Monday, October 10, 2016

කන්කසන්තුරේට ඉන්දියානුවන්ගේ පැමිණීම.




 








කන්කසන්තුරේට ඉන්දියානුවන්ගේ පැමිණීම.

1980 දශකය අග හරියේදී,  මම අණභාර නිලධාරියා වශයෙන් A 526 නමැති නෞකාවේ සේවය කලෙමි. මෙම නෞකාවම රසවත් කථාවකි.

 උදාහරණයක් වශයෙන් කන්කසන්තුරේ තිබියදී නැවෙහි බර අවියක් සවි කිරීම සදහා සුදුසු ස්ථානයක් සෙවීමට වරෙක මම නැවෙහි සැලසුම් ගෙන්වා ගත්තෙමි. ඒවා පරීක්ෂා කර බලද්දී මෙම නැව් 1959 දී මුලින්ම හදද්දීම එලෙස මිලි මීටර් 25 තුවක්කු දෙකක් සවි කිරීමට ශක්ති සම්පන්න කරන ලද ස්ථාන දෙකක් නැවෙහි ඇතුලත්කර  තිබෙන බව දක්නට ලැබුණි. දෙවන ලෝක මහා යුද්ධයේ බොහෝ වෙළෙඳ නෞකා යුධ කටයුතු සදහා යොදා ගැනුනු නිසා, WWII අවසාන වී කලක් යනතුරු මෙලෙස හදිසියකදී වෙළෙඳ නැවක් යුධ හැකියාවන් ඇති නැවක් බවට පත්කර ගැනීමට මෙලෙස නිර්මාණය කලා වෙන්නට පුලුවන.  

මෙවැනි නැව් තුනක් (MV kota Rukun, kota Ria ,Rathna)  සිංගප්පූරුවේ පැසිෆික් ඉන්ටර්නැෂනල් ලයින්ස් සමාගමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මිලට ගන්නා ලද්දේ, එකල ඉන්දියාවේ සිට LTTE සංවිධානයට තිබුනු සැපයුම් ජාලය අඩපන කිරිම සදහා කොටි පොල්ල නැමැති අලුත්ම සංකල්පයක් ස්ථාපිත කිරීම සදහායි. එහෙත් මෙම නැව් යොදාගෙන සිදු කල mother ship concept ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අසාර්ථක විය.

ඉන්පසු මෙම නැව් වෙනත් අවශ්‍යතාවයන් මතුවන ආකාරයට ඒවාට යොදා ගැණින.
ඒ අනුව මා සිටි නෞකාව එකල නවතා තිබුනේ, කන්කසන්තුරේ වරාය ඇතුලතය. යාපනයේ එම වරාය පිහිටි ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වාගේ, ත්‍රස්තවාදීන් යටතේ පාලනය වූ නිසා, වරායේ ආරක්ෂාව සදහා මෙම නෞකාව එතන නවතන ලදි. ගොඩ සිට ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබන නිසා, නැව හැකි තරම් ගොඩින් ඈත්කර තැබීම සදහා, එය නවතා තිබුනේ, එකල භාගෙට සාදා තිබූ, වරාය දියකඩනයෙහි (breakwater) ගොඩබිම සිට හැකි තරම් දුරිනි. නැවේ පසුපස දියකඩනයට ගැට ගසා තිබූ අතර, ඉදිරිය වරායේ තිබූ පාවෙන ගැටගසනයකට (floating buoy) ලණු වලින් ගැට ගසා තිබුණි.

