Wednesday, February 22, 2017

මීගමුවේ මහා රාළ 3 the final episode


link for the previous episode



















මීගමුවේ මහා රාළට සෙනරත් රජු විසින් දුන් ලිපියේ මෙසේ සදහන් වේ.

"ශ්‍රී ලංකාවේ අධිරාජ්‍යයා වූද, මහනුවර සීතාවක ත්‍රීකුණාමලය, යාපා පටුන, සත්කෝරලය, මන්නාරම, මඩකලපුව, පලුගම සහ යාල රාජ වූද, වඩමාරච්චි සහ පස්දුන් කෝරලයේ කුමාරයාද, බෙලිගම සහ ගාල්ලේ ඩියුක්වරයා වූද, කුරුවිට බටු ගෙදර සහ සතර කෝරලයේ කවුන්ට්වරයා වූද, සෙනරත් අදසින් විසින් මෙලෙසින් ලියා දන්වමි.

ඔබගේ මාර්තු 13 වන දින ලිපිය ලදිමි. එහි සියලු කරුණු හොඳින් තේරුම් ගතිමි. අප ඇති කර ගත් ගිවිසුම් සහ පොරොන්දු ඔබේ පැමිණීමෙන් හොඳින් ඉටුවනු ඇතැයි මම විශ්වාස කරමි. අපට මෙතෙක් කල් දුන් පොරොන්දු වසර 03 ක් ගත වීමෙන් පසුවත්, ඉටු වී නොමැති බව ප්‍රකාශ කරමි. මීගමුවේ මහා රාළ ශ්‍රී  ලංකාවට ප්‍රථමයෙන්ම පැමිණෙන විට, ඕලන්ද රජයෙන් ඔහු අත එවා තිබූ ලිපිවල සඳහන් පොරොන්දු ඉක්මනින් ඉටුකරනු ඇතැයිද මා බලාපොරොත්තු වෙමි. ඔබේ පොරොන්දු එලෙසම ඉටුකරන්නේ නම්, මම පෘතුගීසින් සමග සටන් දිගටම කරගෙන යන්නෙමි.

ඔබ විසින් ඔබේ ලිපියෙහි ඉල්ලා සිටි පරිදි මගේ රාජ්‍යයේ සහ මා පිළිබඳව කරුණු සවිස්තරාත්මකව පැහැදිලි කිරීමට මීගමුවේ මහා රාළ මේ සමග එවන්නෙමි. අපගේ රාජ්‍ය සභාවේ ඔහුගේ ස්ථානය ගැනීමට ඔබ විසින් එවන ලද ග්‍රිස්බ්රෙඩ් වෑන් සූලන්ඩ් (Grisbread Van Zoolend) පිළිබඳව මගේ අකමැත්තක් නැති වුවද, මීගමුවේ මහා රාළ මගේ රාජ්‍යයෙන් පිට වී යාම පිළිබඳව මම මහත් දුකට සහ අසහනයටත් පත්වුනෙමි. නමුත් ඔහුද ගමනට කැමති වූ නිසාත්, ඔහු විසින් පෘතුගීසීන්ට විරුද්ධව උදව් රැගෙන පැමිණෙන බව පොරොන්දු වූ නිසා අකමැත්තෙන් වුවද මම ඔහු ඔබ වෙත එවමි.

ඔබගේ ලිපියේ පෘතුගීසීන් පිළිබඳව නොයෙකුත් ප්‍රශ්න අසා තිබුණි. මහා රාළට ඒ පිළිබඳව මගේ දැනුම සමානම දැනුමක් ඇත. රාජපාක්ෂිකභාවය පිළිබඳව ඔහු මට දිව්රා පොරොන්දු වී ඇති හෙයින්ද, ඔහු ඕලන්ද ජාතිකයෙකු නිසාවෙන්ද, දෙපාර්ශවයටම අසාධාරණයක් නොවන පරිදි මීගමුවේ මහා රාළ කටයුතු කරන බව මට හොදටම විශ්වාසය.

