Wednesday, October 3, 2018

ජපාන චාරිකාව 6




                                               අකිහබරා 
අපි එක් දිනක අකිහබරා ඉලෙක්ට්‍රොනික් විදිය වෙත ගියෙමු. එය ටෝකියෝ නගරයේ එක දිස්ත්‍රික්කයක් වන අතර ජපානයට ගියොත් එය බැලිය යුතුම ඒවාගෙන් එකක් බව මගේ ඉලෙක්ට්‍රොනික දේවල් ගැන මහත් උනන්දුවක් දක්වන මාතර ප්‍රදේශයේ මිතුරකු මා ජපානයට යන බව දැනගත්විට මට කීම මෙම ගමනට ප්‍රධාන හේතුවක් විය.

ඇත්තෙන්ම පසුව පරික්ෂාකර බලන විට ජපානයට පැමිණෙන විදේශ සංචාරකයන් වැඩියෙන්ම පැමිණෙන ස්ථාන වලින් අකිහබරා 3 වන ස්ථානය ගන්නා බව දුටිමි. මෙම ස්ථානයට මෙම ලස්සන නම ලැබී ඇත්තේ ඒමේ ප්‍රදේශයේ පෙර තිබු ආගමික ස්ථානයක් නිසාය. විශාල ප්‍රධාන විදියක් සහ තවත් අතුරු විදි කිහිපයකින් යුක්ත මෙම ප්‍රදේශය ජනයාගෙන් පිරි පවතී. ඔවුන්ගෙන් 90% ක් පමණම ජපන් ජාතිකයන්ය. විදේශ සංචාරකයන් අප ගිය දිනයේ නම් සිටියේ කුඩා කොටසකි. මෙම අකිහබරා හි ප්‍රධාන විදිය දහවල් 1300 පැයේ සිට 1800 පැය දක්වා වාහන ගමනයට වසා තැබීම මෙම ප්‍රදේශයේ ඇවිදීම පහසු කරයි. 

අප ටොමි සටෝ ප්‍රදේශයේ සිට අකිහබරා වෙත ගියේ දුම්රියේය. අප වාහනයේ දුම්රිය ස්ථානය අසලට ගොස් වාහනය ඒ අසල තිබු වාහන නැවතුමක නවත්වුවෙමු. මෙලෙස නවතායන වාහනය දවස් ගණනකට පසු හෝ ආපසු පැමිණ නියමිත මුදල ගෙවා ආපසු නිවාස බලා එලවාගෙන යාමට පුළුවන. අප සිටි ප්‍රදේශයේ දුම්රිය ස්ථානය වෙතට ගොස් එහි සිට සැම දුම්රිය ස්ථානයකම නවත්වන දුම්රියක නැග නරිටා ගුවන් තොටුපලේ දුම්රිය ස්ථානය වෙත ගියෙමු. මෙම දුම්රිය ස්ථානයේ උමං වේදිකා තුනක් තිබෙන අතර ඒ තුන පිහිටා තිබෙන්නේ ගුවන් තොටුපලේ ටර්මිනල් 1,2 සහ 3 යටිනි. ගුවන් තොටුපලේ කුමන ටර්මිනල් එකේ හෝ සිට ටෝකියෝ නගරය වෙත යාම පහසු කිරීම සඳහාය. මෙම වේදිකාවලින් පටන්ගන්නා වේග දුම්රියන් යෙන් 3000 ක් වැනි මුදලකට ගුවනෙන් නරිටා වෙත පැමිණෙන්නන් ටෝකියෝ වෙත කිසිම අපහසුවක් නොමැතිව ගෙන යයි.

මෙම දුම්රියේ තවත් විශේෂත්වයක් තිබේ. ඒ තවත් අමතර යෙන් 2000 ක් පමණ ගෙවීමෙන් අනෙක් පෙට්ටි වල ඇතුවාට වඩා සල පහසුකම් ඇතිව ; ගුවන් යානයකට බොහෝ කිට්ටු ආසන සහිත පෙට්ටියක් තිබීමයි. එහි යාම සඳහා කලින් ටිකට් ගැනීමට අවශ්‍ය නැති අතර අප එහි ඉඩ තිබේනම් ඉඳගෙන සිටිනවිට ටික වෙලාවකින් සේවිකාවක පැමිණ මුදල් අයකර ටිකට් පතක් ලබාදීමට කටයුතු කරයි.



දුම්රිය ගැන කතාකරන්නට පටන්ගත් හෙයින් ජපානයේ දුම්රියේ දුටු දෑ ගැනද යමක් මෙතැනදී ලියා ගියහොත් හොඳ යයි සිතමි. මම පෙර ජපාන ගුවන් සමාගමේ ගුවන් යානයේ දුටුවාක් මෙන්ම මෙහිද විනය ඇත්තෙන්ම පුදුම සහගතය. කොතරම් සිට් එක  දෙපැත්තේ ඉඩ තිබුනද කිසිම කෙනෙකු කකුලක් උඩ කකුලක් ගෙන යනවා මා දුටුවේ නැත. කිසිම කෙනෙකු දුරකතනයකින් කතා කරන්නේ නැත. සියලු දෙන පෝන් සයිලන්ට් දමාගෙන සිටිති. කෙනෙකුට ඇමතුමක් පැමිණියොත් දුරකථනය පරික්ෂාකර බලා එය ගතයුතුම කෝල් එකක් නම් පෙට්ටි දෙකක් අතර ඉඩකට ගොස් එතැනදීද ඉතාමත් හෙමින් කුටු කුටු ගා කතාකරමින් පණිවුඩය ලබාගෙන ආපසු තම ආසනය වෙත පැමිණ ඉඳගනියි.

මම පාසල් යන කාලයේ නැරඹු ජපන් චිත්‍රපටයක ; බොහෝ විට seven nights in japan විය යුත්තේ එකල අපට ජපන් චිත්‍රපට බලන්න ලැබුනේ ඉතා කලාතුරකින් වූ නිසාය, දුම්රිය ජවනිකාවක එම පෙට්ටියේ ඉඳගෙන සහ හිටගෙන යන සියලු දෙනා පත්තර හෝ චිත්‍ර කතා පොත් කියවමින් නිශ්ශබ්දව ගමන් කරනු දුටුවා මට මතකය. දැන් එක්කෙනෙක් දෙන්නෙක් හැරෙන්නට අනෙක් සියලු දෙනාම එය කරන්නේ ස්මාර්ට් පෝන් වලින් බව පෙනේ. දුම්රියේ සිටින සියලු දෙන පෝන් දෙස බලාගෙන යමක් කියවමින් හෝ කරමින් සිටිති.