නැව ගැටගසා තිබූ ස්ථානයේ දියකඩනයේ තරමක් ගොඩ පැත්තට වන්නට, කුඩා මුර පොලක් සාදා තිබුණි. ඊට අමතරව නැවෙන් පිටත රාජකාරී නැවියන් යෙදවුනේ, දියකඩනයේ මුහුද පැත්තේ කෙලවරේ සවිකර තිබූ, අට්ටාලයන් දෙකකය. මෙම අට්ටාල මුහුද සැරවූ විට නිතරම කැඩීයාම් වලට හා අනෙකුත් උපද්‍රවයන්ට නිරන්තරයෙන් ගොදුරු වූ බව මට මතකය. රාත්‍රියට ත්‍රස්තවාදී කිමිඳුම් කරුවන් පැමිණ නැවේ පතුලට බෝම්බ සවි කිරීම වැලැක්වීමට නැව වටා ඩිංගි යාත්‍රා දෙකක් මුර සංචාර කලහ. ඔවුන් වරින් වර ජලය තුල කිමිඳුම් කරුවන් ගමන් කිරීම වැලැක්වීමට ජලය යට පුපුරන වෙඩි බෙහෙත් කරල් විසි කලහ. මරාගෙන මැරෙන යාත්‍රාවක් වේගයෙන් වරාය ඇතුලට පැමිණ නැව පිපිරවීම වැලැක්වීමට වරායේ කට හරහා විශාල කඹයක් දමා තිබූ අතර, අපේ යාත්‍රාවක් ඇතුලට එනවිට ඩිංගි යාත්‍රාවකින් ගොස් එය ගලවා ඇතුලට ගැනීම සිදුවිය.   

නෞකාව ගැට ගසා තිබූ දියකඩනයේ, ගොඩබිම පැත්තට වන්නට තිබූ මුර පොලෙන් ඔබ්බට, ගමන් කල නොහැකි වූ නිසා, මා එකල හවසට ව්‍යායාමයක් වශයෙන් කලේ, මුහුදට පැන පිහිනීමය.

එකල මගේ නැව් කණ්ඩායමේ සිටි, මගේ දෙවෙනියාද, හොද පිහිනුම් කරුවෙකු වූ හෙයින්, අප දෙදෙනා එකතුව ඊසාන දිග මෝසමේදී, දියකඩනයේ ඇතුල් පැත්තේ එයට සමාන්තරව කිහිප වතාවක්ද, නිරිත දිග මෝසමේදී දියකඩනයෙන් පිටත, එයට සමාන්තරවද, පිහිනීමට පුරුදුව සිටියෙමු. මෙලෙස කලින් කලට, මෝසමෙන් මෝසමට දියකඩනයේ පැත්ත මාරු කිරිමට සිදුවූයේ, මෝසම් සුළගින් ඇතිවන රළු මුහුද මග හැරීමටය. මෙම නිලධාරියා කෙටිකාලීන අධිකාරිලත් නිලධාරියෙකු වූ අතර ඔහු ඒ ටික කලකට පසු ගිවිසුම් කාලය අවසන් වූයෙන් නාවික හමුදාවෙන් ඉවත්ව දැන් විදේශීය වෙළද නෞකාවල කපිතාන්වරයෙකු වී සිටී. 

නෞකාවේ සිටි අපට, නාවික හමුදාවේ සන්නිවේදන ජාල හැරෙන්නට, දුරකථනයක් හෝ වෙනත් කිසිම පිටත ලෝකයත් සමග, සම්බන්ධ විය හැකි, සන්නිවේදන මාර්ගයක් තිබුනේ නැත. ත්‍රීකුණාමලයේ සිට පැමිණෙන, මුර යාත්‍රා වලින්  ගෙනෙන පුවත්පත්, අපට බාහිර ලෝකය සමග තිබුණු එකම සම්බන්ධය විය. නිවාඩු යාමද සිදුවූයේ, මුර සංචාරයක් අවසන් කර ආපසු ත්‍රිකුණාමල වරාය බලා යන, නාවික යාත්‍රාවකිනි. මෙහිදී සැම දෙන වඩාත් කැමැත්තක් දැක්වූයේ, පැය පහකින්, හයකින් පමණ, ත්‍රීකුණාමලය බලායන ඩෝරා යාත්‍රාවක නිවාඩු යනවිට යාමටය. එහෙත් ඩෝරා යාත්‍රාවල නියමිත ප්‍රමාණයට වඩා බර ගෙනයාම තහනම් කර තිබූ හෙයින්, එම යාත්‍රාවක නිවාඩු යාමට අවස්ථාව ලැබුනේ, එක්කෙනෙකුට හෝ දෙදෙනෙකුට පමණි. අනෙක් අයට රාත්‍රියක් ගෙවා ගන් බෝට් එකක හෝ එසේත් නැත්නම් ඊටත් වඩා වේලාව ගතවන වෙන්නප්පු මාරු වැනි යාත්‍රාවක නිවාඩු යන්නට සිදුවිය.

