Monday, October 17, 2016

තලයි මන්නාරමේ සතුරාට ඇස්බැන්දීම











තලයි මන්නාරමේ අනත්‍ය කදවුර
2007 – 2009 වර්ෂවල මම නාවික හමුදාවේ උතුරු මැද නාවික ප්‍රදේශයෙහි ආඥාපති වරයා වශයෙන් කටයුතු කලෙමි .පුත්තලමේ සිට වාලප්පාඩු (සන්ගුප්පිඩි) දක්වා විහිදුනු වෙරළ ප්‍රදේශය , එයට සම්බන්ද වුනු මුහුදු ප්‍රදේශය හා ගැලපෙන රට අභ්‍යන්තරයේ නාවික හමුදා ක්‍රියාකාරකම් මෙම නාවික ප්‍රදේශයේ වගකීම විය.මුලින් මෙම නාවික ආඥා ප්‍රදේශයේ මුලස්ථානය මුලින් පිහිටා තිබුනේ මැදවච්චියට ඉහලින් පිහිටි පුනෑවේය.නමුත් වැඩිපුර LTTE ක්‍රියාකාරකමේ තලෙයි මන්නාරම ,මන්නාරම සහ පේසාලේ ප්‍රදේශයන්හි සිදුවන්නට පටන් ගත් විට මුලස්ථානය තලෙයි මන්නාරම වෙත ගෙනියන ලද අතර මුලස්ථානය මාරු වෙන අවස්ථාවේ නියෝජ්‍ය ආඥාපතිව සිටි මා තලෙයි මන්නාරම මුලස්ථානයට මාරු කර මාස කිහිපයකින් ඒම ප්‍රදේශයේ ආඥාපතිවරයා වශයෙන් පත් වුනෙමි.  උතුරු මැද නාවික ප්‍රදේශය අනෙක් නාවික ප්‍රදේශ වලට පසුව ස්ථාපිත කරන ලද හෙයින් එම ප්‍රදේශයට ඒ වන විට මුහුදු ප්‍රදේශයක් තිබුනේ නැත. නාවික ප්‍රදේශයක් මුහුදු ප්‍රදේශයක් නොමැතිව තිබීම නොගඅලපෙන නිසාත්, මන්නාරම් ප්‍රදේශය උතුරු හා බටහිර නාවික ප්‍රදේශ වලින් බොහෝ දුරින් පිහිටා තිබුණු නිසාත්, මා යෝජනා කරා උතුරු නාවික ප්‍රදේශයෙන් කොටසක් හා බටහිර නාවික ප්‍රදේශයෙන් කොටසක් කඩා උතුරු මැද නාවික ප්‍රදේශයට මුහුදු ප්‍රදේශයක් ඇති කෙරිණ.
  
මෙකල යුධ හමුදාව ඒම ප්‍රදේශයන්හි සිට මුලතිව් ප්‍රදේශයේ රැදී සිටි LTTE හමුදාව වෙත ප්‍රහාර දියත් කරන්නන්ට පටන් ගත් බැවින් LTTE ප්‍රහාරක යාත්‍රා පේසාලේ සහ යාපනේ කලපුව අතරේ ක්‍රියාකාරී වී යුධ හමුදා කටයුතු වලට බාධා කිරීමටද එමෙන්ම ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා හරහා LTTE යට ඉන්ධන සහ වෙනත් සැපයුම් ගෙන්වා ගැනීමටද කටයුතු කළහ.
මේ ප්‍රදේශයේ වෙරළ ආසන්නයට වන්නට ඇති නොගැඹුරු ප්‍රදේශයන් නිසා නාවික හමුදාවේ ගන් බෝට් සහ ඩෝරා යාත්‍රා වලට මෙම තර්ජනයන්ට මුහුණ දීම සමහර අවස්ථාවන්හි ප්‍රායෝගික නොවිය.
මේ හේතුවෙන් මෙම තර්ජනයන්ට සාර්ථකව මුහුණ දීමට එකල නාවික හමුදාව විසින් නිර්මාණය කර ගොඩනංවන ලද, එකල ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුවහත්ම කඩුව ලෙස සැලකුණ WAVE RIDER සහ ARROW යාත්‍රා සමුහයක් මා ආඥා ප්‍රදේශය වෙත අනුයුක්ත කරන ලදී.
තලෙයිමන්නාරම අප මුලස්ථානය අසල හෝ අප නාවික ප්‍රදේශය තුල ආරක්ෂා සහිත වරායක් නොතිබුන හෙයින් මෙම යාත්‍රා ගාල් කරන්නට සිදු වුයේ තලෙයිමන්නාරමේ දුම්රිය ජැටියට බටහිරින් පිහිටි අප මුලස්ථානය ඉදිරි පිට පිහිටි නොගැඹුරු මුහුදේය  මෙලෙස කාලගුණයෙන් ආවරණයක් නොමැතිව දියකඩනයක් හෝ ස්වාභාවික වරායක් වැන්නක්, මධ්‍යම ප්‍රමාණයේ යාත්‍රා විශාල ගණනක් වෙරළ අයිනේ තබා ගැනීම පමණක්ම ඊසානදිග මෝසම් කාලයේ භයානක සිහිනයක් බදු වැනිය. ඒ අතර ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝට්ටු මෙම යාත්‍රා ගොන්න අතරට වේගයෙන් ඇතුලු වී පුපුරා ගත්තොත් වෙන හානිය  හිතන්නවත් බැරි තරම් විය. 
මෙම යාත්‍රා තලෙයිමන්නාරමට රැගෙන ඒමට කලින් තලෙයිමන්නාරමට තරමක් නැගෙනහිරින් පිහිටි අප වෙරළාරක්ෂක පද්ධතියේ රේඩාර් කදවුරක් ත්‍රස්දවාදීන් විසින් මුහුදින් පැමිණ විනාශ කර දමා තිබු හෙයින් සහ මෙම යාත්‍රා ඝනය මෙම ප්‍රදේශයට පැමිණ පසු ත්‍රස්තවා දින්ගේ වෙරළ අසන්න මුහුදු ආරක්ෂක පද්දතියට තර්ජනයක් ඇති වූ හෙයිනුත් ත්‍රස්තවාදීන් මෙම යාත්‍රා නවතා තිබියදී විනාශ කිරීමට බලවත් උත්සහයක් යොදවන බව අපට රහසක් නොවීය. මෙම තර්ජනය තවත් තිර්ව වුයේ , මෙම යාත්‍රා පැමිණි පසු ට්‍රයනතිවූ දුපත් අසල දෙවරක් LTTE ප්‍රහාරක යාත්‍රා සමග ගැටී ඔවුනට බරපතල හානි සිදුකරන ලද හෙයිනි .
මේ හේතු නිසා මෙම යාත්‍රා ආරක්ෂා කරගැනීම සදහා නොයෙකුත් ක්‍රියා මාර්ග ගත්තද එහි සිටි අප සියලු දෙනා සැමවිටම තවත් ඒම ආරක්ෂාව වැඩිදියුණු කරන්නට නිරන්තරයෙන් උත්සහ කළෙමු. අනෙක් සියලුම ආරක්ෂක පිළිවෙත් වල අවසානය ලෙස ,මෙම යාත්‍රාවල ආරක්ෂාව සහතික කිරීම සඳහා සදහා අනත්‍ය කදවුරක් නිර්මාණය කිරීම මේ සදහා ඇතිවූ එක් අදහසක් විය .අප කදවුර බාහිර පෙනීමෙන් රාත්‍රියේදී වෙනත් තැනකදී තිබෙන සේ සතුරාට පෙනෙන්නට සැලැස්වීම මෙහි අරමුණ විය .මේ සදහා අපි රාත්‍රියේ නොයෙකුත් අවස්ථා වල බෝට්ටු වලින් මුහුදට ගොස් වෙරළේ සිට කිලෝ මීටර් දෙකක් තුනක් පමණ දුරින් අප කදවුර පෙනෙන ආකාර ඡායාරූපයකට නැoවුයෙමු. ඉන්පසුව කදවුරට බස්නාහිරින් කදවුර අසලම තිබු ඉඩමක ඒ ඡායාරූපවල ආකාරයට ගැලපෙන ,වර්ණ සහිත විදුලි බුබුළු සවිකලෙමු ඉන්පසුව රාත්‍රියේ එලියට ගොස් කදවුර හා එලෙසට ම පෙනෙන ලෙසට කිසිදු වෙනසක් නොමැතිව trial and error ක්‍රමයට සැකසුවෙමු .මෙලෙස දවස් තුනකින් පමණ රාත්‍රියට අනත්‍ය හමුදා කදවුරක්(virtual military camp ) විදුලි බල්බ වලින් ගොඩ නගන්නට අපට හැකි විය .
මෙම නිර්මාණය අප බලාපොරොත්තු වූ ආකාරයට සතුරා රැවටීමට හැකියාව ලබා ඇත් දැයි පරික්ෂා කිරීමට අපට ඕනෑවිය .මේ සදහා අපි එක් රාත්‍රියක මුහුදු සංචාරයකින් පසු ආපසු කදවුර වෙත පැමිණෙන .යාත්‍රා කණ්ඩායමක් යොදවා ගත්තෙමු. ඔවුන් ආයතනයට කිලෝ මීටර් තුන හතරක් දුරින් සිටියදී අප කදවුරේ විදුලි බුබුළු සියල්ල නිවා දමා අනත්‍ය කදවුර ආලෝකමත් කළෙමු .අපේ බලවත් සතුට මැද යාත්‍රා කෙලින්ම ඇදී ගියේ අනත්‍ය කදවුර වෙතටය .එතැන පුපුරන ද්‍රව්‍ය යොදවා අපට පහසුවෙන්ම ඒම යාත්‍රා විනාශ කිරීමේ හැකියාවද ලැබී තිබුණි.

