1982 දී ඉරනතිව් දූපතේ ජනමත විමසීමේ ඡන්දය
පැවැත්වීම.
ඉරනතිව් උතුර සහ ඉරනතිව් දකුණ, දූපත් දෙක
දැන් පිහිටා තිබෙන්නේ, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරී ප්‍රාදේශීය ලේඛම් ප්‍රදේශයේය.
1984 පෙබරවාරි මස අලුතෙන් කිලිනොච්චි
දිස්ත්‍රික්කය ඇතිකරන විට ඒවා යාපනය දිස්ත්‍රික්කයෙන් ඉවත්වී කිලිනොච්ච් දිස්ත්‍රික්කයට
අයිති විය. ඒවා පිලිවෙලින් වර්ග කිලෝමීටර් 4.22 ක් හා 1.71 ක භූමි ප්‍රමාණයකින් යුක්තය. උතුරු ඉරනතිව් දූපත හා
එහි සහෝදර දකුණු දිවයින, ඕලන්ද පාලන සමයේදී, පිලිවෙලින් එන්කුයීසන් හා හූන් යන නම්
වලින් හැදින්වූ බව සදහන් වේ. සිංහලෙන් මේවා එරන්දූව සහ ඌනදූව ලෙස ව්‍යවහාර වෙයි.
1982 මම කරෙයිනගර් නාවික කඳවුරේ, උප ලුතිතත්
වරයෙක් වශයෙන් සේවය කලෙමි. එකල කඳවුරුවල සිටියේ ඉතාම සුළු පිරිසක් වූ අතර, මා එහි
විධායක නිලධාරියා ලඟට සිටි ජේෂ්ඨතම විධායක අංශයේ නිලධාරියා වූයෙමි. ඒ එහි තිබූ මුර
සංචාරක යාත්‍රාවල නිලධාරීන් හැරුනුවිටය.
1982 ජනමතය විමසීමේ ඡන්දය පැවැත්වෙන කාලය
වනවිට, යම් තරමකට යාපනයේ ත්‍රස්තවාදයේ අවලක්ෂණ මුහුණ හිස ඔසවමින් තිබුණු අතර,
එහෙත් හමුදා තමන්ගේ එදිනෙදා රාජකාරි කටයුතු, වෙනසක් නොමැතිව කරගෙන ගියහ. මේ වන විට
පොලිස් පරීක්ෂක ටී.එල්.බී. බැස්ටියෙන් පිල්ලෙයි, මන්නාරමේදී ත්‍රස්තවාදීන් විසින්
මරාදමා, අවුරුදු හතරක් පමණ ගතව තිබුනු අතර, උතුරු ප්‍රදේශයේ යම් ත්‍රස්තවාදී ක්‍රියා
සිදුවීමේ පෙර නිමිති,
දැනෙන්නට පටන්ගෙන තිබුණි
ජනමත විචාරනය 1982 දෙසැම්බර් මස පැවැතුනේ,
මෙවැනි වාතාවරණයක නිසා, එහි ආරක්ෂාව පිළිබදව සාකච්ඡාවක්, යාපනයේ කච්චේරියේදී
පැවැත්වින. මමද, කරෙයිනගර් කඳවුරේ එවකට අණදෙන නිලධාරියාව සිටි කමාන්ඩර් ඩබ්ලිව්.
ඩබ්ලිව්. ඊ.සී. ප්‍රනාන්දු සමග, මෙම සාකච්ඡාවට සහභාගි වුනෙමි. සාකච්ඡාවේදී තීරණය
කරගත්තේ, ඡන්දය පැවැත්වීමේදී, එය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ආරක්ෂාව යටතේ
පැවතිය යුතු බවත්, ඡන්දයට පෙරදින සිට ඡන්ද මධ්‍යස්ථාන, හමුදා සහ පොලිස් ආරක්ෂාව
යටතේ පවත්වා ගතයුතු බවත්ය. ඡන්ද පත්‍රිකා රැගෙන යාම සහ ආපසු කච්චේරිය වෙත රැගෙන
ඒමද, මධ්‍යස්ථානයට වගකිව යුතු හමුදාව විසින් කලයුතු බවත්ය.
ප්‍රදේශයෙහි ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව
හමුදා තුන අතර, බෙදාගත් අතර පොලීසිය හමුදා තුන සමගම එකතුව වැඩ කිරීමට තීරණය
කෙරුනේ, ඔවුන් සතු යම් නීතිමය බලතල හමුදා සාමාජිකයිනට නොතිබුනු බැවිනි.
නාවික හමුදාවට විශේෂයෙන්ම රාජකාරියේ
ස්වාභාවය අනුව, දූපත්වල සහ මුහුදට කිට්ටු මධ්‍යස්ථානවල ආරක්ෂාව භාරවුනි. ඉරනතිව් දූපත්වල
ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ වගකීම මා වෙත පැවරිණි. එම දූපතට සන්නිවේදන
නොතිබුනු හෙයින්, සන්නිවේදන ස්ථාපිත කර, අනෙකුත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීම
සදහා, අපගේ කණ්ඩායමට දින දෙකකට කලින්, පිටත්වීමට සිදුවිය.
