Wednesday, January 4, 2017

රාජසිංහ රජුගේ ඉන්දියාවේ මාලිගය සහ ඔහුගේ අවසන් ගමන.









සිංහලයේ අවසාන රජු ඉංග්‍රීසිනට යටත් වූ පසු ඔහු ඉන්දියාවට ගෙන ගොස් එහි ජීවත්වූ ආකාරය පිළිබඳ මේ ලිපිය කියවීමෙන් අපට එකල සමාජ විස්තර, රජුගේ පුද්ගල ස්වාභාව්‍ය, කෑම ඇඳුම් පැලඳුම් සහ ඉංග්‍රීසීන් යටත් විජිතවල රාජ්‍ය කල ආකාරය පිළිබඳව මනා හැඟීමක් ලබා ගන්නට පුලුවන. 

රජු ඉන්දියාවට රැගෙන යාමේදී ඔහු සමග ගමන් ගත් ඉංග්‍රීසි නිලධාරියාගේ පෞද්ගලික වාර්තාවත් මෙහි අඩංගු නිසා මෙම විස්තරයට විශේෂත්වයක් ලැබේ. 

වාර්තාව තරමක් දිග නිසා එය තුනට කඩා පලකරන්නෙමි. 






ශත වර්ෂ ගණනක් බලවත් අධිරාජ්‍ය කිහිපයක් සමග යුද්ධ කිරීමෙන් පසු, 1815 දී අවසාන ස්වාධීන ශ්‍රී ලාංකික රාජධානිය වූ කන්ද උඩරට කොන්දේසි සහිතව ඉංග්‍රීසීන්ට යටත් වූ අතර, එවකට මහනුවර පාලකයා වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාය. තමන්ගේ රාජ්‍යයේ අවසාන කාලය තුල ඉතා කෘර පාලනයක් ගෙන ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු, විශේෂයෙන්ම ඇහැලේපොල කුමාරිහාමි හා මද්දුම බංඩාර ඇතුලු එම පවුලේ සාමාජිකයන් මරා දැමූ ආකාරය ගැන මුළු කන්ද උඩරටම කම්පාවට පත්ව සිටියහ. 

ඉංග්‍රීසීන් කන්ද උඩරටට ඇතුල් වන විට බොහෝ වැසියන් ඔවුන්ගේ පැමිණීම ගැන සතුටු වූහ. මෙයට අවුරුදු දෙකකට පෙර, (1813 දී) ඉංග්‍රීසීන්ට අයත් මුහුදු ප්‍රදේශයට ගොස් ඔවුනට විරුද්ධව දරුණු සටන් කල උඩරැටියන් පවා ඉංග්‍රීසි හමුදාව 1815 දී මහනුවරට ඇතුලු වන විට කිසිදු විරෝධයක් නොදැක්වූයේ, බොහෝ විට කෘරකම් නිසා රජු බලවත් මහජන අප්‍රසාදයට පත්ව සිටි නිසා විය හැක. 

ඉංග්‍රීසීන් මහනුවරට ලගා වන විට ආරක්ෂක ස්ථානයකට පලා ගිය රජු හා රාජකීය පවුල, මැද මහනුවර කුඩා නිවසක ලැගුම් ගත්හ. මේ බව ආරංචි වූ රත්නපුර ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙකු වූ එක්නැලියගොඩ නිළමේ තම පිරිවර සමග පැමිණ රජු හා රාජකීය පවුල අත්අඩංගුවට ගත්තේය. එකල බලවත් අප්‍රසාදයට පත්ව සිටි නිසා රාජකීය පවුලට සාමාන්‍ය ජනතාව ඉතාම පහත් ලෙස සැලකූහ. 

මේ බව ආරංචි වූ ඉංග්‍රීසි නිලධාරීහු රජු හා රාජකීය පවුලට අවශ්‍ය  ආරක්ෂාව සලසා, රාජකීය පවුලකට ගැලපෙන පරිදි ගෞරව සහිතව එකල ඉංග්‍රීසීන්ගේ පාලන මධ්‍යස්ථානය වූ කොළඹට රැගෙන ගියහ. ඉන්පසු රජු ඉන්දියාවේ වෙල්ලෝර් ප්‍රදේශය වෙත පිටුවහල් කිරීමට තීරණය කෙරුණි. මේ සදහා කොන්වේලිස් යන තුවක්කු 74 කින් සමන්විත වූ ඉංග්‍රීසි නෞකාව යොදවා ගත් අතර, ඉංග්‍රීසීන්ගේ සිවිල් සේවා නිලධාරියෙකු වූ විලියම් ග්රැකන්ඩ්විල් මහතා එම ගමනේදී රජුගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කලේය. 

