මේ දවස්වල නිතරම අහන්නට දකින්නට ලැබෙන
නැගෙනහිර පර්යන්තය ගැටලුව පිළිබඳව මගේ අදහස් ප්‍රකාශ කිරීමට, මට වගකීමක් තිබෙන බව
මම කල්පනා කරමි. ඒ දශක තුනකටත් වැඩි කාලයක් මා නාවික හමුදාවේ සේවය කර ඇති නිසාත්,
ඉන් පසුව මේ දක්වාත් නොයෙකුත් සාගර ව්‍යාපාරයන්හි යෙදෙන සමාගමක උපදේශක වරයෙක්
වශයෙන් සේවය කරන නිසාත්ය. මෙසේ ලිවීමේ අදහස මගේ සිතට පැමිණියේ දැනට මාසයකට පමණ පෙර
වුවත්, වැඩ කිහිපයක් තිබුන හෙයින් සහ මේ දවස්වල ලියන්නට යම් කම්මැලිකමක් තිබුන
හෙයින්; සමහරවිට writers blog එකක් විය හැක,
දිනෙන් දින මෙය කල් දැම්මෙමි.
කොළඹ වරාය ආසියාවේ වරාය වලින් ඉතාමත් වැඩ
අධික වරායකි. ජීවිතයේ අනෙක් බොහෝ දේවල් මෙන් නොව වැඩ අධික වීම වරායකට හොඳ දෙයකි,
එසේම මේ වරායේ ගොඩබාන සහ පටවන කන්ටේනර් වලින් වැඩි හරියක් අපේ රට ඇතුලට ගෙනෙන හෝ
අපේ රටින් පිටතට යවන බඩු භාහිරාදිය නොවේ. කොළඹ වරායට එන සහ යන කන්ටේනර් වලින් 80%
පමණ අප අසල්වැසි රටවලට පැමිණෙන සහ ඒවායෙන් පිටවන කන්ටේනර් වෙයි. එසේ වෙනත් රටවල්
වලින් සහ ඒවා සඳහා පැමිණෙන කන්ටේනර් විශාල නෞකාවලින් කොළඹට ගෙනවිත් දමා, එම
රටවලින් අපනයනය සඳහා එවා ඇති කන්ටේනර් රැගෙන පිටව යයි. කොළඹ වරායේ සිට මෙම
කන්ටේනර් එසේත් නැත්නම් බහලුම් කුඩා නෞකාවල ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය සහ
නැගෙනහිර අප්‍රිකාවේ රටවල් වලට රැගෙන යනු ලැබේ.
මෙලෙස හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමෙන්
කොළඹ වරාය රටට අති විශාල අදායමක් ලබාදෙන බව පැහැදිලිය. කොළඹ වරාය මෙලෙස කලාපයේ ප්‍රධාන
හුවමාරු වරායක් බවට පත් වුයේ කෙසේද? ඒ කරුණු කිහිපයක් නිසාය. එය ඇත්තෙන්ම දකුණු
ආසියාවේ විශාලතම සහ වැඩියෙන්ම බහලුම් ගොඩබාන සහ පටවන වරායයි. එතරම් විශාල
ඉන්දියාවේ වත් කොළඹ වරාය තරම් බහලුම් හසුරුවන වරායක් නොමැති වීමෙන්ම, මේ වරාය
කොතරම් වැදගත් වරායක් දැයි පැහැදිලි වෙයි.
කොළඹ වරාය මේ තරම් වැදගත් ස්ථානයකට පත් වීමට
හේතු මොනවාද?
1. 1980 මුල් කාලයේම වාගේ අප විසින් බහලුම්
කොළඹ වරායේ ඇති කිරීම - බහලුම් වලින් භාණ්ඩ රැගෙන යාම හරියට පටන් ගැනුනේ හැත්තෑ
ගණන් වලය.
2. ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවේ පිහිටීම -
ඉන්දියානු සාගරයේ මැද හරියේ පිහිටීම නිසා කලාපයේ
ඕනෑම රටකට කිට්ටුවෙන් පිහිටා තිබීම.
3. ලෝකයේ ප්‍රධාන නාවික මාර්ගයක් වන
ඉන්දියානු සාගර වෙළෙඳ නාවික මාර්ගය අසලින්ම පිහිටා තිබීම.
4. කොළඹ වරායේ කාර්යක්ෂමතාවය, කලාපයේ අනෙකුත්
කාර්යක්ෂමතාවයට වඩා වැඩිවීම - පැයකට ක්රේන් එකකින් සිදුකරන ක්‍රියාකාරකම් ගණන
බහලුම් වරායක කාර්යක්ෂමතාවය බලාගන්නා ප්‍රධාන මිම්මකි. ආසියාවේ මේ අතින් ඉහලින්ම
සිටින්නේ චීනයේ ට්‍රැන්ජින් වරායයි. එහි දොඹකරයක් සඳහා පැයකට චලන 127 කි. කොළඹ
SAGT බහලුම් මධ්‍යස්ථානයේ මේ ගණන 111 කි. රජයෙන් කළමනාකරණය වන ජයා බහලුම් මධ්‍යස්ථානයේ
එම චලන ගණන 63 ක් යයි ගණන් බලා තිබේ. ඉන්දියානු වරාය වල මෙම චලන ගණන 30 ක් පමණ
වෙයි.
5. වරායවල වෘතීය සමිතිවල ක්‍රියාකාරකම්ද
විශාල වෙළෙඳ නැව් සමාගම් තම නෞකා යම් වරායකට එවීමේදී සලකා බලනු ලබයි. මේ අතිනුත්
කොළඹ වරාය බොහෝ කලාපීය වරායන් සහ සසදන කල ඉහල ආකර්ෂණයක් ලබා ගනී.
කුමක් නිසා සිදුවුවද කලාපිය බලවතකු වන
තමන්ගේ රටේ වෙළඳාමෙන් 60% ක් පමණ, තමන්
අසල පිහිටි කුඩා රටක් හරහා සිදුවනවා දැකීමට ඉන්දියාව කැමති යයි සිතන්නට නුපුළුවන.
එපමණක් නොව මෙම අතරමඟ හුවමාරුවෙන් ඉන්දියාවේ වෙළඳාමට සිදුවන වාර්ෂික පාඩුව ඩොලර්
මිලියන 300 ක් පමණ වෙයි. මේ මුදල කෙලින්ම ලැබෙනුයේ ලංකාවටය. ඒ සියල්ලටම වඩා මෙය මෝඩිගේ සාගර්මාලා ව්‍යාපෘතියටද
මෙය වස ලැජ්ජාවකි. චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතියට තරඟයක් දෙන්නට සාගර්මාලා
හඳුන්වාදුන් රටට, තමන්ගේ රටේ වෙළඳාමෙන් වැඩි හරියක් කරගන්නට සිදුවී ඇත්තේ වෙනත්
රටක් හරහා වීමෙන්ම, සාගර්මාලා ව්‍යාපෘතියේ ඇති පිළිගැනීමට මහත් අඩුවක් සිදුවන බව
නොකිවමනාය.
ඉන්දියාවේ වරායන් පිළිබඳව තත්වය කුමක්ද?
මීළඟ ලිපියෙන්
No comments:
Post a Comment