Thursday, January 28, 2021

3 මහාවංශය 3

 




මේ අතර සිංහයා ආපසු ලෙනට පැමිණ, ඔහුගේ පවුලේ සාමාජිකයින් නොමැති බව දැක, බලවත් ශෝකයට පත්විය. ඌ කෑම බීම ප්‍රතික්ෂේප කලේය. ඌගේ දරුවන් සොයා, අසල ගම්මාන වලට පැමිණෙන්නට පටන් ගත්තේය. මෙම ගම්මාන වල වැසියන් භීතියට පත්ව, රජුට මේ පිලිබඳව දන්වා සිටියහ.

 

“මහ රජුනි, සිංහයෙකු ඔබගේ රාජ්‍ය  විනාශ කරයි. එයින් අපව වහාම බේරා දෙනු මැනව.” ඔවූහූ පැවසූහ.

 

 එහෙත් රජුට සිංහයා එලවා දැමීමට, හැකි පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වූ නිසා, ඒ සඳහා යැවීමට, පුද්ගලයෙකු සොයා ගැනීමට, අලියෙකුගේ පිටේ මසුරන්  දහසක් තබා,

 

 “සිංහයා අල්ලා රැගෙන එන කෙනෙකුට, මෙම මසුරන්  දහස ත්‍යාග  වනු ඇත.”

යනුවෙන් ප්‍රසිද්ධ කලේය.

 

 කිසිවෙකු ඉදිරිපත් නොවුනු නිසා රජු තෑගි මුදල 2000 සහ 3000 දක්වා ක්‍රමයෙන් වැඩි කලේය. සිංහබාහු මේ සඳහා ඉදිරිපත් වීමට උත්සාහ කලද ඔහුගේ මව මුල් දෙවතාවේදී ඔහුට ඉදිරිපත් වීමට ඉඩ දුන්නේ නැත. තෙවැනි වර ඔහු මවට නොදන්වා ඉදිරිපත් වී තමන්ගේම පියා මරා දැමීමට පොරොන්දු වී, රන් කහවනු 3000 ලබා ගත්තේය.

 

රාජ පුරුෂයෝ තරුණයා රජු බැහැ දැකීමට රැගෙන ගියහ.

 

“ඔබ සිංහයා විනාශ කලහොත් මම ඔබට මගේ රාජHම දෙන්නෙමි,” රජු ඔහුට පොරොන්දු විය[1].

 

සිංහබාහු දුනු ඊතල ගෙන ගල් ගුහාව වෙත ගියේය. ඔහු දැක සිංහයා ඔහුට ඇති ආදරය නිසා ඔහු වෙතට පැමිණෙන්නට පටන් ගත්තේය. කුමරු සිංහයා වෙත ඊතලයක් විද්දේය. හාස්කම් කිහිපයකින් පසු  විදින ලද ඊතලය සිංහයාගේ ශරීරය පසාරු කරගෙන ගොස් ඌ මරණයට පත් කලේය. සිංහබාහු කේශර සහිත සිංහ ඔලුව රැගෙන ආපසු අගනුවරට පැමිණියේය. ඔහු ආපසු අගනුවරට පැමිණෙන විට මහ රජු මියගොස් සත් දිනක් ගතවී තිබිණ.

 

 සිංහබාහුගේ වීර ක්‍රියාව නිසා සහ ඔහු මියගිය රජුගේ මුනුබුරා බවත් දැනගත් පසු මහ රජුට පිරිමි දරුවන් නොසිටි බැවින්, ඇමති මංඩලය සිංහබාහු ගෙන්  වගු රටෙහි රජකම බාර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

 