ඉන්දියානු ගුවන් හමුදාව විසින්, යාපනය අර්ධද්වීපයට ආහාර ද්‍රව්‍ය ගුවනින් දැමුවේත් (පරිප්පු ආක්‍රමනය) මේ කාලයේය. එම ගුවනින් ආහාර ද්‍රව්‍ය දැමීම, දෙස බලමින්, කිසිවක් කර කියා ගත නොහැකි නිසා, අතිශය කෝපයෙන් වික්ෂිප්තභාවයට පත්වූ ආකාරය මට මතකය.

 මීට ටික දිනකට පසුව, ඉන්දියානු සාම හමුදා ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන්ගේ ලංකාවට ඇතලුවීමේ ප්‍රධාන ස්ථාන වුයේ, පලාලි ගුවන් තොටුපල, කන්කසන්තුරේ වරාය සහ ත්‍රීකුණාමලය වරායයි. කන්කසන්තුරය වරාය ඉන්දියානු නාවික හමුදා යාත්‍රා වලට සහ උතුරේ සිටි දස දහස් ගණන්, ඉන්දියානු සොල්දාදුවන්ට, ආහාර සහ අනෙකුත් සැපයුම් ගොඩබෑමේ, ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්විය. විශේෂයෙන්ම නොයෙකුත් දුෂ්කර ස්ථානයන්හි විසිරී ස්ථාන ගතකර සිටි, ඉන්දියානු හමුදා අණු කංඩයන්ට ආහාර සැපයුම් කලමනාකරණයේදී, ඔවුනට මහත් දුෂ්කරතාවයකට, මුහුණදීමට සිදු වූ බව මට මතකය. එම දුෂ්කරතාවයන්ට ප්‍රධානතම හේතුවක් වූයේ, එම අණු කංඩයන්වල මස් කල්තබා ගැනීමට, අධි ශීතකරණ නොතිබීමයි. අනෙක ඔවුනට අවශ්‍ය මුදවාපු කිරි, ලබා ගැනීමට නොහැකි වීමයි.

ඔවුන් මෙම ප්‍රශ්ණයට, අපූරු විසදුමක් යොදා ගත්හ. ඵ් මස් සැපයුම් ජාලය නොකඩවා පවත්වා ගැනිමට සහ අධි ශීතකරණ හිගය මගහැර ගැනීමට, පණ පිටින් එළුවන් බෙදා හැරීමය. මුදවාපු කිරි සාදා ගැනීමට, කිරිපිටි පැකට් එලෙසම අණු කංඩ වෙත බෙදා හැරියහ. මුලින්ම මට එම මුදවාපු කිරි ආහාරයට ගැනිමට ලැබුණු අවස්ථාවේ, ඉන්දියානු නිලධාරීන්, ඒවා සාදා ඇත්තේ කුමකින්දැයි මගෙන් ඇසූ විට, මම පිළිතුරු දුන්නේ, ඒවා ඉන්දියාවෙන් ගෙන්වන ලද, මුදවාපු කිරි යැයි සිතාගෙනය. එය තරමටම මුදවාපු කිරි, ස්වාභාවිකව සාදන මුදවාපු කිරි රසටම තිබුණි.

මස් සදහා එළුවන් ගෙන ආවේ, අප කවදාවත් දැක නොතිබූ ක්‍රමයකටය. ඒ විශාල ලී වලින් සාදන ලද නැවක, එළුවන් දහස් ගණනක් පුරවා ගෙන, සතියකට දෙවරක් කන්කසන්තුරේ වරායට පැමිණි.‘ meat on the hoof' ලෙස නාවික භාෂාවේ හැදින්වුනු, එළු නැව මගිනි. මෙම නැව වරායට පැමිනෙන විට, සෑහෙන දුරක සිට, එළුවන් කෑ ගසන ශබ්දයෙන්, එම නැව පැමිණෙන බව අපට දැන ගන්නට පුළුවන් විය.