 අපේ අවාසනාවට; අපේ උගුල වැඩකරනවාදැයි අපට බලා ගන්නට නොහැකි විය, සතුරා මෙවැනි පහරදීමක් උත්සාහකලේ නැත. 

Saturday, October 15, 2016

අපිටත් තායි රජෙක්?










                                  
තායිලන්තයේ භූමිපාල් අඳුල්යදෙච් රජු මියගිය පසු ඔහු විසින් ඔහුගේ ජනතාවට දැක්වූ ආදරය සහ කරන ලද සේවය පිළිබඳ බොහෝ දෙනා කථා කරති. තායිලන්තයේ වැසියන් හඬා වැලපෙන්නේ තමන්ගේ දෙමවිපියන් මියගිය සෙයිනි.
ඉතිහාසයේ එක් මොහොතක, ඇත්තෙන්ම අවස්ථා කිහිපයක අපටත් තායි රාජ්‍ය පරම්පරාවක් ඇති වෙන්නට බොහෝ ඉඩකඩ තිබුණි. මේ ඒ කථා පුවතයි.

වර්තමානයේ තායිලන්තය නමින් හැදින්වෙන, ආසියාවේ පිහිටි බෞද්ධ රට, 18 වන ශතවර්ෂයේදි හදුන්වන ලද්දේ සියම් රට යනුවෙනි. ශ්‍රි ලංකාව වර්තමානයේ පවතින මල්වතු සහා අස්ගිරි සියම් නිකාය, මෙරටට රැගෙන එන ලද්දේද සියම් රට සිටය.
        
 උපාලි මහා තෙරණුවන් විසින්, මහනුවර යුගයේ, ශ්‍රි ලංකාවට උපසම්පදාව රැගෙන පැමිණෙන සමයේ, සියම් රටේ රජකම් කළේ, බොරොමිකොට් නැමැති, ඉතා යහපත් දැහැමි, රජ කෙනෙකි. බොරොම්කොට් රජු 1758 වර්ෂයේදි මිය ගියේය. ඔහු මිය ගිය පසු ඔහුගේ යුව රජු වු, උතුම්පොන් කුමරු රජ බවට, පත් විය.

බොරොම්කොට් රජු මිය ගිය පසු, බල අරගල නිසා, රාජ්‍ය පාලන කටයුතු, ඉතාමත් අපහසු වු හෙයින්, උතුම්පොන් කුමරු රාජ්‍ය අතහැර, බෞද්ධ භික්ෂුවක් ලෙස, මහණදම් පිරිමට පටන් ගත්තේය. ඉන් පසු ඔහුගේ, වැඩිමහල් සහෝදරයා බොරොම්රාජ නමින්, සියම් දේශයේ රජකමට පත් විය. ඔහු රජ වු විගසම, ඔහු රජ කමින් ඉවත්කර, උතුම්පොන් කුමාරයා රජ කරවිමට, රාජ සභාවේ පිරිසක්, කුමන්ත්‍රණය කලහ.

මෙම කුමන්ත්‍රණයෙහි නිර්මාතෘවරයා වුයේ, බොරොම්කොට් රජුගේ, අවශේෂ බිසවකගේ පුත් කුමරෙකවු, ක්‍රම්ප්ට් පිපිට්  ’ නැමති කුමරෙකි. එහෙත් රජවිමට එතරම් කැමැත්තක් නොදැක්වු, මහණදම් පුරමින් සිටි උතුම්පොන් කුමරා, කුමන්ත්‍රණයට සම්බන්ධ කිසිවෙකු ජිවිතක්ෂයට පත් නොකරන බවට, පොරොන්දුවක් ලබා ගෙන, මෙම කුමන්ත්‍රණය පිළිබදව, තම සහෝදර රජුට සැලකර සිටියේය. මෙම පොරොන්දුව නිසා, කුමන්ත්‍රණයට සම්බන්ධ පිරිස, ජිවිතක්ෂයට පත් නොකර, කස පහරදි සිර ගත කල අතර, කුමන්ත්‍රණයේ මුලිකයෙකු  වු පිපිඩ් කුමරු, රටින් පිටුවහල් කිරිමට, තිරණය කෙරුණි.‍

මෙකල ශ්‍රි ලංකාවේ කන්ද උඩරට, කීර්ති ශ්‍රි රාජසිංහ (1747/1760) රජු රාජ්‍ය කලේය. ඔහු ඊට පෙර, කන්ද උඩරට රාජ්‍ය කල ශ්‍රි විජයරාජසිංහ රජුගේ, දකුණු ඉන්දියාවෙන් පැමිණි, මෙහෙසියකගේ සහෝදරයෙකු විය. ඔහු මහනුවර රාජධානියේ ඔටුනු පළදින විට, වයස 16 ක් සපිරුණා පමණි.ඔහුගේ පියා වු නරෙනඅප්පා නායක්කාර, තම දියණිය ඉන්දියාවේ සිට, විවහ වීමට මහනුවරට පැමිනෙන  විට, ඇයත් සමග පැමිණ සිටි අතර , රජු ලාබාල වු හෙයින්, රාජ්‍ය පාලන කටයුතු බොහොමයක් සිදු කෙරුණේ,  නරෙනඅප්පා විසිනි.

තම අනෙකුත් නායක්කාර නැදැයන් සමග, මහනුවර නගරයේ මාලබාර් වීදියේ ( එම වීදිය මාලබාර් වීදිය ලෙස හැදින්වුයේද, ඉන්දියාවේ මාලබාරයේ සිට පැමිණි මෙහෙසියන්ගේ නැදැයන්, එම විදියේ එකල ජිවත් වු නිසාය.) ජීවත් වු නරෙනඅප්පා, තම පුත් රජුගේ බලය පාවිච්චි කරමින්, විශාල ධනයක් රැස්කර, කන්ද උඩරට බලවත්  පුද්ගලයෙකු,  බවට පත්විය. 

එකල කන්ද උඩරට සිටි, සිංහල බලවත් පවුල් වල පුද්ගලයන්, රජුගේ රාජ සභාවේ නොයෙකුත් නිලතල දැරූ අතර, ඇහැලේපොල මහා අධිකාරම, මොවුන් අතර ප්‍රධාන තැනක් ගත්තේය. නරෙනඅප්පා සහ රජුගේ ඉන්දියානු නෑයන්, එකල රාජ සභාවේ කොතරම් බලවත් සිටියේද යත්, වර්ෂ 1749 අප්‍රේල් මස දිනක, ඇහැලේපොල මහා අධිකාරම තම නිවස වෙත ගෙන්වා, තම අසිපත ඔසවා, මහා අධිකාරකමට තර්ජනය කිරීමට පවා, නරෙනඅප්පා එඩිතර වූ බවද, සඳහන් වේ.

මේ අතර, ශත වර්ෂයේ මුල සිටම, රාජ්‍ය සේවයේ යෙදී සිටි, මීගමුවේ දිසාපති මාම්පිටියේ දිසාව, රජු හා බිඳවා, ඔහුගේ දේපල රාජසන්තක කර, එම දේපල නායක්කාරවරුන් අතරේ බෙදා ගැනීමක් වූ අතර, මේ පිළිබඳව උඩරට සිංහල ප්‍රධානීන් අතර, කලකිරීමක් හා අප්‍රසාදයක් ඇති විය. එහෙත් මහ අධිකාරම ඇහැලේපොල හා දෙවනි අධිකාරම වූ ලෙව්කේ සරනක්කොඩි අතර, අසමගියක් තිබූ හෙයින්, සිංහල රදළයන් එකතු වී, ඔවුනට විරුද්ධව නැගී සිටිමට ඉඩක් නැතැයි, නරෙනඅප්පා ප්‍රධාන රජුගේ වඩිග නෑදෑයන් සිතූහ.

මෙකල ලංකාවේ, මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරන ලද්දේ, වර්තමානයේ නෙදර්ලන්ත ලෙස හැඳින්වෙන, රටින් පැමිණි ලන්දේසීන් විසිනි. ලන්දේසීන් හටද, ඔවුන්ගේ වෙළදාම සදහා මහනුවර රජුගෙන් උදව් අවශ්‍ය වූ හෙයින්, රාජ සභාවේ ඔවුනට හිතැගි නිලධාරීන්ගේ බලය පවත්වා ගැනීමට, ඔවූහූ උනන්දු වූහ. මෙලෙස ලන්දේසීන්ට හිතැති නිලධාරියෙකු ලෙස, මුලින් ලෙව්කේ දිසාව කටයුතු කල අතර, ඔහු 1751 වර්ෂයේ මිය ගිය පසු, රජු හා ලන්දේසීන් අතර, සම්බන්ධතාවය පවත්වා ගත්තේ, දුම්බර රාලහාමි නමින් හැඳින්වුනු, මීගස්තැන්නේ අධිකාරම විසිනි. 

