Wednesday, January 11, 2017

පොතක් ගැන කථාවක්.







Burning of Ann Askew in Smithfield London on 16th July 1546


මම පසුගිය සතියේම අපූරු පොතක් කියෙව්වෙමි. පිටු 736 කින් සමන්විත මේ පොත ලියා ඇත්තේ සී.ජේ. සැන්සම් නම් බ්‍රිතාන්‍ය කතුවරයෙකු විසිනි. ඔහු බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ මූලික උපාධිය සහ ආචාර්ය උපාධිය ලබාගෙන, නොයෙකුත් රැකියාවන්වල යෙදුනේය. ඉන්පසු නීතිඥවරයෙකු වශයෙන් පුහුණු වී සසෙක්ස්හි කටයුතු කර පසුව පූර්වකාලීනව පොත් ලියන්නට පටන් ගත්තේය. ඔහුගේ ඉතාමත් ජනප්‍රිය වූ winter in Madrid  සහ Dominion පොත් සමග ඔහු විසින් ලියන ලද Lamentation  නැමති මේ පොත ඔහුගේ ෂාඩ්ලේක් ග්‍රන්ථ මාලාවේ හය වන පොතයි.  

මේ ග්‍රන්ථයේ පසුබිම 16 වන ශත වර්ෂයේ මහා බ්‍රිතාන්‍යයේ රජ පවුල, රාජ සභාවේ නොයෙකුත් කුමන්ත්‍රණ සහ ක්‍රිස්තියානි ආගම එකල බෙදී ඇති ආකාරයත්, ඒ බෙදීම් නිසා ජනතාවට සිදුවන කරදර සහ අතිශය කනගාටුදායක පන පිටින් පුලුස්සන අවස්ථාද ඇතුලුව දඬුවම් ලබාදීමය. 

මෙහි වීරයා වන සාජන්ට් මැතිව් ෂාඩ්ලේක් ලන්ඩනයේ ලින්කන් ඉන් නීතිඥ සංකීර්ණයේ නීතිඥයකු වෙයි. (මෙකල ශ්‍රී ලංකාවේ රජ කරන එක් රජෙකු වනුයේ සීතාවක මායාදුන්නේ රජුයි.) සැන්සම්ගේ මෙම ෂාඩ්ලේක් නීතිඥයා ඉයන් ෆෙලෙමින්ගේ ජෙම්ස් ‍බොන්ඩ් කථා මාලාවේ ජෙම්ස් බොන්ඩ් අපට මතක් කරයි. 

එමෙන්ම ෂාඩ්ලේක් ඔහුගේ සේවය ඕනෑම අවස්ථාවක තම ජීවිතයට එන මාරාන්තික අනතුරුද නොතකා එකල එංගලන්තයේ මහ රැජිණ වන Catherin parr ට ලබාදීමට කිසිම පැකලීමක් වන්නේ නැත. කිසිදා සත්‍ය ජීවිතයේ සිදුවිය නොහැක්කක් වුවත්, ඔහු මහ රැජිණට පෙම් කරන බවක් තැනින් තැන ඔහුගේ හැසිරීමෙන් පෙනෙන්ට තිබේ. (මෙය වික්ටර් හියුගෝගේ Hunchback of Notre Dam කථාවේ ක්වාසිමොඩෝ මතක් කරන්නේ කරුණු දෙකක් නිසාය; ලබාගත නොහැකි කෙනෙකුට ආදරය කිරිම සහ ෂාඩ්ලේක්ගේ පිටේ ඇති කුඩා කුදුව)  අට වන හෙන්රි රජුද එකල රෝමයේ පාප් වහන්සේ සමග උරණ වී බලවත් ප්‍රශ්නයකට මැදි වී සිටින අතර, එමෙන්ම ප්‍රංශය අතර දරුණු යුද්ධයකටද පැටලී සිටී. 