එසේම දුම්රියෙන් නඟින්නට බසින්නට ගියත් ඒ විනය අඩුවක් වන්නේ නැත. වේදිකාවේ සිටින මගීන් එහි ඇති කහ ඉරට පිටතින් බසින මගින් අවසන් වනතෙක් බලා සිටිති. ඇතුලේ ඉතිරිව තිබෙන්නේ  සීමාසහිත ආසන ගණනක් වුවද ඉක්මනින් අනෙකුන් තල්ලු කරගෙන ඇතුලට නැග එම ආසන අලා ගැනීමට උත්සාහ කරන්නේ නැත.

ජපානයේ දුම්රිය ස්ථාන ගැන කියනවිට තවත් කිවයුතු කාරණයක් වන්නේ ඒවායේ ඇති වැසිකිලි පහසුකම්ය.

Tuesday, October 2, 2018

ජපාන සංචාරය 5


http://lakshmanillangakoon.blogspot.com/2018/10/4.html

හි සිට
කමකුරා පන්සලේ පිහිටුවා ඇති ජේ ආර් ජයවර්ධන සිහිවටනය 


මේ ගමන්ම ජපානයේ අවමගුල් ගැනත් යමක් කියාගෙනම යන්නට සිතුනී. මේ පිළිබඳව මට සොයා බලන්නට උනන්දුවක් ඇතිවුයේ වරෙක මා සමග එක්සත් ජනපදයේ පාඪමාලාවක් හැදෑරු ජපාන ජාතික නිලධාරියෙකු කි කතාවක් මතක්විමෙනි. අප දෙදෙනාම බුද්ධාගමේ නිසා දවසක් ආගම ගැන කතාකරමින් සිටින විට ඔහු කිවේ ජපානයේ බෞද්ධ පුජකයන් අවමගුල් සඳහා අයකරන අධික ගාස්තු නිසා ඔහුට බුද්ධාගම එපාවී සිටින බවයි.

ඇත්තෙන්ම ජපානයේ සාමාන්‍ය අවමගුලකට රුපියල් මිලියන 2 .5 ක් පමණ වැය වේ, ඒ පැමිණෙන යට සංග්‍රහ කිරීමට ලක්ෂ හතක පමණද පුජක ගාස්තුව ලෙස ලක්ෂ පහක් පමණ ගාස්තුවක්ද අතුලුවය. මෙම වියදම මියගිය ඇත්තාගේ පවුලට දැරීම පහසු කිරීමට ද  පුරුදු ඇතිවී තිබේ. ඒ අවමගුලට පැමිණෙන තැනැත්තන් යම් මුදලක් ශෝඛවන පවුලට ප්‍රධානය කිරීමයි. එම ප්‍රමාණය දෙන්නාගේ සහ ලබන්නාගේ සමාජ තත්වය මත යෙන් 3000 සිට 30000 දක්වා විය හැක. ( යෙන් එකක් රුපියල් 1.5 ක් පමණ වෙයි). ලංකාවේ වගේ සිනි කිලෝ 2 කින් හෝ ලොකු බිස්කට් පැකට් එකකින් බේරෙන්න බැරි බව පෙනේ.

අවමගුල්  උත්සවයෙන් පසුව සිරුර පුළුස්සා එහි අස්ථි කිහිපයක්  පන්සල සහ සම්බන්ධව සොහොන් උද්‍යානයක ( ඒවා නඩත්තු කල ඇති ආකාරය දුටුවිට එසේ කිව්වාට පව් නැත) පවුලේ අය වෙනුවෙන් කලින් මිලදී ගෙන ඇති ස්ථානයක මිහිදන් කරන අතර මෙම ස්ථානයද හොඳින් නඩත්තු නොකළ හොත් එතනින් ඉවත්කර ගැනීමට සිදුවන අතර මේ සියල්ලම බොහෝ වියදම් වන කටයුතුය. ටෝකියෝ නගරයේ මෙවැනි පවුල් සොහොනක් මිලදී ගැනීමට යෙන් මිලියන දෙකක් පමණ වැයවන නිසා එලෙස වියදම් කිරීමට මුදල් නොමැති අයට අඩු වියදමින් එය කරගැනීමට දැන් සොහොන් අපාර්ට්මන්ට් වර්ගයක්ද ටෝකියෝ හි එක පන්සලකින් හඳුන්වා දී ඇත්තේය. ඒ තට්ටු 8 ක් උස ගොඩනැගිල්ලක පවූලක් සඳහා භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා අල්මාරියක් වන්නක් ලක්ෂ හතරකට පමණ මිලදී ගැනීමට හැකියාව ලබාදීමයි.
මේ හා සම්බන්ධ තවත් බොහෝ සිත්ගන්නා සුළු කරුණු කාරනා තිබුනද මෙය සංචාරක විස්තරයක් නිසා අප දුටු දෑ සහ ඒ පිලිබඳ නිරීක්ෂණයන් මතුපිටට කිට්ටුවෙන් තබාගැනීම වඩා ගැලපෙයි.
මම මුල්දින ගුවන්තොටුපලෙන් පිටතට ආ විගස මම මිට පෙර ; වරක් එක්සත් ජනපදයට යන අතරමග නරිටා ගුවන් තොටුපලේදී ගුවන් යානයක් මාරුවීම හැරෙන්නට, ජපානය වෙත පැමිණ නොමැත්තේ නමුදු මෙහි යම් පුරුදු බාවයක් දැනුනි. ටික වෙලාවක් යනවිට මට දැනුනේ ඒ ජපානයේ බාහිර පෙනුම බොහෝ දුරට ඇමෙරිකාවට සමාන බවයි. එහි ගොඩනැගිලි , මාර්ග , ව්‍යාපාරික ආයතන ඇමෙරිකාවේ ඒවාට බොහෝදුරට සමානය. සෑම  දෙයක්ම ගොඩනගා ඇත්තේ පෙනුමට නොව එය යොදවා ගන්නා කාර්ය සිහියේ තබාගෙනය. එම කාර්ය කාර්යක්ෂම ලෙස ඉටු  කිරීමටය. 

