Wednesday, February 15, 2017

මීගමුවේ මහා රාළ - 1






                            එ් කාලයේ ඉන්දියාවේ නෙදර්ලන්ත වෙළෙන්දෙකුගේ චිත්‍රයක්. 

මීගමුවේ මහා රාළ හෙවත් මාරිසල්ස් බොෂුවර්.

17 වන හා 18 වන ශතවර්ෂයන්හි මහනුවර කන්ද උඩරට රාජධානිය, ශ්‍රී ලංකාවේ එකම ලාංකික රාජධානිය විය. 1696 න් පසු නොයෙකුත් යුරෝපීයයන් එම රාජධානියෙහි වාසය කලහ. එකල අන්තර් ජාතික බලවතුන් වූ පෘතුගීසීන් හා ඕලන්ද ජාතිකයින් බලවත් මුහුදු අධිරාජ්‍යයක් ගොඩ නගමින් සිටි අතර, ඉංග්‍රීසීන්ද පසු කලෙක මෙම තරගයට ඇතුලු වූහ.

මෙම විදේශික සම්බන්ධතාවයන් නිසා කන්ද උඩරට වාසය කල බොහෝ යුරෝපීයයන් අතර, යුද්ධ වලදී අල්ලා ගත් යුරෝපීයන්ද ආගම පැතිරවීම සදහා පැමිණි යුරෝපීයන්ද, රාජ්‍ය සේවය සදහා රාජ්‍ය සේවය සදහා පැමිණි යුරෝපීයන්ද සිටියහ.

මෙම යුරෝපීයන් අතර කන්ද උඩරට රාජධානිය තුල රාජ්‍ය සේවයේ යෙදුනු මැනුවෙල් ඩයස්, දස්කොන් අධිකාරම සහ මාරියල්ස් බොෂුවර් ( Marcelis Boschouwer) කන්ද උඩරට රාජ්‍ය සභාවේ ඉහලම තනතුරු වලට පැමිණි යුරෝපීයන් තිදෙනෙක් විය.

මැනුවෙල් ඩයස් :-     විමලධර්මසූරිය රජු (1592 – 1604) ගේ රාජ්‍ය  කාලයේ රජු විසින් පෘතුගීසීන් හා යුද්ධයේදී සිරකරුවෙකු ලෙස අල්ලා ගත් පසු, රාජ පාක්ෂිකභාවය සහ දක්ෂකම් නිසා ඉතා කෙටි කලකින් රජුගේ විශ්වාසය දිනා ගනිමින්, මහාධීකාරම තනතුරට උසස් විය.
දස්කොන් අධීකාරම :-    යුරෝපිකයෙකු වූ දස්කොන් අධිකාරම, අන්තිම සිංහල රජු වූ කුණ්ඩසාලේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මහාධිකාරම විය.
මීගමුවේ මහා රාළ  :- මේ දෙදෙනාටම වඩා මීගමුවේ මහා රාළ යැයි අනුවර්ත නාමයෙන් හදුන්වනු ලැබූ නෙදර්ලන්ත ජාතික මාරියල්ස් බොෂුවර්, සෙනරත් රජුගේ (1604 – 1636) රාජ්‍ය පරිපාලනයේදී ඉතා බලවත් ප්‍රධානියෙකු ලෙස කටයුතු කළේය.

1612 වර්ෂයේදී ඉන්දියාවේ කොරමන්ඩල් හි නෙදර්ලන්ත පාලකයන්ට, නෙදර්ලන්තයේ එකල රජ වූ ඔරේන්ජ් රජුගෙන් ශ්‍රී ලංකාවේ රජු වෙත යවන ලෙස රාජකීය ලිපියක් ලැබිණ. මෙම ලිපිය කණීෂ්ඨ වෙළෙන්දෙකු වූ (එකල තිබූ රැකියා නාමයක්) මාරියල්ස් බොෂුවර් අත ඕලන්ද නෞකාවක් මගින් ත්‍රීකුණාමලයට එවන ලදි.

