Thursday, October 13, 2016

මුලතිව්හිදී LTTE යට කොකා පෙන්නා පාලම දැමීම.







part of the crew , so strong a bond 





මුලතිව්හිදී LTTE යට කොකා පෙන්නවීම.

වසර 1989/1990 දී මුලතිව් හමුදා කදවුර LTTE ත්‍රස්තවාදීන් විසින් සම්පුර්ණයෙන් වට කෙරිණ.ඒ තුල සිර වූ හමුදා කණ්ඩායමට සැපයුම් ලබා දෙන්නට හෝ ඔවුන් එළියට ගැනීමට නොහැකි තත්වයක් උදාවිය.
ඔවුන් බේරා ගැනීමට සදහා කඳවුරු නිදහස් කර ගැනීමට සාකච්ඡාවක් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව වගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ plantain point හමුදා කඳවුරේදී පැවැත්විය. මේ සදහා නාවික හමුදාවේ නැගෙනහිර විධානය වෙනුවෙන් එහි ප්‍රධානියා වූ රියර් අද්මිරාල් කුවින්ටස් වික්‍රමරත්න හා මම සහභාගී වුනෙමු .මෙම රැස්වීමේදී මුහුදෙන් භට පිරිස් ගෙන ගොස් මුලතිව් වෙරළේ ගොඩ බා, කඳවුර සතුරන්ගෙන් නිදහස් කර ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග ගැන සාකච්ඡා කරන ලදී .
එහෙත් මෙහිදී මතු වූ බරපතලම ප්‍රශ්නය වුයේ එම ප්‍රදේශයේ මිට පෙර (උභයාකර ) Amphibious landing එකක් කර නොතිබීමයි.මෙලෙස landing ship එකක් වෙරළකට ගෙන යාමේදී එම වෙරළේ ජල මට්ටමේ සිට මුහුදු දෙසට බැස්මේ ශීග්‍රතාවය අඩියට අගල් වශයෙන් ඉතා වැදගත්ය. එම බැස්ම (gradient) එක නැවට අවශ්‍ය තරම් නොතිබුනොත් වෙරළට තරමක් දුරින්, සමහරවිට මීටර් 100/200 ක් පමණ දුරින් නැව හිරවන්නට පුළුවන. විශේෂයෙන්ම සතුරා ගොඩබෑමට විරුද්ධ වී පහර දීමට වෙරළේ බලා සිටින අවස්ථාවක (  landing under fire) ) මෙලෙස හිර වීම එහි  සිටින්නන් ඉඳගෙන සිටින තාරාවන් සේ අසරණ කරයි.
නාවික හමුදාවේ තිබු මධ්‍යම උභය යාත්‍රා දෙකෙන් එකක් වූ, ශ්‍රී ලංකා නාවික නෞකා කණ්ඩුල නමැති යාත්‍රාවේ අණ දෙන නිලධාරී වුයේ මමය. මේ සාකච්ඡාවට මා රැගෙන යාමට හේතු වුයේ එම කරුණයි. යුධ ටැංකි හා භට පිරිස් රැගෙන මුලතිව් වෙරළේ ඔවුන් ගොඩ බැස්ස වීමට හැකිදැයි මගෙන් එහිදී විමසන ලදී. වෙරළේ gradient විස්තර නොමැතිව හා මේ දක්වා නොකරන ලද වෙරළක බලහත්කාර ගොඩබැමක් කිරීමට උත්සහ කිරීම ඉතාමත් අවධානම් සහගත බව මම කීවෙමි.

