Monday, December 7, 2020

ඇතිකරන්නට මොනරුන් ඇල්ලීම සහ තවත් කතා

 




අද මගේ මිතුරෙකු අසල නිවසක වහලය උඩ වසා සිටින මොනරුන් සමූහයක වීඩියෝ පටයක් මා වෙත එවීය. මහනුවර නගරය අවට ජීවත්වන මගේ ගමේද හුදකලාවූ මොනරුන් දෙදෙනෙකු දැක ඇත්තෙමි. සතියකට දෙකකට වරක් පැමිණෙන ඒ මොනරා ටික වේලාවක් අපේ වහලයේ සිට පියබා යන්නට පුරුදුව සිටියද, මාස ගණනකින් උන් මේ පැත්තට ආවේ නැත.

නමුත් මේ මාතලේ මොනරු රංචුව දුටු විට නම් මම පුදුමයටත්, විශ්මයටත් පත්වීමි. ඒ මොනරා කතරගම ස්කන්ද කුමාර දෙවියන්ගේ වාහනය නිසාම පමණක් නොවේ. නමුත් මෙතරම් නොයකුත් වයස්වල peacock සහ peahen ලා මෙතරම් ගොඩක් එක තැනකදී මා දුටු ප්‍රථම වතාව නිසාය.

සාමාන්‍යයෙන් නුවර මාතලේ වැනි මේ ප්‍රදේශවල අප මෙතෙක් කල් මොනරුන් දුටුවේ නැත. මොනරුන් සාමාන්‍යයෙන් අප දුටුවේ කතරගම යන විට සහ අනෙකුත් වියලි ප්‍රදේශවල සංචාරය කරන විටය. ඔවුන්, විශේෂයෙන්ම පිරිමි සතුන් ලෝකයේ ඉතාමත් පියකරු සතෙකු බවට විවාදයක් නැත්තේය. එහෙත් එලෙසම ඔවුන් කෘෂිකර්මාන්තයට විශාල රිනාත්මක බලපෑමක් ඇති කරන සතෙකු බවට ප්‍රසිද්ධය. දැන් මාස කිහිපයකට පෙර අම්පාර ප්‍රදේශයේ විශාල මොනරු රංචු තමනන්ගේ ගොවිතැන් විනාශ කරන බව පවසා ගොවීහු මැසිවිලි නගන අන්දම, අපි රූපවාහිනියේ ප්‍රවෘත්ති වලින් දුටුවෙමු.

සාමාන්‍යයෙන් ගොවිතැන් කරන වෙනත් රටක නම්, මෙලෙස ගොවිතැනට බාධා කරන සත්ව කොට්ටාශයන්ගේ ජනගහනය ඔවුන් වසන පරිසරයට දරා ගැනීමට බැරි තරම් වැඩිවන අවස්ථාවලදී, එම සතුන් මරා ඉවත් කිරීමට කටයුතු යොදනු ලැබේ. මම මේ ලඟකදී ජපානයේ යම් නගරාශ්‍රිත ප්‍රදේශයක මුවන් ගහනය වැඩි වී ඔවුන් දඩයම් කර ඉවත් කල යුතු බවට ගොවියන් හා අනෙක් පුරවැසියන්ගේ සාකච්ඡාවක් දුටුවෙමි. මෙලෙස වැඩිවන ගහනය ඉවත් කිරීම ඉංග්‍රීසියෙන් culling යනුවෙන් හදුන්වනු ලැබේ. ඉංග්‍රීසීන්ගේ කාලයේ අලි ගහනය අඩු කිරීමට ඔවුන් මෙවැනි ක්‍රියාවලියක් දීර්ඝ කාලීනව පවත්වාගෙන ගියහ.