1612 මාර්තු මස මහනුවරට පැමිණි මාරියල්ස් බොෂුවර් සෙනරත් මහ රජු බැහැ දැක, නෙදර්ලන්තයේ ඕරේන්ජ් මහා රජුගේ ලිපිය සෙනරත් රජු වෙත බාර දුන්නේය. එම ලිපිය සුදු රෙදි කඩකින් වසා රජුගේ සිංහාසනය අසල තිබූ රනින් කරන ලද ආසනයක් මත ගෞරව සම්ප්‍රදානුකූලව  තැබීමෙන් පසු රජු හා තානාපති මාරියල්ස් බොෂුවර් අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

මෙම සාකච්ඡා වලින් පසුව සෙනරත් රජු ශ්‍රී ලංකා රාජ්‍ය හා මාරියල්ස් බොෂුවර් නෙදර්ලන්ත රාජ්‍ය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළද සම්බන්ධතා ගිවිසුමකට පැමිණියහ. මෙම ගිවිසුමට යුධ කටයුතු, වෙළදාම් හා වෙළඳ ද්‍රව්‍ය එකතු කිරීම, ගබඩා කිරීම හා ගබඩා රට තුල ඇති කිරීම ආදිය සම්බන්ධව වගන්ති 45 ක් ඇතුලත් විය.

මෙම ගිවිසුම් කටයුතු අවසන් වීමෙන් පසුව, මාරියල්ස් බොෂුවර් ආපසු සිය රටට යාමට රජුගෙන් අවසර ඉල්ලා සිටියේය. මේ වන විට මෙම තානාපතිවරයා රාජ්‍ය  සභාවේ ඉතා ප්‍රියමනාප සහ විශ්වාස කටයුතු පුද්ගලයෙකු බවට පත්ව සිටියේය. එහෙයින් රාජ සභාව ඔහුගේ ගමන නොයෙකුත් හේතූන් දක්වා පමා කලහ. මේ අතරින් ප්‍රධාන හේතුව ලෙස දැක්වූයේ, සෙනරත් රජු පෘතුගීසීන්ට විරුද්ධව යුධ වැදීමට සිදුවන අවස්ථාවකදී ගිවිසුමට අනුව නෙදර්ලන්ත රාජ්‍ය සමග මූලික එකගතාවයකට පැමිණිය යුතු අතර, එම එකගතාවය සදහා සාකච්ඡා කර තීරණයක් ගැනීමට රජු සමග නෙදර්ලන්ත තානාපතිවරයෙකු සිටිය යුතු බවය.

මේ අතර රජතුමා විසින් මොහුව මීගමුව ප්‍රදේශයේ පාලකයා ලෙස පත්කල හෙයින්, ඔහු මීගමුවේ මහා රාළ යන පටබැඳි නමින් ප්‍රසිද්ධ විය. මෙයට අමතරව සත්කෝරළයේ අනුරාධපුර හා මීපිටිගල මහා රාළ ලෙසද, යුධ සංවිධානයේ සම ප්‍රධානියා ලෙසද, නාවික හමුදාවේ ප්‍රධාන අද්මිරාල්වරයා ලෙසද, ඔහුව පත් කෙරිණ.

මෙලෙස මොහු කන්ද උඩරට රාජ්‍යයේ වැඩකටයුතු වලට සම්බන්ධ වෙමින් කටයුතු කරන ලදි. මේ අතර මොහු සමග පැමිණි අනෙකුත්  ඹ්ලන්ද ජාතිකයන් ත්‍රීකුණාමලයේ බලකොටුවක් සෑදිමට සුදානම් වුහ. මේ බව ආරංචි වු කොළඹ සිටි පෘතුගීසිහු කන්ද උඩරටට උතුරු දෙසින් වටරවුමෙන් ත්‍රීකුණාමලය බලා පෘතුගීසීහූ දහසක් හා සිංහල හමුදා භටයින් තුන්දහසකින් සමන්විත වු හමුදාවක් යවා, ත්‍රීකුණාමලයේ සිටි ඕලන්ද ජාතිකයින්ට පහරදී ඔවුන් මරණයට පත් කර ප්‍රදේශය කොල්ලකෑහ.

මෙම ආරංචිය ලද විගස කන්ද උඩරට සෙනරත් රජතුමා විසින් මාරසිංහ ආරච්චි නැමැති සෙන්පතියෙකු යටතේ 5000 ක සිංහල හමුදාවක් මහනුවරින් යවා කුරුණෑගල ප්‍රදේශයේදී ආපසු කොළඹ බලා යන පෘතුගීසීන් වටකර පහරදී ඔවුන් බලවත් පරාජයකට පත් කලේය.