ඉන්දියානු සාම හමුදාව පැමිණීමෙන් පසු මෙතෙක් කල් පැත්තක දමා තිබුනු කන්කසන්තුරේ වරාය ඉතාම වැඩ බහුල වරායක් බවට පත්විය. ඉන්දියානු නාවික හමුදා නිලධාරීන් සහ වෙළෙඳ නෞකාවල කපිතාන්වරු මා හැඳින්වූයේ NOIC (KKS) යන නමිනි. විශේෂයෙන්ම ඉන්දියානු නාවික හමුදා නැව් වලට ඔවුන්ගේ මව් වරාය හැරුනවිට අනෙක් වරායනට ඇතුල්වීමේදී හා පිටවීමේදී කපිතාන් වරයාට සහ ජලතරණ නිලධාරියාට විශේෂ ගෙවීමක් කරන අතර, එම ඇතුලුවීම හෝ පිටවීම සහතික කිරීම කන්කසන්තුරේ කරන ලද්දේ මා විසිනි. මේ හේතුව නිසා ඔවුන්ද මා වරායේ ප්‍රධානියා ලෙස සලකා නොයෙකුත් ලියකියවිලි අත්සන් කර ගැනීමට වෙළෙඳ නෞකා කපිතාන්වරුද ඉන්දියාවෙන් කුඩා ත්‍යාග මා වෙත ගෙන ඒමටද පුරුදුව සිටියහ.

මෙහිදී මා සමග ඉතා කුලුපග වූ වෙළෙඳ නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවෙකු කේරලයේ ඔහුගේ ගොවිපලේ ව්‍යාපාරයක් ලෙස ගෙම්ඹන් ඇති කරන බව කියා පසු වාරයක එන විට හම ගසන ලද ගෙඹි කකුල් කිහිපයක් ගෙන ආ බවත් මට මතකය. මධ්‍යම කේරලයේ රා තැබෑරුම් අසල බැදපු ගෙඹි කකුල් විකිනීම සුලභ දසුනක් බවද ඔහු කීවේය.   

ඉන්දියානු හමුදා නිලධාරීන්, කන්කසන්තුරේ වරායේ ඔවුන්ගේ වැඩ කටයුතු සම්බන්ධීකරණය කිරීමට, වරාය අසල පිහිටි අතහැර දමන ලද නිවාස දෙකක, කාර්යාල පිහිටුවා ගත් අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධාන කටයුතු ඔවුන් සමග කලේ, මා විසිනි. අප බොහෝ දෙනෙකු, ඉන්දියාවේ පුහුණුවීම් කටයුතු කල තිබූ හෙයින්, අපත් සමග එහදී පුහුණුවීම් කටයුතුවල යෙදුණු, නිලධාරීන් කිහිප දෙනෙකුද, මුණ ගැසීමට මෙහිදී අවස්ථාව ලැබුණි. මුලදී ඉන්දියානු සාම හමුදාව, යාපනයේ වැසියෝ හා එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීහු ඉතා සාදරයෙන් පිළිගත්හ.

ඒ කාලයේ යාපනයේ අපට, ශ්‍රී ලාංකික හමුදා පුද්ගලයන්ට නිදහසේ හමුදා වලින් පිටත ඇවිදීමටද අවස්ථාව ලැබුණි. ඉන්දියානු හමුදා නිලධාරියෙකු සමග, ඔවුන්ගේ කුඩා ජීප් රථයක,  කරෙයිනගර් නාවික හමුදා කඳවුරට, මේ අවධියේ ගියෙමි. මෙම අවස්ථාවේ කඳවුරේ ප්‍රධාන ගේට්ටුව, විවෟත කරන ලද්දේ අවුරුදු දහයකටත් වඩා වැඩි කාලයට පසුවය. ඵ් පැවති යුද්ධය නිසා, කඳවුරෙන් පිටත සම්පූර්ණ බලය, අත්පත් කරගෙන සිටියේ, ත්‍රස්තවාදීන් හෙයින් කඳවුරේ ගේට්ටු විවෟත කිරීමට හැකියාවක් නොතිබූ නිසාය. ටික කලකට පෙර, එහි ප්‍රධාන ගේට්ටුව යකඩ තහඩු පෑස්සූ, ‘ට්‍රාන්ස්ෆෝමර්‘ චිත්‍රපටයේ චරිතයක් වැනි, ට්‍රැක් රථයක් යොදාගෙන කඩාගෙන ඒමට ත්‍රස්තවාදීන් උත්සාහ කර තිබුණි.