වී.
එච්. එෆ්. උපකරණ සහ ඇන්ටෙනාද රැගෙන මිට්සුබිසි ජීප් රථ දෙකකින් පිටත්වූ අප, යාපනය
නගරයට නැගෙනහිරින් පිහිටි සංගුපිඩ්ඩි ෆෙරියෙන් වාහනයත් සමග එතෙර වුනෙමු. මෙම
ෆෙරියේ ගමන් කරද්දී, එකල මා දන්නා හදුනන, පලාලි යුධ හමුදා කඳවුරේ සිටි, බුද්ධි
නිලධාරියෙකු දුටු මම ඔහුට කථා කරන්නට උත්සාහ කලවිට, ඔහු මා මඟහරිනු දැක, මම ඔහුට
කථා නොකර සිටියෙමි. ඊලග වතාවේ මා මුණ ගැසුණු විට, ඔහු එදින රහස් තොරතුරු සෙවීමට
යමින් සිටි නිසා, නිළ ඇඳුම් ඇඳ සිටි මා සමග කථා කලහොත්, ඔහු පිළිබදව ත්‍රස්තවාදීන්ට
දැන ගැනීමට ලැබිය හැකි හෙයින්, එසේ මඟහැරිය බව කියා ඔහු මගෙන් සමාව ඉල්ලූ බව මට
මතකය.
සංගුපිඩ්ඩි ජෙටියෙන් දකුණට පැමිණ අපි A 32 හරහා වෙරල දිගේ ඇති
පාරේ, ඉරනතිව් දූපතට බෝට්ටු යන ජෙටිය වෙතට පැමිණියෙමු. එම ජෙටිය පිහිටා තිබුනේ
වාලෙයිපාඩු නමැති ස්ථානයේය. මෙම ගමන බොහෝ කලකට පෙර සිදු වුවද, එම මාර්ගය දිගේ
එනවිට, මා දුටු ස්වාභාවික දර්ශනයන්, විශේෂයෙන්ම විල්ලු සහ කලපුද, ඒ ආශ්‍රිතව
තිබුණු පඳුරු සහ මොනරුන් මුවන් වැනි කුඩා සතුන් ගෙන් ගහන වූ බව මට මතකය.
අපි දහ දෙනෙකු පමණ, මෙම ස්ථානයේ අපි පැමිණි
මිට්සුබිෂි ජීප් රථ දෙක නවත්වා, ඉරනතිව් දූපත බලා යාමට, රජයෙන් යොදා තිබූ, වල්ලමකට
වඩා තරමක් විශාල යාත්‍රාවේ නැගී, දූපත වෙතට ගියෙමු. මේ සඳහා පැය දෙක තුනක කාලයක්
පමණ, ගත වූ බව මට මතකය. මෙම යාත්‍රාව සතියකට වරක්, මෙලෙස වාලෙයිපාඩු සිට දූපත වෙත
යන බවත්, දූපතෙහි ජනයා ඔවුන්ගේ සියලු කටයුතු සඳහා, ප්‍රධාන භූමිය වෙත පැමිනෙන්නේ
සහ ඔවුන්ගේ තැපැල් ලිපි ලබාගන්නේ, මෙම යාත්‍රා මගින් බව, අපට දැන ගන්නට ලැබුණි.
දූපතට ගියපසු, එය ඉතාම මනරම් එමෙන්ම අපි
බලාපොරොත්තු වූවාට වඩා බොහෝ වෙනස් බව පෙනුනි. ඉතාම අලංකාර වෙරළකින් යුක්ත වූ
දූපතෙහි, මැද තරමක් උස් ප්‍රදේශයක විශාල පල්ලියක් තිබුණි. වැහි කාලයට පල්ලියේ වහලට
වැටෙන ජලය, පිහිලි වලින් එකතුකර, වැස්ස නැති කාලයට ප්‍රයෝජනයට ගැනීම සඳහා එකතුකර
ගැනීමට සාමාන්‍යයෙන් මිනිසෙකුට ඇවිද ගෙන ගිය හැකි තරම් උස, භූගත ටැංකි පල්ලිය ආශ්‍රීතව ඉදිකර තිබිණ. දූපතෙහි ජනගහනය
කොපමණ දැයි මට දැන් මතක නැති වුවද, දූපතේ ඡන්ද දෙසීයක් පමණ තිබූ බව මතකය.
දූපතේ තවත් විශේෂ දර්ශණයක් වූයේ, යුරෝපයේ
රටක මෙන්, ඒකාකාරී ලෙස බොහෝ දුර විහිදෙන තණබිම්ය. මෙම තණබිම්වල එළුවන් සහ බැටලුවන්
රංචු විශාල ගණනක් විසිරී තණ කමින් සිටියේ, හරියටම අපි එකල පික්චර් පෝස්ට්කාඩ්වල
දකින දර්ශනයන් සිහිගන්වමිනි. මෙලෙස බැටලුවන් ඇතිකිරීම ආරම්භ කරන ලද්දේ, එම
දේවස්ථානයේ කලින් සිටි, යුරෝපීය දේවගැතිවරයෙකුගේ මූලිකත්වයෙන් බව දැනගන්නට ලැබිණ.