දැනටමත් මෙම ලිපිය සටන් බිමේ සිට ලියන නිසා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන්නට අපහසුය. මීගමුවේ මහා රාළ විසින් මේ පිළිබව පවසන බවට කරුණාවෙන් සලකන්න.
මම මේ සමග තෑගි වශයෙන් අලියෙන් දෙදෙනෙකු ඔබ වෙත එවමි. ඔවුන් කරදරයක් නොමැතිව ඔබ වෙත පැමිණෙන බවටත්, ඔවුන් නිසා ඔබ සතුටට පත්වන බවටත් මා හට සැකයක් නොමැත. 2000 ක පමණ හමුදාවක් යුධ නැව් සමග ලබාදීමට ඔබට හැකිනම් ඔවුන්ගේ උදව්වෙන් මට පෘතුගීසීන් ලංකාවෙන්ම සහමුලින්ම උපුටා දමන්නට හැකිය. ඔබ සියලු දෙනාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
1615 මාර්තු 14 වන දින වේඬරුවේදී හදිසියෙන් මෙම ලිපිය ලීවෙමි.“

එකල ඉන්දියාවේ සිටි නෙදර්ලන්ත හමුදා ඉන්දීය රජවරුන් සමග සටන් කිහිපයක යෙදී සිටි නිසා, මහනුවර සෙනරත් රජුට උදව් කිරිමට ඔවුන්ගේ හමුදා බලයන් ප්‍රමාණවත් නොවූ හෙයින්, නෙදර්ලන්තයට ගොස් එහි පාලකයා ඔරේන්ජ් මහා රජුගෙන් උදව් ඉල්ලා සිටින ලෙස දක්වා මීගමුවේ මහා රාළ ඉන්දියාවේ සිට ඔවුන්ගේ මව් රට වූ නෙදර්ලන්තය බලා පිටත් කරන ලදි.

මීගමුවේ මහා රාළ තමන්ට උඩරටදී බලාදී තිබූ නම්බු නාම හා වෙනත් තානාන්තර නිසා බලවත් ලෙස උඬගු බවට පත්ව සිටියේය. මේ හේතුවෙන් නෙදර්ලන්තයේ බාහිර වෙළඳ හා යුධ කටයුතු පාලනය කල අධ්‍යක්ෂ මණ්ඩලයටද වඩා තමා වැදගතෙකු බව කල්පනා කර, උඬගු ලෙස හැසිරීමෙන් අධ්‍යක්ෂ මණ්ඩලය සමග ගිවිසුම් ඇතිකර ගැනිමට අපහසු තත්වයක් උදාකර ගත්තේය.

පසුව මීගමුවේ මහා රාළ නෙදර්ලන්තයේ අසල්වැසි රටක් වූ ඩෙන්මාර්ක් රටට ගොස් එහි රජ වූ හතරවැනි ක්රිෙස්ටියන් රජු ( Christian 04 th) නෙදර්ලන්තයේදී හමු වී ඔහු සමග සාකච්ඡා කර උඩරට රජු වෙනුවෙන් 1618 මාර්තු 30 වන දින ඩෙන්මාර්ක් රජය හා ගිවිසුමකට පැමිණියේය.

මෙම ගිවිසුම අනුව ඩෙන්මාර්කයේ රජු විසින් මීගමුවේ මහා රාළ වෙත නෞකා දෙකක් සපයන ලද අතර, ඩෙන්මාර්කයේ ව්‍යාපාර ආයතනයක් විසින් තවත් නැව් 05 සහිත හමුදාවකින්ද සමන්විත මෙම කණ්ඩායම වංශාධිපතියෙකු වූ ඕවී ගිඩන් යටතට පත් කරන ලදි. මිගමුවේ මහා රාළ මෙම ගමනට තමන්ගේ නෙදර්ලන්ත බිරිඳද, ඔවුන්ගේ දූවරු තිදෙනාද, අලුත උපන් පුතනුවන්ද, සහභාගි කරවා ගත්තේය.

මුහුදු ගමනේදී තම පවුලට රාජකීය පවුලකට හා සමානව ගෞරව කරන ලෙසට කණ්ඩායමේ අනික් අයට බල කිරීම නිසා, එම පවුල කණ්ඩායමේ අනෙකුත් අයගේ අප්‍රසාදයට පත්ව සිටි බව සඳහන් වේ. එංගලන්තය අසල ඉංග්‍රීසි ඕඩය හරහා නෞකා පැමිණ අතර, ඉතාමත් අපහසු වූ දුෂ්කර මාස 22 ක මුහුදු ගමනකින් පසු එම නෞකා මඩකලපුව හා ත්‍රීකුණාමලයට ලඟා වූහ.