රැජිණ සංශෝධනවාදී ආගමට උදව් කරන අතර, හෙන්රි රජු දේශපාලන අවශ්‍යතාවයන් අනුව සංශෝධනවාදී හා මූලධර්මවාදී අතර වැනෙමින් සිටී. ඔහු එක පැත්තකට ගිය විට අනෙක් පැත්තේ ආගම ප්‍රචලිත කරන්නට උත්සාහ කරන පුද්ගලයන් ගෙන් කැපී පෙනෙන කිහිප දෙනෙකු නවතින්නේ පණ පිටින් පිලිස්සීමට ලක්වීය. මෙලෙස රජු මූලධර්ම වාදය ට බරව සිටින වකවානුවක රැජිණ විසින් ඉතා රහසිගතව, මුද්‍රණය කිරීම සදහා ලියන ලද Lamentation of a sinner  නැමති ආගමික පොතක් ඇයගේ පෙට්ටගමේ තිබී නැති වෙයි. සංශෝධනවාදී අදහස් ඇති මේ පොත රජුට අසු වුනොත් රැජිණියත් පනපිටින් පිලිස්සීමට ලක්වීමට ඉඩ තිබේ. 

දැන් ඇතුලු වන්නේ මාස්ටර් ෂාඩ්ලේක්ය. ඔහු තමුන්ගේ හා තමුන්ගේ කාර්යාලයේ ලිපිකරු හා පුහුණු වන නීතිඥයන්ගේ ජීවිතද අනතුරට පාත්‍ර කරමින් පොත හොයයි. 

පොත හොයන අතරෙම ඔහු අමුතුම ආකාරයේ සිවිල් නඩුවක එක් පක්ෂයක නීතිඥයා ලෙසද කටයුතු කරයි. ඒ නඩුව පවතින්නේ සහෝදරයෙකු හා සහෝදරියක අතරය. ඔවුන්ගේ මව මොවුන් දෙදෙනාගෙන් යම් වරදකට පලි ගැනීමට අන්තිම කැමති පත්‍රය ලියන විට ඇයගේ ලන්ඩනයේ පිහිටි විශාල නිවසක් තමන්ගේ පුතාටද, එම නිවසේ බිත්තියක ඇඳ ඇති විශාල චිත්‍රය දියණියටද අයිති වන ලෙස ලියයි. එහෙත් නිවසට අලාභයක් නොවන පරිදි චිත්‍රය ගලවා ගත යුතුය. සහෝදරයා සහ සහෝදරිය අධික මුදලක් වියදම් කරමින් නඩු කියති. චිත්‍ර පිළිබඳ විශේෂඥයෙකු හා සිවිල් ඉංජිනේරුවෙකු සාක්ෂි කියති. 

පොත අවසානයේදී රජු මිය යන අතර, ඒ නිසා රුජිණගේ ලියවිල්ලේ වටිනාකමද නැතිව යයි. එහෙත් ඒ අතරතුර පොත හොරා ගැනීම සම්බන්ධව බොහෝ දේ හෙලිකරගනු ලබයි. 

මේ කථාවේ එක් තැනක සංශෝධනවාදී පුද්ගලයක් තිදෙනෙකු කාන්තාවකද ඇතුලුව ආගමේ ඔවුන් පිලිගන්නා ආකාරයේ පිළිබඳ දේශනා කල නිසා පනපිටින් පුලුස්සා මැරීමට නියම කෙරේ. එම පිලිස්සීම විස්තර කර ඇති පිටුව මම පහතින් පරිවර්තනය කරමි. 


"ගැටලසා තිබූ සිරකරුවන් වටේට වියළි දර ඔවුන්ගේ කලවා උසට එනතෙක් ගොඩ ගසන ලද්දේය. එතනට පැමිණි පොලිස් නිලධාරියා ගිනි පන්දමකින් දර ගොඩවල් එකින් එකට ගිනි තබන ලදි. දර කෝටු බිදෙන හඬ අමාරුවෙන් හුස්ම ගන්නා හඬ ටික වේලාවකින් ගින්දර ඔවුන්ගේ කකුල් වලට ලන්වන විට විශාල විලාපයක් බවට පත්වුනි. “ජේසුස් මා බාර ගන්න.“ යනුවෙන් එක්කෙනෙකු දිගටම කෑගැසුවේය. ඈන් ඇස්කෙව් ශෝකයෙන් විලාප දෙනු ඇසුනු විට මා ඇස් වසා ගත්තෙමි. නරඹන්නන් සියලු දෙන නිශ්ශබ්දව බලා සිටියහ. 