ලන්දේසි ආණ්ඩුකාරයා හා රජු අතර, සියලුම ලිපි කටයුතු මීගස්වත්තේ මාර්ගයෙන් සිදු වූ අතර, ඔහුගේ හොඳ හිත පවත්වා ගැනීම සදහා, ලන්දේසි පාලකයන් විසින් වසරකට රික්ස් ඩොලර් 4000 ක් ඔහු වෙත ගෙවූ බව, ලන්දේසි ලේඛන වල සඳහන් වේ.  

මෙකල ලංකාවේ කැලෑ වලින් අලි අල්ලා, ඔවුන් පිටරටට විකිණීම, ලන්දේසීන්ගේ වෙළදාමේ කොටසක් වූ අතර, 1752 වර්ෂයෙදී දුම්බර රාලහාමි, ලන්දේසීන්ගේ අලි වෙළදාමට රජුද, සම්බන්ධ වීමට කැමති බව, ලන්දේසීන් හට දන්වා සිටියේය. එහෙත් මෙවැනි ඉල්ලීම, තමන්ට කරන්නට ඇත්තේ, රජුගේ නායක්කාර නෑදෑයන්ට, මෙම අලි වෙළදාමට සම්බන්ධ වී, එමගින් ලාභ ලැබීමට ඇති වුවමනාව නිසා යැයි, ඔහු ලන්දේසි ආණ්ඩුකාරවරයාට, පුද්ගලිකව දන්වා සිටියේය. මෙම සිද්ධියෙන්ද, එකල උඩරට රාජ සභාවේ, නායක්කාර වංශකයන් හා සිංහල රදළ පවුල් අතර තිබූ, බල අරගලයන් හා විරසකය පෙන්නුම් කරයි.

මේ තත්වය උඩ, රාජ සභාවේ සිටි, සිංහල නිලධාරීන් එකතුව රජු මුණ ගැසී, රජුගේ පියා සහ යාපනයේ සිට පැමිණි සිටින මුදලියාර් වරයෙකු, රට පාලනය කරන බවද, රජු පැරණි සිරිත් විරිත් අනුගමනය නොකරන, රාජ්‍ය පාලනය තම පියා වෙත භාරදී ඇති බවට, රජු එය වෙනස් නොකරන්නේ නම්, තමනට වෙනත් රජෙකු, සිංහාසන ගත කිරීමට සිදුවන බව දන්වා සිටියහ. 
මේ සිද්ධයෙන් බියට පත් වූ රජු, මේ සියල්ලටම වැරදිකරු තම පියා බව ඔවුනට දන්වා, මින් පසු තම පියාට, රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමට ඉඩ නොදෙන බවට පොරොන්දු වී, නායකයන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට, යාපනයේ සිට පැමිණ, තම පියා සමග සම්බන්ධ වී, රාජ්‍ය පාලනයට ඇඟිලි ගැසූ, මුදලියාර් වරයාගේ හිස ගසා දැමීමටද, නියම කලේය.

එහෙත්, නායක්කාර් වංශිකයින්ගේ බලය, රාජ සභාව තුල අඩු වීමක් සිදු නොවී අතර, මෙයින් කනස්සල්ලට පත් රාජ සභිකයන් කිහිප දෙනෙකු, කන්ද උඩරට සංඝ නායකයන් හා එකතුව, නායක්කාර  රජු ඉවත් කර වෙනත් රාජ වංශිකයෙකු, කන්ද උඩරට රජකමට පත්කර ගැනීමට තීරණය කලහ. මේ සදහා මූලික වී කටයුතු කලේ, රාජසභාවේ දෙවැනි අධිකාරම වූ සමන්කොඩි දිසාවය. සංඝරාජ වැලිවිට සරණංකර තිබ්බටුවාවේ හිමි සහ රජ වාසලේ සේවයේ සිටි මොලදන්ඩේ නිළමේ, කුමන්ත්‍රණයේ අනෙකුත් ප්‍රධාන හවුල් කරුවන් වූහ.

පෙර රජතුමාගේ යකඩ දෝලියකගේ (අන්ත: පුරයේ සිටින, අග මෙහෙසිය නොවන කාන්තාවක්) පුත් කුමාරයෙකු වූ, පට්ටියේ බංඩාර කුමරු රජ කමට පත් කල යුතු යැයි සාකච්ඡා කලද, සමහරෙකු එයට අකමැති වූ හෙයින්, මේ සදහා ගැලපෙන රජ කුමරෙකු ලබා දෙන ලෙස ඉල්ලා, තායිලන්තයේ රජු වෙත ලිපියක් යැවූහ. මෙම ඉල්ලීම තායිලන්තයේ රජු වෙත පැමිණෙන විට, පිපිට් කුමරු සිරගතව සිටි අතර, තමනට කරදරයක්ව සිටි එම කුමරු, රටින් පිටුවහල් කර ගැනීමට, මෙය අවස්ථාව කර ගත් තායිලන්ත රජු, පිපිට් කුමරු සහ ඔහුගේ අනුගාමිකයන් කිහිප දෙනෙකු, බෞද්ධ භික්ෂූන් ලෙස වෙස් ගන්වා, ලන්දේසි නැවක් මගින්, ශ්‍රී ලංකාවට පිටත් කර එවීය.

 මෙම පිරිස ත්‍රීකුණාමලයෙන්, ශ්‍රී ලංකාවට ගොඩ බටහ. මොවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, ශ්‍රී ලංකාවේ සිටි, සියම් භික්ෂුනට අවශ්‍යව ඇති, බෞද්ධ පොත් පත් ගෙන ඒම සදහා යැයි, කුමන්ත්‍රණකරුවන් රජුට දැන්වූහ. මොවුන් මල්වත්ත විහාරයේ ලැගුම් ගත් අතර, ඔවුන් සමග එකතුව රජු ඉවත් කර, සියම් කුමාරයා එම තනතුරෙහි පිහිටුවීමට, කුමන්ත්‍රණයේ නායකයන් කතිකා කර ගත්හ.

රජු ඝාතනය කිරිම සදහා, කුමන්ත්‍රණකරු යොදා ගත්තේ, අපූරු සැලැස්මකි. මල්වතු මහා විහාරයේ තිබූ, විශේෂ ආගමික උත්සවයට, රජුටද ආරාධනා කෙරිණි. එම ආගමික උත්සවයේදී, රජු වෙනුවෙන් විශේෂ ආසනයක් තැනවිණ. උත්සවය පැවැත්වෙන තැන විශාල වලක් හාරා, එය තුල තියුණු යකඩ උල් උඩු අතට සිටුවා, එම වල මතුපිට අලංකාර ඝණ රෙදි වලින් සරසා, එම රෙදි මත රජතුමාගේ ආසනය තිබිණ. මෙම ආසනයේ රජතුමා ඉඳගත් පසු, බරට ඇතිරිලි කඩා වැටී, යකඩ උල් ඇනී, රජු මිය යාමට සැලැස්වීම, කුමන්ත්‍රණකරුවන්ගේ අදහස විය. 

උත්සවය පටන් ගත් පසු, එම ස්ථානයට තම පිරිවර සමග පැමිණි රජු, එතන සිටි පිරිස්, ඔහුට ඉඳ ගැනීමට ආරාධනා කලද, ආගමට ඇති ගෞරවය නිසා බව පෙන්වා ආගමික වතාවත් අවසන් වන තුරු, තමා සදහා පනවා ඇති ආසනයේ අසුන් නොගෙන, එම අවස්ථාවේ හිටගෙන, ආගමික වතාවත් සදහා සහභාගි විය.

ආගමික වතාවත් අවසානයේ. අසුන් ගැනීමට තම ආසනය වෙත ගිය රජතුමා, එක්වරම තම අත තිබූ රාජකිය සැරයටිය ගෙන, ආසනය යට තිබූ විසිතුරු රෙදි ඉවත් කලේය. සියල්ලන්ම පුදුමයට පත්විය ; ආසනයට යටින් වලක් හාරා එහි යකඩ උල් සිටුවා තිබුනේ රජු ආසනයේ ඉඳගත්විට එය කඩා වැටී උල්වල ඇමිණී රජු මිය යන්නටය. ඉන්පසු තම පිරිස යොදවා, යකඩ උල් ඉවත් කර, නැවත ආසනය එතනම පනවා, එම ආසනයේම අසුන්ගෙන, උත්සවයේ ඉතිරි වැඩ කටයුතු වලට සහභාගි විය.

උත්සවයෙන් පසු, කුමන්ත්‍රණය පිළිබඳ පරීක්ෂණයක් පැවැත් වුණු අතර, එයින් අනාවරණය වූ පරිදි, සමනක්කොඩි අධිකාරම, මොලදන්ඩේ රටේරාළ, මැටිහම්පොල දිසාව, සහ කඩුවෙල රාළ, යන නිලධාරීන්, හිස ගසා මරා දැමීමට තීරණය විය. කුමන්ත්‍රණයට සහභාගී වූ සිංහල සහ තායිලන්ත භික්ෂූන්ටද, මරණීය දණ්ඩනය ලබාදීමට රජුට වුවමනා වුවත්, දුම්බර මීගස්තැන්නේ අධිකාරම්ගේ මැදිහත් වීමෙන්, ඔවුනට සමාව ලබාදුනි. එහෙත් එයට මූලික වූ සිංහල භික්ෂූන් කෙහෙල් ඇල්ලට සහ බින්තැන්නට පිටුවහල් කෙරිණි.