මෙයට යම් හේතුවක් තිබේදැයි මම කල්පනා කලෙමි. සමහරවිට දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව මෙම දෙරට අතර ඇතිවූ සහ එසේම පවත්වාගෙන යන අතිශය කුළුපග මිත්‍රත්වය මෙයට හේතුවක් විය හැකිය.

1945 ජපානය යුද්ධයෙන් පැරදී මිත්‍ර පක්ෂයට යටත් වූ පසු අවුරුදු 7 ක් ජපානය පාලනය කලේ ඇමෙරිකානු ජෙනරාල් වරයෙකු වූ ඩග්ලස් මැක් ආතර් විසිනි. 1951 සෑන් ෆ්රැන්සිස්කෝ සාම  සමුළුවේදී; ජේ ආර් ජයවර්ධන ගේ ප්‍රසිද්ධ දේශනය කරන ලද්දේද මෙම සමුළුවේදීය, නැවත වරක් ජපානයට ස්වාධීනව ප්‍රජාතන්ත්‍ර වාදී රටක්  කටයුතු කරගෙන යාමට ඉඩ ලැබුණු අතර මෙම කාලය තුල සහ ඉන්පසු ඇමෙරිකානු ආභාෂය බොහෝදුරට ලැබෙන්නට ඇත.



මුලින් අප  සිටි ටොමි සතො ප්‍රදේශය සාමාන්‍යයෙන් ගොවිතැනෙන් ජිවත්වන ප්‍රදේශයකි. එහෙත් එහි නගරය එම ජනයාගේ ප්‍රයෝජනය සඳහා අති විශාල සුපර් මාකට් වලින් පිරි පවතී. එහි තිබෙන joyful Honda නම් වූ සුපර් මාර්කට් එක තරම් විවිධත්වයක් එසේම විශාලත්වයක් ඇති සුපර් මාර්කට් එකක් ලංකාවේ කොතැනක හෝ තිබේ දැයි මම සිතන්නේ නැත.

 ලක්ෂ 5 හේ  බැලු පැටවුන් ගෙ සිට නිවසකට අවශ්‍ය ඕනෑම දෙයක් එහිදී මිලදී ගත හැක්කේය. එහෙත් මම එම ප්‍රදේශය පුරාම ඉතාම ගැමි පරිසරයක හෝ කුඩා කඩයක් දකින්නට ලැබුනේ නැත. එසේ දකින්නට ලැබුනා නම ඒ සංචාරකයන් පැමිණෙන පුරාන පන්සල් යනාදිය වටා ඇති කුඩා නගරයන්හි පමණකි.

Monday, October 1, 2018

ජපාන සංචාරය 4






නරිටා ගුවන්තොටුපලේදීම ජපානයේ රජය වැඩ කරන කාර්යක්ෂමතාවය කෙනෙකුට පහසුවෙන්ම වැටහේ. ලෝකයේ මෙතරම් රටවල් ගණනාවකින්; අපේ රටත් ඇතුළුව, තම රට තුලට පැනගන්නට සැලසුම් කරන ජපානයේ මෙතරම් ඉක්මනට පිටරටින් එන ජනයා ඇතුලට ගැනීමට හැකිවන පරිදි කාර්යක්ෂම ක්‍රමවේදයක් සාදා තිබීමෙන්ම එය ප්‍රත්‍යක්ෂ  වෙයි.

රටකට පැමිණෙන අමුත්තෙකුට ඒ රට ගැන මුල්ම හැඟීම දෙන්නේ මෙම ආගමන හා විගමන නිලධාරින්ය. විශේෂයෙන්ම ඒ හා සම්බන්ධව රාජකාරි කටයුතු කෙරෙන ආකාරයෙනි.

ඒ අතින් යම් ජානවල එසේත් නැත්නම් ඉතිහාසය නිසා ඉන්දියාව, ශ්‍රීලංකාව, පකිස්තානය වැනි රටවල් මේ සම්බන්ධයෙන් ඉතාමත් පසුපසින් සිටින අතර සිංගප්පුරුව, වියට්නාමය, ජපානය වැනි රටවල් ඉතාමත් ඉහලින් සිටින බව මෙම ප්‍රදේශවල ගමන් කර ඇති අයට නොකිවමනාය. 
පෝලිම් හැඳීමේ සිට ආගමන කටයුතු අවසාන වන තෙක් ඒ රටවල එය හොඳින්ම කල යුත්තේ කෙසේදැයි හදාරා දිනෙන් දින දියුණු කරමින් සිටින බවට කිසියම්ම වූ සැකයක් නැත්තේය.

මම ගුවන් තොටුපළෙන් පිටවීමට පෙර බ්ලැක් ලේබල් විස්කි බෝතල් දෙකක්ද මිලදී ගත්තේ ඉදිරි සති දෙකක කාලය තුල පානය කිරීමට යමක් තිබිය යුතු යයි සිතාය. මම මිතුරාත් සමඟ ඔහුගේ රථයෙන් ගුවන් තොටුපළෙන් පිට වී ගුවන් තොටුපලට විනාඩි 15 ක් පමණ දුරින් පිහිටි ඔහුගේ නිවස වෙත ගියෙමි. මෙම ප්‍රදේශය තනිකරම පාහේ ගොවිතැන මුල් කොට ගත් පිරිසක් ජීවත්වන පළාතකි.

මම ජපානයට යාමට අදහස් කරන බව මා මිතුරු අද්මිරාල් සෝමතිලක දිසානායකට කිවූ විට ඔහු මට මුලින්ම කියා සිටියේ හැකි තරම් ජපානයේ ගම්බද ප්‍රදේශ වෙත සංචාරය කරන ලෙසත් ඔහු වරක් ජපානයට ගොස් එසේ කිරීමට නොහැකි වූ නිසා කණගාටු වන බවත්ය. මට ගම්බද සංචාරය කිරීමට පමණක් නොව ගම්බද නැවතී සිටිමටම අවස්ථාවක් ලැබී ඇති බව දැක මම සතුටට පත් වුනෙමි.

මගේ මිතුරා නැවතී සිටියේ තට්ටු දෙකක් ගොඩනැගිල්ලක ඉහල තට්ටුවේ නිවාස ඒකකයකය. එහි නිදන කාමර දෙකක්, තරමක කුස්සියක්, නාන කාමරයක්, සහ බැල්කනියකින් සමන්විත විය. රාත්‍රියට මිතුරා විසින් ඉතා රසවත්ව සාදන ලද ශ්‍රී ලාංකීය ආහාර වේලක් අනුභව කොට අපි නින්දට ගියෙමු.