කෙටි කලකදීම මීගමුවේ මහා රාළ රජුගේ විශ්වාසවන්තම මිත්‍රයා හා උපදේශකවරයා බවට පත්විය. කන්ද උඩරට රාජ්‍ය සභාවේ මොහු කොතරම් බලගතු වූයේද යත්, රජු පෘතුගීසීන්ට විරුද්ධව කරන ලද විශාලතම සටනේ සම නායකත්වය මීගමුවේ මහා රාළට පිරිනැමීය. මෙම යුද්ධය සදහා භටයන් 50,000 ක හමුදාවක් රැස් කරන ලදි. එම හමුදාව පිහිටුවීම සදහා පවත්වන ලද යුධ සාකච්ඡාවට කන්ද උඩරට රජු යටතේ සිටි සියලුම ප්‍රාදේශීය පාලකයන් සහභාගි වූහ.

මෙලෙස රජු සිය හමුදාව සකස් කරමින් සිටින අවස්ථාවේදී, පෘතුගීසී හමුදාව යාපනයට පහර දීමට ගමන් කරන බව ඔහුට ආරංචි විය. වහාම තම හමුදාවේ කොටසක් එම පෘතුගීසී හමුදාවට පහර දීමට යැවීය. ඔහු පෘතුගීසී හමුදාවට පහරදී ඔවුන් පරාජය කලහ. මෙයින් කුපිත වූ පෘතුගීසී හමුදාව පලා යන අතරතුර මීගමුවේ මහා රාළගේ පාලන ප්‍රදේශය වූ මීගමුව අල්ලා ගෙන බලවත් විනාශයක් සිදු කලහ.

සෙනරත් රජුගේ ඥාති සහෝදරයා වූ, ඔහුට පෙර රජකල විමලධර්මසූරිය රජුගේ පුත් ඔටුන්න හිමි මහස්ථානේ කුමරු මේ කාලයේ මිය ගියේය. සෙනරත් රජු තම පුත් කුමරුට රාජ්‍ය බලය ලබා දීමට, මොහුට වස දී මරා දැමූ බවට සැක කල බැවින් රට වැසියන් රජුට විරුද්ධව නැගී සිටිමට සූදානම් වන විට, ඔවුන්ට කරුනු පහදා දී එම තත්වය පාලනය කරන ලද්දේ මීගමුවේ මහා රාළ හා ඌවේ මහා රාළ විසිනි. මහස්ථානේ කුමරුගේ අවමඟුල් උත්සවයේ දරසෑයේ ගිණි දැල්වීමට සෙනරත් රජු විසින් පත් කරන ලද්දේ මීගමුවේ මහා රාළ බව කියවේ.

to be continued..........


6 comments:

  1. දස්කොන් සුද්දෙක් වග පළමුවතාවටයි අහන්න ලැබුනේ, ඉස්කෝලවල ඉතිහාසෙ /අපේ උරුමෙ කියලා කියල කමතේ යල්පැනපු උපකරණ ලිස්ට් කටපාඩම් කරෝන එක නවත්තල දාලා මේ වගේ රසවත් විස්තර උගන්වනවා නම් කොච්චර අපූරුද

    ReplyDelete
    Replies
    1. දස්කොන් කියන්නෙ පේඩ්‍රො ගැස්කොන් ට..
      ඒක ප්‍රසිද්ධ කරුණක්.

      Delete
    2. Gascon’s father was a French Cavalryman named ‘de Gascon’ who had migrated to ancient Lanka in 1672 in the company of a French nobleman called M. de Lanerolle and his retinue. This nobleman had been sent by the King of France as resident to the Court of the King of Kandy, Rajasinghe II. After de Gascon had settled in Kandy, he had married a Portuguese lady who was then a resident of Kandy. Thereafter he had held the position of King’s Stable Master. Gascon had been born to this French father and Portuguese mother and had been named Pedro de Gascon.

      http://www.island.lk/2001/09/15/satmag03.html

      Delete
  2. මාර විස්තරයක්නෙ! අපූරුයි!!
    ඩ්රැකීගෙ පෝස්ටුවේ link එකෙන් ආවේ!

    ReplyDelete

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...