Saturday, January 2, 2021

ඉතිහාසය සඳහා විස්තර සහිත මහාවංශය 01

 

                                            පෙරවදන

 

ජාතියකට සහශ්‍ර දෙකකටත් වඩා පැරණි ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන්නට හැකියාවක් ඇත්තේ  කලාතුරකිනි. චීනය සහ අප මෙවැනි ඉතිහාසයකට උරුමකම් කියන ජාතීන් දෙකකි. එහෙත් අප බොහෝ දෙනෙකුට, අපේ මහාවංශය කියවන්නට ගියවිට එහි ඇති බර වචන සහ අතිශයෝක්තියෙන් කෙරෙන විස්තර කිරීම් නිසා කියවීමට අපහසු වෙයි.

මම මෙම දුෂ්කරතාවයට කුඩා කලද වැඩිහිටියෙකු වූ පසුද කිහිප වතාවක් මුහුණ දුන්නෙමි. ඒ නිසාම මහාවංශය සරල කර ඉතිහාසයට උනන්දුවක් දක්වන්නන් සඳහා ලියන්නේ නම් හොඳ යැයි සිතුනි. අවුරුදු ගණනක් හදිසියක් නොමැතිව කරගෙන ගිය මෙම පොතට වරින් වර නොයෙකුත් විශ්ලේෂණ යනාදිය එකතු කලෙමි.

 කුඩාකල සිට මා ඉතිහාසය දෙසට හා පොත් කියවීමට නැඹුරු කල මගේ මව වූ පාඨශාලාචාරිනි සෝමා කුමාරි හේරත් ගෞරවයෙන් සිහි කරන අතර පොත ලිවීමේදී මට උදව්කල මගේ බිරිඳ ඉන්දිරා ඇලිකේවෙල, සමන්තා සහ කුසලා ඉලංගකෝන් සහ කවරය ඉතා උනන්දුවෙන් කරදුන් පුත්  ගෙහාන් කෞශාල්ට මගේ බලවත් ස්තුතිය පළකරන්නෙමි.

මෙම පොතට චිත්‍ර කිහිපයක් යෙදුවහොත් අගනේය යැයි සිතු මම චිත්‍ර ඇඳීම සඳහා කෙනෙකු සොයමින් සිටින විට මගේ පාසල් මිත්‍ර උපනන්ද කරුණාරත්න, ප්‍රවීන පොත් කතුවරයෙකු සහ ගායකයෙකු වන භද්‍රජි මහින්ද ජයතිලක මට සම්බන්ධ කළේය. ඔහු දින කිහිපයකින් ඇඳ එවූ චිත්‍ර, ඔහුගේ ඒ අංශයේ හැකියාවන් මා පුදුමයට පත්කළේය. ඔහුට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි.

 

ලක්ෂ්මන් ටි බි ඉලංගකෝන්

RSP***,VSV, USP, ndc, psc, MSc

l.illangakoon@gmail.com

 

 

                                                                     

 

 

 

 

                                                       හැඳින්වීම.

 

මහා වංශය ශාසන ඉතිහාසය සහ රාජ්‍ය ඉතිහාසය ලේඛන ගත කරන ලද කාව්‍ය සංග්‍රහයකි. මෙය ලියා ඇත්තේ පාලි[1] භාෂාවෙනි. මෙය ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා ගත් විට ක්‍රිස්තු පූර්ව 543 විජය රජ කාලයේ සිට ක්‍රිස්තු වර්ෂ 304 මහසෙන් රජු දක්වා දිවෙයි.

මෙහි පරිච්ඡේද පලමු වැන්නේ සිට පහ දක්වා ඉන්දියාවේ බුද්ධාගමේ ඉතිහාසය, බුදුරදුන්ගේ පිරිනිවන් පෑමේ සිට තුන්වෙනි ධර්ම සංගායනාව අවසන් වෙන තෙක් ඇතුලත් වෙයි.

අනුරාධපුරයේ මහා විහාරයේ ක්‍රිස්තු පූර්ව තුන්වෙනි ශත වර්ෂයේ සිට පවත්වා ගෙන ගිය නොයෙකුත් ලේඛන, ධාතුසේන රජු රාජ්‍ය කල ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ මහානාම හිමිනම විසින් මේ සංග්‍රහයට එකතු කර එය සාදන ලද බව කියවේ.

මතක තබා ගැනීමට පහසුවන ආකාරයෙන් වීර කාව්‍යයක් ලෙසින් කාව්‍යමය භාෂාවෙන් මෙය නිර්මාණය කර ඇත. 1837 දී ලංකා සිවිල් සේවයේ නිලධාරියෙකු හා ඉතිහාසඥයෙකු වූ ජෝර්ජ් ටර්නෝර්[2] විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද මහා වංශය 1912 දී ඉන්දියානු, ඉරාන සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ප්‍රවීනයෙකු වූ ආචාර්ය විල්හෙල්ම් ගයිගර්[3] විසින් ජර්මානු භාෂාවට පරිවර්තනය කරන ලදි. ඔහු පාලි, සිංහල සහ දිවෙහි (මාලදිවයිනේ භාෂාව) භාෂාවන් පිළිබඳ විශේෂඥයෙකුද විය.

ඉන්පසු පාලි සහ සංස්කෘත භාෂාවන් ප්‍රගුණ කල ඉංග්‍රීසි කාන්තාවක වූ ආචාර්ය මේබල් හේන්ස් බෝඩ්[4] මෙනවිය, ආචාර්ය විල්හෙල්ම් ගයිගර් සමග, මහා වංශය ජර්මන් භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කලාය. ඉන්පසු එකල රජයේ වියදමින් පෙරදිග භාෂා විශේෂඥයෙකු වූ ටී.ඩබ්ලිව්.රයිස් ඩේවිඩ්ස් මහතාගේ සභාපතිත්වය යටතේ පත් කරන ලද විශේෂඥ කමිටුවකින් සංස්කරණය කරන ලද්දේය.

