Saturday, February 4, 2017

ජාතියේ කුලකය, උප කුලක සහ මහ කුලක.









මම අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට ඉගෙන ගන්නා කාලයේදී මොඩර්න් මැත්ස් නමින් අළුත් ගණිතය විෂයක් මුල් වතාවට අප විෂය මාලාවට ඇතුල් කෙරිණ. එයට අළුත් බයිනරි සහ කුලක, වෙන් ඩයග්‍රම් යනාදිය ඇතුලත් විය. මෙම විෂයේ කුලක ප්‍රධාන තැනක් ගත්තේය. ඉංග්‍රීසියෙන් සෙට් යනුවෙන් හැඳින්වෙන මේවාට සිංහලට කුලක ලෙස පරිවර්තනය කෙරුණි. 

මෙම කුලක ක්‍රමය අනුව කල්පනා කරන විට අපේ ජාතියත් අපිට කුලකයක් ලෙස සැලකිය හැක. අප සියලු දෙනා සිටින එම මව් කුලකය ඇතුලේ තවත් බොහෝ උප කුලකයන් ජීවත් වෙති. ලෝකයේ ඕනෑම ජාතියක් මෙන් නොයෙකුත් රැකියාවන් කරන්නන්, නොයෙකුත් මට්ටමේ අධ්‍යාපනය ලැබූවන්, නොයෙකුත් ආර්ථික තත්වයේ සිටින්නන්, යනුවෙන් සඟ, වෙඳ, ගොවි, ගුරු, කම්කරු, යනාදී වශයෙන් සියලු දෙනා එහි සිටිති. 

ලක්ෂ දා හතරක් ත්‍රීවිලර් තිබෙන නිසා බංඩාරනායක මහත්මයා මේ දවස්වල පොදු ජන බලවේගය පිහිටු වැව්වේ නම් සඟ, වෙද, ගොවි, ගුරු, කම්කරු සහ ත්‍රීවීලර් (එසේත් නැත්නම් විදේශිකයින් කියන විදිහට ටුක් ටුක්) යනුවෙන් ඔහුගේ සටන් පාඨය පිළියෙල කර ගන්නට ඉඩ තිබිණ. 

දැන් මේ ප්‍රධාන කුලකයේ සිටින සියලු දෙනාම කුඩා උප කුලක වලට අයත් වේ. උදාහරණයක් වශයෙන් ගුරුවරු එක් උප කුලකයක් වෙයි. එහෙත් එම උප කුලකය නැවත උප කුලක තුනක් වෙයි. ඒ රජයේ ගුරුවරු, ජාත්‍යන්තර පාසැල්වල ගුරුවරු සහ ටියුෂන් ගුරුවරු යනාදී වශයෙනි. අවශ්‍ය නම් මේ උප කුලක නැවත නැවතත් උප කරන්නට පුලුවන. රජයේ ගුරු කුලකය ඉංග්‍රීසි හා විද්‍යා උප කුලක වශයෙන් නැවත බෙදන්නට පුලුවන.    

මෙම කුලක සියල්ලෙන් සෑදුනු ජාතිය නැමැති මහා කුලකය ඇතුලේ සිටින අය පොදු ජනතාව ලෙස හදුන්වනු ලැබේ. යම් කරුණක් නිසා මෙම පොදු ජනතාව නැමැති මහා කුලකය ඇතුලේ සිටින කුඩා උප කුලකයක් ප්‍රධාන කුලකයෙන් එළියට ගොස් තමන් සිටිනා කුඩා කුලකයට යමක් වැඩිපුර ලබාදෙන ලෙස මහ ජනතාව නැමැති ප්‍රධාන කුලකයෙන් ඉල්ලා සිටිති. ඔවුන් එසේ ඉල්ලා සිටින විට එම උප කුලකය හැරෙන්නට අනෙක් උප කුලක සියල්ල එකතු වී මේ අවස්ථාවේ තාවකාලික පොදු ජනයා නැමැති මහා කුලකය බවට පත්වේ. පොදු ජනයා නැමැති සියලු දෙනාට බෙදා ගැනීමට තිබෙන සම්පතකින් තම  උප කුලකයට යමක් වැඩිපුර ලබාදෙන ලෙසට ඔවුන් ඉල්ලා සිටිති. 

