පෙරවදන
ජාතියකට සහශ්‍ර දෙකකටත් වඩා පැරණි ලිඛිත
ඉතිහාසයකට උරුමකම් කියන්නට හැකියාවක් ඇත්තේ
කලාතුරකිනි. චීනය සහ අප මෙවැනි ඉතිහාසයකට උරුමකම් කියන ජාතීන් දෙකකි. එහෙත්
අප බොහෝ දෙනෙකුට, අපේ මහාවංශය කියවන්නට ගියවිට එහි ඇති බර වචන සහ අතිශයෝක්තියෙන්
කෙරෙන විස්තර කිරීම් නිසා කියවීමට අපහසු වෙයි.
මම මෙම දුෂ්කරතාවයට කුඩා කලද
වැඩිහිටියෙකු වූ පසුද කිහිප වතාවක් මුහුණ දුන්නෙමි. ඒ නිසාම මහාවංශය සරල කර
ඉතිහාසයට උනන්දුවක් දක්වන්නන් සඳහා ලියන්නේ නම් හොඳ යැයි සිතුනි. අවුරුදු ගණනක්
හදිසියක් නොමැතිව කරගෙන ගිය මෙම පොතට වරින් වර නොයෙකුත් විශ්ලේෂණ යනාදිය එකතු
කලෙමි.
කුඩාකල සිට මා ඉතිහාසය දෙසට හා පොත් කියවීමට
නැඹුරු කල මගේ මව වූ පාඨශාලාචාරිනි සෝමා කුමාරි හේරත් ගෞරවයෙන් සිහි කරන අතර පොත
ලිවීමේදී මට උදව්කල මගේ බිරිඳ ඉන්දිරා ඇලිකේවෙල, සමන්තා සහ කුසලා ඉලංගකෝන් සහ කවරය
ඉතා උනන්දුවෙන් කරදුන් පුත් ගෙහාන් කෞශාල්ට මගේ
බලවත් ස්තුතිය පළකරන්නෙමි.
මෙම පොතට චිත්‍ර කිහිපයක් යෙදුවහොත්
අගනේය යැයි සිතු මම චිත්‍ර ඇඳීම සඳහා කෙනෙකු සොයමින් සිටින විට මගේ පාසල් මිත්‍ර
උපනන්ද කරුණාරත්න, ප්‍රවීන පොත් කතුවරයෙකු සහ ගායකයෙකු වන භද්‍රජි මහින්ද ජයතිලක
මට සම්බන්ධ කළේය. ඔහු දින කිහිපයකින් ඇඳ එවූ චිත්‍ර, ඔහුගේ ඒ අංශයේ හැකියාවන් මා
පුදුමයට පත්කළේය. ඔහුට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි.
ලක්ෂ්මන් ටි බි ඉලංගකෝන්
RSP***,VSV, USP, ndc, psc,
MSc
හැඳින්වීම.
මහා වංශය ශාසන ඉතිහාසය සහ රාජ්‍ය ඉතිහාසය
ලේඛන ගත කරන ලද කාව්‍ය සංග්‍රහයකි. මෙය ලියා ඇත්තේ පාලි[1]
භාෂාවෙනි. මෙය ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා ගත් විට ක්‍රිස්තු පූර්ව 543 විජය රජ කාලයේ
සිට ක්‍රිස්තු වර්ෂ 304 මහසෙන් රජු දක්වා දිවෙයි.
මෙහි පරිච්ඡේද පලමු වැන්නේ සිට පහ දක්වා
ඉන්දියාවේ බුද්ධාගමේ ඉතිහාසය, බුදුරදුන්ගේ පිරිනිවන් පෑමේ සිට තුන්වෙනි ධර්ම
සංගායනාව අවසන් වෙන තෙක් ඇතුලත් වෙයි.
අනුරාධපුරයේ මහා විහාරයේ ක්‍රිස්තු පූර්ව
තුන්වෙනි ශත වර්ෂයේ සිට පවත්වා ගෙන ගිය නොයෙකුත් ලේඛන, ධාතුසේන රජු රාජ්‍ය කල ක්‍රිස්තු
වර්ෂ පස්වන සියවසේ මහානාම හිමිනම විසින් මේ සංග්‍රහයට එකතු කර එය සාදන ලද බව
කියවේ.
මතක තබා ගැනීමට පහසුවන ආකාරයෙන් වීර කාව්‍යයක්
ලෙසින් කාව්‍යමය භාෂාවෙන් මෙය නිර්මාණය කර ඇත. 1837 දී ලංකා සිවිල් සේවයේ
නිලධාරියෙකු හා ඉතිහාසඥයෙකු වූ ජෝර්ජ් ටර්නෝර්[2]
විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද මහා වංශය 1912 දී ඉන්දියානු, ඉරාන සහ ශ්‍රී
ලංකාවේ ඉතිහාසය පිළිබඳ ප්‍රවීනයෙකු වූ ආචාර්ය විල්හෙල්ම් ගයිගර්[3]
විසින් ජර්මානු භාෂාවට පරිවර්තනය කරන ලදි. ඔහු පාලි, සිංහල සහ දිවෙහි (මාලදිවයිනේ භාෂාව)
භාෂාවන් පිළිබඳ විශේෂඥයෙකුද විය.