මෙම අවස්ථාවේ, රජුගේ ජීවිතය බේරා ගැනිමට උදව් කල පුද්ගලයනට, නොයෙකුත් තනතුරු සහ වෙනත් ත්‍යාග පිරි නැමුණි. සමනක්කොඩි නිළමේ ගෙන් හිස් වූ, දෙවැනි අධිකාරම් තනතුරට, පිළිමතලාවේ නිළමේ පත් කල අතර, නායක්කාර පිරිසගේ හිතවතෙකු වූ ගලගොඩ නිළමේ, මහා අධිකාරම තනතුරට පත් කෙරිණ. කුමන්ත්‍රණය පිළිබඳව රජුට කලින් දැනුම් දුන් හේතුවෙන්, හුලන්ගමුවේ බුද්ධරක්ඛිත හිමියනට, තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස, පාවිච්චි කල හැකි පරිද්දෙන්, හුලන්ගමුව ග්‍රාමය, නින්ද ගමක් ලෙස ලබාදිණි. කුමන්ත්‍රණය පිළිබඳව ආරංචිය, භික්ෂුවගෙන් ලබා ගෙන, රජු වෙත දැන්වූ, ගොපාල නමැති රජුගේ මුස්ලිම් වෛද්‍යවරයාට, මරණීය දණ්ඩනයට ලක්වූ මොලදන්ඩ නිළමේගේ, සියලු දේපල ලැබුණි.

කුමන්ත්‍රණයේ හවුල් කරුවන් වූ, තායිලන්ත කුමරු ඇතුලු පිරිස, එකල තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති, විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හා ආගමික සම්බන්ධතාවයන් නිසා, නිදහස ලැබූ අතර, ඔවුන් ආපසු සියම් රටට යැවීම, මීගස්තැන්නේ අධිකාරමට බාරවිය.

මේ සදහා මීගස්තැන්නේ, ලන්දේසීන් ගෙන් උදව් ඉල්ලා සිටියේය. එහෙත් මෙම කුමරු ඇතුලු පිරිස, සියම් රටට තමන්ගේ නැවකින් ගෙන යාමෙන්, තමන් හා සියම් රට අතර පවතින, යහපත් සම්බන්ධතාවයන් පලුදු විය හැකි හෙයින්, එය ඉටු කිරීමට නොහැකි බව, ලන්දේසීන් දන්වා සිටියහ. අවසානයේ මීගස්තැන්නේ අධිකාරම්ගේ බලවත් ඉල්ලීම මත, කුමරු සහ පිරිස 1760 දෙසැම්බර් මස 7 වන දින, ඉන්දියාවේ ටුටිකෝලම් වරාය හරහා බතාවියටද, එතැන් සිට සියම් රටටද, පිටත් කර හරින ලදි.

මෙම සිද්ධියෙන් පසු, කන්ද උඩරට රජුට විරුද්ධව, බලවත් නායකයන් පිරිසක්, රාජසභාවේ සිටින බව හා ඔවුන් පිපිට් කුමරු කන්ද උඩරට, රජු කරවිමට සූදානම් වූ බවත් තේරුම් ගත් ලන්දේසීන් මෙම කුමරු, මහනුවර රජ කරවිමට අදහස් කලහ. මේ සදහා එකල ලන්දේසි ආණ්ඩුකාරවරයා වූ ඩුබට් ජෑන් වෑන් විසින්, 1762 දී මේ සදහා එම කුමරු ලබා දෙන ලෙස ඉල්ලා, සියම් රටට තානාපතිකරයෙකු යවන ලදි. එහෙත් එකල සියම් රාජසභාවේ, ලන්දේසීන්ට විරුද්ධව තවත් මුහුද බලයක් වූ, ප්‍රංශ ජාතිකයන් බලගතුව සිටි හෙයින්, එම උත්සාහය සඵල නොවීය.

නැවත වරක් එම වසරේදීම, කතෝලික පූජකවරයෙකු හා තවත් තානාපතිවරු දෙදෙනෙකු, මහනුවර රජකරවීමට පිපිට් කුමරා ලබා දෙන ලෙසද, එසේ කිරීමට ප්‍රායෝගික නොවන්නේ නම්, ඒ සදහා වෙනත් සුදුසු රාජකීය කුමරෙකු ලබා දෙන ලෙසද, ඉල්ලා පණිවිඩයක් රැගෙන, සියම් රට බලා ගියහ.

එකල සියම් රට වෙත, රාජ්‍ය බලවත් යුධ තර්ජනයක් එල්ල වී තිබුණු අතර, එම යුධමය වාතාවරණය තුල, මෙවැනි දඩබ්බර කුමරෙකු, තම රාජ්‍යයේ සිටීම, අවාසිදායක යැයි සිතූ සියම් රාජසභාවද, මොහු ලන්දේසීන් හට භාර දීමට කටයුතු යෙදුවද, හදිසියේම බුරුම හමුදා, සියම ආක්‍රමණය කර, රට අල්ලා ගත් නිසා, එය කල නොහැක්කක් විය.

 මෙලෙස සියම කුමරු මහනුවර රජ කරවීමට, එකල ශ්‍රී ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරවරයා, කොතරම් උනන්දුවක් දැක්වූයේද යත්, ඔහු මරණාසන්නව සිටියදීද, මෙම පිපිට් කුමරු ලංකාවට ගෙන්වා ගෙන, කන්ද උඩරට රජකමට පත් කරන ලෙසට, තම කවුන්සිලය වෙත ලිපියක් යවා ඇත.

මෙලෙස දකුණු ඉන්දියානු, නායක්කාර පෙළපතකින් පැවතුණු, වර්ෂ 1747 සිට 1760 දක්වා මහනුවර රාජ්‍ය කල, කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඉවත් කර, ඒ වෙනුවට තායිලන්තයෙන් ගෙන්වා ගත්, බෞද්ධ කුමාරයෙකු රජ කරවීමට දැරූ ප්‍රයත්නය, අසාර්ථක ලෙස අවසන් විය.


හදිසියේවත් මෙම උත්සාහයන් ව්‍යවර්ථ වූයේ නැත්නම් පිපිට් කුමරු අවසාන සිංහල රාජධානියේ රජවනු ඇත. මෙහි සංස්කෘතියද බොහොමයක් තායිලන්ත සංස්කෘතියට සමානව ගොඩනැගෙනු ඇත. තායිලන්තයේ රජු තායිලන්තයේ ආකාරයටම මෙහිද රාජාණ්ඩුවක් පවතිනු ඇත. 

Friday, October 14, 2016

විහාරමහා දේවිය පැමිණියේ කොහි සිටද?











 විහාරමහා දේවිය පැමිණියේ කොහි සිටද?
වසර ක්‍රිස්තු පූර්ව 101 දී දුටුගැමුණු කුමරු, ශ්‍රී ලංකාවට වැදගත්මයැයි සැලකෙන යුද්ධයක් සදහා පිටත්වීමට කටයුතු සම්පාදනය කරයි. ඔහුගේ පියාද, පියාගේ පියාද, කරන්නට මැලි වූ මේ යුද්ධය කරන්නට ඔහු සූදානම් වන්නේ, ඊට අවුරුද්දකට පෙර තම බාල සහෝදරයා වූ සද්ධාතිස්ස කුමරු සමග මාගම රාජධානිය සදහා දරුණු යුද්ධ දෙකක් කිරීමෙන් පසුවය; දුටුගැමුණු රජ මියගිය පසු අනුරාධපුරයේදී රජ වන්නේ මේ තිස්ස කුමරා වීම එක් අතකින් දෛවයේ සරදමකි. මේ යුද්ධ දෙකෙන් පලමුවැන්න අවසානයේදී ගැමුණු කුමරු කොතරම් දරුණු පරාජයකට පත්වෙන්නේද යත්, ඔහුට යුද්ධය අවසානයේ ඉතිරි වන්නේ එක් තිස්ස නැමැති ඇමතියෙකුත්, දීඝතුනික නම් වෙළඹකුත් පමණි.

කෙසේ හෝ දෙවෙනි යුද්ධයෙන් සහෝදරයා පරාජය කරන ඔහු, දැන් පිටත් වන්නට යන්නේ ඔහුගේත් ඔහුගේ ජාතියේත් අනාගතය විසඳන යුද්ධයටය. ඔහුගේ සියලුම යුද්ධයන්ගේ මව් වන යුද්ධයටය. එසේ නම් ඔහු මේ යුද්ධයට ඔහුගේ 11110 ( 10x10x10x10+10+100) ක් වන ස්ථීර හමුදාව මෙන්ම තවත් හැකි සෑම තැනකින්ම යුද්දාධාර ලබාගත යුතුය.