ඔහු රජකම බාරගෙන එය තමන්ගේ මවගේ ස්වාමියාට ලබා දී, සිංහසීවලී සොහොයුරියද රැගෙන තමන් උපන් වනයට ගියේය. ඔහු එහි සිංහපුර නමින් නගරයක් ඉදිකලේය. එම නගරය වටා යොදුන් සියයක දුරට ජනාවාස ඇති කලේය. එම ලාල රටෙහි පිහිටි සිංහපුර නගරයෙහි සිට තම රට පාලනය කල සිංහබාහු, සිංහසීවලී ඔහුගේ මෙහෙසිය කර ගත්තේය. ඔහුගේ මෙහෙසිය 16 වරක් නිවුන් පිරිමි දරුවන් බිහි කලාය. වැඩිමලා විජය ලෙසද, දෙවනියා සුමිත්ත ලෙසද, නම් කරන ලදි. නිසි වයසට පැමිණි පසු මහ රජු, විජය කුමරු යුව රජ බවට පත් කලේය.

 

විජය කුමරු ඉතා නොහික්මුනු දාමරික ගති ඇති  පුද්ගලයෙකු විය. ඔහු, ඔහුගේ අනුගාමිකයන් සමඟ රටේ ජනයාට නොයෙකුත් කරදර කලේය. කෝපයට පත් ජනයා රජු වෙත පැමිණ මේ පිලිබඳව රජුට පැමිණිලි කලහ. රජතුමා පිරිස සන්සුන් කර යවා විජය හා අනුගාමිකයන්ට තදින් අවවාද කලේය. මෙලෙස තෙවරක් අවවාද කලද විජය කුමරු නැවත නැවතත් පරණ පුරුදු ලෙසටම නොකටයුතුකම් කරනු ඉවසනු බැරි ජනයා රජු වෙත හතරවෙනි වරටත් පැමිණ,

 

“ඔහු දුසිරිතෙන් මිදෙන්නේ නැත. ඔහු ජීවිතක්ෂයට පත් කරනු මැනවි” යනුවෙන් රජුගෙන් ඉල්ලා සිටියහ.

 

රජු, විජය සහ ඔහුගේ අනුගාමිකයන් හත්සීය දෙනෙකු හිස අඩක් මුඩු කොට[2] නැවකට නංවා මුහුදට යැවීය. එලෙසම එම පිරිසේ බිරින්දෑවරුන් එක් නැවකටද, දරුවන් තවත් නැවකටද දමා පා කර හැරියේය. දරුවන් සිටි නැව හා බිරින්දෑවරුන් සිටි නැව වෙන වෙනම දූපත් දෙකකට සේන්දු වූ අතර, දරුවන් පැමිණි දූපත පසුව නග්නද්වීප යනුවෙන්ද, කාන්තාවන් පැමිණි දිවයින මහිලා ද්වීප යනුවෙන්ද ප්‍රසිද්ධ විය. විජය කුමරු රැගත් නැව සුප්පාරක වරායට[3] පැමිණියද, එහිදීද ඔහුගේ අනුගාමිකයන්ගේ නොමනා හැසිරීම නිසා එම ස්ථානයෙන්ද නැවත නැව් නැඟ පිටවිමට සිදුවිය.

 

 

 

 

විජය කුමරු තම අනුගාමිකයන් සමඟ බුදු රජුන් සල් ගස් දෙක මැද පරිනිර්වාන සිදු වූ දිනයේ, ශ්‍රී  ලංකාවේ තම්බපන්නී නම ස්ථානයට ගොඩ බැස්සේය[4].

 

 


                                             

                 

 

 

 



[1] රජයට විරුද්ධව කැරැල්ලක් ඇති වූවේදැයි සැක සිතන්නටද  පුලුවන. 

[2] මෙයින් අදහස් වන්නේ නිදහස නැති බවයි, වහලෙකු හා සමාන බවයි.

[3] වර්තමාන මුම්බායි නගරයට උතුරින් පිහිටි ඉන්දියාවේ තාන දිස්ත්‍රික්කයේ දැන් සෝපාර නම් වන එකල සුප්පාරක වරාය. 