පසුදින උදෑසන මට ඇහැරුනේ ‘ටු ටු කියතෝ.......’ යන හඬින් කෑගසන කුරුල්ලෙකුගේ ශබ්දයෙනි. මේ කුරුල්ලා සෑම දිනකම උදෑසන මේ ශබ්දය කරන්නට යෙදුනු අතර ජපානයේ සිටින තාක් කල් සෑම දිනකම පාහේ අසන්නට ලැබුණු මේ ශබ්දය සංචාරය අවසන් කොට ආපසු පැමිණි මට ‘මිස්’ වන ප්‍රධාන කරුණකි.

අපි උදයේම නැගිට ප්‍රදේශයේ පයින් ඇවිදින්නට ගියෙමු. දෙවියන්ගේ භාෂාව නිශ්ශබ්දතාවය යැයි ඉංග්‍රීසි කියමනක් තිබේ. එසේ නම් දේව සභාව තිබිය යුත්තේ ජපානයේය. අප කිලෝමීටර් 5 ක් පමණ මෙම උදෑසන ඇවිද්ද නමුදු එක හෝන් හඬක් හෝ කතා බහක් හෝ අපට ඇසුනේ නැත. මේ එතරම්ම කැලෑබද ප්‍රදේශයක් නොවේ. එක් නිවසක් නොදැකී යන විට තව නිවසක් පෙනෙන තරමේ ජනගහනයක් සිටින ප්‍රදේශයකි. මේ සෑම ගෙදරකම පාහේ වාහනයක් දෙකක්, ට්‍රැක්ටරයක්, බැකෝ යන්ත්‍රයක්, දිරාගිය වාහන කිහිපයක් නිවෙස අසල පෙනෙන්නට තිබුණි. මෙලෙස ඇවිදින එක් දිනයකට මිනිසුන් එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට වඩා දකින්නට ලැබුනේත් නැත. බොහෝ විට නිවාස තුල හෝ ඒ අසල ඇති මඩුවකට වී යම් ප්‍රයෝජනවත් කටයුත්තක යෙදී සිටිනවා විය යුතුය.


අප ඒ උදෑසන ආපසු එද්දී ඉතා අලංකාර ලෙස නඩත්තු කරමින් පවතින සොහොන් භූමියක් දුටුවෙමු. මම එය ඇතුලට ගොස් පරීක්ෂා කර බැලුවෙමි. සෑම කොතක්ම නිපදවා තිබුනේ කළුගල් වලිනි. මෙයට බොහෝ කලකට පෙර මිතුරෙකු විසින් මා හට හදුන්වා දෙන ලද තායිවානයේ සිට පැමිණි වෙළෙඳ ව්‍යාපාරිකාවක වූ තෙරේසා නමැති කාන්තාවක ලංකාවට පැමිණියේ මෙවැනි සොහොන් කොත් වලට කළුගල් ලංකාවෙන් සොයාගෙන ජපානයට අපනයනය කිරීම සඳහාය. මගේද සහය ඇතිව ඇය ලංකාව පුරා මෙලෙස එයට ගැලපෙන කළුගල් වර්ගය සොයා ගැනීමට වෙහෙස වූ නමුදු එය කර ගැනීම නොහැකි විය. එම ව්‍යාපාරය සාර්ථක වූවානම් මාද අද ජපානයේ සොහොන් කොත් ව්‍යාපාරයේ පුරෝගාමියෙකුව සිටින්නට ඉඩ තිබුණු බව මට මෙහිදී මතක් විය.

ඇය ගල් පරීක්ෂා කලේ හොඳින් මදින ලද ගල් කැබැල්ලකට ජලය ස්වල්පයක් වත්කර එය ගලන ආකාරය සහ ජලය වේලීමට ගතවන කාලය ගණනය කිරීමෙන් බව මට මතකය.            

Sunday, September 30, 2018

ජපානයේ චාරිකාව - 3




දින දෙක තුනකින් ජපන් තානාපති කාර්යාලයෙන් කාන්තාවක් මා සමඟ දුරකතනයෙන් කතා කලාය. මගේ සංචාරය පිලිබඳ විස්තර කිහිපයක් ඇසු ඇය අවශ්‍ය වුවහොත් නැවත කතා කරන බව පැවසුවාය. සතියක් ගිය පසු තානාපති කාර්යාලයෙන් ලියකියවිලි ඔවුන් වෙත ලැබුණු බව පවසා ආයතනයෙන් එස්.එම් එකක් ලැබුණි. 

මම කොළඹ සිටින ඥාති පුත්‍රයෙකුට බලය දී ලිපියක් යවා මගේ ගමන් බලපත්‍රය ගෙන්වා ගතිමි.

11 වන දින ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් සිංගප්පුරුව බලා පිටත් වුනෙමි. මේ අප ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් කජු ප්‍රශ්නය ප්‍රසිද්ධියේ සාකච්ඡා කර තිබු කාලයයි. ඇත්තෙන්ම වෙනත් ඔහු කියන බොහෝ දේවල් හා එකඟ විය නොහැකි නමුත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මගීන්ට සැලකීම සහ වල් සතුන්ගෙන් ගොවිතැනට වන කරදරය ගැන නම් ඔහු හා සම්පුර්ණයෙන් එකඟ විය හැකිය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මගීන්ට සලකන ආකාරය ආසියාවේ බොහෝ වෙනත් ගුවන් සමාගම් හා සසඳන කල ඉතාමත් පහල තත්වයක පවතී.

ආහාර වට්ටෝරුවේ චිකන් සහ ෆිෂ් තෝරා ගැනීමක් තිබුනද මා මෙම ගමනේදී ගමන් කළ ශ්‍රී ලංකා ගුවන්යානා දෙකෙහිම ෆිෂ් ඉල්ලා සිටියද ඒ වන විටත් ෆිෂ් කෑම අවසන් වී ඇති බවත් මට කියා සිටියහ. ඒ විතරක් නොව එම ගුවන් සේවිකාවන්ගේ ආකල්පයම මගීන්ට සැලකීමට නොව එයින් මග හැරීමට බව ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පෙනේ. කෑම බිම දීමට නොව නොදීමට දරණ වෙහෙස ඕනෑම මගියෙකුට පහසුවෙන්ම දැනෙයි. සේවය කොතරම් පහලට ගොස් ඇත්දැයි කියන්නේ නම් මට ලබා දුන් ආහාර වේලේ අතුරුපස භාජනය හිස්ව තිබුණි. මම ඒ පිළිබඳව ඔවුන්ට දැන්වීමටවත් උනන්දුවක් ගත්තේවත් නැත්තේ එය කිමටවත් මහන්සිවීමේ තේරුමක් නොමැති බව සිතුනු නිසාය.