ඔහුගේ මව වන විහාරමහා දේවිය මහා වංශයේ සඳහන් වන පරිදි කැළණිය රාජධානියේ රජු වන කැළණිතිස්ස රජුගේ දියණියයි. ඒ කියන්නේ කැළණිතිස්ස රජු දුටුගැමුණු කුමාරයාගේ සීයාය. දැන් දුටුගැමුණු රජු තමාට සහ තම රාජ්‍යයට අතිශයින්ම වැදගත් යුද්ධයකට යාමට කටයුතු පිළියෙල කරයි. එහෙත් ඔහු කිසි විටෙකත් තම සීයාගෙන් උදව් ඉල්ලන්නේ නැත. තරමක් ගැටළු සහගතය. ඇත්තෙන්ම ගැටළු නොව පුදුම සහගතය.

එසේම ඔහු තම හමුදාව මෙහෙයවීමට සැලසුම් කරන්නේ සතුරන් වැඩියෙන්ම කඳවුරු බැඳ සිටින නැගෙනහිර පළාත හරහාය. මහවැලි ගඟෙන් පහලට මහියංගනයේ සිට එළාරගේ සෙනෙවියෝ කඳවුරැ බැඳ සිටිති. දුටුගැමුණු කුමරු ගඟ දිගේ ඇති සතුරන්ගේ බලකොටු බිඳලන්නට වසරක් පමණ දරුණු සටන් කරයි. එහෙත් ඔහුට මෙම මහවැලි ගඟ දෙපස සටන් සිදු නොකර කෙලින්ම එළාර රජුගේ අගනුවරටම පහරදීමට හැකියාවක් තිබුණි. ඒ නැගෙනහිර පැත්තෙන් අනුරාධපුරයට පහරදීමට සැලසුම් කරන්නේ නැතිව, කඳුකරයට බටහිර පැත්තෙන් ගොස් තම සීයාගේ රාජධානිය හරහා කුරුනෑගල පැත්තෙන් අනුරාධපුරයට පැමිණීමයි.

ඔහු එසේ කරන්නට සිතන්නේවත් නැත. එසේම එළාර රජු පරාජය කර ශ්‍රී ලංකාව එක් සේසත් කල පසුද ඔහු කැළණියේ රාජධානිය ගැන සොයා බලන්නටවත්, එසේත් නැත්නම් එය තම රාජධානියේ කොටසක් කර ගන්නටවත් කිසිම උත්සාහයක් කරන්නේ නැත. දුටුගැමුණු රජුගෙන් පසුවත් මහා වංශය කැළණි රාජධානිය ගැන කිසිම විස්තරයක් කරන්නේ නැත.

මහා වංශය විහාරමහා දේවිය කුඩා යාත්‍රාවක දමා මුහුදට පා කර හැරීමට හේතු වන කාරණා සම්පූර්ණ විස්තර සහිතව ඉතා පැහැදිලිව කියයි. කැළණිතිස්ස රජුගේ බිසව සමග අනියම් සම්බන්ධතාවයක් ඇතිකර ගත් රජුගේ සහෝදරයාගේ නම අයිය-උත්තිකය. ඔහු මෙම රහස එලි වූ පසු පැනගොස් සැඟවුන ප්‍රදේශය යනාදී විස්තර පවා එහි සඳහන් වෙයි. එහෙත් මුහුදු රළ අතිශය භයංකාර වැඩි වූ විට,  විහාර මහා දේවිය කුඩා යාත්‍රාවක දමා පා කර හැරීමෙන් පසු, මේ රාජධානිය එහි රජුන් සහ ජනයා සම්පුර්ණයෙන්ම ඉතිහාසයෙන් නොපෙනී යයි.

මෙසේ එක්වරම රාජධානියක්ම සම්පූර්ණයෙන් පෘතුවි පෘෂ්ඨයෙන් මැකී යාමට හැකියාවක් තිබේද? තිබෙන්නේ නම් ඒ කුමන ආකාරයේ හේතු විය හැකිද?
·        
  • සුනාමියක් වැන්නක් ලංකාවේ බටහිර වෙරළට පැමිණීම - එහෙත් ඉන්දියන් සාගරයේ මෙකල සිදු වූ සුනාමි තත්වයක් පිළිබඳව වාර්ථා වී නොමැත. නමුත් මෙතරම් අතීතයේ අප ප්‍රදේශයේ සිදු වූ මෙවැනි සුනාමි තත්වයන් සමහර විට වාර්ථා ගත නොවන්නට පුලුවන. යුරෝපයේ සහ මැද පෙරදිග සිද්ධි කිහිපයක් පමණක් වාර්ථා ගතව ඇත.
  • ·        සතුරු ආක්‍රමණයකින් එම රාජ්‍යය සම්පුර්ණයෙන්ම විනාශ වීම - එසේ සිදුවූයේ නම් ආක්‍රමණිකයාගේ රාජ්‍යය; එළාර රජුගේ රාජ්‍යය මෙන් පසුව ස්ථාපිත විය යුතුය. එවැන්නක්ද සිදු වී නොමැත.
  • ·        වසංගතයක් වැන්නක් පැතිරීම - එසේ නම් ඒ පිළිබඳ වාර්ථා වී තිබිය යුතු අතර රටේ අනෙක් ප්‍රදේශ වලටද සුලුවෙන් හෝ පැතිරිය යුතුය.
  • ·        වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වීම - එසේ ගියේ නම් එවැනි මහා ජන සංක්‍රමණයකින් පසුව ඇතිවෙන රාජධානිය පිළිබඳව වාර්ථා විය යුතුය.

මෙයින් විස්තර කරන පරිදි කැළණියේ රාජ්‍යයක් තිබී නොමැති බවත්,  විහාරමහා දේවිය මුහුදට පා කර හරින ලද්දේ ලංකාවේ කැළණිය ප්‍රදේශයෙන් නොව ඉන්දියානු රාජ්‍යයක හෝ වෙනත් ලංකාවට බාහිර රාජ්‍යයකින් බවත් කෙනෙකු සිතුවොත් එහි වරදක් නොමැත. ‍
මෙයට ටික කලකට පෙර ගංගා නම් ගඟ අයිනේ ශාක්‍යපණ්ඩු රජ බද්ධකච්චායනා කුමරියට කලේ මෙවැනිම දෙයකි. අසල රාජ්‍යවල රජ කුමාරවරු කිහිප දෙනෙක් මැය අරභයා යුධ කරන්නට සූදානම් වන විට ඔහු බද්දකච්චායනා කුමරිය, තවත් තරුණ කාන්තාවන් පිරිසක් සමග නැවක දමා පා කර හරියි.

විශේෂයෙන් ‘මේ යාත්‍රාවේ සිටින්නේ රජුගේ දූ කුමාරිකාවයි‘ යනුවෙන් විහාරමහා දේවිය පා කර හැරි යාත්‍රාවේ පුවරුවක් සවිකර තිබීමෙන්ද මෙම තර්කය තවත් ශක්තිමත් වෙයි.


 සියලු කරුණු සලකා බලද්දී මෙම විහාරමහා දේවිය බාහිර රටකින් පැමිණීමේ යෝජනාව වඩාත්ම භාව්‍ය වියහැක්ක බව පෙනේ. තමන් යාත්‍රාවේ දමා පා කර එවූ තම අගනුවරට කිලෝ මීටර් 125 ක් ලඟින් වෙසෙන තම නෑසියන්ට කුමක් සිදුවූයේදැයි සොයන්නට විහාරමහා දේවිය රැජිනක් වූ පසුත් කිසිම උත්සාහයක්  නොකිරීමෙන්ද සාමාන්‍යයෙන් එකල සිංහල රැජිනක් එතෙක් නොකල යුද බිමට ගොස් සටන් මෙහෙයවීමෙන්ද  මෙම හැකියාව වඩාත් පිළිගත හැකි වියහැක්ක බවට කෙනෙකු සිතන්නේ නම් ඒ සිතිවිල්ලේ තර්කානුකූල බවක් නැත්තේ යැයි කියන්නට නුපුලුවන.   



    
මෙම තර්කයට සාගර හැසිරීම් වලින්ද උදව්වක් ලැබේ. ඉහත සිතියමේ ආකාරයට මෙවැනි කුඩා බෝට්ටුවක් කොළඹින් එළියට දමා පාවෙන්නට ඇරියහොත් නිරිතදිග මෝසම් කාලය නම් යාත්‍රාව ආපසු කොළඹට පැමිණීමට හෝ එසේ නැත්නම් පුත්තලම ප්‍රදේශයට ගසාගෙන යා යුතුය. මෙය සිදුවූයේ ඊසානදිග මෝසම් කාලයක නම් එය කොළඹින් එළියට ගොස් මාලදිවයින, මැඩගැස්කර් පැත්තට ගමන් කල යුතුය. කොළඹින් එළියට දමන බෝට්ටුවක් පාවෙන්නේ නම් එය නැවතත් දකුණු වෙරළේ තිස්සමහාරාමය පැත්තට ගසාගෙන යන්නට තිබෙන ඉඩකඩ ඉතාමත් අඩුය. 