[4]  ඉන්දියානු අර්ධද්වීපයේ දකුණු කෙලවර පසුකරනතෙක් දකුණට පැමිණ ආපසු ඊසාන දෙසට හැරී  මන්නාරම පැත්තට ගමන් කිරීමෙන් මෙය අහඹු ගමනකට වඩා සැලසුම් කල ගමනක් ලෙස පෙනේ.


Monday, January 25, 2021

නැගෙනහිර පර්යන්ත කළමනාකරණය ඉන්දියාවට දිය යුතුද ?

 


මේ දවස්වල නිතරම අහන්නට දකින්නට ලැබෙන නැගෙනහිර පර්යන්තය ගැටලුව පිළිබඳව මගේ අදහස් ප්‍රකාශ කිරීමට, මට වගකීමක් තිබෙන බව මම කල්පනා කරමි. ඒ දශක තුනකටත් වැඩි කාලයක් මා නාවික හමුදාවේ සේවය කර ඇති නිසාත්, ඉන් පසුව මේ දක්වාත් නොයෙකුත් සාගර ව්‍යාපාරයන්හි යෙදෙන සමාගමක උපදේශක වරයෙක් වශයෙන් සේවය කරන නිසාත්ය. මෙසේ ලිවීමේ  අදහස මගේ සිතට පැමිණියේ දැනට මාසයකට පමණ පෙර වුවත්, වැඩ කිහිපයක් තිබුන හෙයින් සහ මේ දවස්වල ලියන්නට යම් කම්මැලිකමක් තිබුන හෙයින්; සමහරවිට writers blog එකක් විය හැක, දිනෙන් දින මෙය කල් දැම්මෙමි.

කොළඹ වරාය ආසියාවේ වරාය වලින් ඉතාමත් වැඩ අධික වරායකි. ජීවිතයේ අනෙක් බොහෝ දේවල් මෙන් නොව වැඩ අධික වීම වරායකට හොඳ දෙයකි, එසේම මේ වරායේ ගොඩබාන සහ පටවන කන්ටේනර් වලින් වැඩි හරියක් අපේ රට ඇතුලට ගෙනෙන හෝ අපේ රටින් පිටතට යවන බඩු භාහිරාදිය නොවේ. කොළඹ වරායට එන සහ යන කන්ටේනර් වලින් 80% පමණ අප අසල්වැසි රටවලට පැමිණෙන සහ ඒවායෙන් පිටවන කන්ටේනර් වෙයි. එසේ වෙනත් රටවල් වලින් සහ ඒවා සඳහා පැමිණෙන කන්ටේනර් විශාල නෞකාවලින් කොළඹට ගෙනවිත් දමා, එම රටවලින් අපනයනය සඳහා එවා ඇති කන්ටේනර් රැගෙන පිටව යයි. කොළඹ වරායේ සිට මෙම කන්ටේනර් එසේත් නැත්නම් බහලුම් කුඩා නෞකාවල ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය සහ නැගෙනහිර අප්‍රිකාවේ රටවල් වලට රැගෙන යනු ලැබේ.

මෙලෙස හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමෙන් කොළඹ වරාය රටට අති විශාල අදායමක් ලබාදෙන බව පැහැදිලිය. කොළඹ වරාය මෙලෙස කලාපයේ ප්‍රධාන හුවමාරු වරායක් බවට පත් වුයේ කෙසේද? ඒ කරුණු කිහිපයක් නිසාය. එය ඇත්තෙන්ම දකුණු ආසියාවේ විශාලතම සහ වැඩියෙන්ම බහලුම් ගොඩබාන සහ පටවන වරායයි. එතරම් විශාල ඉන්දියාවේ වත් කොළඹ වරාය තරම් බහලුම් හසුරුවන වරායක් නොමැති වීමෙන්ම, මේ වරාය කොතරම් වැදගත් වරායක් දැයි පැහැදිලි වෙයි.