සිංගප්පුරුවේ පැය 16 නැවතීමක්  තිබුණ නිසා ගුවන් තොටුපළෙන් පිටව නගරයට ගොස් රාත්‍රී ආහාර ගෙන ඥාති නිවසක රාත්‍රී ගතකර පසුදා උදෑසන ජපාන ගුවන් සමාගමේ ගුවන් යානයකින් ජපානය වෙත පියාසර කලෙමි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවාවන් සහ ආකල්ප කොතරම් පහල මට්ටමක පවතීදැයි සංසන්දනය වන්නේ ජපාන ගුවන් සමාගමේ සේවාවන් සහ සංසන්දනය කරන විටය. ඔවුන් එම සේවය කරන විට එය කරන්නේ ඉතා කැමැත්තෙන් බව එහි සේවක සේවිකාවන්ගේ ඉරියව් වලින් සහ හැසිරීමෙන් පැහැදිලිව පෙනේ. එම ගුවන් සේවිකාවන් කිසිම විටක මගීන්ගෙන් සැගවී සිටීමට උත්සාහ කරන්නේ නැත.

පැය 7 ක ගුවන් ගමනකින් මම චිත්‍රපට දෙකක් බලන්නට සැලසුම් කරගෙන සිටියෙමි. එහෙත් තිබූ නවතම හොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම පරික්ෂා කර බැලු නමුදු හිතට ඇල්ලුවේ නැති නිසා අවසානයේ තෝරා ගත් මේස් රනර් චිත්‍රපටය තෝරා ගත්තේ නමුදු එයද භාගයක් බලන විට එතරම් නැගලා යන්නේ නැති බව පෙනුනි. ඒ නිසා එයද නවතා දමා ඉංග්‍රීසි සබ් හෙඩින්ස් සහිත ජපන් චිත්‍රපට එකිනෙක පරීක්ෂා කර බැලුවෙමි. ඒ අතරින් මා සිත්ගත් fly catcher නමැති චිත්‍රපටයක් බලන්නට තෝරා ගත්තෙමි.

ඉතාමත් අඩු පිරිවැයකින් සාදා තිබූ මේ චිත්‍රපටය අපුරු චිත්‍රපටයකි. පෙරදින  සමුරායි පසුබිමක නිපදවා තිබූ මෙම චිත්‍රපටයේ හාස්‍යය හා නොයෙකුත් මිනිස් හැගීම් මනාව පිළිබිඹු කර තිබුණි.

මෙම ගුවන් ගමනේදී මට ජපන් ජාතිකයන් ගැන බොහෝ දේවල් නිරීක්ෂණය කරන්නට අවස්ථාව ලැබුණි. එයින් පළමු වැන්න ඔවුන් බොහෝ දෙනෙකු අඳින ඇඳුම් ලා පාට ඒවා වීමය. තද පාට හෝ ඩිසයින් ඇති ඇඳුම් ඇඳගෙන සිටින්නන් සිටින්නේ කලාතුරකිනි.

ඔවුන් ගුවන් යානයේ ඉඳගෙන සිටිද්දී පවා හරි පිළිවෙලට ඉඳගෙන සිටිති. කකුලක් උඩ කකුලක් දැමු කෙනෙකු සොයා ගැනීමට අපහසුය.

සාමාන්‍යයෙන් අප බොහෝ දෙනෙකු; බොහෝ බටහිර ජාතීන් මෙන්ම ආසන තුනක මගින් නොසිටියහොත් එතනට ගොස් නිදා ගන්නට පුරුදුව සිටින්නෙමු. මටද එවැනි අවස්ථාවක් මෙහිදී ලැබූ තිබුණු නිසා එසේ නිදා ගන්නට කල්පනා කර වටපිට ටිකක් සොයා බැලුවිට දැක ගන්නට ලැබුනේ එවැනි ආසන තුන හිස් ස්ථාන කිහිපයක්ම තිබෙන නමුදු කිසිම කෙනෙකු ඒවාගේ නිදාගෙන නොමැති බවයි.

රෝමයට ගිය විට රෝමානුවෙකු මෙන් සිටිය යුතු නිසා මමද කකුලක් ඉදහිට එහාට මෙහාට කරනවා හැරෙන්නට ආසනය හරහා වැටි නිදා ගන්නට උත්සාහ නොකලෙමි.

මෙලෙස ගමන් කර නරිටා ගුවන් තොටුපලට පැමිණ එළියට පැමිණෙන විට මගේ මිතුරෙකු මා පිළිගැනීමට එහි පැමිණ සිටියේය.    
  

Friday, September 14, 2018

ජපානයේ සංචාරය ; getting there is half the fun

මම මෙතෙක් බොහෝ රටවල ඇවිද ඇත්තෙමි. ඇවිද පමනක් නොව ජීවත් වීද ඇත්තෙමි. මෙයින් ඉන්දියාවේ අවුරුදු දෙකක් , පකිස්තානයේ අවුරුද්දක් ඇමෙරිකාවේ අවුරුද්දක්  අඩු වැඩි වශයෙන් ද තවත් රටවල් 30 ක පමන  කෙටි  සංචාරකයන් ඇතුළත් වෙයි.

මෙයින් සංචාරයන් තුනක් හැරෙන්නට අනෙක් ඒවා මා වැඩකල ආයතන වල රාජකාරි සඳහා ගිය ඒවා බැවින් ඒවා සදහා වියදම් කරන ලද්දේ එම ආයතනයන් වලිනි.
මගේ මුදලින් මම කල සංචාර වන්නේ මියන්මාරය, වියට්නාමය සහ චීනයයි. ඒ මට ඒවාට කලින් යන්නට අවස්තාවක් නොලැබුනු නිසාත් මෙම රටවල් ගැන මට යම් හේතුවක් නිසා; බොහෝවිට පොත් කියවද්දි හෝ චිත්‍රපට බලද්දී ඇතිවූ උනන්දුවක් නිසා, යාමට උනන්දුවක් සිතේ පැලපදියම් වී තිබූ හේතුවත් නිසා වන්නට පුලුවන.
මෙවර මම යන්නට තීරණය කලේ ජපානයටය. එම තීරණයටද බොහෝ හේතු තිබුනද වඩාත්ම බලගතු හේතු තුන  වූයේ දහනායක බන්ඩාර නැමැති මගේ මිතුරෙකුත් අකිරා කුරසෝවා ත් එලිපන්ට් වැනිශස් පොත් ලියු කතුවරයා  වන හරුකි මුරකාමි යන තිදෙනාය.