එහෙත් හැමදෙයම උත්සහා කර අසාර්ථක වී ඇති හෙයින්ද වෙන කිරීමට කිසිම දෙයක් නොමැති  හෙයින්ද, මෙය ඉතිරි වී ඇති එකම ක්‍රමඋපාය බව ජෙනරාල් කොබ්බැකඩුව අවධාරණය කළේය. ඉන්පසු මේ ක්‍රියාන්විතය සැලසුම් කිරීමට ඔහු විසින් මා වෙත කළහැකි යම් උපකාරයක් තිබේදැයි මගෙන් ඇසුවේය. අඩුතරමින් වෙරළ උඩින් ගුවනින් පරික්ෂා කර, මට gradient එක අනුමානෙන් වත් තෝරා ගැනීමට ඉඩකඩක් ලැබෙන්නේ නම්, gradient ඒක මදිවී නැව මග හිරවීමේ ඇති අවධානම අඩු කරන්නට ඉඩ කඩක් ඇති බව මම ඔහුට පැහැදිලි කලෙමි.  එසේ නම් එදිනම කුඩා ගුවන් යානයකින් මුලතිව් උඩින් පියාසර කර ගැලපෙන තැනක් තෝරා ගැනීමට සුදුසු යැයි ඔහු එකඟ විය. එවෙලෙහිම ගුවන් හමුදාවට කථා කර, ඔහු අපගේ ගුවන් නිරීක්ෂණය පිළියෙළ කරමින් සිටියදී, මම  බෝට්ටුවෙන් වරායේ අනික් පැත්තේ ඇති  නාවික හමුදා කඳවුරට ගොස් දවල් ආහාර ගෙන ආපසු පැමිණෙන්නට ඔහුගෙන් අවසර ඉල්ලුවෙම්.

''ඔබ දහවල් ආහාර ගැන කථා කරනවා.මම තවම උදේ කෑම කාලත් නැහැ. මේක ඉවර කරලම ඇවිල්ලා හොද dinner එකක් ගමු.''යැයි ඔහු කිවේය.
ඔහුත් මා සමග නිරීක්ෂණයට එකතු වන බව මා දැන ගත්තේ එවිටය.

පැයකින් හෝ දෙකකින් පමණ ත්‍රිකුණාමල ගුවන්තොටුපලින් පිටත් වුණ අප දෙදෙනා වෙරළ දිගේ උතුරට ගොස් මුලතිව් කිට්ටුව ගුවන් යානය පහත් කර වෙරළ හොදින් පරික්ෂා කලෙමු. අද්මිරාල්ටි මුහුදු සිතියම හා සසඳා ඉතාමත් සුදුසු යැයි සිතෙන ස්ථාන දෙකක් තෝරා ගත්තෙමි. ගුවන් ගමනේදී මුලදී ආහාර ගැනත් කතා වුන නිසා දෝ අප ඔහුගේ කුඩා බෑගයේ තිබී චොක්ලට් බාර් දෙකක් බෙදාගෙන කෑවෙමු.

මෙම ක්‍රියාන්විතය ඉතා පහසුවෙන්ම අපට මහත් හානි ගෙන දෙන විනාශයකින් කෙළවර විය හැකි බව මට දැනුනි.
·       විශේෂයෙන්ම මෙකල නැගෙනහිර වෙරළේ කිහිප ස්ථානයකම කණ්ඩුල ක්‍රියාන්විත වල යෙදුන හෙයින්, කොටි මුහුදෙන් ප්‍රහාරයක් බලාපොරොත්තු විය හැකි වීම,
·       අපට හරියටම කොතැනක land කිරීම කල හැකි දැයි දැනගැනීමට ක්‍රමයක් නැති වීම
·       ක්‍රියාන්විතය සිදුවන මොහොතේ වෙරළෙන් රහස් තොරතුරු ලබා ගැනීමට නොහැකි වීම
 මට මෙලෙස සිතීමට මුල් වූ කරුණුය.

මෙම අවධානම තරමකින් හෝ අඩු කිරීමට අවසාන සැලසුම් සාකච්ඡාවේදී මම රැවටීමේ ක්‍රියාන්විතයක් (mock landing) සැලසුමට ඇතුලුකිරීමට යෝජනා කලෙමි. එය පිළිගැනුණු අතර ඒ සදහා කණ්ඩුල මෙන් තුන්ගුණයකින් පමණ වේගයකින් යුක්ත වේග මගී ප්‍රවාහක යාත්‍රාවක් වූ එමෙන්ම දුරට කණ්ඩුල මෙන් පෙනෙන FPC යාත්‍රාවක් යොදා ගැනීමටද සැලසුම් කෙරිණ.