එලෙස ඉල්ලා සිටින උප කුලකයට යමක් වැඩිපුර දුනහොත් මහා කුලකයේ සිටින සියල්ලන්ගෙන්ම කුඩා සම්පත් ප්‍රමාණයක් අඩුවෙයි. එහෙත් එහි සිටින බොහෝ දෙනෙකුට මෙය පැහැදිලි නැත. ඒ නිසා ඔවූහූ මේ අසාධාරණය නොදැක්කාක් මෙන් සිටිති. ඇතුලේ සිටින තවත් සමහරක උප කුලක ඔවුනුත් මෙවැනි අසාධාරණ ඉල්ලීම් මීට පෙර කර ඇති නිසා හෝ අනාගතයේ කරන්නට සැලසුම් කරන නිසා නොදැක්කා වාගේ සිටිති. සමහර විට පොඩි උඩ ගෙඩියකුත් දෙති. 

මෙවැනි මහා කුලකයෙන් එළියට පැන යම් යම් දෑ ඉල්ලා සිටිය හැක්කේ හොදින් සංවිධානය වුනු, එසේම එම කුලකය මහා කුලකයෙන් එළියට ගිය විට මහා කුලකයට යම් අපහසුතාවක් දැනෙන සහ එම උප කුලකයෙන් කරන කියන දෑ ඔවුන් නොමැතිව කරවා ගැනීමට අපහසු උප කුලක වලට පමණි. 

උදාහරණයක් වශයෙන් ජාත්‍යන්තර පාසැල්වල ගුරුවරු එවැනි උප කුලකයක් නොවේ. රජයේ ගුරුවරුද එසේමය.

 ඒ නිසා ඇත්තෙන්ම මෙලෙස උප කුලක එළියට පැනීම නැවැත්වීමට නම් ඉහත කරණු තුනෙන් අඩු තරමේ එකක් හෝ ඔවුන්ගෙන් ඉවත් කිරීමට ක්‍රමවේදයක් යොදා ගත යුත්තේය.   

2 comments:

  1. හුගක් ලොකු කතාවක් බොහොම සරලව.....

    ReplyDelete
  2. /* උදාහරණයක් වශයෙන් ගුරුවරු එක් උප කුලකයක් වෙයි. එහෙත් එම උප කුලකය නැවත උප කුලක තුනක් වෙයි. ඒ රජයේ ගුරුවරු, ජාත්‍යන්තර පාසැල්වල ගුරුවරු සහ ටියුෂන් ගුරුවරු යනාදී වශයෙනි. අවශ්‍ය නම් මේ උප කුලක නැවත නැවතත් උප කරන්නට පුලුවන. රජයේ ගුරු කුලකය ඉංග්‍රීසි හා විද්‍යා උප කුලක වශයෙන් නැවත බෙදන්නට පුලුවන. */

    මගේ පියාත් ගුරුවරයෙක්. රජයේ ගුරුවරයෙක්. ඒ හැර වෙනත් උප කුලක ගැන මා දැන සිටියේ නෑ.

    ඒ, 1993 වසරේ දී, එක්තරා දිනක විශ්‍රාමික ගුරුවරියකව ඇගේ ඥාති පුත්‍රයෙකු විසින් මේ රෝයල් එකේ ටීචර් කෙනෙකු ලෙස මට හඳුන්වා දුන් දිනය දක්වායි!

    ReplyDelete

The voyage to Siam

  This story is based on King Kirti Sri Rajasinha’s embassy of 1750–1751, supported by the Dutch, to seek Siamese monks who could restore up...