ගමනේ අපහසුතාවය නිසා විශාල පිරිසක් මියගිය අතර, මිගමුවේ මහා රාළ හා ඔහුගේ පුතාද මියගිය පුද්ගලයන් අතර විය. ඕවී ගිඩන් ඔහුගේ හමුදාව හා නැව් එක්රැස් කර, ඔහුගේ හමුදාවන්හි ප්‍රමාණයන් හා අනෙකුත් විස්තරද මිගමුවේ මහා රාළ පිළිබඳ අවාසනාවන්ත විස්තරය කන්ද උඩරට රජුට දන්වා යැව්වේය. මීගමුවේ මහා රාළ මියගිය පුවත ඇසිමෙන්ද, මෙම හමුදාවන් සදහා අති විශාල කුලියක් ඩෙන්මාර්කය විසින් ඉල්ලා තිබිම නිසා රජු එම ඉල්ලීම් වලට අනුව මුදල් ගෙවීමට කැමති නොවිය. මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට ඕවී ගිඩන් මහනුවරට පැමිණි අතර, ඔවුනට ගෙවිම් කිරීමට පෙර පෘතුගීසින් රටින් සම්පූර්ණයෙන්ම පිටත් කල යුතු බව සෙනරත් රජු ඉල්ලා සිටියේය. මේ අතර ත්‍රීකුණාමල වරාය ඩෙන්මාර්ක්වරුන්ට පවරා දෙන අතර, රටතුල වෙළඳාම කරගැනීමටද ඔවුන්ට ඉඩදෙන ලදි.

සාකච්ඡා කිහිපයකින් පසුවද මහනුවර රජු මුදල් ගෙවීමට අකමැති වූ හෙයින්, නෞකාවල තිබූ මීගමුවේ මහාරාළට අයිති වස්තුව, ශ්‍රී ලංකාවට නෞකා එවීම සදහා ඩෙන්මාර්ක් රජුට වූ වියදම් හිලව්වට තබාගෙන, ඒ දක්වා  නැවේ තිබූ මීගමුවේ මහාරාළගේ හා පුතාගේ සිරුරු මිහිදන්කර, ඔවුන්ගේ බිරිඳ සහ දූවරු තිදෙනා ඔවුන්ගේ ඉල්ලීමට අනුව මහනුවර බලා පිටත් කරන ලදි.

ඕවී ගිඩන් විසින් මීගමුවේ මහාරාළගේ ආදාහනය ඉතා චාම් ලෙසත්, ඔහුගේ අවුරුදු තුනක් වයස දරුවාගේ අවසන් කටයුතු ඉතා ගෞරවාන්විත ලෙසත් සිදු කරන ලදි. එසේ කරන ලද්දේ එම දරුවා ඩෙන්මාර්ක් රජු විසින් තමන්ගේ දරුවෙකු ලෙස ඩෙන්මාර්කයේදී බෞතීස්ම කරන ලද නිසාය.

මහනුවර වසර තුනක් පමණ ජීවත්වූ මීගමුවේ මහාරාළගේ බිරිඳ හා දියණියන්ට මහනුවර රජු විසින් ඉතා හොදින් සංග්‍රහ කල අතර, ඉන්පසු ඉන්දියාවේ ඕලන්ද ආණ්ඩුකාරයාගේ ඉල්ලීමට අනුව ඉන්දියාවට යවන ලදහ. 

1 comment:

  1. Have you read translations of the missives from the Dutch to the Kandyan King? The way they address him? A prime example of praising someone to the hilt with outrageously high flown titles to get some benefit for themselves !

    ReplyDelete

මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම වලක්වන්නේ කෙසේද?

from http://lakshmanillangakoon.blogspot.com/2017/07/rathmalane.html මම ඊයේ රත්මලානේ දකින්නට ලැබ අල්ලා ගත් කොකේන් කිලෝ 150 ගැන බ්ලොග්...