කොළඹ වරාය මේ තරම් වැදගත් ස්ථානයකට පත් වීමට හේතු මොනවාද?

1. 1980 මුල් කාලයේම වාගේ අප විසින් බහලුම් කොළඹ වරායේ ඇති කිරීම - බහලුම් වලින් භාණ්ඩ රැගෙන යාම හරියට පටන් ගැනුනේ හැත්තෑ ගණන් වලය.

2. ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවේ පිහිටීම - ඉන්දියානු සාගරයේ මැද හරියේ පිහිටීම නිසා  කලාපයේ ඕනෑම රටකට කිට්ටුවෙන් පිහිටා තිබීම.

3. ලෝකයේ ප්‍රධාන නාවික මාර්ගයක් වන ඉන්දියානු සාගර වෙළෙඳ නාවික මාර්ගය අසලින්ම පිහිටා තිබීම.

4. කොළඹ වරායේ කාර්යක්ෂමතාවය, කලාපයේ අනෙකුත් කාර්යක්ෂමතාවයට වඩා වැඩිවීම - පැයකට ක්රේන් එකකින් සිදුකරන ක්‍රියාකාරකම් ගණන බහලුම් වරායක කාර්යක්ෂමතාවය බලාගන්නා ප්‍රධාන මිම්මකි. ආසියාවේ මේ අතින් ඉහලින්ම සිටින්නේ චීනයේ ට්‍රැන්ජින් වරායයි. එහි දොඹකරයක් සඳහා පැයකට චලන 127 කි. කොළඹ SAGT බහලුම් මධ්‍යස්ථානයේ මේ ගණන 111 කි. රජයෙන් කළමනාකරණය වන ජයා බහලුම් මධ්‍යස්ථානයේ එම චලන ගණන 63 ක් යයි ගණන් බලා තිබේ. ඉන්දියානු වරාය වල මෙම චලන ගණන 30 ක් පමණ වෙයි.

5. වරායවල වෘතීය සමිතිවල ක්‍රියාකාරකම්ද විශාල වෙළෙඳ නැව් සමාගම් තම නෞකා යම් වරායකට එවීමේදී සලකා බලනු ලබයි. මේ අතිනුත් කොළඹ වරාය බොහෝ කලාපීය වරායන් සහ සසදන කල ඉහල ආකර්ෂණයක් ලබා ගනී.

කුමක් නිසා සිදුවුවද කලාපිය බලවතකු වන තමන්ගේ රටේ  වෙළඳාමෙන් 60% ක් පමණ, තමන් අසල පිහිටි කුඩා රටක් හරහා සිදුවනවා දැකීමට ඉන්දියාව කැමති යයි සිතන්නට නුපුළුවන. එපමණක් නොව මෙම අතරමඟ හුවමාරුවෙන් ඉන්දියාවේ වෙළඳාමට සිදුවන වාර්ෂික පාඩුව ඩොලර් මිලියන 300 ක් පමණ වෙයි. මේ මුදල කෙලින්ම ලැබෙනුයේ ලංකාවටය.  ඒ සියල්ලටම වඩා මෙය මෝඩිගේ සාගර්මාලා ව්‍යාපෘතියටද මෙය වස ලැජ්ජාවකි. චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතියට තරඟයක් දෙන්නට සාගර්මාලා හඳුන්වාදුන් රටට, තමන්ගේ රටේ වෙළඳාමෙන් වැඩි හරියක් කරගන්නට සිදුවී ඇත්තේ වෙනත් රටක් හරහා වීමෙන්ම, සාගර්මාලා ව්‍යාපෘතියේ ඇති පිළිගැනීමට මහත් අඩුවක් සිදුවන බව නොකිවමනාය.