දහනායක මට නිතරම මෙම ගමන මතක් කලේය. එයිනුදු නොනැවතී මම එරටට පැමිනිය හොත් ඔහුගේ නිවසේ නැවතී සිටීමට හැකි බවට සහතික කර ඔහුගේ පදිංචිය සහතික කරන යම් ලියකියවිලි කිහිපයක්ද මා වෙත එව්වේය. අනෙක් දෙදෙන එම රට ගැන මා සිත තුල ලොකු උනන්දුවක් ඇති කර තිබුනේ පොත් සහ චිත්‍රපට වලිනි.
මම අන්තර්ජාලයේ බලා අයදුම්පත පුරවා නොයෙකුත් අවශ්‍ය ලියවිලිද සමග එම වීසා ලබාදෙන කොල්ලුපිටියේ පිහිටි කාර්‍යාලයකට රැගෙන ගියෙමි. මෙම ලියවිලි අතර මගේ කසාද සහතිකයේ පිටපතක්ද ලබාදීමට මට සිදුවිය. සති දෙකක චාරිකාවක් සදහා මෙලෙස ලංකාවට පැමිනීමට වීසා ඉල්ලන ජපනෙකුගෙන් ඔහුගේ විවාහ සහතිකය ඉල්ලා සිටීයේනම්  ඔහුගේ ප්‍රතිචාරය කුමක් විය හැකි දැයි සිතාගන්නටත් බැරිය.
සමහරවිට ඒ රටේ ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට මෙය පත්වන්නට ඉඩ තිබේ.

මේ කාලයේ මගේ ජාතික හැඳුනුම්පත නැතිවී නව හැඳුනුම්පතක් අයදුම් කර මාස 10 ක් ගතව තිබුනී. මම සොයා බැලූවිට එය රැගෙන යා යුතුම බව මට වැටහුනී. මේ නිසා මම මේ පිලිබඳව  fb එකේ පෝස්ට් එකක් දැමුවෙමි.
මිතුරන් කිහිපදෙනකුම මේ පිලිබදව උනන්දු වු අතර මුහීඩ් ජිරාම් යන සමාජ  ක්‍රියාකරුවා ආයතනයේ ප්‍රධානියා ට කතාකර එම සතියේ සිකුරාදා තැපෑලෙන් එය ගෙදරට ලැබෙන්න සැලැස්වීය.

තවත් මිතුරන් කිහිපදෙනකුම මේ සදහා උදව් කරන්නට වෙහෙස ගත් අතර මේ අතර මා සමග නාවික හමුදාවේ වැඩකල දෙදෙනෙකු ද මගේ පෝස්ට් එක දුටු පුද්ගලයන් ලියාපදිංචි ආයතනයේ අධ්‍යක්ෂක වරයෙකුද විය.

මම ලියකියවිලි ද රැගෙන කෝල්ලුපිටියේ පිහිටි ඒවා බාරගන්නා පුද්ගලික ආයතනයක් වූ කාර්‍යාලයකට ගියෙමි. මනාව සංවිධානය වූ එම කාර්‍යාලයේ මා දුටු එකම අඩුව වූයේ වේටින්ග් ඒරියා එකේ කොතරම් හිස්පුටු තිබුනත් කලින් පැමිනෙන අයදුම්කරුවන් එයට පිටතින් ආරක්ෂක කවුන්ටරයක් අසල රඳවාගෙන සිටීම පමනී.
මගේ ලිපි චෙක් ලිස්ට් එකකට අනුව එම ආයතනයේ සේවිකාවක විසින් පරීක්ෂා කලාය. එකක් හැර අනෙක් ලියකියවිලි සියල්ල සම්පූර්ණ බව ඇය කිව්වාය.

අවසනාවකට වාගේ නැවතත් හෙනහුරාට හිටියේ මගේ nic එකය.

Sunday, August 5, 2018

පහ වසරේදී පය බරවයට පිටිකර බෙහෙත් බැඳීම


ඊයේ දිනයේදී පහේ ශිෂ්‍යත්වය සඳහා පෙනීසිටි සිසුන් සම්බන්ධයෙන් අප රටේ පමණක් ඇතිවිය හැකි සිද්ධි කිහිපයක් අසන්නට ලැබුණි.

ඒවා පිළිබඳව කතාකරන්නට පෙර මේ පහේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව ටිකක් උනන්දුවෙන් බලන්නට මට සිතුණි. මේ ශිෂ්‍යත්ව විභාගයේ පරමාර්ථය වඩාත්ම ඉගෙන ගැනීමට හැකියාව තිබෙන ළමයි කිහිප දෙනෙකු තෝරාගෙන ජනප්‍රිය පාසල් වලට ඔවුන් ඇතුල්කර ඔවුනට වඩා පහසුකම් ඇතිව ඉගෙන ගැනීමට සැලසීම බව පෙනේ.