අපි මුලින්ම කඳවුර සමග සන්නිවේදන පවත්වා
ගැනීමට, VHF සංඥා පද්ධතිය
සවිකර ගැනීම සඳහා, උස් තැනක ඒරියල් එක ගැටගසා, උත්සාහ කලද මව් කඳවුර සමග සම්බන්ධතා
ඇතිකර ගැනීමට හැකිවූයේ නැත. ඉන්පසුව කඳවුරෙහි, සංඥා මධ්‍යස්ථානය හා අපව VHF මගින් සම්බන්ධ කර තබා
ගැනීමට, මුර සංචාරයේ යොදවා තිබූ යාත්‍රාවක්, දූපත අසල තැබීමට කරෙයිනගර්හි ශ්‍රී
ලංකා නාවික නෞකා එළාර ආයතනය කටයුතු කළේය. මෙලෙස පැමිණි යාත්‍රාවෙහි අණභාර
නිලධාරියා වශයෙන් කටයුතු කලේ පසුව සටනේදී මියගිය එකල ලුතිනන් වරයෙකු වූ ශාන්ති
කුමාර බහාර් බව මට මතකය.
අප කණ්ඩායමේ ආහාර සඳහා ‘කෑෂ් පර්චස්’ අපට මුදල් ලැබී තිබුන
හෙයින්, අපි දූපතේ ග්‍රාමසේවක වරයා මගින් අපට ආහාර සපයා ගැනීමට කටයුතු කලෙමු. අපගේ
ආහාර සඳහා එදින හවස එම ආහාර සපයන්නා විසින්, අප කැමති බැටලු මස්ද එසේත් නැත්නම්
එළු මස්දැයි විමසා සිටියේ, මේ සඳහා කුමන සතෙකු මැරිය යුතු දැයි තීරණය කිරීමටය.
දූපතේ පල්ලියේ සිංහල සේවකයෙකු සිටියේය. බංඩා නමින් යුත්වූ, ඔහු මහනුවර කඩුගන්නාවේ
සිට දේවගැතිවරයෙකු සමග කුඩා කාලයේ දූපතට පැමිණ, එහි මුලු ජීවිතයම ගත කිරීමට තීරණය
කල බව, මා සමග පැවසුවේය.මෙම දූපතේ තමන්ගේ ජීවිත කාලයටම, ප්‍රධාන භූමියට ගොස්
නොමැති පුද්ගලයින් බොහෝ දෙනෙකු සිටින බව, මා දැන ගත්තේද ඔහුගෙනි.
ජනමත විචාරණ ඡන්දය සාමකාමීව පැවැත්වුනු අතර,
ලියාපදිංචි වී සිටි ඡන්දදායකයින් සියලු දෙනාම ඡන්දය ප්‍රකාශ කල බව, දූපතේ ග්‍රාමසේවක
ඡන්දය අවසානයේ මට පැවසුවේය. ඡන්දය අවසන හවස පහට පමණ අපි දූපතෙන් පිටත්වී,
වාලප්පාඩු වෙත පැමිණ, එතන නවතා තිබූ අපගේ ජීප් රථ වලින්, යාපනය කච්චේරිය වෙත
පැමිණියෙමු. එදින යාපනය කච්චේරිය වෙත පැමිණි, අවසාන ඡන්ද පෙට්ටි කිහිපය, පලෙයිතිව්
ඡන්ද පොලෙන් පැමිණි ඡන්ද පෙට්ටි වූ අතර, පසු කලෙක යුද්ධය වර්ධනය වී, ත්‍රස්තවාදීන්
විසින් මෙම දූපත, ඔවුන්ගේ කඳවුරක් ලෙස පාවිච්ච් කිරීම නිසා, දූපත ජනශූන්‍ය
ස්ථානයක් බවට පත්විය. ඉන්දියාවෙන්, ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා භාවිත කරගෙන, යුධ
සැපයුම් සහ ඉන්ධන ත්‍රස්තවාදීන් වෙත ගෙන ඒමේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස මෙම දූපත
පාවිච්ච් කෙරිණ. 1998 දී ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා බිම හෙලන ලද, ලයන් එයාර්
ගුවන් යානයේ කොටස්ද, පසුව සොයා ගනු ලැබුවේ මෙම දූපත කිට්ටුව මුහුදේදීය.
යුද්ධයේ අවසාන කාලයේ මෙම දූපත නැවත අප
අත්පත් කරගත්තේ 2009 යුද්ධය අවසන් වීමට ටික කලකට පෙර තරමක මුහුදු සටනකින් පසුවය. ඒ
තලෙයිමන්නාරමේ තිබූ රැබ්ස් බෝට්ටු වලින්ල මා එහි ආඥාපතිවරයාව
සිටියදීය.
තව ෆොටෝ ටිකක් තිබ්බා නම් මරු
ReplyDeleteස්තූතියි...:)
ReplyDeleteමේ අත්දැකීම් පොතක් ලෙස ලියන්න
ReplyDelete