එකල වූ ඉංග්‍රීසි ලිපි ලේඛන අනුව පහත සදහන් පුද්ගලයන් රාජසිංහ රජුගේ ලගම ඥාතීන් බව සලකා රටින් පිටුවහල් කිරීම සදහා ඉංග්‍රීසි පාලකයන් විසින් තීරණය කරන ලදි. 
1.රජුගේ බිසවකගේ පියා වූ ගම්පොල නායක්
2.රජුගේ බිසවකගේ පියා වූ සින්නදීගල නායක්
3.රජුගේ සහෝදරයෙකු වූවෙන්කතසාමි නායක්
4.රජුගේ සහෝදරියකගේ දියණියකගේ ස්වාමියා වූ ජගදේවි ඇලිගරී සාමි
5.රජුගේ ඥාතියෙකු වූ අයිලේ නායක්
6.රජුගේ සහායකයෙකු වූපෙරුමාල් නායක්
7.පෙරුමාල් නායක්ගේ පුත්‍රයා වූ කවුනීර් 
8.රජුගේ නැන්දනිය වූ නවුනම්මා 
9.රජුගේ ඥාති සහෝදරියක වු වෙන්කෙම්මා 
10.අමාතැනී 

මහනුවර සිට කොළඹට එන ගමනේදී, රජු කිහිප වතාවක්ම එකල ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වූ ශ්‍රීමත් රොබට් බ්‍රව්‍රන්රිග් මුණ ගැසී තමන් විසින් සඟවා ඇති විශාල ධනය ඔහුට භාරදීමට අවශ්‍ය බව තමන් රැගෙන යමින් සිටි ඉංග්‍රීසි නිලධාරීන්ට දන්වා සිටියේය. නමුත් ආණ්ඩුකාරවරයා රජු මුණ ගැසීමට පැමිණියේ නැත. තම ධනය නොලැබුණද රජුට ඉංග්‍රීසීන් විසින් දක්වන ලද ගෞරව හා උපකාර වල කිසිදු වෙනසක් සිදු නොවන බව රජු වෙත ආණ්ඩුකාරවරයා විසින් දන්වා සිටින ලදි. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා රජු රටෙන් පිටවන තෙක්ම ඔහු මුණ ගැසීමට පැමිණියේ නැත. 

1815 මාර්තු මස 06 වන දින, කොළඹට පැමිණි රාජකීය පිරිස ඔවුන් ඉන්දියාවට පිටුවහල් කරන තෙක් කොළඹ කොටුවේ ගේට්ටුව අසල නිවසක ලැගුම් ගෙන සිටියහ. එහිදී රජුගේ ආහාරය සදහා දිනපතා ලබා දුන් ආහාර වර්ග මෙසේය.

         1. මුතු සම්බා හුන්ඩු     - 8               2.       බටර් කොටස්           -  ½
3.කරවල                    -  1               4.       කුම්බලාව                -  6
5.පොල් ගෙඩි             -  60             6.       එලවළු වර්ග            -  8 
7.බුලත් පුවක්                                  8.      සාදික්කා
9.කරාබු නැටි                                  10.     කිරි බෝතල්           -  3
11.තැඹිලි                   -  5                12.     දොඩම්                   -  8
13.දෙළුම්                   -  5                14.      සීනි                       -  ½
15.සූකිරි                    -1/2               16.       තෝර මාළු           -  1
                           

         මෙය රජුගේ පුද්ගලික අවශ්‍යතා සදහා වන අතර, රාජකීය පිරිවරට වෙනම ආහාර වර්ග සැපයිණ. රජුගේ මෙම ආහාර සදහා දිනකට එකල රුපියල් 900 ක මුදලක් ඉංග්‍රීසි ආණ්ඩුවට වියදම් වූ බව සඳහන් වේ. 

1816 ජනවාරි 24 වන දින ඉන්දියාව බලා යාමට ගමන් ඇරඹිණ.රජුගේ කණ්ඩායම 60 ක් පමණ විය. වැඩිමහල් බිසෝවරු දෙදෙනෙක්, එකල ගම්පොල නායක් යනුවෙන් හැඳින්වූ ගම්පොල ප්‍රාදේශිය නායකයෙකුගේ දියණියන් වූහ. අනෙකුත් බිසෝවරු දෙදෙනා, දීඝල් සාමී නම් වූ රජුගේ නෑයෙකුගේ ඉතා අඩු වයස් කුමාරිකාවන් දෙදෙනෙකු වූ අතර, රජුගේ බිසෝවරුන්ගේ සහෝදරයන් හතර දෙනෙකුද මේ සමග විය. 

මෙදින රජු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ සුදු පැහැති අරාබි අශ්වයන් දෙදෙනෙකු යෙදූ විවෟත අශ්ව කරත්තයේ ගමන් කල අතර, ඔහු රන්වන් පාට නූල් වලින් මසා තිබූ රතු සිල්ක් රෙද්දක් හා දිග සිල්ක් කෙලවර රන් නූලෙන් මසන ලද සිල්ක් උඩ ඇඳුමක් සහ ඉතාමත් අලංකාර වූ හිස් වැසුමක්ද පැළද සිටියේය.  