මෙම කෘතිය කරන ලද්දේ එම සංස්කරණය කරන ලද ගයිගර්ගේ කෘතිය අනුසාරයෙනි. මෙම කෘතියෙන් බලාපොරොත්තු වන්නේ කියවන්නෙකුට ලංකාවේ ඉතිහාසය සම්බන්ධව පමණක් විස්තර ලබාදීමටය. එමනිසා ශ්‍රී ලංකාවේ  රාජ්‍ය ඉතිහාසයට කෙලින්ම සම්බන්ධ නොවන, ආගමික හා ශාසනික විස්තර මෙහි අඩංගු කර නොමැත. එහෙත් කථාව ගලායාමට සහ එහි අන්තර්ගතයට අත්‍යවශ්‍ය යැයි හැඟෙන එවන් විස්තර මෙයට ඇතුලත් කිරීමට සිදු විය. 

බොහෝ විට අසාමාන්‍ය සහ අද්භූත සිදුවීම් ඉතිහාසය සදහා කියවන්නෙකු අවුල් කරන හෙයින්, එවැනි සිදුවීම් හැකි පමණ අඩංගු නොකරන්නට උත්සාහ කලෙමි. එහෙත් සමහර එවැනි සිද්ධි සමිපූර්ණයෙන්ම ඉවත් කල විට කථාව මඟින් කැඩෙන තත්වයක් ඇතිවේ. එවැනි අවස්ථාවල යම් තරමක පැහැදිලි කිරිමක් සහිතව ඒවා අඩංගු කර ඇත්තේය.

මගේ මෙම කෘතිය කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ රාජය ඉතිහාසය දැනගැනීම සදහා පමණක්  මහා වංශය කියවන්නන්ටය. මෙලෙස මෙම කෘතිය කියවාගෙන යන විට එය පහසුවෙන් අවබෝධ කරගැනීමට අවශ්‍ය නොයෙකුත් විස්තර, එකල ලෝකයේ සිදුවන ප්‍රධාන සිද්ධි සහ පැරණි වචනවල තේරුම් යනාදිය එතැන්හිම අඩංගු කර ඇත. මෙම මහා වංශය පටන් ගන්නේ මුල් මහා වංශයේ 6 වන පරිච්චේදයේ  සිටය. එයට හේතුව ලංකා ඉතිහාසය පටන් ගන්නා විජය කුමරුගේ මෙහි පැමිණීම ඇතුලත් වන්නේ 6 වන පරිච්චේදයේ නිසාය.

 



[1] මගධ, මධ්‍ය ඉන්දු ආර්ය භාෂාවක් , වර්තමානයේ පාවිච්චි වන්නේ ථෙරවාද සහ සමහර හින්දු ආගම් වල ලේඛන මෙම භාෂාවෙන් ලියවී ඇති නිසාය

[2] ඉංග්‍රීසි සිවිල් නිලධාරියෙකු වූ මොහු පළමුවෙනි පරිචේද 38 පරිවර්තනය කල පසු වයස 44 දී මියගොස් ඇත.

[3]  විල්හෙල්ම් ලුඩ්විග් ගයිගර් (1856-1943) ජර්මන් ජාතික පෙරදිග ඉන්දු-ඉරාන භාෂා සහ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව හසල දැනුමකින් යුක්ත විය. ඔහු පාලි,සිංහල සහ  දිවෙහි (මාල දිවයිනේ භාෂාව )  පිළිබඳවද විශාරදයකු විය.         

[4] (1864–1922) මුලින්ම පාලි සංස්කෘත සහ බුද්ධාගම පිලිබඳ අධ්‍යයනයට ඇතුළු වූ බටහිර කාන්තාවන් කිහිපදෙනාගෙන් කෙනෙක්. රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ මුලින්ම ලිපියක් පලකල කාන්තාව.[1]

Friday, December 18, 2020

කහ ගැනීම

 



කහ ගෙන්වීම නතර කිරීම නිසා ලංකාවේ කහ ගැන ලොකු උනන්දුවක් ඇති විය. කහ මාළු වලට දාන බව නොදැන සිටි පිරිස් පවා වෙළඳපොලේ කහ වල මිල ගනන් පිළිබඳව සාකච්ඡා කරන්නට පටන් ගත්හ. කහ වලින් ශරීරයට තිබෙන ප්‍රයෝජන ඉගෙනගත්තා.

කහ වල අඩංගු කර්කුමින් නම් රසායනික ද්‍රව්‍ය හෘද රෝග, පිළිකා, ඇසිමර්ස් රෝග තත්ත්වයන් වැලැක්වීමට සහ ආතරයිටිස් රෝගයේ වේදනා අඩු කිරීමට, මානසික ආතතිය අඩු කිරීමට, අප ශරීරයට උදව් කරන බව මේ පිළිබඳව සොයා බැලීමේදී මම දැනගත්තෙමි.

ඉන්දියාවෙන් කහ ගෙන්වීම වැළැක්වීමෙන් පසු කිහිප වතාවක් හොරෙන් රටට ගෙන්වා, එයින් විශාල ලාභයක් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවන් කිහිපයක් අප දුටුවෙමු. මෙයද සාමාන්‍යයෙන් සිදු විය යුත්තකි .1977 ලංකාවේ ආර්ථිකය විවෘත වූ පසුවද, ඉන්දියාවේ ආර්ථිකය තවදුරටත් සංවුර්ත ආර්ථිකයක් ලෙස පැවතිණ. මේ කාලේ ලංකාවෙන් ඉන්දියාවට නොයෙකුත් විදුලි භාණ්ඩ විශේෂයෙන්ම කැසට් ප්ලේයර් වීඩියෝ කැසට් ප්ලේයර් වැනි උපකරණ හොරෙන් ගෙන යාම ලොකු ජාවාරමක් ලෙසට පැවැත්විණ. එය කොතරම් විශාල වශයෙන් පැවතුනේද යත් එහි අවධානම ව්‍යාපාරිකයන් අතර බෙදී යන පරිදි, සෑම හොරබඩු බෝට්ටුවකම වටිනාකම කොටස් වලට කඩා එහි කොටස් සාමාන්‍ය ජනයා අතර විකිණීමේ ව්‍යාපාරයක්ද, තිබුණ බව මම අසා ඇත්තෙමි.