මුලතිව් හි හමුදා කඳවුර ඉතාමත් දුෂ්කර අවදානම් අවස්ථාවක ඇති නිසා, ක්‍රියාන්විතය හැකිතරම් ඉක්මනින් එනම් සාකච්ඡාවෙන් දින දෙකකට පසුව සිදු කිරීමට තීරණය කෙරිණ. මට මතක හැටියට ජෙනරාල් ජානක පෙරේරා ක්‍රියාන්විතය මෙහෙය විය. යුද්ධ ටැංකි දෙකක් හා යුධ භටයින් දාහක් පමණ රාත්‍රී අන්ධකාරයෙන්ම නැව් වලට ගොඩ කරන ලද්දේ මෙසේ ක්‍රියාන්විතයක් සිදුවනවා යැයි ත්‍රස්තවාදීන්ට දැනගැනීමට ඉඩ නොහැරීමටය.
 මෙහිදි ජානක පෙරේරා හැකිතාක් යුධ උපකරණ පලවෙනි රැල්ලේම ගෙන යාමට උත්සාහ කලද, නෞකාවල ඉඩ පහසුකම් සීමා තිබු හෙයින් තරමක ප්‍රශ්න ඇති විය. ජෙනරාල් ජානක පෙරේරාට එක් යම් විශේෂ වාහනයක් ගෙන යාමට ඕනෑකම තිබුනද, අපගේ යාමට ලෑස්තිව සිටි නෞකාවල එයට ඉඩක් නොතිබිණ. අපගේ සාකච්චාවෙන් පසු, ඔහු මාගේ ප්‍රධානියා හමුවීමට අවශ්‍ය බව මට කීවේය. අප දෙදෙන පයින්ම පිලෝහවුස් වෙතට ගියේ වාහනයකට එම පාරේ යන්නට බැරි තරමට නැව් වලට පැටවීමට හා ට්‍රැෆික් එකෙන් පිරී තිබුණු නිසාය. අප එහි ගිය පසු  නැගෙනහිර ආඥපතිවරයාගේ නිවසෙහි මේ පිලිබඳව ඇති වූ හදිසි සාකච්චාවකදී,
''
සර් මම කාමරවල ඉදලා යුද්ධ කරන බ්‍රිගේඩියර් කෙනෙක් නෙවෙයි. මම කැලේ යන බ්‍රිගේඩියර් කෙනෙක්,“
යනුවෙන් ජානක පෙරේරා එකල නාවික ආඥාපතිවරයාට කිවූ අන්දම මට මතකය.

කෙසේ හෝ රාත්‍රී 9 .00 පමණ විට ත්‍රිකුණාමලයෙන් පිටත් වූ අපි, පසු දින උදයේ එළිය වැටෙන විටම වගේ මුලතිව් නැම්මට සැතපුම් තුනක් පමණ නැගෙනහිරින් එකතු වූයෙමු. ඉන්පසු සාකච්ඡා කරගත් පරිදි FPC යාත්‍රාව වේගයෙන් වෙරළට බීච් කරන්නට මෙන් වෙරළ දෙසට ගමන් කරන්නට පටන් ගත්තේය. ඉන් පැය භාගයකට පසු FPC යාත්‍රාව එල්ල කරන ස්ථානයට  සැතපුම් හතරක් පමණ දකුණින්, ඇත්තෙන්ම බීච් කිරීම සැලසුම් කර තිබු ස්ථානයට මම කණ්ඩුල නෞකාව මෙහෙය වුයෙමි. යුධ ටැංකි සහා මුලින්ම අනෙකුත් භට පිරිස් ගොඩ බෑම සදහා ආරක්‍ෂිත වෙරලක් ස්ථාපිත කර ගැනීමට විශේෂ හමුදා ඒකකයන් කණ්ඩුල නෞකාවේ සැදී පැහැදී සිටියහ.

මීට පෙර ක්‍රියාන්විතයකදී ත්‍රස්තවාදීන්ගෙන් අල්ලන ලද VHF සන්නිවේදන උපකරණයක් අප නෞකාවේ තිබුණි. නැවේ ඉංජිනේරුවරයා වූ සුලු නිලධාරී මන්සූර් මඩකලපුවේ මුස්ලිම් ජාතිකයෙකු වූ හෙයින්, ඔහුට හොදින් දෙමළ භාෂාව හසුරු විය හැකි විය. වෙරළේ සිටි ත්‍රස්තවාදීන් රට ඇතුලේ තිබෙන LTTE කඳවුරු වලට සන්නිවේදනය කරනු අපට මෙම උපකරණයෙන් අසන්නට හැකි විය.