අනෙකුත් රාජකීයන් දෝලාවන්හි ගමන් කල අතර, විශාල පිරිසක් මෙම රාජකීය කණ්ඩායම පිටුවහල් කිරීම නැරඹීම සදහා පැමිණ සිටියහ.  
රජුගේ මෙම ගමන් කිරීම නැරඹීම සදහා පැමිණි පිරිසෙන් සමහරෙකු ඔහුගේ අශ්ව රථය ගමන් කරන ආකාරය නැරඹීම සදහා මාර්ගය උඩින් වැටී තිබූ ආරුක්කුවක් මත නැගී රජුගේ ගමන් කිරීම නැරඹීම බලාපොරොත්තුවෙන් සිටි අතර, මෙය දුටු රජතුමා තමා ගමන් කල වාහනය නවතා රජෙකු වශයෙන් ජනයාට පහතින් තමන්ට ගමන් කල නොහැකි නිසා එම ආරුක්කුව උඩ සිටින පිරිස ඉවත් කරන ලෙස ඉංග්‍රීසි නිලධාරීන් ගෙන් ඉල්ලා සිටියේය.  

ඔවුන් එලෙස ඉවත් කල පසු ආරුක්කුව තුලින් නැවත ගමන් කල රජු හා පිරිස, කුඩා බෝට්ටු වලින් කොන්වේලිස් නෞකාව වෙත ගෙන යන ලදහ. බෝට්ටු ජැටියේ සිට තම බිසෝවරුන් යාත්‍රාවට ගොඩ වූ පසු තමන්ගේ පාවහන් ගලවා රාජසිංහ රජු යාත්‍රාවට ගොඩ වූයේය. ඉන්පසු ටික වේලාවකින් යාත්‍රාවේ බඳ මත සිට ගෙන අහස දෙස බලා කල්පනා කරමින් සිටි රජු මද සිනහවක් පා අවරෙහි පනවා තිබූ අසුනෙහි අසුන් ගෙන තමන් ගමනට සූදානම් බව යාත්‍රා කරුවන්ට දැන්වීය. එකල කොළඹ වරායක් නොතිබුන නිසා රජු හා රාජකීය පවුල රැගෙන ගිය යාත්‍රාව තරමක් ඈතින් නැංගුරම් ලා තිබුන නෞකාව වෙත රළු මුහුදේ ගමන් කිරීමට සිදු වූ නිසා රජු හා පිරිස මහත් විඩාවට පත්වූහ. 

රජු සහ රැජිණියන් ගමන් කල යාත්‍රාවේ රන් පැහැයෙන් එම්බ්‍රොයිඩර් කරන ලද කොළ පැහැති සැටින් වියනක් සවිකර තිබුණි. රාජකීය පිරිස ගමන් කල බෝට්ටුවෙහි අවරය සුදු පැහැති වටිනා බුමුතුරුණු යොදා ආවරණය කර තිබුණි. එම යාත්‍රාව පැදවීමට අලංකාර නිළ ඇඳුමකින් සැරසුණු නාවිකයන් පිරිසක් යොදවා තිබිණි. 

balance episodes.......




2- සිංහලේ අවසන් රජුගේ මුල්ම හා අවසන් මුහුදු ගමන - 2 වෙනි කොටස


3- රාජසිංහ රජුගේ අවසානය සහ මුතු මණ්ඩපය - තුන්වන සහ අවසාන කොටස.

6 comments:

  1. රජු සහ පිරිවර වෙල්ලෝර යැව්වා කියන්නේ ඉබ්බා දියේ දැම්මා වගේ වැඩක්නේ,රජුගේම ඉල්ලීමක් ඉටුකිරීමක්ද? එතකොට මොරිසෂ් වලට පිටුවහල් කළේ කාවද?

    ReplyDelete
    Replies
    1. that was his prime minister Ehelepola. King was sent to South India

      Delete
  2. .අමාතැනී ....කියන්නේ කවුද ..ඒ ගැන සදහනක් නැද්ද

    ReplyDelete
  3. I think she was a court jester sort of , it will come in later

    ReplyDelete
  4. රජතුමා එහාට ගියායින් පස්සේ මොකද උනේ. කොහොමද ජීවත් උනේ. ඒ විස්තර ටිකත් කිව්වොත් මේක සම්පූර්ණයි.

    ReplyDelete

මිරිස් සහ මිරිස් සැර මාපකය.

                            Carolina reaper මට පසුගිය සතියේ මිරිස් ගැන සොයන්නට අදහසක් ඇතිවුනේ මා දන්නා කිහිප දෙනෙකු නයි මිරිස් වවන්නට...