Thursday, October 27, 2016








කරඬුපාන ඛේදවාචකය පෙන්වන ගැඹුරට යන ප්‍රශ්නය.

මම පසුගිය අවුරුදු කිහිපයේ බොහොමයක් ත්‍රිවිධ හමුදාවේ සේවය කල පුද්ගලයන් ඔවුන් විශ්‍රාම ගත්පසු සේවයේ යොදවන පුද්ගලික ආයතනයක උපදේශකයෙකු වශයෙන් සේවය කලෙමි. හමුදාවලින් වයස හතලිස් ගණන් වලින් විශ්‍රාම යන පුද්ගලයන්ට මුහුණපෑමට සිදුවන ප්‍රශ්න මට එහිදී ‍හොඳින් දක්නට ලැබුණි.
වයස 18 දී පමණ සේවයට බැඳුනු නිලධාරීන් නොවන හමුදා සාමාජිකයින් වයස 40 පමණ වන විට අනිවාර්ය අවුරුදු 22 සේවය කර සේවයෙන් ඉවත්විය යුතුය. මේ වයස වන විට සාමාන්‍යයෙන් ඔහුට අ:පො:ස සාමාන්‍ය පෙල සහ උසස් පෙල ඉනෙ ගන්නා ළමයින් සිටිති. බොහොමයක් ලංකාවේ මේ පවුල් වල බිරින්දෑවරුන් රැකියා කරන්නේ නැත.
දැන් මෙම විශ්‍රාම යන නිලධාරියාට ජීවත් වන්නට තිබෙන එකම ආදායම් මාර්ගය ඔහුට ලැබෙන විශ්‍රාම වැටුපයි. එය රුපියල් 25,000 ක් පමණ වෙයි. ඔහු වෙනත් රජයේ රැකියාවක් කලේ නම් තව අවුරුදු 20 ක් පමණ රැකියාව කරන්නට ඉඩ තිබුණි. දරුවන්ද ඉගෙන ගැනීම් අවසාන කර රැකියාවලට යාමට ඒ කාලය හොඳටම ප්‍රමාණවත්ය.
දැන් ඔවුන් පුද්ගලික අංශයේ රැකියාවන් සොයති. හමුදාවල තාක්ෂණික හා කාර්මික අංශවල සේවය කල ඒ සම්බන්ධව පුහුණුවක් ඇති පුද්ගලයන්ට රැකියාවල් සොයා ගැනීම අපහසුවක් නැත. එහෙත් අති බහුතරයක් එවැන්නන් නොවෙති. ලබාගත හැකි එකම රැකියාව පුද්ගලික ආරක්ෂක සේවයයි. ඉංග්‍රීසි භාෂාව පුලුවන් නම් මැදපෙරදිග රුපියල් 75,000 ක් පමණ වැටුපකට ආරක්ෂක රැකියාවක් ලබාගත හැකි වුවද, බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි බැරිය.
එහෙයින් ඔවූහූ මසකට රුපියල් 30,000 කට වැටුපකට නිදි මරමින් ගේට්ටු අරිමින් ලංකාවේ ඉතාමත් පහත්කර සලකන පුද්ගලික අංශයේ ආරක්ෂක රැකියාවල නිරත වෙති.
මම මේ ලඟකදී හවස ඇවිදින්නට යන විට සිරිමල්වත්ත හන්දියේදී ත්‍රීවිලර් එකක් මා ළඟට පැමිණ නැවතිනි. එය පදවාගෙන පැමිණි පුද්ගලයා රථයෙන් බැස මා හට ඔහු හඳුනාගත හැකිදැයි මගෙන් ඇසුවේය. මට මුහුණ තරමක් මතක තිබුනද මට ඔහු එක එල්ලේම හඳුනාගත නොහැකි විය.
ඉන්පසු ඔහු නම කිවූ විට මට ඔහු හොඳින් මතක් වුනු අතර, ඔහු වසර කිහිපයකට පෙර ප්‍රධාන සුළු නිලධාරියෙකු වශයෙන් විශ්‍රාම ගත්බව පැවසීය.
“දැන් මොනවද කරන්නේ?“ වචන සම්පූර්ණයෙන් පිට වෙන්නටත් පෙර එය වැරදි ප්‍රශ්නයක් යැයි මම දැනගත්තෙමි.