“ඉක්මනට RPG ගෘප් එක මෙතනට එවන්න, නේවි එකෙන් නැවක් ලඟට එනවා“ යැයි කියමින් කිහිප වතාවක්ම වෙරළේ සිට කණ්ඩායම උදවු ඉල්ලනු අපට ඇසුනි. FPC යාත්‍රාවට ඔවුන් රැවටී මෙලෙස අප සැලසුම් කර සිටි ස්ථානයට සැතපුම් හතරක් පමණ උතුරෙහි ස්ථානයකට ඔවුන් එකතු වෙමින් සිටින අවස්ථාවේ, කණ්ඩුල උපරිම වේගයෙන් සත්‍ය වශයෙන් බීච් කරන ස්ථානයට ලඟා විය. එවිට VHF උපකරණයෙන්,

“පාලම තියෙන නැව එන්නේ ගොඩක් පල්ලෙහින් RPG ගෘප් එතෙන්ට යවන්න“
 කියමින් ඔවූහූ කෑගසන්නට පටන් ගත්හ. කණ්ඩුලට සතුරන් පාලම තිබෙන නැව යැයි අප දැනගත්තේත් එදිනය.
දැන් ඔවුන්ට අපගේ රැවටීම තේරී ඇති බව අපට ප්‍රත්‍යක්ෂ විය. මේ වන විටත් වෙරළේ බැස්ම ගැන හෝ වෙරළේ ඇති ලොකු ගල් පිලිබඳව කිසිම දැනුමක් අපට නොතිබුණද, ,LTTE, RPG කණ්ඩායම් එතනට පැමිණීමට පෙර, හැකි වැඩිම වේගයෙන් හැකි තරම් මුහුදු පතුල ගැන පරික්ෂා යොදවා වෙරළට ගොස් නැවෙහි රෑම්ප් එක (පාලම වැනි උපකරණයක් ) වෙරළට පාත් කළෙමු. ඕනෑම සතුරාගේ බලයේ තිබෙන වෙරළක බීච් කරන යාත්‍රාවකට වැඩිම අවධානම තියෙන්නේ මේ අවස්ථාවේදීය.
එවිටම ඒ අසලට පැමිණි ත්‍රස්තවාදීන් විසින් කණ්ඩුල වෙත වෙඩි තැබීමට පටන් ගත් අතර, විශේෂ බලකායේ සොල්දාදුවන්ද නැවෙන් ගොඩට බසිමින් ත්‍රස්තවාදීන්ට වෙඩි තබමින්, බීච් එකෙහි ගොඩ පැත්තෙන් වැලිගොඩවල් දෙසට දිව ගොස් ඒවාට මුවා වී බීච් හෙඩ් එක ස්ථාපිත කිරීමට පටන් ගත්හ.

මේ අවස්ථාවේ නැව් බදටද වෙඩි කිහිපයක් වැදුනද, නැවෙහි ප්‍රධාන තුවක්කුවලින් සතුරන්ට වෙඩි තැබීමට මම මැලි වුයේ අප සොල්දාදුවන්ද වැලි ගොඩවල්වලට දිව යන අතර, ඔවුනටද එම වෙඩි වැදීමට ඉඩ ඇති බැවිනි.
 මෙම අවස්ථාවේදී නැවෙහි සිටි කර්නල් වරයා මට කියා සිටියේ, එසේ කල්පනා කලහොත් සතුරාගේ වෙඩි පහරින් අප සොල්දාදුවන්ගේ බොහෝ දෙනෙකුගේ ජිවිත හානි වීමට ඉඩ ඇති නිසා අප සොල්දාදුවන්ට සිදු විය හැකි අවධානම පිලි අරගෙන, වැලිගොඩවල් වල සිට පොයින්ට් .50 (අගල් ½) තුවක්කු වලින් වෙඩි තබන සතුරු වෙත, අපගේ නැවේ ප්‍රධාන අවි වලින් වෙඩි තබන ලෙසය. පැයක පමණ දරුණු සටන් වලින් පසුව, බීච් හෙඩ් එකක් ස්ථාපිත කර ගැනීමට යුධ හමුදාවට හැකිවිය. කිහිප වතාවක් අසල මුහුදේ සිටි අපගේ වෙනත් නැව් වලට ගොස් උපකරණ හා භට පිරිස්  ස්ථාපිත කරන ලද බීච්හෙඩ් එකට ගෙන ආවෙමි.
ජවනිකාවේ ප්‍රධාන නලුවා වීත් අනෙක් නැව් එකෙන් එක ආපසු ගිය පසුත්, තව දුරටත් එම ස්ථානයේ සිට බඩු අඳින්නට සිදුවීම උභය ක්‍රියාකාරි නැව් වල සිටින්නන්ට තිබෙන ලොකුම හිතේ අමාරුවය.  