මෙම ක්‍රමයෙන් ඇත්තටම සිදුවනුයේ දැනටමත් යම් බොහෝවිට අසාධාරණ ක්‍රමවලින් (විශාල මුදලක් දී පාසලට කිට්ටුව නිවසක් මිලදී ගැනීමෙන්, ලිපිනය වංචාවෙන්  කිරීමෙන්, විදුහල්පතිට පගාව දීමෙන්, දේශපාලඥයන් ගේ උදව්වෙන්, පියා  එම පාසලට ගිය නිසාවෙන් වැනි) ජනප්‍රිය පාසල් වලට ඇතුලත් වී ඇති ළමුන් අතරට වයස 11 දී වඩාත්ම IQ (intelligent quotient) බුද්ධි හැකියාව සහ ධාරණ හැකියාව ඇති සිසුන් කිහිප දෙනෙකුද එකතු කිරීමයි.
මෙම ක්‍රමයේ  මට පෙනෙන හැටියට ලොකු අඩුපාඩු කිහිපයක් තිබේ. එකක් නම් නොයෙකුත් වයස් කාණ්ඩ වලදී ළමයින්ගේ එම බුද්ධි හැකියාවන් වෙනස්වීමයි. මිනිසුන්ගේ බුද්ධිය උපරිමයට පැමිණෙන්නේ නොයෙකුත් වයස් කාණ්ඩ වලදීය. වයස 11 දී ඉතා දුර්වල බුද්ධියක් ඇති කෙනෙකු වයස 20 දී ඉහල බුද්ධියක් ඇත්තෙකු බවට පත්වන්නට පුළුවන. මේ නිසා මෙම විභාගයෙන් ඉහලින්ම සමත් වන්නන් එම දිනයේදී හැකියාවන් ඉහලින්ම තිබුන සිසුන් කණ්ඩායමය. දැන් ශිෂ්‍යත්ව විභාගය පටන්ගෙන බොහෝ කාලයක් වුවත් ශිෂ්‍යත්වය සමත්වුවන්ගේ ඉන්පසු විශ්ව විද්‍යාල වලට ඇතුළු වීම සහ රටට වැඩදායක ලෙසට සේවයක් කරමින් තමන්ගේ පුද්ගලික ජීවිතයද කොතරම් දුරට සාර්ථක කරගත්තේ දැයි සමීක්ෂණයක් කර ඇත්තේ දැයි සැක සහිතය. 

මෙවැනි ක්‍රම වේදයක් බටහිර හෝ ජපානය වැනි රටක තිබුනේ නම් ඔවුන් කලින් කලට මෙවැනි ක්‍රමයකින් වන හොඳ හා නරක ප්‍රතිපල සමීක්ෂණ වලින් පරීක්ෂා කර බලනු ඇත. නමුත් අපේ සත්‍යයට මුහුණදීමට ඇති අකමැත්ත නිසා මෙවැනි ප්‍රතිපල ගැන සොයා බැලීමක් හෝ පසු විපරමක් කරනවාදැයි මට නම් සැක සහිතය.

අනෙක් අඩුපාඩුව මෙලෙස ජනප්‍රිය විද්‍යාල වලට ඇතුලත් කරගන්නේ විභාගයට පෙනී සිටින ප්‍රමාණයෙන් 2% පමණ විය යුතුය. ඉතිරි 98% මෙම අසමත්විමෙන් ඉච්චා භංගත්වයට පත්වීම වැළක්විය නොහැක. විශේෂයෙන් ළමයින්ගේ දෙමව්පියන් මෙම අසමත්විමෙන් ඉතාමත මානසික කඩා වැටීමකට පත්වන බව රහසක් නොවේ. ඉන්පසු ඔවුන් එම අඩු සුදුසුකම් ඇති ජනප්‍රිය නොවන පාසල් වලම තම අධ්‍යාපනය කරගෙන යාමට සිදුවන්නේය. ඇත්තෙන්ම මෙතන සිදුවන වැරැද්ද අඩු පහසුකම් ඇති පාසැල් ක්‍රමයෙන් දියුණු කර ජනප්‍රිය පාසැල් වල ඇති පහසුකම් හා සමාන කිරීමට උත්සාහ කරන්නේ නැතිව එම අඩු පහසුකම් ඇති විද්‍යාලවල ඉගෙන ගන්නා සිසුන්ගෙන් ඉතා සුළු පිරිසක් අවුරුදු පතා විභාගයකින් තෝරා ගෙන වැඩි පහසුකම් ඇති පාසැල් වලට ඇතුල්කර ගැනීමයි.

 මෙම ක්‍රියාව රටේ පාලකයන්ගේ සහ ඉහල මධ්‍යම පංතියේ හිත සනසා ගැනීමටත් එමෙන්ම මෙම අධ්‍යාපනයේ සිදුවන අසාධාරණයට ලක්ව ඇති පහල මධ්‍යම පංතියේ සහ එයට පහල ස්ථරයන්හි ජනතාව මෙම අසාධාරණයට විරුද්ධ වී එය නැතිකර ගැනීමට සටන් කිරීම වැලක්වීමට කරන්නාවූ උප්පරවැට්ටියක් බවද සිතන්නට පුළුවන.

ඇත්තෙන්ම 2% ක් 3% ක් අඩු පහසුකම් ඇති පාසැල් වලින් තෝරාගෙන ජනප්‍රිය එමෙන්ම  වැඩි පහසුකම් ඇති පාසැල් වලට ඇතුලත්කර ගැනීම අප කරන්නේ පය බරවයට පිටිකර බෙහෙත් බැඳීමකි. ඇත්තෙන්ම කල යුතු වන්නේ දුප්පත් පාසැල් වලටත් හැකි පමණ පහසුකම් ලබා දී ඒවායේ ඉගෙන ගන්නා මුලු ශිෂ්‍ය සංහතියටම වැඩි පහසුකම් ලබා දීමයි.
මේ සඳහා වඩාත්ම උචිත ක්‍රමය යැයි මට වඩාත්ම පෙනෙන්නේ ජනප්‍රිය පාසැල් වල සිසුන්ගේ ගැලපෙන මාසික සේවා ගාස්තුවක් අයකර ඒ මුදලින් එම පාසැලේ; ගුරුවරුන්ගේ පඩිනඩිද ඇතුළුව වියදම් පියවා ගැනීමයි. එලෙස මෙම පාසැල් වලට රජයේ වියදම අවම කර එලෙස ඉතිරි වන මුදලින් දුෂ්කර පලාත්වල විදුහල් වලට පහසුකම් එකතුකර ඒවා ජනප්‍රිය පාසල් තත්වයට ගෙන ඒමයි.

මෙලෙස අවුරුදු 10 ක් පමණ කරගෙන යන විට රටේ සියලුම පාසැල් වල පහසුකම් අඩු වැඩි වශයෙන් සමාන තත්වයට පැමිණි විට ජනප්‍රිය පාසැල් වල සිසුන්ගෙන් මුදල් අය කිරීමද නවතා දමන්නට හැකි විය යුතුය.
මම බ්ලොග් එක ලියන්නට පටන් ගත්තේ වල් අලි ප්‍රශ්නය වුවත් අවසානයේ වචන 500 යට එන විටත්; මගේ බ්ලොග් වල වචන සීමාවට පැමිණි නිසා වල් අලි ප්‍රශ්නය ඊළඟ බ්ලොග් එකේ ලියන්නට තීරණය කලෙමි.      