විලාපයන් සහ දරකෝටු පිපිරීමෙහි අවසානයක් නැත්තාසේය. ගිනිදළු ජුලි මාසයේ දීප්තිමත් දවසේ විනිවිද පෙනෙන සැහැල්ලු ආකාරයෙන් ඉහලට නැග්ගේය. පිරිමි තිදෙනාම තාමත් කෑගසමින් ඇඹරෙමින් සිටියේය; ගිනිදළු දැන් ඔවුන්ගේ උරිස් දක්වා ශරීරයන්හි සම පිලිස්සමින් ඉහලට නැග්ගහ. රුධිරය ගිනිගොඩ තුලට ගලා ගියේය. ඈන් ඇස්කෙව් ඇය ගැට ගසා සිටි පුටුවේ පහලට කඩාවැටී සිටියාය. ඇය සිහිසුන්වී ඇත්තාසේය. 

සමහර නරඹන්නන් අනෙක් පැත්ත හැරී ඇති බව මට පෙනුනි. දරශනයෙන් බිය පත්වී ළමයි කිහිප දෙනෙක් අඩන්නට පටන්ගෙන තිබුණි. එක් ඕලන්ද වෙළෙන්දෙකු කුඩා යාඥ්ඥා පොතක් එළියට ගෙන යාඥ්ඥා කරමින් සිටියද අනෙක් බොහෝ දෙන සිනහවෙමින් විහිලු කරමින් සිටියහ. 

ස්මිත්ෆීල්ඩ් අවට දුම් ගඳ පැමිණි සිටි පුද්ගලයන්ගේ ගඳත් අතර මිශු වී දැනුනේ වුවද, එය තුල යම් විශේෂ සුවඳක් දැනුනි, ඒකුස්සියෙන්  මස් බඳින සුවඳයි. මම හිත දැඩි කරගෙන නැවත වරක් කනු දෙස බැලුවෙමි. ගිනිදළු තවත් ඉහලට නැඟ ඇත්තේය. ඔවුන්ගේ ශරීරයේ පහල කොටස සම්පූර්ණයෙන්ම කළු වී සමහර තැන් වලින් අස්ථි පෙනෙන්නට තිබුනි. ශරීරවල ඉහල කොටස්  රුධිරයෙන් රතු පැහැ වී ගිනිදළු වලින් පිලිස්මෙසින් තිබුනි. ඈන් ඇස්කෙව් නැවතත් සිහිය පැමිණ ශරීරය ගිනි ගන්නා අතරතුර කෙදිරිගානු දැක්කෙමි. 

ඇය යමක් හයියෙන් කෑ ගසමින් තැත් කලද එකිනෙහිම ඇයගේ බෙල්ල වටා ඔතා තිබුණු කුඩා වෙඩි බෙහෙත් පටියට ගිනි ඇවිලී ඇයගේ ඔලුව පුපුරා ගියේ රුධිරය ඇටකටු සහ මොළය කෑ ගසමින් ගිනි ගොඩට වැටීමෙනි."         

මෙම  ඓතිහාසික නව කථාවේ ඇති සිදුවීම් සියල්ලම පාහේ සත්‍ය සිදුවීම්ය. එම ප්‍රධාන සිදුවීම් හරහා මේ රහස් පරීක්ෂකවරයා ගෙන යාමෙන් පාඨකයන්ට එම ඉතිහාසය දෙස බැලීමටත් ඒ අතරම නවකථාවක් රස විදීමටත් ඉඩ ලබා දී ඇත. ඉහතින් පරිවර්තනය කල ඈන් ඇස්කෙව් පිලිස්සීම ඇත්තෙන්ම සිදු වූවකි. ඈන් ඇස්කෙව් කිවියක හා කතෘවරියක වූ අතර ඇය සංශෝධන ආගමික අදහස් දැරීම නිසා පනපිටින් පුලුස්සා මරණයට පත් කරන ලදි.  

7 comments:

  1. owa wenas kareth minissu neda mahathmaya

    ReplyDelete
  2. ස්තූතියි ලක්ෂ්මන්, මම අහලතිබ්බෙ නැති ලේඛකයෙක්. පොත හොයාගෙන කියවන්නට දැඩිලෙස අධිෂ්ඨාන කොට ගතිමි.

    ReplyDelete
  3. Your writing style really help someone to enjoy reading. Very valuable history and the story is really a tragic!

    ReplyDelete
  4. ඔබතුමාම ඔය පොත සිංහලට පරිවර්තනය කලොත් නරකද?

    ReplyDelete
  5. Have you read Hillary Mantel's Wolf Hall and its sequel Bring up the bodies ?

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...