ඉන්පසු පාලි සහ සංස්කෘත භාෂාවන් ප්‍රගුණ
කල ඉංග්‍රීසි කාන්තාවක වූ ආචාර්ය මේබල් හේන්ස් බෝඩ්[4]
මෙනවිය, ආචාර්ය විල්හෙල්ම් ගයිගර් සමග, මහා වංශය ජර්මන් භාෂාවෙන් ඉංග්‍රීසියට
පරිවර්තනය කලාය. ඉන්පසු එකල රජයේ වියදමින් පෙරදිග භාෂා විශේෂඥයෙකු වූ
ටී.ඩබ්ලිව්.රයිස් ඩේවිඩ්ස් මහතාගේ සභාපතිත්වය යටතේ පත් කරන ලද විශේෂඥ කමිටුවකින්
සංස්කරණය කරන ලද්දේය.
මෙම කෘතිය කරන ලද්දේ එම සංස්කරණය කරන ලද
ගයිගර්ගේ කෘතිය අනුසාරයෙනි. මෙම කෘතියෙන් බලාපොරොත්තු වන්නේ කියවන්නෙකුට ලංකාවේ
ඉතිහාසය සම්බන්ධව පමණක් විස්තර ලබාදීමටය. එමනිසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඉතිහාසයට කෙලින්ම සම්බන්ධ නොවන, ආගමික
හා ශාසනික විස්තර මෙහි අඩංගු කර නොමැත. එහෙත් කථාව ගලායාමට සහ එහි අන්තර්ගතයට අත්‍යවශ්‍ය
යැයි හැඟෙන එවන් විස්තර මෙයට ඇතුලත් කිරීමට සිදු විය.
බොහෝ විට අසාමාන්‍ය සහ අද්භූත සිදුවීම්
ඉතිහාසය සදහා කියවන්නෙකු අවුල් කරන හෙයින්, එවැනි සිදුවීම් හැකි පමණ අඩංගු
නොකරන්නට උත්සාහ කලෙමි. එහෙත් සමහර එවැනි සිද්ධි සමිපූර්ණයෙන්ම ඉවත් කල විට කථාව
මඟින් කැඩෙන තත්වයක් ඇතිවේ. එවැනි අවස්ථාවල යම් තරමක පැහැදිලි කිරිමක් සහිතව ඒවා
අඩංගු කර ඇත්තේය.
මගේ මෙම කෘතිය කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ
රාජය ඉතිහාසය දැනගැනීම සදහා පමණක් මහා
වංශය කියවන්නන්ටය. මෙලෙස මෙම කෘතිය කියවාගෙන යන විට එය පහසුවෙන් අවබෝධ කරගැනීමට
අවශ්‍ය නොයෙකුත් විස්තර, එකල ලෝකයේ සිදුවන ප්‍රධාන සිද්ධි සහ පැරණි වචනවල තේරුම්
යනාදිය එතැන්හිම අඩංගු කර ඇත. මෙම මහා වංශය පටන් ගන්නේ මුල් මහා වංශයේ 6 වන
පරිච්චේදයේ සිටය. එයට හේතුව ලංකා ඉතිහාසය
පටන් ගන්නා විජය කුමරුගේ මෙහි පැමිණීම ඇතුලත් වන්නේ 6 වන පරිච්චේදයේ නිසාය.
[1]
මගධ, මධ්‍ය ඉන්දු ආර්ය
භාෂාවක් , වර්තමානයේ පාවිච්චි වන්නේ ථෙරවාද සහ සමහර හින්දු ආගම් වල ලේඛන මෙම
භාෂාවෙන් ලියවී ඇති නිසාය
[2]
ඉංග්‍රීසි සිවිල්
නිලධාරියෙකු වූ මොහු පළමුවෙනි පරිචේද 38 පරිවර්තනය කල පසු වයස 44 දී මියගොස් ඇත.
[3] විල්හෙල්ම් ලුඩ්විග් ගයිගර් (1856-1943) ජර්මන් ජාතික පෙරදිග ඉන්දු-ඉරාන භාෂා සහ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව හසල දැනුමකින් යුක්ත විය. ඔහු පාලි,සිංහල සහ දිවෙහි (මාල දිවයිනේ භාෂාව ) පිළිබඳවද විශාරදයකු විය.
චිත්‍රත් කිහිපයක් පළ කරන්න!
ReplyDeleteමේ පොත දිගටම මෙතක පළ කරනවා ද? නැත්නම් මුද්‍රණය වෙලා ද?
ReplyDelete