දවසකට හෝ දෙකකට පසු ත්‍රස්තවාදීන් විසින් මාස ගණනක් වටකොට තබාගෙන තිබු (under siege ) මුලතිව් හමුදා කඳවුර නිදහස් කර ගැනීමට යුධ හමුදාව සමත් විය.

15 comments:

  1. ඔබට බොහොම ස්තූතියි. වෙන මොනවා කියන්නද? ජානක පෙරේරා සහ කොබ්බෑකඩුව වැනි වීරයන්ගේත් දායකත්වය සහ මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගය කවදාවත් මිල කල නොහැකියි. කර්නල් ලතීෆ් දිවි පූජා කලේත් මේ සටනේදී නේද?

    ReplyDelete
    Replies
    1. නැත. එය සිදු වුනේ 1999 වසරේදී. එහදි සදු වුනේ හෙලි කොප්ටර් මඟින් ගොඩ බැසීමක. ගුවන් හමුදා නියමුවා අදමදි කරන විට කර්නල් ලතිෆ් පිස්තෝලය ඔළුවට තබි අවශ්‍ය ස්තානයට ගොඩ බස්සයා ගත්තා කියලා කතාවකුත් කියෙනවා

      Delete
    2. මම කියන්නේ පැරශූට් මඟින් බැසීමේදී වෙඩි වැදුණු විශේශ කාර්‍ය බලකායේ එෆ්ටිනන්ට් කර්නල් ලාෆිර් , සමාවන්න ලතිෆ් නෙමෙයි.

      Delete
    3. කර්නල් ෆස්ලි ලාෆීර්.. ඒ සිදුවීම උනේ 1996 දී.. පුලුවන් උනොත් විස්තර ඇතුව ඒ ගැන පෝස්ට් එකක් දාන්නම්..

      Delete
  2. I am too bit confused , an officer with similar named related to Imitiaz died in Muttur operation, you are not referring to him ?

    ReplyDelete
    Replies
    1. Sorry sir ! I am referring to the Lieutenant Colonel A.F. Lafir of special forces

      Delete
  3. කලවැද්දාගේ කටට බෝම්බයක් බැඳගෙන පනින්න හිතෙනවා ... මේ කතා කියවන කොට. ඔබලා නිහඬ විරුවෝ.
    මගේ ප්‍රණාමය.

    ReplyDelete
  4. ඔබලාගේ නිර්භීතකම අපව ජීවත් කරයි.
    ජයවේවා..!!

    ReplyDelete
  5. මට හිත ගියෙම අන්තිම ටිකට.. ප්‍රදාන නලුවා වෙලත් අන්තිමට ආයේ කඩේ යන්න වෙනකොට.. :)))

    ඇම්ෆීබියස් ඔපරේශන් ගැන ඉගෙනගත්තට කවදාවත් එකකට සහභාගී වෙන්න වෙලා නෑ.. ස්තූතියි සර්!

    ReplyDelete
  6. සර් නිහඩ විරත්වය !!

    ReplyDelete
  7. ඔබගේ අත්දැකීම් පොතක් ලෙස ලියන්න / great story ++++++++

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මටත් හිතෙනව , නමුත් ආයෙ හිතෙනව හැම පෝස්ට් එකක්ම ලිව්වහමත් ඒ සතුටම එනව නේද , මොකටද පොත් අච්චු ගහන්ට කරදර වෙන්නෙ කියල

      Delete
  8. පැහැදිලිවම මේ අත්දැකීම් පොතකට ආයුතුමය ...... තවත් එක කෝණයකින් යුද්ධ අත්දැකීම් රටට ආයුතුව ඇත ....

    ReplyDelete

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...