නමුත් ලංකාවෙන් නැගෙනහිර පැත්තේ රටකින් නම් කථාව සම්පූර්ණයෙන්ම වෙනස් වේ. ඊසානදිග මෝසමේ ඒ පැත්තෙන් බෝට්ටුවක් පා කර හැරියහොත් ලංකාවේ නැගෙනහිර හෝ ගිනිකොණ වෙරළට පාවී එන්නට බොහෝ ඉඩ තිබේ. මියන්මාරයේ තොවිල් වලට ගන්නා නොයෙකුත් පූජා භාණ්ඩ ඒ මෝසමේදී ලංකාවේ වෙරළට ගසාගෙන විත් තැන්පත් වී තිබෙනවා මම බොහෝ විට දැක තිබේ. 

Thursday, October 13, 2016

මුලතිව්හිදී LTTE යට කොකා පෙන්නා පාලම දැමීම.







part of the crew , so strong a bond 





මුලතිව්හිදී LTTE යට කොකා පෙන්නවීම.

වසර 1989/1990 දී මුලතිව් හමුදා කදවුර LTTE ත්‍රස්තවාදීන් විසින් සම්පුර්ණයෙන් වට කෙරිණ.ඒ තුල සිර වූ හමුදා කණ්ඩායමට සැපයුම් ලබා දෙන්නට හෝ ඔවුන් එළියට ගැනීමට නොහැකි තත්වයක් උදාවිය.
ඔවුන් බේරා ගැනීමට සදහා කඳවුරු නිදහස් කර ගැනීමට සාකච්ඡාවක් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව වගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ plantain point හමුදා කඳවුරේදී පැවැත්විය. මේ සදහා නාවික හමුදාවේ නැගෙනහිර විධානය වෙනුවෙන් එහි ප්‍රධානියා වූ රියර් අද්මිරාල් කුවින්ටස් වික්‍රමරත්න හා මම සහභාගී වුනෙමු .මෙම රැස්වීමේදී මුහුදෙන් භට පිරිස් ගෙන ගොස් මුලතිව් වෙරළේ ගොඩ බා, කඳවුර සතුරන්ගෙන් නිදහස් කර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග ගැන සාකච්ඡා කරන ලදී .
එහෙත් මෙහිදී මතු වූ බරපතලම ප්‍රශ්නය වුයේ එම ප්‍රදේශයේ මිට පෙර (උභයාකර ) Amphibious landing එකක් කර නොතිබීමයි.මෙලෙස landing ship එකක් වෙරළකට ගෙන යාමේදී එම වෙරළේ ජල මට්ටමේ සිට මුහුදු දෙසට බැස්මේ ශීග්‍රතාවය අඩියට අගල් වශයෙන් ඉතා වැදගත්ය. එම බැස්ම (gradient) එක නැවට අවශ්‍ය තරම් නොතිබුනොත් වෙරළට තරමක් දුරින්, සමහරවිට මීටර් 100/200 ක් පමණ දුරින් නැව හිරවන්නට පුළුවන. විශේෂයෙන්ම සතුරා ගොඩබෑමට විරුද්ධ වී පහර දීමට වෙරළේ බලා සිටින අවස්ථාවක (  landing under fire) ) මෙලෙස හිර වීම එහි  සිටින්නන් ඉඳගෙන සිටින තාරාවන් සේ අසරණ කරයි.
නාවික හමුදාවේ තිබු මධ්‍යම උභය යාත්‍රා දෙකෙන් එකක් වූ, ශ්‍රී ලංකා නාවික නෞකා කණ්ඩුල නමැති යාත්‍රාවේ අණ දෙන නිලධාරී වුයේ මමය. මේ සාකච්ඡාවට මා රැගෙන යාමට හේතු වුයේ එම කරුණයි. යුධ ටැංකි හා භට පිරිස් රැගෙන මුලතිව් වෙරළේ ඔවුන් ගොඩ බැස්ස වීමට හැකිදැයි මගෙන් එහිදී විමසන ලදී. වෙරළේ gradient විස්තර නොමැතිව හා මේ දක්වා නොකරන ලද වෙරළක බලහත්කාර ගොඩබැමක් කිරීමට උත්සහ කිරීම ඉතාමත් අවධානම් සහගත බව මම කීවෙමි.

එහෙත් හැමදෙයම උත්සහා කර අසාර්ථක වී ඇති හෙයින්ද වෙන කිරීමට කිසිම දෙයක් නොමැති  හෙයින්ද, මෙය ඉතිරි වී ඇති එකම ක්‍රමඋපාය බව ජෙනරාල් කොබ්බැකඩුව අවධාරණය කළේය. ඉන්පසු මේ ක්‍රියාන්විතය සැලසුම් කිරීමට ඔහු විසින් මා වෙත කළහැකි යම් උපකාරයක් තිබේදැයි මගෙන් ඇසුවේය. අඩුතරමින් වෙරළ උඩින් ගුවනින් පරික්ෂා කර, මට gradient එක අනුමානෙන් වත් තෝරා ගැනීමට ඉඩකඩක් ලැබෙන්නේ නම්, gradient ඒක මදිවී නැව මග හිරවීමේ ඇති අවධානම අඩු කරන්නට ඉඩ කඩක් ඇති බව මම ඔහුට පැහැදිලි කලෙමි.  එසේ නම් එදිනම කුඩා ගුවන් යානයකින් මුලතිව් උඩින් පියාසර කර ගැලපෙන තැනක් තෝරා ගැනීමට සුදුසු යැයි ඔහු එකඟ විය. එවෙලෙහිම ගුවන් හමුදාවට කථා කර, ඔහු අපගේ ගුවන් නිරීක්ෂණය පිළියෙළ කරමින් සිටියදී, මම  බෝට්ටුවෙන් වරායේ අනික් පැත්තේ ඇති  නාවික හමුදා කඳවුරට ගොස් දවල් ආහාර ගෙන ආපසු පැමිණෙන්නට ඔහුගෙන් අවසර ඉල්ලුවෙම්.

''ඔබ දහවල් ආහාර ගැන කථා කරනවා.මම තවම උදේ කෑම කාලත් නැහැ. මේක ඉවර කරලම ඇවිල්ලා හොද dinner එකක් ගමු.''යැයි ඔහු කිවේය.
ඔහුත් මා සමග නිරීක්ෂණයට එකතු වන බව මා දැන ගත්තේ එවිටය.

පැයකින් හෝ දෙකකින් පමණ ත්‍රිකුණාමල ගුවන්තොටුපලින් පිටත් වුණ අප දෙදෙනා වෙරළ දිගේ උතුරට ගොස් මුලතිව් කිට්ටුව ගුවන් යානය පහත් කර වෙරළ හොදින් පරික්ෂා කලෙමු. අද්මිරාල්ටි මුහුදු සිතියම හා සසඳා ඉතාමත් සුදුසු යැයි සිතෙන ස්ථාන දෙකක් තෝරා ගත්තෙමි. ගුවන් ගමනේදී මුලදී ආහාර ගැනත් කතා වුන නිසා දෝ අප ඔහුගේ කුඩා බෑගයේ තිබී චොක්ලට් බාර් දෙකක් බෙදාගෙන කෑවෙමු.

මෙම ක්‍රියාන්විතය ඉතා පහසුවෙන්ම අපට මහත් හානි ගෙන දෙන විනාශයකින් කෙළවර විය හැකි බව මට දැනුනි.
·       විශේෂයෙන්ම මෙකල නැගෙනහිර වෙරළේ කිහිප ස්ථානයකම කණ්ඩුල ක්‍රියාන්විත වල යෙදුන හෙයින්, කොටි මුහුදෙන් ප්‍රහාරයක් බලාපොරොත්තු විය හැකි වීම,
·       අපට හරියටම කොතැනක land කිරීම කල හැකි දැයි දැනගැනීමට ක්‍රමයක් නැති වීම
·       ක්‍රියාන්විතය සිදුවන මොහොතේ වෙරළෙන් රහස් තොරතුරු ලබා ගැනීමට නොහැකි වීම
 මට මෙලෙස සිතීමට මුල් වූ කරුණුය.

මෙම අවධානම තරමකින් හෝ අඩු කිරීමට අවසාන සැලසුම් සාකච්ඡාවේදී මම රැවටීමේ ක්‍රියාන්විතයක් (mock landing) සැලසුමට ඇතුලුකිරීමට යෝජනා කලෙමි. එය පිළිගැනුණු අතර ඒ සදහා කණ්ඩුල මෙන් තුන්ගුණයකින් පමණ වේගයකින් යුක්ත වේග මගී ප්‍රවාහක යාත්‍රාවක් වූ එමෙන්ම දුරට කණ්ඩුල මෙන් පෙනෙන FPC යාත්‍රාවක් යොදා ගැනීමටද සැලසුම් කෙරිණ.