ලියන්නට පටන්ගත්තේ කහ ගැන නිසා හොර බඩු ජාවාරම ගැන මා දන්නා දේවල් ලිවීමට වෙනත් දවසක් පාවිච්චි කළ යුතුය.

කහ ආනයනය සීමා කිරීම නිසා ලංකාවේ බොහෝ දෙනා කහ වගා කරන්නට පටන් ගත්හ. කහ වගාවන්වල බොහෝ ඡායාරූප මම ෆේස්බුක් එකේ දැක්කෙමි. ඇත්තෙන්ම එය ටික කාලයකට පැෂන් එකක් බවට පත් විය.

මේ ළඟකදී මම කුන්ඩසාලේ food city පැත්තට අපේ මාසයේ බඩු මිලදී ගැනීම් කිරීමට බිරිඳ සමග ගියෙමි. සාමාන්‍යයෙන් ඇය එම බඩු මිලදී ගන්නා තෙක්, මම ලඟකදී සිට එහි වාහන නවත්වන ස්ථානය අසල පාර අයිනේ අලුතින් පටන් ගෙන ඇති කඩ කිහිපයක් බලන්නට යාම, මට දැන් පුරුද්දක් වී තිබේ. මේ මා ගිය දිනයේ පළතුරු කඩයක්, කුඩා කරෝල ලොරියක් සහ කහ විකුණන ත්‍රීවීල් රථයක් තිබුණි.
මම පලතුරු කඩේට ගොස් එහි පලතුරු වල මිල ගණන් අසාගෙන, පාරෙන් එහා පැත්තේ නවතා තිබූ කරෝල රථයටද ගොස් එහි තිබූ කරෝල පිළිබඳවද විමසා බැලුවෙමි. ආපසු පාරේ මේ පැත්තට පැමිණ කහ ත්‍රීවීලරයට ගියෙමි. මෙය කරෝල රථය සහ කහ ත්‍රීවිලරයේ යම් සමානකමක් මට නිරීක්ෂණය විය, ඒ එම රථ දෙකේම ව්‍යාපාරයන් කළේ තරුණ යුවල දෙකක් වීමය. ත්‍රීවිලරයේ එම යුවලේ කුඩා දරුවෙකුද ත්‍රීවීලරය ඇතුලේ ඉඳගෙන සිටිනවා දුටුවෙමි.
මේ ලංකාවවේ කොවිඩ් වලින් පසුව ඇතිවූ වෙළදාම් ට්‍රෙන්ඩ් එකක් විය හැක. ඇත්තෙන්ම මෙලෙස පවුල් පිටින්ම ව්‍යාපාර වලට තරුණ කාලයේම බැසීම ලංකාවේ ඉදිරි අනාගතයටත් හොඳ කාරණයක් විය යුතුය.

බිරිඳ එළියට පැමිණි පසු මම ඇයට එම කඩවල් පිළිබඳව පවසා, ඇයත් සමඟ ගොස් අවශ්‍ය දේවල් මිලදී ගත්තෙමි. කරෝල සහ පලතුරු මිලදී ගත්තද, ඇය කහ මිලදී ගැනීමට මැළිකමක් දැක්වූවාය. එයට හේතුව ලෙස කීවේ එම කහ අමු ඒවා බවත්, ඒවා ගෙන ගොස් තම්බා වේලා කහ බවට පත් කරගැනීමට අවශ්‍ය නිසා කහ අමුවෙන් මිලදී ගැනීම තේරුමක් නැති බවය.

නමුත් කහ හෝ වෙනත් කුළුබඩු වේලා ගන්නේ, ඒවා කල් තබා ගැනීමට සහ ගොවිපළවල සිට දුර ප්‍රදේශවලට ගෙන යාමට බව ඇයට පැහැදිලි කරදී, අමු කහ ග්‍රෑම් තුන්සීයක් මිලදී ගන්නට කටයුතු කළෙමි.

ඉන්පසුව මා නිවසට පැමිණ මා ඒ කියූ දෙය ඇත්තද කියා බැලීමට ගූගල් කර පරීක්ෂා කළෙමි. ඇත්තෙන්ම කහ වැඩියෙන්ම පාවිච්චි කරන ඉන්දියාවේ බොහෝ විට කහ පාවිච්චි කරන්නේ අමුවෙන් බවත්, එමගින් කහවල ඇති ප්‍රයෝජනවත් සංඝටක අපට වඩා හොඳින් ලැබෙන බවත්, මට දැනගන්නට ලැබුණි.

අමු කහ මේ තරම් පහසුවෙන් වගා කරන්නට හෝ මිලදී ගන්නට හැකියාව තිබියදී, ඉන්දියාවේ වගා කර තම්බා වේලා අප රටට එවන කහ මිලදී ගැනීමට කිසිම අවශ්‍යතාවයක් නැති වුවද, සම්ප්‍රදායන් වෙනස් කරන්නට අකමැති වීමෙන්, වෙනස් කළ හැකි යැයි නොදැන සිටීමෙන්, අපට කොතරම් පාඩු සිදු වෙනවාද?

කහ මෙයට හොඳ උදාහරණයකි.