ඇත්තෙන්ම අප දැන් මේ මොනර තර්ජනයෙන් ආරක්ෂා වීමට කල හැක්කේ කුමක්ද? මොනර මස් මෙයට එක විසදුමකි. කුකුලන් අනුභව කරන අපි එයට වඩා තරමක් විශාල, එලෙසම වර්ණයෙන් සිත් ගන්නා සුළු මොනර මස් ආහාරයට නොගන්නේ ඇයි? බොහෝ විට මේ ඌ අප ලංකාවේ බලගතු දෙවියෙකු යැයි සැලකෙන කතරගම ස්කන්ද කුමාර දෙවියන්ගේ වාහනය නිසාද? බොහෝ විට එසේ වන්නට පුළුවන. ඉන්දියාව සහ චීනය වැනි රටවල මොනර මස් රස වුලක් සේ සැලකෙන අතර, ඇමරිකාවේ මස් ලබා ගැනීමට මොනරුන් ඇති කරන ගොවිපලද තිබේ. රාත්තල් දෙකක පමණ මොනර මස් රුපියල් 12000 ක් පමණ වන බව පෙනේ. මොනර මස් සාමාන්‍යයෙන් ටර්කි මස් මෙන් රසවත් හා සුවදවත් බව කියනු ලැබේ.

මොනර මස් ගැන කතා කරන්නට අකමැති නම් මොනර තර්ජනයට මුහුණ දීමට තවත් ක්‍රමයක් තිබෙන බව පෙනේ. ඒ මොනරුන් ඇති කරන්නට විකිණීමය. සාමාන්‍යයෙන් ඇති කරන්නට මොනරුන් මිලදී ගැනීමේදී එකෙකු ඩොලර් 1000 ක් පමණ වන බව පෙනේ. ඒ කියන්නේ 190000 පමණ මුදලකි. ඩොලර් එක වැඩිවන විදිහට මාසයක් දෙකක් අල්ලාගෙන සිටියහොත් ළඟදීම ලක්ෂ දෙකක් වන්නටත් පුළුවන.

මෙලෙස පිටරට මොනරු ඇති කරන්නන්ට මොනරු විකිණීමට රජය අවසර දෙන්නේ නම්, එමගින් මේ ප්‍රශ්නය විසදා ගැනීමට හැකි වන බව මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටියදී මා බිරිදට කී විට ඇය වැදගත් ප්‍රශ්නයක් ඇසුවාය.

ඒ ඔවුන් අල්ලා ගන්නේ කෙසේද යන්නයි.

මෙයට පිළිතුරක් සොයා ගැනීමට මට ටිකක් වේලා ගතවිය. එහෙත් කලකට පෙර හාවන් සහ අලියන් අල්ලා ගැනීම පිළිබඳව කතාවන් අසා සිටි මට කදිම අදහසක් පැමිණියේය.

එනම් කුඩා නයෙකු අල්ලා විදුරු පෙට්ටියක දමා ඒ පෙට්ටිය ට්‍රැප් දොරක් සහිත විශාල යකඩ කූඩුවක තබා, ඒ කූඩුව මොනරුන් නිතරම එන වහලයක් උඩ තැබීමයි.    


6 comments:

  1. මුලින්ම කළ යුත්තේ වගා ප්‍රදේ්ශවල සරන මොනරුන් මරා දැමීමයි.

    මොනරුන් ඇති කළ යුත්තේ මොනරුන් අල්ලා ගෙන නොව මොනර බිත්තර ඉන්කියුබේටර්වල දමා පැටවුන් ඇති කිරීමෙනි!

    ReplyDelete
  2. අල්ලන කොටස ෆන් එකට දැම්මේ

    ReplyDelete
  3. සෙබඩ (මොණරාගේ ගැහැනු සතා) මස් පිනිස ගතහොත් දෙවියන් ගේ වාහන ප්‍රශ්නය මතු නොවේ...මොණර පොපුයුලේශන් එකත් ඉබේටම කන්ට්‍රෝල් වේවි....නැද්ද...?

    ReplyDelete
    Replies
    1. දෙය්යොන්ගෙ රයිඩ් එක ඉතුරුකරලා , මොණර ප්‍රජාව අතර රයිඩින් අඩු කිරීමේ යෝජනාවක්

      Delete
  4. දෙවියන්ට එක වාහනයක් තියලා අනිත් ටික culling කලත් කමක් නෑ. Squad එකක් එක්ක යන්න එයා ඇමති කෙනෙක් නෙමේනෙ.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...