Sunday, July 1, 2018

ජනමත විචාරණයක් පවත්වා මෙය අවසන් කරමුද?


මේ දවස්වල පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන නොයෙක් දෙනා කතා කරනු අපට හවසට රූපවාහිනියේ පෙනේ. මම මේ පිළිබඳව අද පෝස්ට් එකක් දැමුවෙමි. ඒ පළාත් සභා ඡන්දය නොපවත්වාම සිටියොත් මාසයකට අපට; ජනතාවට, කොපමණ පාඩුවක් සිදුවන්නේ දැයි අසමිනි. මට පෙනෙන විදිහට නම් මේ ලංකාවේ ෆුල් ටයිම් දේශපාලඥයෝ සහ පලාත් සභාවෙන්ම කීයක් හරි හොයා ගෙන  තම බඩගෝස්තරය රැක ගන්නා එහි මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ ගෝල බාලයන් හැරෙන්නට වෙනත් කිසිම පුරවැසියෙකු මේ පළාත් සභා තව දුරටත් තබා ගත යුතු යැයි නොසිතති.

එහෙත් ඇඹරුණු  කරත්ත රෝදයක් මෙන් පළාත් සභා රට දුප්පත් කරමින් සංවර්ධනය අඩපණ කරමින් හෙමින් හෙමින් ඉදිරියට යයි. දැන් එය කොතරම් සමාජ ගත වී ඇත්දැයි කීවොත් එය කොතරම් අසාර්ථක පර්යේෂණයක් දැයි අපට කොතරම් පැහැදිලි වුවත් අප දැන් එය ඉවත්කරන්නට කල්පනා කරන්නේවත් නැත. බොහෝ කලක් තිබීම නිසා දැන් ඉතින් මැරෙන කන් එය ඔහේ තිබෙන්නට හැර සිතින් අමතක කර දමන දදයක් හෝ කුෂ්ටයක් බවට පත් වී හමාරය. හරියට පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව එසේත් නැත්නම් ඛනිජතෙල් නීතිගත සංස්ථාව වැනි ජාතියට නොදැනෙන්නට ජාතියේ ලේ උරා බොන මාපිලයෙකු බවට පත් වී ඇත්තේය.

පළාත් සභා මට මතක හැටියට ගෙනාවේ උතුරේ දෙමළ මිනිසුන්ට යම් තරමින් වත් ස්වයං පාලනයක් ලබා දී ඔවුනට තමන්ගේ ප්‍රදේශ දියුණු කර ගැනීමට යම් ප්‍රාදේශීය තීරණ ගැනීමේ හැකියාවක් ලබා දීමටය. එහෙත් දෙමළ මිනිසුනට පමණක් මෙවැන්නක් ලබා දුන හොත් ඔවුනට යම් විදිහක ඊළමක් වැනි යමක් දුන්නේ යැයි සිංහල මිනිසුන් සිතන්නට ඉඩ ඇති නිසා අප මතටද මෙය බලහත් කාරයෙන් පැටවිණ. අවසානයේ සිදු වුයේ පන්තියක එක ළමයෙකුට යම් හේතුවක් නිසා දඬුවමක් ලබා දුන් විට අනික් ළමයින් වැරදියට සිතයි කියා ඒ ළමුන්ටද දඬුවම් ලබා දීමයි. දැන් මුලු පන්තියම කිසිම හේතුවක් නොමැතිව ඒ දඬුවමින් දුක් විදිති. ගැලවිමක සෙයියාවකුත් පෙනෙන තෙක් මානයක නොමැත්තේය.

එහෙත් තරමක එඩිතර කමකුත් වෙනස් වන්නට කැමැත්තකුත් ඇත්තේ නම් මෙයින් ගැලවීමට පොඩි ඉඩක් තිබේ. එනම් උතුරු පළාත් සභාව තුල ජීවත්වන පුරවැසියන්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් අසා ජනමත විචාරණයක් පැවැත්වීමයි.
‘ඔබ පළාතේ තිබෙන පළාත් සභාවේ නියෝජිත මණ්ඩල සහ ව්‍යුහයන් පවත්වා ගෙන යාමට වසරකට බිලියන ...... වැය වේ. මේ මුදලින් එක වසරක් තුල ඔබ පළාතේ සෑම මහා විද්‍යාලයකටම ක්‍රීඩාගාරයක් සහ පිහිනුම් තටාකයක් සාදා දෙන්නට පුළුවන. එසේත් නැත්නම් පළාතේ රෝගීන්ට දැන් පිටතින් ලබා ගන්නට උපදෙස් දෙන ඖෂධ සහ වෛද්‍ය පරීක්ෂණ රෝහල් තුලදීම නොමිලේ ලබා දීමට පුළුවන. ඔබ පළාත් සභාව නවත්වා දමා ඉහත දැක් වූ පහසුකම් ඒ ඉතිරි වන මුදලින් ජනතාවට ලබා ගැනීමට කැමති වන්නේද?’

මෙම ප්‍රශ්නයට උතුරු පළාතේ වැසියන් ඔව් කියා පිලිතුරක් දෙන බව මට හොදටම විශ්වාසය. එසේ නම් මුලින්ම පළාත් සභා ඇති කිරීමට හේතු වූ මිනිසුන්ටත් එය අනවශ්‍ය බව පැහැදිලිය. එසේ නම් මේ සුදු අලියා බලෙන් පැට වූ අප ගැන කියනුම කවරේද?

එහෙමත් නැත්නම් මුලු රටේම ජනමත විචාරණයක් පවත්වා මේ ප්‍රශ්නය ඇසිය හැක. ඔව් යන පිළිතුර 80% කට වඩා ලැබෙන බවට කිසිම සැකයක් මට නම් නැත්තේය.

ඔව් පිරිස 80% වඩා අඩු වුනොත් මේ රටේ මිනිසුන්ට මේ සිදු වී ඇති දෙය යම් විශාල පෙර වරදකට පටිසන් දීමක් යයි සිතා අපට සිත් සනසා ගෙන තියෙන දෙයක් කා බි අහක බලාගෙන සිටිය හැක.         

3 comments:

  1. මේ පලාත් සභා පිහිටුවීම ඉන්දු ලංකා ගිවිසුම අනුව කරපු දෙයක් නේද? ඒ නිසා අපිට තනි කැමැත්තට මේවා අහෝසි කිරීමට බෑ කියලා මම හිතනවා.

    ReplyDelete
  2. පුලුවන්, ව්‍යවස්ථාව වෙනස් කරන්න පමනයි අවශ්‍ය

    ReplyDelete
  3. ඇත්තටම පලාත්සභා කියන්නේ මේ රටේ වැඩි දෙනෙක් ඉල්ලපු දෙයක් නෙවෙයි . අඩුම තරමින් උතුරේ සාමාන්‍ය දෙමළ මිනිස්සුන්ට අවශ්‍ය දේකුත් නෙවෙයි. මේක ඕන උනේ දෙමළ බෙදුම්වාදී දේශපාලකයන්ටයි ඉන්දියාවටයි. කොටි පරාජයට පත් කරාට පස්සේ ඇත්තෙන්ම බැලුවොත් කරන්න තිබුන වැදගත්ම දෙයක් තමයි පලාත් සභා අහෝසි කරන එක. එක පැත්තකින් බෙදුම්වාදය දේශපාලනිකව පරද්දන්න වගේම රටේ ආර්ථිකයට පැටවිලා තියෙන අධික බර ඉවත් කරන්න.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...