 

 


Friday, December 11, 2020

living in Singapore - visiting Malaysia

 

 


I thought of writing about one of my hassle-free bus ride experience during my recent visit to Johore Bahru, Malaysia from Singapore. Of course, it was before covid. Well, I was planning to leave around 6.30am to spend time as much as I can in JB. Unfortunately, I overslept and woke up a bit late. But I didn't panic as I didn't have to catch a flight moreover there are so many buses to go to JB during the day. I got ready and took the MRT line to go to where buses were. As I can remember I had to pay only 1sgd for my 45mins to 1-hour bus ride as I didn't have Ringgit (Malaysia currency) in hand. There were 2 stops during my bus ride to Malaysia one was at Singapore Immigration and the 2nd and the last stop in Malaysia Immigration. If I elaborate when I got into the but I had to get off from the bus to pass Singapore Immigration and when I was done with the immigration there were many buses waiting

for us. At this point you don't have to wait for the same bus which you took, you are free to get into any of the buses and you don't have to pay a cent as you have already paid for the entire tour. While I was on the bus I can remember very clearly passing a bridge that connects Singapore and Malaysia. As I was traveling for the first time I felt a bit excited and happy. Luckily I took a window seat if now I don't think I will have the same excitement to write this blog.

 

As I mentioned earlier I reached the last and the 2nd stop on my bus tour. I was shocked by seeing the massive queue for the Malaysia Immigration. I think I was standing there for 30mins or more. But I didn't feel tired as I was observing others. I felt Malaysians are very easy going people. And friendly too. One more thing I noticed there were many Singaporean were queueing as far as I know everything is JB is cheaper than in Singapore so Singaporeans tend to go to JB for Beauty Salons etc.

 

After the Immigration process, I walked out to take a taxi. There were plenty and cheap too. I got off at my hotel in which I spent my weekend. This is my bus ride experience from Singapore to Johore Bahru, Malaysia.

S N Illangakoon 

Monday, December 7, 2020

ඇතිකරන්නට මොනරුන් ඇල්ලීම සහ තවත් කතා

 




අද මගේ මිතුරෙකු අසල නිවසක වහලය උඩ වසා සිටින මොනරුන් සමූහයක වීඩියෝ පටයක් මා වෙත එවීය. මහනුවර නගරය අවට ජීවත්වන මගේ ගමේද හුදකලාවූ මොනරුන් දෙදෙනෙකු දැක ඇත්තෙමි. සතියකට දෙකකට වරක් පැමිණෙන ඒ මොනරා ටික වේලාවක් අපේ වහලයේ සිට පියබා යන්නට පුරුදුව සිටියද, මාස ගණනකින් උන් මේ පැත්තට ආවේ නැත.

නමුත් මේ මාතලේ මොනරු රංචුව දුටු විට නම් මම පුදුමයටත්, විශ්මයටත් පත්වීමි. ඒ මොනරා කතරගම ස්කන්ද කුමාර දෙවියන්ගේ වාහනය නිසාම පමණක් නොවේ. නමුත් මෙතරම් නොයකුත් වයස්වල peacock සහ peahen ලා මෙතරම් ගොඩක් එක තැනකදී මා දුටු ප්‍රථම වතාව නිසාය.

සාමාන්‍යයෙන් නුවර මාතලේ වැනි මේ ප්‍රදේශවල අප මෙතෙක් කල් මොනරුන් දුටුවේ නැත. මොනරුන් සාමාන්‍යයෙන් අප දුටුවේ කතරගම යන විට සහ අනෙකුත් වියලි ප්‍රදේශවල සංචාරය කරන විටය. ඔවුන්, විශේෂයෙන්ම පිරිමි සතුන් ලෝකයේ ඉතාමත් පියකරු සතෙකු බවට විවාදයක් නැත්තේය. එහෙත් එලෙසම ඔවුන් කෘෂිකර්මාන්තයට විශාල රිනාත්මක බලපෑමක් ඇති කරන සතෙකු බවට ප්‍රසිද්ධය. දැන් මාස කිහිපයකට පෙර අම්පාර ප්‍රදේශයේ විශාල මොනරු රංචු තමනන්ගේ ගොවිතැන් විනාශ කරන බව පවසා ගොවීහු මැසිවිලි නගන අන්දම, අපි රූපවාහිනියේ ප්‍රවෘත්ති වලින් දුටුවෙමු.

සාමාන්‍යයෙන් ගොවිතැන් කරන වෙනත් රටක නම්, මෙලෙස ගොවිතැනට බාධා කරන සත්ව කොට්ටාශයන්ගේ ජනගහනය ඔවුන් වසන පරිසරයට දරා ගැනීමට බැරි තරම් වැඩිවන අවස්ථාවලදී, එම සතුන් මරා ඉවත් කිරීමට කටයුතු යොදනු ලැබේ. මම මේ ලඟකදී ජපානයේ යම් නගරාශ්‍රිත ප්‍රදේශයක මුවන් ගහනය වැඩි වී ඔවුන් දඩයම් කර ඉවත් කල යුතු බවට ගොවියන් හා අනෙක් පුරවැසියන්ගේ සාකච්ඡාවක් දුටුවෙමි. මෙලෙස වැඩිවන ගහනය ඉවත් කිරීම ඉංග්‍රීසියෙන් culling යනුවෙන් හදුන්වනු ලැබේ. ඉංග්‍රීසීන්ගේ කාලයේ අලි ගහනය අඩු කිරීමට ඔවුන් මෙවැනි ක්‍රියාවලියක් දීර්ඝ කාලීනව පවත්වාගෙන ගියහ.

ඇත්තෙන්ම අප දැන් මේ මොනර තර්ජනයෙන් ආරක්ෂා වීමට කල හැක්කේ කුමක්ද? මොනර මස් මෙයට එක විසදුමකි. කුකුලන් අනුභව කරන අපි එයට වඩා තරමක් විශාල, එලෙසම වර්ණයෙන් සිත් ගන්නා සුළු මොනර මස් ආහාරයට නොගන්නේ ඇයි? බොහෝ විට මේ ඌ අප ලංකාවේ බලගතු දෙවියෙකු යැයි සැලකෙන කතරගම ස්කන්ද කුමාර දෙවියන්ගේ වාහනය නිසාද? බොහෝ විට එසේ වන්නට පුළුවන. ඉන්දියාව සහ චීනය වැනි රටවල මොනර මස් රස වුලක් සේ සැලකෙන අතර, ඇමරිකාවේ මස් ලබා ගැනීමට මොනරුන් ඇති කරන ගොවිපලද තිබේ. රාත්තල් දෙකක පමණ මොනර මස් රුපියල් 12000 ක් පමණ වන බව පෙනේ. මොනර මස් සාමාන්‍යයෙන් ටර්කි මස් මෙන් රසවත් හා සුවදවත් බව කියනු ලැබේ.