Sunday, July 1, 2018

ජනමත විචාරණයක් පවත්වා මෙය අවසන් කරමුද?


මේ දවස්වල පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන නොයෙක් දෙනා කතා කරනු අපට හවසට රූපවාහිනියේ පෙනේ. මම මේ පිළිබඳව අද පෝස්ට් එකක් දැමුවෙමි. ඒ පළාත් සභා ඡන්දය නොපවත්වාම සිටියොත් මාසයකට අපට; ජනතාවට, කොපමණ පාඩුවක් සිදුවන්නේ දැයි අසමිනි. මට පෙනෙන විදිහට නම් මේ ලංකාවේ ෆුල් ටයිම් දේශපාලඥයෝ සහ පලාත් සභාවෙන්ම කීයක් හරි හොයා ගෙන  තම බඩගෝස්තරය රැක ගන්නා එහි මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ ගෝල බාලයන් හැරෙන්නට වෙනත් කිසිම පුරවැසියෙකු මේ පළාත් සභා තව දුරටත් තබා ගත යුතු යැයි නොසිතති.

එහෙත් ඇඹරුණු  කරත්ත රෝදයක් මෙන් පළාත් සභා රට දුප්පත් කරමින් සංවර්ධනය අඩපණ කරමින් හෙමින් හෙමින් ඉදිරියට යයි. දැන් එය කොතරම් සමාජ ගත වී ඇත්දැයි කීවොත් එය කොතරම් අසාර්ථක පර්යේෂණයක් දැයි අපට කොතරම් පැහැදිලි වුවත් අප දැන් එය ඉවත්කරන්නට කල්පනා කරන්නේවත් නැත. බොහෝ කලක් තිබීම නිසා දැන් ඉතින් මැරෙන කන් එය ඔහේ තිබෙන්නට හැර සිතින් අමතක කර දමන දදයක් හෝ කුෂ්ටයක් බවට පත් වී හමාරය. හරියට පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව එසේත් නැත්නම් ඛනිජතෙල් නීතිගත සංස්ථාව වැනි ජාතියට නොදැනෙන්නට ජාතියේ ලේ උරා බොන මාපිලයෙකු බවට පත් වී ඇත්තේය.

පළාත් සභා මට මතක හැටියට ගෙනාවේ උතුරේ දෙමළ මිනිසුන්ට යම් තරමින් වත් ස්වයං පාලනයක් ලබා දී ඔවුනට තමන්ගේ ප්‍රදේශ දියුණු කර ගැනීමට යම් ප්‍රාදේශීය තීරණ ගැනීමේ හැකියාවක් ලබා දීමටය. එහෙත් දෙමළ මිනිසුනට පමණක් මෙවැන්නක් ලබා දුන හොත් ඔවුනට යම් විදිහක ඊළමක් වැනි යමක් දුන්නේ යැයි සිංහල මිනිසුන් සිතන්නට ඉඩ ඇති නිසා අප මතටද මෙය බලහත් කාරයෙන් පැටවිණ. අවසානයේ සිදු වුයේ පන්තියක එක ළමයෙකුට යම් හේතුවක් නිසා දඬුවමක් ලබා දුන් විට අනික් ළමයින් වැරදියට සිතයි කියා ඒ ළමුන්ටද දඬුවම් ලබා දීමයි. දැන් මුලු පන්තියම කිසිම හේතුවක් නොමැතිව ඒ දඬුවමින් දුක් විදිති. ගැලවිමක සෙයියාවකුත් පෙනෙන තෙක් මානයක නොමැත්තේය.

එහෙත් තරමක එඩිතර කමකුත් වෙනස් වන්නට කැමැත්තකුත් ඇත්තේ නම් මෙයින් ගැලවීමට පොඩි ඉඩක් තිබේ. එනම් උතුරු පළාත් සභාව තුල ජීවත්වන පුරවැසියන්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසා ජනමත විචාරණයක් පැවැත්වීමයි.
‘ඔබ පළාතේ තිබෙන පළාත් සභාවේ නියෝජිත මණ්ඩල සහ ව්‍යුහයන් පවත්වා ගෙන යාමට වසරකට බිලියන ...... වැය වේ. මේ මුදලින් එක වසරක් තුල ඔබ පළාතේ සෑම මහා විද්‍යාලයකටම ක්‍රීඩාගාරයක් සහ පිහිනුම් තටාකයක් සාදා දෙන්නට පුළුවන. එසේත් නැත්නම් පළාතේ රෝගීන්ට දැන් පිටතින් ලබා ගන්නට උපදෙස් දෙන ඖෂධ සහ වෛද්‍ය පරීක්ෂණ රෝහල් තුලදීම නොමිලේ ලබා දීමට පුළුවන. ඔබ පළාත් සභාව නවත්වා දමා ඉහත දැක් වූ පහසුකම් ඒ ඉතිරි වන මුදලින් ජනතාවට ලබා ගැනීමට කැමති වන්නේද?’

මෙම ප්‍රශ්නයට උතුරු පළාතේ වැසියන් ඔව් කියා පිලිතුරක් දෙන බව මට හොදටම විශ්වාසය. එසේ නම් මුලින්ම පළාත් සභා ඇති කිරීමට හේතු වූ මිනිසුන්ටත් එය අනවශ්‍ය බව පැහැදිලිය. එසේ නම් මේ සුදු අලියා බලෙන් පැට වූ අප ගැන කියනුම කවරේද?

එහෙමත් නැත්නම් මුලු රටේම ජනමත විචාරණයක් පවත්වා මේ ප්‍රශ්නය ඇසිය හැක. ඔව් යන පිළිතුර 80% කට වඩා ලැබෙන බවට කිසිම සැකයක් මට නම් නැත්තේය.

ඔව් පිරිස 80% වඩා අඩු වුනොත් මේ රටේ මිනිසුන්ට මේ සිදු වී ඇති දෙය යම් විශාල පෙර වරදකට පටිසන් දීමක් යයි සිතා අපට සිත් සනසා ගෙන තියෙන දෙයක් කා බි අහක බලාගෙන සිටිය හැක.         

My house is my castle

 මේ මගේ කාර්සල් එකට( my house is  my castle යන අර්ථයෙන්)ප්‍රවිශ්ට මාර්ගයයි. එහි එක් කෙළවරක් ද්විත්වාකාලයේ කඩාගෙන වැටුණි.  සතියකට පමණ පෙර එතන...