මුලතිව් හි හමුදා කඳවුර ඉතාමත් දුෂ්කර අවදානම් අවස්ථාවක ඇති නිසා, ක්‍රියාන්විතය හැකිතරම් ඉක්මනින් එනම් සාකච්ඡාවෙන් දින දෙකකට පසුව සිදු කිරීමට තීරණය කෙරිණ. මට මතක හැටියට ජෙනරාල් ජානක පෙරේරා ක්‍රියාන්විතය මෙහෙය විය. යුද්ධ ටැංකි දෙකක් හා යුධ භටයින් දාහක් පමණ රාත්‍රී අන්ධකාරයෙන්ම නැව් වලට ගොඩ කරන ලද්දේ මෙසේ ක්‍රියාන්විතයක් සිදුවනවා යැයි ත්‍රස්තවාදීන්ට දැනගැනීමට ඉඩ නොහැරීමටය.
 මෙහිදි ජානක පෙරේරා හැකිතාක් යුධ උපකරණ පලවෙනි රැල්ලේම ගෙන යාමට උත්සාහ කලද, නෞකාවල ඉඩ පහසුකම් සීමා තිබු හෙයින් තරමක ප්‍රශ්න ඇති විය. ජෙනරාල් ජානක පෙරේරාට එක් යම් විශේෂ වාහනයක් ගෙන යාමට ඕනෑකම තිබුනද, අපගේ යාමට ලෑස්තිව සිටි නෞකාවල එයට ඉඩක් නොතිබිණ. අපගේ සාකච්චාවෙන් පසු, ඔහු මාගේ ප්‍රධානියා හමුවීමට අවශ්‍ය බව මට කීවේය. අප දෙදෙන පයින්ම පිලෝහවුස් වෙතට ගියේ වාහනයකට එම පාරේ යන්නට බැරි තරමට නැව් වලට පැටවීමට හා ට්‍රැෆික් එකෙන් පිරී තිබුණු නිසාය. අප එහි ගිය පසු  නැගෙනහිර ආඥපතිවරයාගේ නිවසෙහි මේ පිලිබඳව ඇති වූ හදිසි සාකච්චාවකදී,
''
සර් මම කාමරවල ඉදලා යුද්ධ කරන බ්‍රිගේඩියර් කෙනෙක් නෙවෙයි. මම කැලේ යන බ්‍රිගේඩියර් කෙනෙක්,“
යනුවෙන් ජානක පෙරේරා එකල නාවික ආඥාපතිවරයාට කිවූ අන්දම මට මතකය.

කෙසේ හෝ රාත්‍රී 9 .00 පමණ විට ත්‍රිකුණාමලයෙන් පිටත් වූ අපි, පසු දින උදයේ එළිය වැටෙන විටම වගේ මුලතිව් නැම්මට සැතපුම් තුනක් පමණ නැගෙනහිරින් එකතු වූයෙමු. ඉන්පසු සාකච්ඡා කරගත් පරිදි FPC යාත්‍රාව වේගයෙන් වෙරළට බීච් කරන්නට මෙන් වෙරළ දෙසට ගමන් කරන්නට පටන් ගත්තේය. ඉන් පැය භාගයකට පසු FPC යාත්‍රාව එල්ල කරන ස්ථානයට  සැතපුම් හතරක් පමණ දකුණින්, ඇත්තෙන්ම බීච් කිරීම සැලසුම් කර තිබු ස්ථානයට මම කණ්ඩුල නෞකාව මෙහෙය වුයෙමි. යුධ ටැංකි සහා මුලින්ම අනෙකුත් භට පිරිස් ගොඩ බෑම සදහා ආරක්‍ෂිත වෙරලක් ස්ථාපිත කර ගැනීමට විශේෂ හමුදා ඒකකයන් කණ්ඩුල නෞකාවේ සැදී පැහැදී සිටියහ.

මීට පෙර ක්‍රියාන්විතයකදී ත්‍රස්තවාදීන්ගෙන් අල්ලන ලද VHF සන්නිවේදන උපකරණයක් අප නෞකාවේ තිබුණි. නැවේ ඉංජිනේරුවරයා වූ සුලු නිලධාරී මන්සූර් මඩකලපුවේ මුස්ලිම් ජාතිකයෙකු වූ හෙයින්, ඔහුට හොදින් දෙමළ භාෂාව හසුරු විය හැකි විය. වෙරළේ සිටි ත්‍රස්තවාදීන් රට ඇතුලේ තිබෙන LTTE කඳවුරු වලට සන්නිවේදනය කරනු අපට මෙම උපකරණයෙන් අසන්නට හැකි විය.

“ඉක්මනට RPG ගෘප් එක මෙතනට එවන්න, නේවි එකෙන් නැවක් ලඟට එනවා“ යැයි කියමින් කිහිප වතාවක්ම වෙරළේ සිට කණ්ඩායම උදවු ඉල්ලනු අපට ඇසුනි. FPC යාත්‍රාවට ඔවුන් රැවටී මෙලෙස අප සැලසුම් කර සිටි ස්ථානයට සැතපුම් හතරක් පමණ උතුරෙහි ස්ථානයකට ඔවුන් එකතු වෙමින් සිටින අවස්ථාවේ, කණ්ඩුල උපරිම වේගයෙන් සත්‍ය වශයෙන් බීච් කරන ස්ථානයට ලඟා විය. එවිට VHF උපකරණයෙන්,

“පාලම තියෙන නැව එන්නේ ගොඩක් පල්ලෙහින් RPG ගෘප් එතෙන්ට යවන්න“
 කියමින් ඔවූහූ කෑගසන්නට පටන් ගත්හ. කණ්ඩුලට සතුරන් පාලම තිබෙන නැව යැයි අප දැනගත්තේත් එදිනය.
දැන් ඔවුන්ට අපගේ රැවටීම තේරී ඇති බව අපට ප්‍රත්‍යක්ෂ විය. මේ වන විටත් වෙරළේ බැස්ම ගැන හෝ වෙරළේ ඇති ලොකු ගල් පිලිබඳව කිසිම දැනුමක් අපට නොතිබුණද, ,LTTE, RPG කණ්ඩායම් එතනට පැමිණීමට පෙර, හැකි වැඩිම වේගයෙන් හැකි තරම් මුහුදු පතුල ගැන පරික්ෂා යොදවා වෙරළට ගොස් නැවෙහි රෑම්ප් එක (පාලම වැනි උපකරණයක් ) වෙරළට පාත් කළෙමු. ඕනෑම සතුරාගේ බලයේ තිබෙන වෙරළක බීච් කරන යාත්‍රාවකට වැඩිම අවධානම තියෙන්නේ මේ අවස්ථාවේදීය.
එවිටම ඒ අසලට පැමිණි ත්‍රස්තවාදීන් විසින් කණ්ඩුල වෙත වෙඩි තැබීමට පටන් ගත් අතර, විශේෂ බලකායේ සොල්දාදුවන්ද නැවෙන් ගොඩට බසිමින් ත්‍රස්තවාදීන්ට වෙඩි තබමින්, බීච් එකෙහි ගොඩ පැත්තෙන් වැලිගොඩවල් දෙසට දිව ගොස් ඒවාට මුවා වී බීච් හෙඩ් එක ස්ථාපිත කිරීමට පටන් ගත්හ.

මේ අවස්ථාවේ නැව් බදටද වෙඩි කිහිපයක් වැදුනද, නැවෙහි ප්‍රධාන තුවක්කුවලින් සතුරන්ට වෙඩි තැබීමට මම මැලි වුයේ අප සොල්දාදුවන්ද වැලි ගොඩවල්වලට දිව යන අතර, ඔවුනටද එම වෙඩි වැදීමට ඉඩ ඇති බැවිනි.
 මෙම අවස්ථාවේදී නැවෙහි සිටි කර්නල් වරයා මට කියා සිටියේ, එසේ කල්පනා කලහොත් සතුරාගේ වෙඩි පහරින් අප සොල්දාදුවන්ගේ බොහෝ දෙනෙකුගේ ජිවිත හානි වීමට ඉඩ ඇති නිසා අප සොල්දාදුවන්ට සිදු විය හැකි අවධානම පිලි අරගෙන, වැලිගොඩවල් වල සිට පොයින්ට් .50 (අගල් ½) තුවක්කු වලින් වෙඩි තබන සතුරු වෙත, අපගේ නැවේ ප්‍රධාන අවි වලින් වෙඩි තබන ලෙසය. පැයක පමණ දරුණු සටන් වලින් පසුව, බීච් හෙඩ් එකක් ස්ථාපිත කර ගැනීමට යුධ හමුදාවට හැකිවිය. කිහිප වතාවක් අසල මුහුදේ සිටි අපගේ වෙනත් නැව් වලට ගොස් උපකරණ හා භට පිරිස්  ස්ථාපිත කරන ලද බීච්හෙඩ් එකට ගෙන ආවෙමි.
ජවනිකාවේ ප්‍රධාන නලුවා වීත් අනෙක් නැව් එකෙන් එක ආපසු ගිය පසුත්, තව දුරටත් එම ස්ථානයේ සිට බඩු අඳින්නට සිදුවීම උභය ක්‍රියාකාරි නැව් වල සිටින්නන්ට තිබෙන ලොකුම හිතේ අමාරුවය.  

දවසකට හෝ දෙකකට පසු ත්‍රස්තවාදීන් විසින් මාස ගණනක් වටකොට තබාගෙන තිබු (under siege ) මුලතිව් හමුදා කඳවුර නිදහස් කර ගැනීමට යුධ හමුදාව සමත් විය.

Tuesday, October 11, 2016

මේඝවර්ණාභයට අප කෘතගුණවේදී විය යුතුද?






