මොනර මස් ගැන කතා කරන්නට අකමැති නම් මොනර තර්ජනයට මුහුණ දීමට තවත් ක්‍රමයක් තිබෙන බව පෙනේ. ඒ මොනරුන් ඇති කරන්නට විකිණීමය. සාමාන්‍යයෙන් ඇති කරන්නට මොනරුන් මිලදී ගැනීමේදී එකෙකු ඩොලර් 1000 ක් පමණ වන බව පෙනේ. ඒ කියන්නේ 190000 පමණ මුදලකි. ඩොලර් එක වැඩිවන විදිහට මාසයක් දෙකක් අල්ලාගෙන සිටියහොත් ළඟදීම ලක්ෂ දෙකක් වන්නටත් පුළුවන.

මෙලෙස පිටරට මොනරු ඇති කරන්නන්ට මොනරු විකිණීමට රජය අවසර දෙන්නේ නම්, එමගින් මේ ප්‍රශ්නය විසදා ගැනීමට හැකි වන බව මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටියදී මා බිරිදට කී විට ඇය වැදගත් ප්‍රශ්නයක් ඇසුවාය.

ඒ ඔවුන් අල්ලා ගන්නේ කෙසේද යන්නයි.

මෙයට පිළිතුරක් සොයා ගැනීමට මට ටිකක් වේලා ගතවිය. එහෙත් කලකට පෙර හාවන් සහ අලියන් අල්ලා ගැනීම පිළිබඳව කතාවන් අසා සිටි මට කදිම අදහසක් පැමිණියේය.

එනම් කුඩා නයෙකු අල්ලා විදුරු පෙට්ටියක දමා ඒ පෙට්ටිය ට්‍රැප් දොරක් සහිත විශාල යකඩ කූඩුවක තබා, ඒ කූඩුව මොනරුන් නිතරම එන වහලයක් උඩ තැබීමයි.    


Tuesday, December 1, 2020

ෆාහියන් ගේ ගොවිතැන

 


පාහියන්ගේ ගොවිතැන

සුප්‍රසිද්ධ පාහියන් භික්ෂුව        ශතවර්ෂයේ චීනයේ වුයෑන්ග් ප්‍රදේශයේ උපත ලැබුවේය. ඔහුට වැඩිමහල් සහෝදරයන් හතර දෙනෙකු සිටියද, ඒ හතර දෙනාම ඔවුන්ගේ පළමු දත් වැටීමට පෙර මිය ගියහ. මෙයින් බියට පත්වූ ඔහුගේ පියා ඔහු බුද්ධ ශාසනයට කැප කළේය. එකල චීනයේ තිබූ ක්‍රමයට ඔහු සාමනේර කෙනෙකු බවට පත්ව එහෙත් නිවසේ වාසය කළේය. ටික කලකින් ඔහුද රෝගාතුර වූ පසු පියා ඔහු ආශ්‍රමය වෙත රැගෙන ගිය අතර, එහිදී ඔහු සුවපත් වුවත් නැවත දෙමව්පියන් වෙත යාම ප්‍රතික්ෂේප කළේය.

ඔහුට වයස 10 ක් පමණ වූ විට ඔහුගේ පියා මිය ගියේය. හුදකලා හා අසරණ වූ ඔහුගේ මව ගැන සිතා ඔහුගේ මාමා කෙනෙකු ඔහුගේ ආශ්‍රම ජීවිතය අවසන් කර, ආපසු නිවසට පැමිණෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය.

“මම ආශ්‍රමයට පැමිණියේ දූවිල්ලෙන් සහ නරක ජීවිතයෙන් ගැලවීමට මිස, මගේ පියාගේ අදහසට ගරු කිරීමට නොවේ. මා සාමණේරයෙකු වුයේ ඒ නිසාය.”

ඔහුගේ පිළිතුරට ගරුකල ඔහුගේ මාමා ආපසු ගියේය. ටික කාලයකින් ඔහුගේ මව මියගිය පසු පාහියන් දරුවා, ඇයට කොතරම් ආදරය කලේ දැයි සියල්ලන්ටම දැක ගන්නට හැකි විය; නමුත් ඇය වල දැමීමෙන් පසු ඔහු ආපසු ආශ්‍රමය වෙත ගියේය.

වරෙක ඔහු තවත් සාමනේරයන් සමූහයක් සමඟ පන්සලේ කුඹුරේ ගොයම් කපමින් සිටියේය. එහෙත් බඩගින්නේ පසු වූ හොරුන් කණ්ඩායමයක් එතනට පැමිණ, ඒ වී කරල් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ කළහ. හොරුන් දැක බිය වූ අනෙක් සාමනේරයන් පන්සල වෙත පැන දිවූහ. එහෙත් පාහියන් සෙලවුනේවත් නැත.

“නුඹලා පෙර මෙලෙස අනුන් ගැන නොසිතා කරන ලද වැරදි නිසා, මේ තත්වයට දැන් පත්ව ඇත්තේය. එලෙසම නුඹලා වර්තමානයේත් ඒ වැරදි වැඩම කරති. ඒ නිසා අනාගතයේත් නුඹලාට මෙලෙසම දුක් විදින්නට සිදුවෙයි; මම නුඹලා ගැන කල්තියාම කනගාටු වෙමි.”

යනුවෙන් පවසා තනියම පන්සල වෙත ගියේය.