එහෙත්, මෙම හනිමුන් කාලය පැවතුනේ, කෙටි කාලයක් තුල පමණි. කුමාරප්පන් නමැති, එල්. ටී. ටී. ඊ. නායකයෙකු තවත් ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු සමග, විශාල බෝට්ටුවකින් ගමන් කරද්දී, ශ්‍රී ලංකා නාවික හමුදා මුර යාත්‍රාවක් මගින් අත් අඩංගුවට ගැණින. මෙම යාත්‍රාව රැගෙන එන ලද්දේ, කන්කසන්තුරේ වරාය වෙතටය. එම බෝට්ටුව අල්ලා ගත් ඩෝරා යාත්‍රාව සමග, මාගේ නැව යාබඳව, පැමිණි එම යාත්‍රාවේ සිටි, කුමාරප්පන් ඇතුලු පිරිස, ඔවුන් පිළිබදව තීරණයක් ගන්නා තෙක්, බොහෝ වෙලාවක් මා සහ ඩෝරා යාත්‍රාවේ අණභාර නිලධාරියා සමග, සතුටු සාමීචියේ යෙදී සිටියහ. අවසානයේ ඔවුහු පලාලි ගුවන් තොටුපල වෙත රැගෙන යන ලදුව, එහිදී කොළඹට ගුවන් මගින් ගෙනයාමට උත්සාහ කිරීමේදී, සයනයඩ් කරල් කා සියදිවි නසා ගත්හ. මූලික වශයෙන් මෙම සිදුවීම මත, එල්. ටී. ටී. ඊ.ය ඉන්දියානු සාම හමුදාවට පහරදීමට, පටන් ගත් බව එකල කියවිණ.

මෙලෙස ඉන්දියානු නිලධාරීන් සමග කාලය ගත කරද්දී, ඔවුන් සමග ඔවුන්ගේ කාර්යාලවල හෝ අප නෞකාවේ සතියකට වරක් දෙකක් රාත්‍රී භෝජනයක් පැවැත්වීම සිරිතක් විය. එක් දිනක, මෙලෙස පැමිණි ඉන්දියානු නාවික නිලධාරීන් දෙදෙනා, අප නෞකාව වෙත පැමිණියේ, පන පිටින් කුකුළෙක් සහ ‘ඕල්ඩ් මන්ක්‘ රම් බෝතලයක්ද රැගෙනය. ඔවුන් එම ත්‍යාගයද රැගෙන, මගේ කාමරය වෙත පැමිණ, නැවේ කෑම පිළියෙල කරන නැවියා, ගෙන්වා දෙන ලෙස මගෙන් ඉල්ලා, ඔහුට කුකුළා දී, ආහාරය සදහා පිළියෙල කරන ලෙස උපදෙස් දුන්නේය. 
බොහෝ වේලාවක් පිළියෙල කරන ලද කුකුළ් මස් නොපැමිණීම හේතුවෙන්, පරීක්ෂා කර බැලීමට, නැවියෙකු ගැලියට යැව්වෙමි.  මට දැනගන්නට ලැබුනේ, ආහාර පිළියෙල කරන නැවියා, කුකුළා මැරීමට නොහැකි නිසා, නැවේ අනෙක් සියළු ‍දෙනාගෙන්ම ඇසූවද, එම වැඩය කිරීමට කෙනෙකු ඉදිරිපත් නොවූ හෙයින්, මටද එය දැන්වීමටද ලැජ්ජාවෙන්, සිටින බවය.
මා මෙය පිළිබඳව ඉන්දියානු මිතුරන්ට විස්තර කළෙමි. ඉන්පසු එක් නිලධාරියෙකු නැවේ ගැලියට (කුස්සියට) ගොස්, ආහාර පිළියෙල කරන නැවියාට,  එම උදව්ව කර දුන්නේය.

සමහර මෙවැනි රාත්‍රී භෝජන වලදී, එහි සිටි එක් ඉන්දියානු නිලධාරියෙකු ගීත ගායනා කිරීමට කැමැත්තක් දැක්වීය. අපටද, මා සමග එවෙලේ සිටි වේග ප්‍රහාරක යාත්‍රාවක අණභාර නිලධාරියෙකුද සිටියේය,  හින්දි ගීත පුරුදු නිසා, අපිද ඉන්දියානු නිලධාරියාගේ ගායන වලට හවුල් වූයෙමු. ගීත කිහිපයක් ගායනා කිරීමෙන් පසුව, ඔහු අපෙන්ද ශ්‍රී ලංකා ගීතයක් ගායනා කිරීමට ඉල්ලා සිටි හෙයින්, අපද එලෙස ගායනා කලෙමු.

