූ නවතම හොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම පරික්ෂා කර බැලු නමුදු හිතට ඇල්ලුවේ නැති නිසා අවසානයේ තෝරා ගත් මේස් රනර් චිත්‍රපටය තෝරා ගත්තේ නමුදු එයද භාගයක් බලන විට එතරම් නැගලා යන්නේ නැති බව පෙනුනි. ඒ නිසා එයද නවතා දමා ඉංග්‍රීසි සබ් හෙඩින්ස් සහිත ජපන් චිත්‍රපට එකිනෙක පරීක්ෂා කර බැලුවෙමි. ඒ අතරින් මා සිත්ගත් fly catcher නමැති චිත්‍රපටයක් බලන්නට තෝරා ගත්තෙමි.

ඉතාමත් අඩු පිරිවැයකින් සාදා තිබූ මේ චිත්‍රපටය අපුරු චිත්‍රපටයකි. පෙරදින  සමුරායි පසුබිමක නිපදවා තිබූ මෙම චිත්‍රපටයේ හාස්‍යය හා නොයෙකුත් මිනිස් හැගීම් මනාව පිළිබිඹු කර තිබුණි.

මෙම ගුවන් ගමනේදී මට ජපන් ජාතිකයන් ගැන බොහෝ දේවල් නිරීක්ෂණය කරන්නට අවස්ථාව ලැබුණි. එයින් පළමු වැන්න ඔවුන් බොහෝ දෙනෙකු අඳින ඇඳුම් ලා පාට ඒවා වීමය. තද පාට හෝ ඩිසයින් ඇති ඇඳුම් ඇඳගෙන සිටින්නන් සිටින්නේ කලාතුරකිනි.

ඔවුන් ගුවන් යානයේ ඉඳගෙන සිටිද්දී පවා හරි පිළිවෙලට ඉඳගෙන සිටිති. කකුලක් උඩ කකුලක් දැමු කෙනෙකු සොයා ගැනීමට අපහසුය.

සාමාන්‍යයෙන් අප බොහෝ දෙනෙකු; බොහෝ බටහිර ජාතීන් මෙන්ම ආසන තුනක මගින් නොසිටියහොත් එතනට ගොස් නිදා ගන්නට පුරුදුව සිටින්නෙමු. මටද එවැනි අවස්ථාවක් මෙහිදී ලැබූ තිබුණු නිසා එසේ නිදා ගන්නට කල්පනා කර වටපිට ටිකක් සොයා බැලුවිට දැක ගන්නට ලැබුනේ එවැනි ආසන තුන හිස් ස්ථාන කිහිපයක්ම තිබෙන නමුදු කිසිම කෙනෙකු ඒවාගේ නිදාගෙන නොමැති බවයි.

රෝමයට ගිය විට රෝමානුවෙකු මෙන් සිටිය යුතු නිසා මමද කකුලක් ඉදහිට එහාට මෙහාට කරනවා හැරෙන්නට ආසනය හරහා වැටි නිදා ගන්නට උත්සාහ නොකලෙමි.

මෙලෙස ගමන් කර නරිටා ගුවන් තොටුපලට පැමිණ එළියට පැමිණෙන විට මගේ මිතුරෙකු මා පිළිගැනීමට එහි පැමිණ සිටියේය.    
  

8 comments:

  1. ශ්‍රී ලංකන් ගුවන් සේවය නරීටා වලට යන ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් තියෙනවා.

    ReplyDelete
  2. මම ගමන් කරපු අවස්ථා දෙකේදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නරිටා දක්වා ගමන් ගන්නා ඩිරෙක්ට් ෆ්ලයිට් එකේ සේවය නම් සතුටුදායක මට්ටමක තිබුණ. සමහර විට ඒ ෆ්ලයිට් එකේ ජපන් ජාතිකයන් ගමන් ගන්නා නිසා සහ දිගු ෆ්ලයිට් එකක් නිසා තායි, කොරියන්, චීන, සිංගප්පුරු සේවා දායකයින් සමග තරඟකාරී වීම උදෙසා වෙන්නට ඇති.

    ජපන්නු සමග ෆ්ලයි කිරීම ඇත්තටම හරිම පහසුයි තමයි, ඔබ කියල තියනවා වගේ.

    ReplyDelete
  3. රසවත් සංචාරක සටහනක් වෙයි වගේ. ජපන් විසා වලට මොනවාද එයාල ඉල්ලන්නේ..? එහෙ ඉන්න කෙනෙක් ගෙන් ස්පොන්සර් ලෙටර් එකක් ඕනේ ද? ජපන් රවුමක් යන්න අදහසක් කාලෙක ඉඳල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම හොටෙල් රිසර්වේෂන් එකක් දෙන්න පුලුවන්නම් ස්පොන්සර් අවශ්‍ය නැහැ, නැත්නම් අකමඩේෂන් වලට එහෙ සෙට්ලේ වෙලා ඉන්න කෙනෙක් ගෙන් තමන් ඇ අකමඩේෂන් දෙනවා කියල ලියුමකුයි ඔහුගේ පදිංචිය පෙන්නන්න ලියුමුයි ඕනෑ

      Delete
  4. ජපානයේ සංචාරය ; getting there is half the fun,
    ජපානයේ චාරිකාව - 3
    මේ සටහන් 2 අතර තව කොටසක් තියෙනවද? 1 න් පස්සේ කෙලින්ම 3 ට යන නිසා ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. දෙවැනි කොටස එහෙදි පොන් එකේ අමාරුවෙන් ලිව්වා , දැන් ස්ටක් වෙලා, දාන්න ඉන්නේ

      Delete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...