ඔහුගේ උපදෙස් වලට කන්දුන් හොරු කණ්ඩායම වී කෙතේම තබා ආපසු ගියේය.

ආපසු ආශ්‍රමයට ගිය පාහියන් භික්ෂුවට ආශ්‍රමයේ සිටි සිය ගණනක් සහෝදර භික්ෂුහු, ඔහුගේ එඩිතරකම සහ අවස්ථාවට උචිත හැසිරීම පිළිබඳව බොහෝ ප්‍රසංශා කළහ.

ඔහුගේ ආධුනික භික්ෂු පුහුණුව අවසන් කල පසු ඔහු පුර්ණ භික්ෂුවක් බවට පත් වූ අතර ඔහුගේ එඩිතරභාවය, තීක්ෂණ බුද්ධිය, දැඩි විනය සහ මනා පෙනුම නිසා ඔහු කැපී පෙනුනේය. මේ නිසාම විනය පිටකය පිටපතක් ලබා ගැනීම සඳහා ඔහු ඉන්දියාවට පිටත්කර හැරිණ. ක්‍රිස්තු වර්ෂ 399 – 412 දක්වා මධ්‍යම, දකුණු සහ ගිනිකොණ ආසියාවේ බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා ගනිමින් පයින්ම ගමන් කල ඔහු, ආපසු යන ගමනේදී ලංකාවේ සිට චීනය බලා නැවකින් ගමන් කළේය. එම බෞද්ධ පොතපත චීන බසට පරිවර්තනය කරමින් සිටියදී වයස 88 ක් වූ ඔහු මිය ගියේය.          

Sunday, November 15, 2020

සහල් ආසනික් සහ සෙනගල්

 


සෙනගල් ස්මාරකයක් 

අද උදේ මම පහුගිය දවස් දෙක තුනේ  දුටු අප කන බත්වල තිබෙන ආසනික් නමැති විෂ රසායනික ද්‍රව්‍ය තිබීම පිළිබඳව පෝස්ට් කිහිපයක් දුටු නිසා, මේ පිළිබඳව පරීක්ෂා කරන්නට සිතුවෙමි.

මම අන්තර්ජාලයට ගොස් නොයෙකුත් අන්දමට පරීක්ෂා කර; සැමවිටම විශ්වාසය තැබිය හැකි යැයි මට හැඟෙන මුලාශ්‍ර වලින්, පහත පෝස්ට් එක මගේ face book wall එකේ දැම්මෙමි.

හාල්වල ආසනික් තිබෙන බව පෝස්ට් කිහිපයක දැක ඒ පිළිබඳව පරීක්ෂා කර බැලුවෙමි. සාමාන්‍යයෙන් සහල්වල අනෙක් ධාන්‍ය වලට වඩා දහ ගුණයක් පමණ ආසනික් ස්වභාවිකව එකතු වන බව පෙනේ. කාබනික, අකාබනික, සුදු, දුඹුරු, කැකුළු, යනාදියෙන් වෙනසක් නොවන බවද පෙනේ. එසේම ආසනික් වැඩිපුර ශරීරගත වීම පිළිකා සෑදීමට හේතුවන බවත් පෙනේ. නමුත් බාස්මතී හාලේ එකතු වන ආසනික් ප්‍රමාණය සාමාන්‍ය සහල්වල මෙන් තුනෙන් එකක් පමණ වන බවද පෙනේ. මා දන්නා හැටියට අප එතරම් බාස්මතී සහල් වගා කරන්නේ නැත.

නමුත් මේ ප්‍රවෘත්තිය සමාජගත වූ විට හැකි සෑම කෙනෙකුම බාස්මතී සහල් මිලදී ගන්නට යොමු වන බව අපට සිතිය හැක.

ලෝකයේ බාස්මතී සහල් වෙළඳපොළෙන් 70% සපයනුයේ ඉන්දියාව විසිනි. පකිස්ථානය සහ ඇමරිකාවද බාස්මතී සහල් නිපදවති.

දැන් අපිට කරන්නට ඉතිරිව ඇත්තේ එකකි, ඒ බාස්මතී සහල් නිපදවීමට යොමු වීමයි. ඒ අතරම සහල් තම්බන විට වැඩිපුර වතුර යොදා තැම්බෙද්දී, වතුර ටික ටික ඉවත් කිරීමයි.

 

මෙය ලියද්දී මට සහල් පිළිබඳව කරුණු කිහිපයක් මතක් වුනි. ඒ සියල්ල අඩංගු කර මට  බ්ලොග් එකක් ලියන්නට සිත් විය.

පළමුවැන්න සිදු වුයේ පකිස්තානයේදීය. මම 2012 දී පකිස්තානයේ කරච්චි නගරයේ පැවැත්වුණු ආසියානු නාවික හමුදාවන්හි සුහද හමුවට, ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජිතයා ලෙස සහභාගි වුනෙමි. රටවල් බොහෝ ගණනක් සහභාගි මේ හමුවට පැමිණි සිටි සවුදි අරාබි අද්මිරාල්වරයා මා සමඟ බොහෝ කුළුපග වූ අතර, වරෙක අප ආහාර ගනිමින් සිටියදී දෙරටේ ආහාර පිලිබඳ කතා බහක් ඇතිවිය. මෙහි රටේ ප්‍රධාන ආහාරය පිළිබඳව කතා කරද්දී ඔහු කියා සිටියේ,

“සවුදි අරාබියේ බත් කොතරම් ප්‍රධාන ආහාරය වී ඇත්තේද යත්, කෙනෙකුගෙන් ඔහු කෑම අරගෙන සිටීද යන්න අසන්නට වුවමනා නම්, ඔවුන් අසන්නේ ඔබ බත් කෑවාද යන්න බවයි.”