 ඒ සෑම ගීතයකම, මුල් හින්දි ගීතය මෙම නිලධාරියා අපට පසුව ගායනා කිරීමට පටන් ගත්තෙන්, අප ලැජ්ජාවට පත්විමු. මේ නිසා අපි දෙදෙනා සාකච්ඡා කර, කෙසේවත් හින්දි සිංදුවකින් කොපි නොකර ඇතැයි අප සිතූ, ‘අප දෙදෙනයි එකට පාසැල් ගියේ‘ නැමැති ගීතය ගායනා කලෙමු. අප අපගේ ගීතය අවසන් කරන්නටත් පෙරම, ඉන්දියානු නිලධාරියා ඒ හින්දි ගීතය ගායනා කරන්නට පටන් ගත්තේය. අවස්ථාවට ගැලපෙන්නේ නැති වුවත්, අවසානයේ අපි වික්ටර් රත්නායක මහතාගේ ‘ඔක්කොම රජවරු‘ ගීතය ගායනා කර ඒ ලැජ්ජාවෙන් ගැලවුනෙමු.  

14 comments:

  1. ගෙඹි කකුල් එක්ක මොකද හිතුනේ? ඒවා හොඳ වාජිකරන ඖෂදයක් කියලා කියනවා.

    ReplyDelete
  2. aphrodisiac? keep it a secret , frogs will go to endangered list within no time

    ReplyDelete
  3. අය්යෝ ඒ කියන්නේ අපිට කියලා සින්දු ඇත්තෙම නැද්ද

    ReplyDelete
  4. හොද වෙලාවට වික්ටර් රත්නායකවත් හිටියා

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මගේ පලමු නැව කන්කස්න්තුරේට පාන්පිටි අරගෙන ගිය වෙළද නැවක්. ඒ 1999 අවුරුද්දේ විතර. මුලින්ම එලියේදි බත්තල් වලට ටිකක් විතර පාන් පිටි බාලා පස්සේ නැව ගෙටගැහුවේ බාගෙට ගිලිනු එඩිතර නැවේ. දියකඩනය කෙලවරේ පෙරලුනු නැවක් තිබුනා ඒ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. සමහරවිට 526 වෙන්නට ඇති මට මතක හැටියට ඒකත් එතනදි පෙරලුනා හේතුව මට මතක නැහැ හොයල බලන්න ඕනැ

      Delete
  7. 526 නෞකාව ගැන මතක බොහොමයි. හොඳම මතකය තමා, ඔබතුමන්ලාගේ කාර්ය මණ්ඩලය අපට රස මසවුලෙන් මෙන්ම, 'අනෙකුත් දේ' වලින්ද සලකා, නැවේ ඉනිමගෙන් ආපසු බෝට්ටුවට බැසගනීමට නොහැකි තත්වයේ සිටින අපව ශක්තිමත් නාවික සෙබළුන්ගේ කරපිටින් 'බෝට්ටු ගතකිරීම' :D

    526 නැව නාවික බලකොටුවක් සහ පාලන මධ්‍යස්ථානයක් වශයෙන් විශිෂ්ඨ කාර්ය භාරයක් ඉටුකලා එහි අවසානය දක්වාම.

    ReplyDelete
  8. නියම විස්තරය. බොහොම අසාවෙන් කියෙව්වා. දැන් මට තේරුම් ගන්න බැරි එකක් තිබෙනවා. මේ නාවේ නැවියෝ වෙඩි තබන්න පුරුදු කල අයනේ. කොටින්ට (කකුල් දෙකේ) වෙඩි තබා මරන්නත් ඇතිනේ, නමුත් කුකුළෙක් මරන්න අකැමති වෙන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. මම ඕක තව තැන් වලදි දැකල තියෙනව, යුද්දෙදි එහෙම චකිතයක් නැතිවුනාට හුඟ දෙනෙක් ඔහොම සත්තු මරන්නට මැලියි

      Delete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...