Friday, December 18, 2020

කහ ගැනීම

 



කහ ගෙන්වීම නතර කිරීම නිසා ලංකාවේ කහ ගැන ලොකු උනන්දුවක් ඇති විය. කහ මාළු වලට දාන බව නොදැන සිටි පිරිස් පවා වෙළඳපොලේ කහ වල මිල ගනන් පිළිබඳව සාකච්ඡා කරන්නට පටන් ගත්හ. කහ වලින් ශරීරයට තිබෙන ප්‍රයෝජන ඉගෙනගත්තා.

කහ වල අඩංගු කර්කුමින් නම් රසායනික ද්‍රව්‍ය හෘද රෝග, පිළිකා, ඇසිමර්ස් රෝග තත්ත්වයන් වැලැක්වීමට සහ ආතරයිටිස් රෝගයේ වේදනා අඩු කිරීමට, මානසික ආතතිය අඩු කිරීමට, අප ශරීරයට උදව් කරන බව මේ පිළිබඳව සොයා බැලීමේදී මම දැනගත්තෙමි.

ඉන්දියාවෙන් කහ ගෙන්වීම වැළැක්වීමෙන් පසු කිහිප වතාවක් හොරෙන් රටට ගෙන්වා, එයින් විශාල ලාභයක් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවන් කිහිපයක් අප දුටුවෙමු. මෙයද සාමාන්‍යයෙන් සිදු විය යුත්තකි .1977 ලංකාවේ ආර්ථිකය විවෘත වූ පසුවද, ඉන්දියාවේ ආර්ථිකය තවදුරටත් සංවුර්ත ආර්ථිකයක් ලෙස පැවතිණ. මේ කාලේ ලංකාවෙන් ඉන්දියාවට නොයෙකුත් විදුලි භාණ්ඩ විශේෂයෙන්ම කැසට් ප්ලේයර් වීඩියෝ කැසට් ප්ලේයර් වැනි උපකරණ හොරෙන් ගෙන යාම ලොකු ජාවාරමක් ලෙසට පැවැත්විණ. එය කොතරම් විශාල වශයෙන් පැවතුනේද යත් එහි අවධානම ව්‍යාපාරිකයන් අතර බෙදී යන පරිදි, සෑම හොරබඩු බෝට්ටුවකම වටිනාකම කොටස් වලට කඩා එහි කොටස් සාමාන්‍ය ජනයා අතර විකිණීමේ ව්‍යාපාරයක්ද, තිබුණ බව මම අසා ඇත්තෙමි.

ලියන්නට පටන්ගත්තේ කහ ගැන නිසා හොර බඩු ජාවාරම ගැන මා දන්නා දේවල් ලිවීමට වෙනත් දවසක් පාවිච්චි කළ යුතුය.

කහ ආනයනය සීමා කිරීම නිසා ලංකාවේ බොහෝ දෙනා කහ වගා කරන්නට පටන් ගත්හ. කහ වගාවන්වල බොහෝ ඡායාරූප මම ෆේස්බුක් එකේ දැක්කෙමි. ඇත්තෙන්ම එය ටික කාලයකට පැෂන් එකක් බවට පත් විය.