පසුව කාමරයට ගොස් මේ ගැන කල්පනා කර විට මට මතක් වුයේ අපිත් ඒ යෙදුම පාවිච්ච් කරන බවයි. විශේෂයෙන්ම අපේ දෙමව්පියන්ගේ පරම්පරාවේ සහ ඊට පෙර අපි කවුරු හරි කෑම කෑවාද යන්න අසන්නට පාවිච්චි කලේ,

“පුතා බත් කෑවද”

එසේත් නැත්නම් “පුතා බත් කාලද ඉන්නේ.” වැනි යෙදුම්ය.

තවත් වරෙක මම ඇවන්ගාඩ් සමූහයේ ව්‍යාපාරික කටයුත්තකට බටහිර අප්‍රිකාවේ මුහුදුබඩ පිහිටි සෙනගල් රාජ්‍යයට ගියෙමි. එහිදී අපගේ යෝජිත ව්‍යාපාරික කටයුත්තට එහි රජයේ සහ හමුදාවල කැමැත්ත ලබා ගැනීමට තිබුණු නිසා, ඒ පිළිබඳව විපරම් කර බලන විට කිහිප දෙනෙකුගෙන්ම දැන ගන්නට ලැබුනේ වරෙක එහි නාවික හමුදාවේ ප්‍රධානියාව සිටි රටේ ප්‍රධාන තැන්වල බොහෝ පිළිගැනීමක් ඇති අද්මිරාල් වරයෙකු සිටින බවත්, ඔහුට අපගේ ව්‍යාපාරික කටයුත්ත පැහැදිලි කලොත් මේ සඳහා රාජ්‍ය අනුමැතිය ලබා ගැනීමට පහසු බවත්ය. කෙනෙකු මාර්ගයෙන් ඔහුට එදින අප සිටින හෝටලයට රාත්‍රී භෝජනය සඳහා ඉතා අමාරුවෙන් කැමති කරවා ගත්තෙමු. එසේ කැමති කරවා ගැනීම දුෂ්කර වුයේ රට ඇතුලත දුෂ්කර ප්‍රදේශයක ඔහු දැන් ගොවියෙකු ලෙස ජීවත්වන බව දැනගන්නට ලැබිණ.

බොහෝ භූමියට ලංව ජිවත්වන බව පෙනුණු ඔහු අපගේ ව්‍යාපාර යෝජනාව ගැන බොහෝ පැහැදුණු අතර, සුහද සාමිචිය අතරතුර ඔහු කිවූ කුඩා කතා දෙකක් මට තවමත් මතක තිබේ.

එකක් නම් ඔහු අපගේ යෝජිත ව්‍යාපෘතිය වැනි යෝජනාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට ඉතාමත් උනන්දු වූවත්, ඒ සඳහා එන්නට මැලිකමක් දැක්වුයේ ඔහු කාලයකට පසු සූට් එකක් අදින්නට දැක්වූ මැලිකම වීමය.

දෙවැන්න අප්‍රිකාවේ මෙයට පරම්පරාවකට පෙර මිනිසුන් ආහාරයට ගත්තේ කුරහන්, මෙනේරි, අමු, වැනි ධාන්‍ය වර්ග වුවත්, දැන් මිනිසුන් තනිකරම වාගේ බත් කෑමට පුරුදුව ඇති බවය. ඔහු මෙය අප්‍රිකාවට එතරම් හොඳ දෙයක් නොවන බවද කීවේය.     

Tuesday, November 10, 2020

විද්‍යාත්මකව සිතීමෙන් ඇති ප්‍රයෝජන

 


මට මේ සියල්ල ලියන්නට සිතුනේ මේ ලඟකදි මට සිදු වූ යම් සිදුවීමක් නිසාය. අපේ මිදුලේ වර්ග අඩි පන්සීයක පමණ තණ පිටියක් තිබේ. දැන් අවුරුදු දහයකට පමණ පෙර එහි තිබුනේ කොළය ලොකු දේශීය තණකොළ වර්ගයකි.

මම පොඩි කාලේ, මෙම තණකොළ මිදුලේ වවන්නට කුඹුරු වල සිට පිඩලි ගෙනාවා මතකය. නමුත් කාලයක් ගිය පසුව මේ තණකොළ වර්ගයේ තිබුණු ලොකු ප්‍රශ්නයක් අපට අත්දැකීමට සිදුවිය. ඒ කුඹුරු වල මෙන්ම මිදුලේද කූඩැල්ලන් ව්‍යාප්ත වීමයි. මුලදී ගෙදර මිදුලේ කූඩැල්ලන් සිටි නැති නමුදු, හොඳින් වැවුණු පසු මිදුලේද ව්‍යාප්ත විය. එහෙත් මීට වඩා බොහෝ කුඩා පත්‍ර සහිත අලුත් තණකොළ වර්ගයේ එසේ කූඩැල්ලන් හැදෙන්නේ නැති බව මට දැනගන්නට ලැබුණි.

මම එවැනි තණකොළ වර්ගයක් සොයමින් සිටින විට, ඒ වර්ගයේ පිඩලි විකුණන ස්ථානයක් දියත උයනේ දැක, පිඩැල්ලක්  රුපියල් හැත්තෑවකට මම මිලදී ගත්තෙමි. ඉන්පසු ඊළඟ සති අන්තයේ ගෙදර පැමිණි පසු, මිදුලේ එක කොටසක ලොකු තණකොළ පිඩලි ලෙස ඉවත් කර, ඒවාට පස් පුරවා මිලදී ගත් වල් කිහිපය බැගින් ගලවා එම ස්ථානවල හැදැව්වෙමි.

අවුරුද්දක් පමණ යනවිට තණකොළ වර්ගය සම්පූර්ණයෙන්ම මාරු කර ගන්නට හැකි වුණි. එහෙත් තවමත් මෙම ක්‍රියාවලිය අවසන් වී නැත. තවත් සියයට දහයක් පමණ work in progress  ලෙස පවතී.