ශ්‍රී ලංකාව ථේරවාදී බෞද්ධාගමේ කේන්ද්‍රස්ථානය යැයි කියනු ලැබේ. අපට ලෝකයට ලබාදිය හැකි වටිනාම දෙයද අප මෙතෙක් කල් සුරක්ෂිතව ආරක්ෂා කරගෙන ඇති ථේරවාදී බුද්ධ ධර්මය යැයි අප නායකයන් බොහෝ වර කියනු මා අසා තිබේ.
මෙලෙස ථේරවාදී බුදු දහම  අපේ රටේ පවතින්නේ එය ඉන්දියාවෙන් මෙරටට මිහිඳු හිමියන් විසින් රැගෙන ආ නිසාය. එසේම මිහිඳු හිමි ධර්මාශෝක රජුගේ ලඟම නෑයෙකු වූ නිසාය. (හිමිඳු හිමි අශෝක රජුගේ පුතෙකු බව මහා වංශය කියන අතර, ඔහු අශෝක රජුගේ බාල සහෝදරයෙකු බව සමහර ඉතිහාසඥයෝ සැක උපදවති.)
මිහිදු හිමි අශෝක රජුගේ නෑයෙකු නොවූනානම් දේවානම්පියතිස්ස උන් වහන්සේට මෙතරම් ගෞරව කර පිලිගන්නේවත්, ඔහු රැගෙන ආ බුද්ධාගමේ පණිවිඩය මෙතරම් පහසුවෙන් පිලිගන්නේවත් නොමැති බව නොඅනුමානය. ශ්‍රි ලංකාවේ මෙලෙස පැමිණි ථේරවාදී බුද්ධාගම ස්ථාපිත වෙද්දී දකුණු ඉන්දියාවේ මහායාන බුද්ධාගම ප්‍රචලිත වෙන්නට පටන් ගනී. විශේෂයෙන්ම අන්ද්‍රා ප්‍රදේශයේ ක්‍රිෂ්ණා ගංගාව අසබඩ නාගර්ජුන, දිග්නාග, චන්ද්‍රකීර්ති, වැනි ශේෂ්ඨ මහායාන චින්තකයන් ක්‍රිස්තු පූර්ව පලවෙනි ශත වර්ෂයේ පමණ සිට මහායාන බුද්ධාගම ප්‍රචලිත කලහ.
මහායාන බුද්ධාගම ලංකාවේ හිස ඔසවන්නේ ගෝඨාභය ( ක්‍රිස්තු වර්ෂ 309 – 322) රජ කාලයේය. මෙකල අනුරාධපුරයේ විහාරයක මෙලෙස මහායාන ආගම වැලදගන්නා භික්ෂූන් 60 ක් පමණ ගෝඨාභය රජු ඉන්දියාවට පිටුවහල් කරයි. මෙම භික්ෂුන් ඉන්දියාවට ගිය පසු ඔවුන් සමග මිත්‍රවන දකුණු ඉන්දියානු භික්ෂුවක වන සංඝමිත්‍ර ලංකාවට පැමිණ ගෝඨාභය රජු සමග කොතරම් මිත්‍ර වන්නේ යත් රජු ඔහුගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනයද සංඝමිත්‍ර භික්ෂුවට බාර කරයි.
රජුගේ දරුවන් දෙදෙනා වන ජේට්ඨතිස්ස සහ මහසෙන් මොහුගෙන් අධ්‍යාපනය ලබන අතර, සංඝමිත්‍ර තෙර මහසෙන්ට වඩා කැමති නිසා වැඩිමහල් ජෙට්ඨතිස්ස කුමරු සංඝමිත්‍ර තෙර සමග වෛර බදී. ගෝඨාභය රජුගේ චිතකය වටා ඔහුගේ ඇමතිවරුන්ගේ බෙලි කපා ඔලු උල සිටුවා ජෙට්ඨතිස්ස කුමරු තම රාජ්‍ය ආරම්භ කරන විට සංඝමිත්‍ර තෙරට ලංකාවේ සිටීම එතරම් ප්‍රවේශම් නොමැති බව තේරී ඔහු රජ වූ විට තමා ආපසු එන බව මහසෙන් කුමරුට පවසා ඉන්දියාවට යයි.
ජෙට්ඨතිස්ස රජුගේ අවුරුදු 10 ක රාජ්‍ය කාලයෙන් පසු මහසෙන් කුමරු රජ වේ.මේ ආරංචිය කන වැකුනු වහාම සංඝමිත්‍ර තෙර ලංකාවට පැමිණේ.
මහසෙන් රජුගේ රාජාභිෂේකය සම්පූර්ණයෙන්ම සංවිධානය කරන්නේ සංඝමිත්‍ර තෙරය. ශ්‍රී ලංකාව මහායානීකරනය ඇරඹේ.
මහා විහාරයේ සිටින භික්ෂූනට කෙනෙහිලිකම් ඇරඹෙන අතර, එම විහාරයේ වැඩවසන හාමුදුරුවනට දන් දුන්න හොත් කහවනු 1000 ක දඩයක් පැනවෙන බවට මහසෙන් රජු නියෝග කරයි. මහා විහාරයේ සිටින භික්ෂූහු කඳුරටට පැනයති. අවුරුදු නවයක් මෙලෙස කාලය ගතවන අතර සංඝමිත්‍ර තෙර රාජ්‍ය නිලධාරීන් සහ තම අනුගාමිකයන් යොදවා ගෙන මහා විහාරයේ තිබෙන මනරම් ලෝමහාපාය ඇතුලු ගොඩනැගිලි ගලවා අභයගිරියට ගෙනවිත් සවිකර ගනී.
දැන් ශ්‍රී ලංකාව ථේරවාදී රටක්ව පවතින්නේද, එසේත් නැත්නම් මහායාන රටක් වන්නේද යන කරුණ තීරණය වන්නේ එක් පුද්ගලයෙකු මතය. රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ මහායානයටය. ථේරවාදී භික්ෂූහූ අසරණ වී පන්සල් හැරදමා පැන ගොසිනි.
ඒ මහසෙන් රජුගේ ලගම මිතුරෙකු වූ එසේම ඔහුගේ සෙන්පතියෙකුද වූ මේඝවර්ණාභයය. ඔහු මහායානීකරනයට විරුද්ධ වී කඳුරටට ගොස් හමුදාවක් ගොඩ නඟාගෙන පැමිණ අනුරාධපුරයේ දුරතිස් වැව අසලට පැමිණ කඳවුරු බැඳගනී. මෙය ඇසූ මහසෙන් රජුද තම හමුදාව රැගෙන ගොස් එය අසල කඳවුරු බඳියි. මේඝවර්ණාභය කඳුරටින් ගෙනා රසවත් ආහාර; එකලත් රටේ රසවත්ම කෑම බීම තිබී ඇත්තේ කඳුරට බව පෙනේ, ආහාරයට ගන්නට යන විට තම මිත්‍ර මහසෙන් රජු තමා අසලම කඳවුරු බැඳ සිටින බව මතක් වේ. ඔහු ඒ කෑම බීමත් රැගෙන රජු හමුවීමට යයි.
දෙදෙන ඒ කෑම බීම වලින් සන්තර්පණය වී සතුටු සාමීචියේ යෙදේ. දෙබසේ කොටසක් පහත පරිදිය.
“කවර හෙයකින් තෝ මා කෙරෙහි දාමරික වූයේද?“ රජු අසයි.
“තොප විසින් මහා විහාරය නැසූ නිසාය,“ මේඝවර්ණාභය කියයි.
“විහාරය පිහිටුවන්නෙමි, මාගේ වරදට සමා කරව,“ ඔවුන් යම් එකඟතාවයන්ට පැමිණේ.
යුද්ධයකුත් සිදු නොවී ප්‍රශ්නය විසඳේ. රජු ඉතාම ප්‍රිය කරන ඔහුගේ බිසවක් වඩුවෙකුට කොන්ත්‍රාත් එකක් දී සංඝමිත්‍ර තෙර ඝාතනය කරවයි. මේඝවර්ණාභය මහසෙන් රජුගේ උදව්වෙන් ආපසු මහා විහාරය යථා තත්වයට පත්කරයි. මහා විහාරයේ භික්ෂූහූ ආපසු පැමිණෙති.
මෙම මේඝවර්ණාභය සෙනවියා එදා රජු සමග ගත් රාත්‍රී භෝජනය අප ජාතියේ අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස් කලේය. ඔහු එයට විරුද්ධ වූයේ නැත්නම් ලංකාව මහායාන බුද්ධාගම අදහන රටක් වීමට බොහෝ ඉඩ තිබිණ. එසේ වූයේ නම් අප සංස්කෘතියද වෙසෙසින්ම වෙනස් එකක් වීමද නොඅනුමානය.

මේඝවර්ණාභයට අප කෘතගුණවේදී විය යුතුද?          

වී ගොවියන්ගේ ප්‍රශ්නයට තවත් විසඳුමක්

 වී ගොවියන්ගේ ආදායම දා හතර ගුණයකින් වැඩි කර ගන්නේ කෙසේද?  ලංකාවේ වී ගොවියන්ගේ ප්‍රශ්නය රටේ පවතින සදාකාලික ප්‍රශ්නවලින්  ප්‍රධාන තැනක් ගන්නා ...