ඔහුගේ මුහුණ කළුවිය. “ඔහු මේක තමයි සර් කරන්නේ, ත්‍රීවිලර් එකක් එලවනවා,“ ඔහු කීවේය.
ප්‍රධාන සුළු නිලධාරියෙකු ලෙසට ඔහු බොහෝ විට නැවියන් 1000 කටත් වැඩිය සේවය කරන කඳවුරක විනයපාලක වශයෙන් සේවය කරන්නට ඇත. සමහර විට දැන් ඔහු වයස 20/25 තරුණ ත්‍රීවිලර් රියදුරන් සමග ත්‍රීවිලර් නැවතුම් පොලේ කුලී ගමන් සදහා බහින් බස් වනවාත් ඇත.
කරඬුපාන ලඟකදී සියදිවි නසාගත් සාජන්වරයාගේත්  අපි පුවත් වලින් දකින කථාවද මෙවැනිම ඛේදවාචකයකි. එය ඛේදවාචකයක් වන්නේ මක්නිසාද?
වයස 51 ක් වූ ඔහු හමුදාවෙන් විශ්‍රාම ගෙන ත්‍රීවිලර් එකක් එලවයි.
ඔහුගේ බිරිඳ සෞදි අරාබියාවේ සේවය කරයි.
දරුවන් අ:පො:ස: උසස් පෙල සහ බොහෝ විට මට පෙනුනු විදිහට මුදල් ගෙවන පුද්ගලික ආයතනයක ඉගෙන ගනී.
තමා පුවත් පත් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා මරා දැමූ බව පවසා සියදිවි නසාගනී - මොහුගේ සමාජ තලය දෙස බැලූ විට ඔහුට කවදාවත් ලසන්ත ඝාතනය කිරිමට අවශ්‍යතාවයක් තිබෙන්නට බැරිය. ඔහු මෙය කලානම් කර ඇත්තේ සමාජයේ ඉහල තලයක වැජඹෙන කෙනෙකුගේ උවමනාවටය.
දැනට සමහරුන් සැක කරන අන්දමට ඔහු මෙය නොකර කවුරු හෝ බේරන්නට මෙලෙස සියදිවි නසා ගත්තේ නම්, ඒ කාරණයම මෙම සිද්ධියේ ඛේදනීයකත්වය තවත් තීර්ව කරයි.
කරඬුපාන සිද්ධිය අසාමාන්‍ය සිද්ධියක් නිසා එවැනි දෑ වලට පිලියම් යෙදීමට අපහසු වුවත් හමුදා විශ්‍රාමිකයන්ගේ විශේෂයෙන්ම සෙසු නිලයන්ගේ ප්‍රධාන ප්‍රශ්නය කඩිනමින් විසඳීම ඉතාමත් අවශ්‍යම ජාතික වශයෙන් වැදගත් උවමනාවකි. මෙය විසඳීම සදහා ලක්ෂ ගණනක් රණවිරුවන් ගෙන් දහ පහලොස් දෙනෙකුට නොමිලේ නිවාස සාදා දීමෙන් හෝ රණවිරු සුපර්ස්ටාර් තරඟ පවත්වා හොදටම සිංදු කියන්නාට ලක්ෂ 200/300 යක ගෙයක් හදා දීමෙන්වත් නොවේ. එසේත් නැත්නම් විශ්‍රාමික රණවිරුවන්ට හැඳුනුම් පතක් ලබාදීමෙනුත් නොවේ.
ඒ අවුරුදු 22 සම්පූර්ණ කර හමුදාවෙන් විශ්‍රාම යන රණවිරුවන්ට ඔවුන්ගේ සේවා කාලය ඇතුලත යම් වෙළෙඳපොල අගය කරන, වෙළෙඳපොල වටිනාකමක් ඇති රැකියා පුහුණුවක් ලබා දී එම පුහුණුවට සහ ඉංග්‍රීසි දැනුමට ඩිප්ලෝමා ලබා දී ඔවුන් ආපසු සමාජයට දැමීමයි. එවිට ඔවුනට දැනට ලංකාවේ ඒ වයසේදී රැකියාවක් ලබා ගැනීමට තිබෙන එකම තැන වන මැද පෙරදිග ගැලපෙන වැටුපක් සහිත රැකියාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. වෙනත් කිසිම පිටිකර බෙහෙත් බැඳීමකින් මේ ප්‍රශ්නය විසඳන්නට නොහැක.            