ඇත්තෙන්ම මේ වල්වල කූඩැල්ලන් සෑදෙන්නේ නැත. මෙය මහනුවර ප්‍රදේශයේ ගෙදරකට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයකි. නමුත් අවුරුදු කිහිපයකට පසු මගේ ලෝන් එකට උඳුපියලිය ආක්‍රමණයක් සිදු විය. තැනින් තැන එක දෙක උඳුපියලිය පැල, සමහර කොටස් වල තණකොල වසාගෙන ඉතාමත් සරුවට වැවෙන්නට පටන් ගත්තේය. අනෙක් වල් මෙන් නොව උදුපියලිය ගලවා දැමීමත් ඉතාමත් අපහසු වන්නේ ඒවා පොළොවට සමාන්තරව, ඉතාමත් ඉක්මනින් සීග්‍රව වැවෙන නිසාය. ඒවා ගලවා දැමූවත් මුල් එළියට එන්නේ නොමැති නිසා, නැවත වරක් දළු දාගෙන වැවෙන්නට පටන් ගනී.

අපි ගෙදර අය මෙය ගලවා ඉවරයක් කිරීමට උත්සාහ කළද, එසේ කිරීමට හැකියාවක් ලැබුනේ නැත. මේ සඳහා වෙනම උපකරණද බංකු දෙකක්ද සාදා ගත්තෙමු. එහෙත් අපි එක් පැත්තකින් පටන්ගෙන උදුපියලිය ගලවාගෙන යනවිට, අනෙක් පැත්තෙන් නැවත වැවෙන්නට පටන් ගනී. කාන්තාවක් දවසට රුපියල් 800 පඩියට කුලියට ගෙන මේ වැඩේට යෙදෙවුවද, ඇය දවස් තුනකින් පැමිණීම නතර කළාය. ඇය නොයෙකුත් නිවෙස් වල කෑම සෑදීමට බාරගන්නා නිසා, මෙලෙස එක් තැනක දිගටම වැඩ කිරීම අපහසු බව ඇය මට කීවාය.
තවත් කාන්තාවක් මේ සඳහා යොදවා ගත්තද, ඇයද දවස් දෙකකට පසු ආපසු පැමිණියේ නැත. සමහර විට මේ වැඩය ඉතාමත් ඒකාකාරී එසේම බංකුවක ඉඳගෙන කළ යුත්තක් නිසා, එපා වනවා වන්නට පුළුවන.

උඳුපියලිය ඉවත් කිරීමට හැකියාවක් තිබේ යැයි මට හැඟුණු කුඩා මැෂිමක්, මම අලිබබා ආයතනයෙන් ගෙන්වා ගතිමි. එහෙයින් වැඩය තරමක් ඉක්මන් වුවද, උඳුපියලිය වගාවෙන් ඉවත් කිරීමට නම් හැකියාවක් ලැබෙන්නෙ නැති බව මට පෙනුණි. මේ අතර දවසක් අපේ මිදුලෙ තිබෙන වරකා ගහ යට වැටී තිබෙන කොස් කොළ ඉවත් කරමින් සිටින මට, එම කොස්කොළ යට අව්ව නොමැති නිසා අවපැහැ ගැන්වී ඇති වල්වල, උඳුපියලිය වඩාත්ම විනාශයට පත්වී ඇති වල් වර්ගය බව දුටුවෙමි. තණකොළ සාමාන්‍යයෙන් කහපාට පමණක් වී තිබුණු අතර උඳුපියලිය දුඹුරු පාට වී මියයන තත්ත්වයට පත්ව තිබුණේය.

මගේ යුරේකා අදහස පැමිණියේ මේ නිරීක්ෂණයෙන් පසුවය. මම ලොකු පොහොර ගෝනියකින් උඳුපියලිය වැඩිපුර තිබෙන ප්‍රදේශයක් වසා තැබුවෙමි. 

දිනකට වරක් ගෝනිය ස්වල්පයක් උස්සා (මෙය කියද්දී මට අර චර්චිල්ගේ ස්කර්ට් එකේ කතාව මතක් වුනි.) බැලුවෙමි. දවස් තුන හතරක් යන විට සියලුම යටවී තිබුණු වල් වර්ග අවපැහැ ගැන්වී තිබුණි. දවස් අටක් ගිය තැන උදුපියලිය සම්පුර්ණයෙන් විනාශ විය. මට අවශ්‍ය වල් වර්ගය ඉතිරි වී තිබුණි. ඒවාද අවපැහැ ගැන්වී තිබුනද සති දෙකක් විවුර්තව තැබූ පසු සාමාන්‍ය පැහැයට පත්වී නැවත ව්‍යාප්ත වීමට පටන් ගත්තේය.

ඉන්පසුව මම ගෙදර තිබු පරණ කොලපාගන විට පාවිච්චි කරන ලොකු කළු ප්ලාස්ටික් රෙද්දකින් වැසුවෙමි. සතියකටත් [පෙර උඳුපියලි සමුලගාතනය විය.

 

මෙය අපගේ දිනපතා ජීවිතයේ නොයෙකුත් වැඩ කටයුතු විද්‍යාත්මකව සිතීමෙන් සහ අහඹු නිරීක්ෂණයන් වැඩදායක අන්දමින් යොදා ගැනීමෙන් පහසුකර ගැනීමේ සරල උදාහරණයකි.

 

මෙම සරල යොදා ගැනීමෙන් මට මසකට රුපියල් 5000 ක පමණ ඉතිරියක්ද, පැය 10 ක පමණ මගේ කාලයද, ඉතිරි විය. ඒ සියල්ලටම වඩා මට ඕනෑ කරන තෘණ වලින් පමණක් සමන්විත වූ lawn එකක් දිනපතා මිදුලේ දැකීම ඒ මත ඇවිද යාම කොතරම් සතුටක් ගෙන දෙන්නේද?   

Voluntary patrol - a short story

  2. Voluntary Patrol During the 1960s, a wave of crime was reported all across Sri Lanka. Housebreakings, murders, bank robberies, and shop...