ඉන්දියාවේ වරායන් පිළිබඳව තත්වය කුමක්ද? මීළඟ ලිපියෙන්

Tuesday, January 19, 2021

යහපත් නාවිකයන් සහ කොවිඩ් වසංගතය

 මම 2013 නාවික හමුදාවෙන් විශ්‍රාම ගත් දා සිටම ඇවන්ගාඩ් මැරිටයිම්  සමාගමේ සේවය කරමි. මම එහි සේවය කිරීමෙන් වැඩියෙන්ම සතුටක් ලබන්නේ සමාගමේ නව ව්‍යාපාරයන් සඳහා දක්වන උනන්දුවත්, ඒ ව්‍යාපාර පටන් ගැන්ම සහ වැඩි දියුණුව සඳහා දරන ඉතා වේගවත් එමෙන්ම  කිසිම බාධකයක් ගණන් නොගන්නා වූ වේගවත් ගමන් කිරීමයි.


මාගේ සේවය අවශ්‍ය වූ විට පමණක් කොළඹට පැමිණෙන මට, මෙවර එහි සභාපති වරයාගේ ඇමතීම ලැබුණේ විශේෂ වූ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා වට කිහිපයකට පැමිණෙන ලෙසටය. මම සෙනසුරාදා උදේ නමයට ගෙදරින් පිටත් වූ අතර 12.30 වන විට සභාපතිවරයාගේ නිවසට පැමිණියෙමි. එදින සාකච්ඡා අවසන් වන විට 2300 පැය වූ අතර, මෙවර අත ගසන්නට තීරණය කර ඇති ව්‍යාපාරය ලෝකයේ කොතැනකවත් කවරදාකවත් නොකෙරුණු ව්‍යාපාරයක් වන අතර, ඒ නිසාම මට ඒ පිළිබඳ ලියන්නට සිත් විය.


මේ පිළිබඳ අදහස අප මිත්‍ර ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට ඔළුවට වැටී ඇත්තේ සිද්ධි දෙකක් නිසාය. එයින් පළමුවැන්න එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සැසිවාරයේදී පසුගිය දෙසැම්බර් විසි එක් වන දින ගන්නා ලද තීරණයක් කියවන්නට ලැබීමය. යුධ හමුදා නිලධාරියකු වුවද මහ සයුර සහ එහි සිදුවන දෑ පිළිබඳව ඉතාමත් විමසිල්ලෙන් පසුවන නිස්සංක, මේ සැසිවාර යෝජනාව හොඳින් හදාරා සිහියේ තබා ගත්තේය. ඒ යෝජනාවෙන් කියවුනේ වෙළඳ නෞකාවල සේවය කරන නාවිකයන් අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා, සෑම සාමාජික රාජ්‍යයක්ම මේ කෝවිඩ් වසංගතය කාලයේ ඔවුනට උදව් කළ යුතු බවය. මෙවැනි යෝජනාවකට ප්‍රධානතම හේතුව වූයේ නාවික වෙළඳාම පෘථිවියේ ජීවත්වන සියල්ලන්ටම ඉතාමත් වැදගත් කාරණයක් නිසාය. ලෝකයේ සිදුවන වෙළඳාම් වලින් සියයට හැත්තෑවක් සිදුවන්නේ මහා සාගරය හරහා යැයි කීමෙන්ම, නාවික ගමනාගමනය ලෝකයට කොතරම් වැදගත් දැයි අපට සිතාගත හැකිය.


මේ නව ව්‍යාපාරයට තුඩුදුන් අනික් කාරණය වන්නේ කෝවිඩ් වසංගතය පැතිරීමෙන් පසු, ලෝකයේ නොයෙකුත් රාජ්‍යවලින් වෙළඳ නෞකාවලට සහ එහි සේවය කරන්නන්ට පනවා ඇති නොයෙකුත් සීමාවන්ය. යම්  නැවක කෝවිඩ් සෑදුනු නාවිකයෙකු සිටින බව දැනගන්නට ලැබුණු විට, එම නෞකාවට වරායකට ඇතුළු වීමට ඉඩ නොදීම මෙම සීමාවන්ගෙන් එකකි. මේ දිනවල මෙවැනි නෞකාවක් කරගන්නට දෙයක් නොමැතිව මහමුහුදේ ඉබාගාතේ හැසිරෙන බවට නිශ්ශංකට දැනගන්නට ලැබිණ. ඒ මෙම නව ව්‍යාපාරය පටන් ගැනීමට උත්සුක වීමට තුඩුදුන් දෙවැනි කාරණයයි.