6 comments:

  1. ඉතා වටිනා අදහසක්. මෙසේ නොකලොත් සමහරක් පාතාල වැඩවලට සහ තවත් ත්‍රස්තවාදයක් දකුණේ ඇතිවුණොත් ඒවා සඳහා ආයුධ පුහුණුව ඇති අය ලෙස සම්බන්ධ වීමට ඉඩ තිබෙනවා. සමාජීය පැත්තෙන් ගත්තත් මේ අදහස නම් ක්‍රියාත්මක කලයුතුම එකක්. වැඩියෙන් ඉපයිය හැකි ස්වාධීනව ඉපයිය හැකි මේසන් වැඩ වඩු වැඩ වුණත් හොඳයි.

    ReplyDelete
  2. දැන් යුද්ෂයක් නැති නිසා හමුදාවේ සිටින සහ අළුතෙන් බඳවාගන්නා සියල්ලන්ටම තාක්ෂණික විෂයයක් දැණුම කුසලාතා ලබා දී ජාත්‍යන්තරව පිළිගන්නා වෘත්තීය සහතිකයක් ලබා ගැනීමට අවශ්තාව ලබා දිය යුතුයි, ආයොජනයේ පිරිවැය අවුරුදු කීපයකින්ම විදේශවිනිමය වශයෙන් ලබාගැනීමට හැකිවෙනවාට අමතරව වටිනා වාහන විනාශ කරන, ගෙවල් හදන අය ණය කාරයෝ කරවන මකබාස්ලටත් බයි බායි කියන්න හැකි වෙයි

    ReplyDelete
  3. කාලීන මාතෘකාවක් නමුත් තවම මේ ගැන ත්‍රිවිද හමුදාවල හොඳ අවධානයක් යොමුවෙලා නෑ. පහුගිය අවුරුදු තුනේ මට අවස්ථාව ලැබුනා යුද හමුදාවේ රෙජිමේන්තු තුනක විශ්‍රාම යන්ට සූදානම් වන එන්සීඕ ලාට වැඩසටහන් කරන්ට. පහුගිය ජනවාරි මාසයේත් කරා. දැනට 300කට වැඩිය සහභාගී උනා. වැඩියෙන්ම අවධානය යොමු කරේ ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද කියලා. වෙන රටවල්වල නම් veteran entrepreneurs කියලා වෙනමම වැඩසටහන් තියෙනවා. රිටයර් වෙන්න අවුරුද්දක් කාලයක් ඉඳලා ඒ අයව අලුත් ජීවිතයට සූදානම් කරනවා. ව්‍යාපාර පටන්ගන්න ආධාර සහ බැංකු ණය දෙනවා. මේ ගැන රිසර්ච් පේපර් එකක් ඉදිරිපත් කරා ලඟදී තිබුන conference එකක. ඊමේලක් එව්වොත් ලින්ක් එක එවන්නම්.

    ReplyDelete
  4. රටට අවශ්‍ය නම් ශ්‍රම බලකාය ඉන්නවා.හමුදා විනය යටතේ කටයුතු කල මොවුන් හමුදාවටම අනුබද්ධ ආයතන ඇති කර සේවයේ යෙදවීම වඩාත් සුදුසු වේවි.මොකද ඔවුන් ඒ අණ පටිපාටියත් සමඟින් බැඳී ඇති නිසා.
    ජයවේවා..!!

    ReplyDelete
  5. නොදැකපු පැතිකඩක්

    ReplyDelete
  6. අලුත් අදහසක්. මෙතෙක් කිසිවෙකුවත් නොබැලු පැත්තක් ඔබ විසින් බලා තිබෙනවා.

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...