අප කුඩා කාලයේ කුඹුරු වැඩ කරන ගෙවල්වල “කොළ පාගනවා” කියන එක මහත් උත්සවශ්‍රීයකින් යුක්ත වූ අවස්ථාවක් විය. පිරිමින් ගොයම් කැපීමට යොමු වූ අතර, කාන්තාවන් දහ දෙනෙකු පමණ එක්ව කිලෝ 25ත් 30ත් අතර බර ඇති ගොයම් මිටි ඔළුව මත තබාගෙන කිලෝමීටර භාගයක් පමණ දුරක් ගමන් කරමින් කමතට ගෙන ගියහ.
මෙම කමත සකස් කිරීම ගොයම් කැපීමට සති දෙකකට පමණ පෙර ආරම්භ කෙරුණි. මුලින් එය හොඳින් උදළු ගා, පසුව බෝලත්තෙන් අතුගා, හොඳින් වියළී ගිය පසු ගොම ගෑමේ පුරුද්දක් ද තිබුණි. කමතේ අළුවලින් විවිධ රටා ඇඳ, මධ්‍යයේ යකඩ කෑල්ලක්, කොහොඹ ලී කැටයමක් ලොකු ඇනයක් වැනි අද්භූත හා ආචාරාත්මක වටිනාකම් ඇති වස්තු තබන ලදී.
ඉන්පසු ගොයම් කමත මත දමා, හරක් හතර හෝ පස් දෙනකු එකට ගැට ගසා, ඔවුන් ගොයම් ගොඩ වටා රවුම්ව එළවීම ආරම්භ විය. මෙය බොහෝවිට රාත්‍රියේ සිදු වූ අතර, කමත ආලෝකමත් කිරීම සඳහා එහි දෙපසට පෙට්‍රෝල් ලාම්පු දෙකක් එල්ලන ලදී. ඒවා පැයකට වරක් පමණ හුළං ගැසීම අවශ්‍ය විය.
මෙම හරකුන් අතර මැද සිටි හරකා “මුදුනා” ලෙස හැඳින්වුණු අතර, ඔහු ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු සත්වයෙකි. ඔහුගේ අත්දැකීම් හේතුවෙන් අනෙකුත් හරකුන් පාලනය කරමින් නිසි ලෙස රවුමේ ගමන් කරවීමට හැකි විය. වෙනත් හරකෙකු එම ස්ථානයට පත් කළහොත්, හරක් රංචුව පාලනයෙන් පිටවී කමත පුරා දිව යාමට ඉඩ තිබුණි.
කොළ පාගෙමින් යන අතරතුර, නව ගොයම් ගොඩට එකතු කෙරුණි. මධ්‍යම රාත්‍රිය වන විට සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලිය අවසන් විය. එයට ටික වේලාවකට පෙර සිට, රා ටිකක් බී බුලත්කමින් පැත්තක සිටි වැඩිමහල් ගොවියන් උකුණු ගස් රැගෙන පැමිණ, කොළ හොල්ලා ගොයම් ටිකෙන් ටික වෙන් කර එළියේ ගොඩ ගැසූහ.
රාත්‍රී දහයට හෝ එකොළහට පමණ, අවස්ථාවට ගැළපෙන ලෙස පිළියෙල කළ රසවත් ආහාරයක් සමඟ සියලු දෙනා විහිළු තහළු කරමින් සතුටින් භෝජනය කළහ.
එසේ සකස් වූ කරල් වැටුණු ගොයම් සහ පිදුරු ගොඩවල් කමත අවට ගොඩ ගැසී තිබුණි. පසුදින උදයේ නැත ගොඩ ; ගොයමෙන් ලැබුන වී, මැනගන්නා තෙක්, ඒවා තනිකරන්නේ නැතිව, තැබීමට ගොවියන් දෙනෙකු කමතේ නිදාගත්ත.
පසුදින උදයේ පලපුරුදු ගොවියෙකු කුල්ලකින් එක ඉරක් දිගේ වී හලමින් ගිය අතර, තවත් ගොවියන් දෙදෙනෙකු කුල්ල දෙකකින් ඒ වැටෙන වී වලට හුළං ගසා බොල් ඉවත් කළහ. එසේ බොල් ඉවත් කරගත් තා වී මුසල් භාගයෙන් මැන ව කොපමණ අස්වැන්නක් ලැබුණේදැයි ගණන් තබා ගත්හ.
පසුව සති කිහිපයක් යනතුරු ගොංකරත්තකරුවන් පැමිණ ඒ පිදුරු ඔවුන්ගේ ගොනුන්ට මුදලට ආහාර ලෙස රැගෙන යාම ද සාමාන්‍ය දසුනක් විය.
No comments:
Post a Comment