මේ ළඟකදී මම කුන්ඩසාලේ food city පැත්තට අපේ මාසයේ බඩු මිලදී ගැනීම් කිරීමට බිරිඳ සමග ගියෙමි. සාමාන්‍යයෙන් ඇය එම බඩු මිලදී ගන්නා තෙක්, මම ලඟකදී සිට එහි වාහන නවත්වන ස්ථානය අසල පාර අයිනේ අලුතින් පටන් ගෙන ඇති කඩ කිහිපයක් බලන්නට යාම, මට දැන් පුරුද්දක් වී තිබේ. මේ මා ගිය දිනයේ පළතුරු කඩයක්, කුඩා කරෝල ලොරියක් සහ කහ විකුණන ත්‍රීවීල් රථයක් තිබුණි.
මම පලතුරු කඩේට ගොස් එහි පලතුරු වල මිල ගණන් අසාගෙන, පාරෙන් එහා පැත්තේ නවතා තිබූ කරෝල රථයටද ගොස් එහි තිබූ කරෝල පිළිබඳවද විමසා බැලුවෙමි. ආපසු පාරේ මේ පැත්තට පැමිණ කහ ත්‍රීවීලරයට ගියෙමි. මෙය කරෝල රථය සහ කහ ත්‍රීවිලරයේ යම් සමානකමක් මට නිරීක්ෂණය විය, ඒ එම රථ දෙකේම ව්‍යාපාරයන් කළේ තරුණ යුවල දෙකක් වීමය. ත්‍රීවිලරයේ එම යුවලේ කුඩා දරුවෙකුද ත්‍රීවීලරය ඇතුලේ ඉඳගෙන සිටිනවා දුටුවෙමි.
මේ ලංකාවවේ කොවිඩ් වලින් පසුව ඇතිවූ වෙළදාම් ට්‍රෙන්ඩ් එකක් විය හැක. ඇත්තෙන්ම මෙලෙස පවුල් පිටින්ම ව්‍යාපාර වලට තරුණ කාලයේම බැසීම ලංකාවේ ඉදිරි අනාගතයටත් හොඳ කාරණයක් විය යුතුය.

බිරිඳ එළියට පැමිණි පසු මම ඇයට එම කඩවල් පිළිබඳව පවසා, ඇයත් සමඟ ගොස් අවශ්‍ය දේවල් මිලදී ගත්තෙමි. කරෝල සහ පලතුරු මිලදී ගත්තද, ඇය කහ මිලදී ගැනීමට මැළිකමක් දැක්වූවාය. එයට හේතුව ලෙස කීවේ එම කහ අමු ඒවා බවත්, ඒවා ගෙන ගොස් තම්බා වේලා කහ බවට පත් කරගැනීමට අවශ්‍ය නිසා කහ අමුවෙන් මිලදී ගැනීම තේරුමක් නැති බවය.

නමුත් කහ හෝ වෙනත් කුළුබඩු වේලා ගන්නේ, ඒවා කල් තබා ගැනීමට සහ ගොවිපළවල සිට දුර ප්‍රදේශවලට ගෙන යාමට බව ඇයට පැහැදිලි කරදී, අමු කහ ග්‍රෑම් තුන්සීයක් මිලදී ගන්නට කටයුතු කළෙමි.

ඉන්පසුව මා නිවසට පැමිණ මා ඒ කියූ දෙය ඇත්තද කියා බැලීමට ගූගල් කර පරීක්ෂා කළෙමි. ඇත්තෙන්ම කහ වැඩියෙන්ම පාවිච්චි කරන ඉන්දියාවේ බොහෝ විට කහ පාවිච්චි කරන්නේ අමුවෙන් බවත්, එමගින් කහවල ඇති ප්‍රයෝජනවත් සංඝටක අපට වඩා හොඳින් ලැබෙන බවත්, මට දැනගන්නට ලැබුණි.

අමු කහ මේ තරම් පහසුවෙන් වගා කරන්නට හෝ මිලදී ගන්නට හැකියාව තිබියදී, ඉන්දියාවේ වගා කර තම්බා වේලා අප රටට එවන කහ මිලදී ගැනීමට කිසිම අවශ්‍යතාවයක් නැති වුවද, සම්ප්‍රදායන් වෙනස් කරන්නට අකමැති වීමෙන්, වෙනස් කළ හැකි යැයි නොදැන සිටීමෙන්, අපට කොතරම් පාඩු සිදු වෙනවාද?

කහ මෙයට හොඳ උදාහරණයකි.

 

 


1 comment:

  1. /* නමුත් කහ හෝ වෙනත් කුළුබඩු වේලා ගන්නේ, ඒවා කල් තබා ගැනීමට සහ ගොවිපළවල සිට දුර ප්‍රදේශවලට ගෙන යාමට බව */

    බොහෝ දෙනෙකු අමතක කරන සත්‍යය.
    මෙය තුනපහ, මිරිස්කුඩු යනාදී දහසක් දේ සඳහාත් සත්‍යයයි!

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...