මේ මෙම කරදරයට පත් වුණ පළමුවැනි නැව වුවද, තවත් බොහෝ නැව් අනාගතයේදී මෙලෙස යාමට වරායක් නොමැතිව මහ මුහුදේ අතරමං වන තත්වයට ඒමට පුළුවන් බව පැහැදිලිය. යහපත් නාවිකයකු ලෙස මෙලෙස සහෝදර නැවියන් කරගන්නට දෙයක් නොමැතිව මහා මුහුදේ අතරමං වී සිටීම බලා සිටීමට නොහැකි කාරණයකි. එලෙසින්ම අප රටද මහා සාගරයේ නැගෙනහිර බටහිර යාකරණ ප්‍රධාන මුහුදු මාර්ගයක වැදගත් සන්ධිස්ථානයක පිහිටි රටකි. මේ නිසා මෙවැනි අසීරු අවස්ථාවකදී නාවික වෙළඳාම සහ ගමනාගමනය කරදරයකින් බේරා ගැනීමට ඉදිරිපත් වීම එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස පමණක් නොව, භූගෝලීය වශයෙන් ලෝකයේ ප්‍රධාන මුහුදු මාර්ගයක වැදගත් සන්ධිස්ථානයක සිටින අප රටට ඇති අතිශය වැදගත් වගකීමකි.


මෙවැනි වගකීමක් පැහැර හැරියා යයි පසු කලෙක කිසි කෙනෙකුට අපට වරදක් පටවන්නට නොහැකිය. නමුත් එවැනි අවස්ථාවක් තිබියදීත් අප එය නොකළ සිටි බව නිසා අපට පසුතැවීමෙන් වැළකී සිටීමටද නොහැකිය. ඒ අතරම මෙවැනි අවස්ථාවක නව චින්තනයකින් සහ එඩිතරකමකින් යුක්තව මෙවැනි ප්‍රශ්නයකට විසඳීමට උදව් කිරීමට ඉදිරිපත් වුවහොත්, එය අපේ රටට අන්තර්ජාතික සාගරික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීමට ලැබෙන බලවත් රුකුලක් වෙන්නට පුළුවන, එසේ වීම අනිවාර්යය.




දැන් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම පටන්ගැනීමට සැලසුම් කරන්නේ එවැනි ව්‍යාපෘතියකි.


මෙලෙස නැවක කොවිඩ් පරීක්ෂාවෙන් positive වූ රෝගියකු සිටින බව දැනගත් විට, එම නැවට වරායකට යාමට නොහැකි නිසා රෝගියා නැවෙන් ඉවත් කර නැවත තමන්ගේ පැමිණි කාර්යය ඉටුකර ගැනීමට හා එම රෝගියාට ප්‍රතිකාර ලබා දීමට ක්‍රමයක් නැත්තේය.

එම රෝගියා නැවෙන් ඉවත් කර නැවේ ඔහු සමග සිටි අනෙකුත් කාර්ය මණ්ඩලයට රෝගය තිබෙනවා දැයි පරික්ශා කර, එසේ රෝගය ඇති කෙනෙකු සිටින්නේ නම් ඔවුන්ද ඉවත් කර, නෞකාව විෂ බීජ හරනයකට පාත්‍ර කර අඩු වූ කාර්ය මණ්ඩලයට සුදුසුකම්ලත් වෙනත් අය යොදවා නෞකාවට නැවත ගමන් ආරම්භ කිරීමට ඉඩ සලසා දීමට හැකියාවක් ලබා දීමට නම්, ඒ සඳහා ඉතාමත් සංකීර්ණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුය.


මේ සඳහා සියලු පහසුකම් වලින් යුත් පාවෙන ආරෝග්‍ය ශාලාවක් ඇති කළ යුතුය. ඒ මෙලෙස සොයා ගන්නා කොවිඩ් රෝගීන් ගොඩබිමට ගෙන ඒම කළ නොහැකි නිසාය .එය නෞකා වලදී හඳුනාගන්නා කොවිඩ්  රෝගයෙන් පෙළෙන වෙළඳ  නාවිකයන්   නවතාගෙන ප්‍රතිකාර කිරීමට ය . මෙම නෞකාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සිටිය යුතුය . සමහර විට අප කුඩා කාලයේ අසා තිබූ හෝප් ආරෝග්‍යශාලා නෞකාවෙන් පසු පමණ ආරෝග්‍ය ශාලාවක් ලෝකයේ ඇතිවන ඇති වන පළමු අවස්ථාව මෙය විය යුතුය . 

එලෙසම මෙම නෞකාවේ සේවය ලබාගැනීම සඳහා වෙළඳ නෞකා වලට ඉඩ ලබාදීමට යම් රක්ෂණ ක්‍රමයක් වැනි ක්‍රමයක් ද ඇති කළ යුතුය . ඒ පිළිබඳව එම සමාගම් දැනුවත් කළ යුතුය . 

මේවා බොහෝ බොහෝවිට බොහෝවිට ලෝකේ මුල්වරට සිදුවන දේවල් නිසා සමාගම් දැනුවත් කරනවා පමණක් නොව ඔවුනට ඒ පිළිබඳව විශ්වාසයක් ද ඇති කළ යුතුය . 

මේ සියල්ල සඳහා විශාල මුදලක් වැය කළ යුතු වන්නේ ය . 

කවදාවත් නොකළ ව්‍යාපාර නිසා එවැනි ව්‍යාපාර සඳහා සැලසුම් කිරීමේදී මීට පෙර සිදු වූ දෑ අනුව වැඩ කිරීමටත් නො හැකිය . සෑම දෙයක්ම අලුතින් සිදු කළ සිදු කළ යුතු අතර සැලසුම් කළ යුත්තේ ද උදාහරණ කිසිවක් දෙස බලාගෙන නොවේ , මක් නිසාද එසේ ඉගෙන ගැනීමට මීට පෙර සිදු වූ මේ ආකාර  කිසිවක් නොමැති නිසාය .

මෙය සඳහාම සැලසුම් කළ නැව් චාර්ටර් කිරීම සඳහා වෙළඳපොලේ නැත්තේය . ඒ සඳහා අලුතෙන්ම වෙනත් කාර්යයක් සඳහා සැලසුම් කළ නැවක් ලබාගෙන එය ආරෝග්‍ය ශාලාවක් ලෙස පවත්වා ගැනීමට හැකි පරිදි වෙනස් කළ යුතුය.  

මෙහි වැදගත්ම කාරණය වන්නේ සියලු කටයුතු මාසයක් ඇතුලත පත් අඩු තරමින් අවසන් කිරීමට සිදුවීමයි . මක්නිසාද , මෙවැනි ව්‍යාපාර දීර්ඝ කාලයක් පවත්වාගෙන යා හැකි ඒවා නොවීමය.........දෙවැනි කොටස 

හොරගල් ඇහිලීම

 මම සාමාන්‍යයෙන් අටේ නමේ වගේ පන්තිවල ඉගෙන ගනිද්දී, අපේ ඉස්කෝලේ කුමක් හෝ විශේෂ වැඩක් නිසා එදා පාසල ඉක්මනින්ම අවසන් විය. අනපේක්ෂිතව ලැබුණු මේ ...