Wednesday, August 10, 2016

ප්‍රශ්න වලට විසදුම් සෙවීමේ නොයෙකුත් ක්‍රම , විද්‍යාව පසෙක තබා සංස්කෘතියෙන් පිළිතුරු සෙවීම; පිලැස්ස සිද්ධිය








ප්‍රශ්න වලට විසදුම් සෙවීමේ නොයෙකුත් ක්‍රම ; විද්‍යාව පසෙක තබා සංස්කෘතියෙන් පිළිතුරු සෙවීම 


මේ ලගදි පුවත් පතක දක්නට ලැබුණු ප්‍රවෘතියක් නිසා මට මෙය ලියන්න සිත් උනි. එම ප්‍රවෘතිය විස්තර කර තිබුනේ මහ පාරක මාර්ග අනතුරු වැඩි වීමක් දැක එය අඩු කිරීම සදහා පැවැත්වූ පිරිත් දේශනාවක් සම්බන්ද වැඩසටහනකි. මේ පිරිත් දේශනාව අනෙකුත් සියලු විද්‍යාත්මක සහ ප්‍රායෝගික ගැටලු පරීක්ෂා කර ඒවාට විසදුම් සොයා ඒවා ප්‍රතිස්ථාපනය කර කලේ නම් එහි එතරම් වැරද්දක් නැත. තමන්ගේ සංස්කෘතියේ චිරාත් කාලයක් පවතින පුරුදු උත්සාහ කර බැලුවාට වැරද්දක් නැත්තේය.

මෙවැනි යම් විශේෂ ස්ථානයක අනතුරු අසාමාන්‍ය ලෙස විශාල ප්‍රමාණයක් කෙටි කාල පරාසයක් තුල සිදු වී ඇත්තේ නම් එයට හේතු ලෙස කරුණු කිහිපයක් සිතා ගන්නට පුළුවන. සමහරක් ඒවා පහත පරිදි විය හැක.

රාත්‍රියක සිදුවන්නේ නම්,

a) විදුලි ලාම්පු සවිකර ඇති ක්‍රමයේ යම් වැරද්දක්.
b) විදුලි ලාම්පුවල ප්‍රභවයන්ගේ යම් ප්‍රශ්නයක්.
c) පාර හරහා පනින්නන්ගේ වැඩි වීමකින් සිදුවන ප්‍රශ්නයක්
d) වෙනත් අතුරු පාරකින් මහ පාරට වාහන ඇතුලු වීමේ ගැටලුවක්

දිවා කාලයේ සිදු වන්නේ නම්,

a) පාරේ ඇද ඇති ඉරිවල යම් වැරද්දක්
b) පදික වේදිකාවේ වෙළෙන්දන් නිසා ඇතිවන යම් ප්‍රශ්නයක්
c) එම ස්ථානයේ ඇති වංගුවක කෝනය පිළිබද ප්‍රශ්නයක්
d) ඉහත රාත්‍රී කාලයේ හේතු වල සහ d

මෙවැනි සිදුවිය හැකි හේතු සාධක ලැයිස්තුවක් හදාගෙන ඒවා එකින් එක එම ස්ථානයට ගැලපේ දැයි පරීක්ෂා කර බලා ඇත්තෙන්ම මෙම අනතුරු වැඩිවීමට හේතුව  සොයාගෙන එයට ප්‍රතිකර්ම යෙදීම විද්‍යාත්මක ක්‍රමයයි.

මේ සදහා හොද උදාහරණයක් 1951 දී අර්ල් ස්ටැන්ලි ගාඩ්නර් මහතා විසින් ලියන ලද, The case of angry mourner පොතේ පෙරවදනය සදහන්ව ඇත. පසුගිය දවස් වල එම පොත මා විසින් පරිවර්තනය කල නිසා මගේ මතකයේ මෙය රැදී තිබිණ.

ටික කලකට පෙර ‘මැසචුස්ටි‘ මහා මාර්ගයෙහි ගමන් ගන්නා වාහනයක රියදුරෙකු, රාත්‍රියකදී, තමන්ට ඉදිරියෙන් වාහනයක් හදිසියේම වමට හැරවී නොපෙනී යනු දුටුවේය.
එය සමහර විට මහන්සිය නිසා, තම මනස තුල ඇති වු ඇස්බැන්දුමක් ලෙස ඔහු සිතුවද, එම දසුන සත්‍යයක් යැයි සැක සිතූ රථයේ රියදුරා, එම දුටු තැන නවතා වාහනය පරීක්ෂා කළේය. ඔහුට දක්නට ලැබුනේ පාරේ සිට එක්වරම පහලට පහත් වී යන ගං ඉවුරකි. ඔහු ඉවුරෙන් පහලට බැස අසල ගඟ පරීක්ෂා කලේය. සිතූ පරිද්දෙන්ම වාහනයක රතු පාට පසුපස පහන් එලියක් ගඟෙහි වතුර තුලින් ඔහු දුටුවේය.
පොලීසිය කැදවිණ. දම්වැල් සහ යකඩ කොකු සහිත දොඹකරයක් මගින් වාහනය ඉහලට එසවිණ. එය තුල වාහනය පැද වු තැනැත්තාගේ මළ සිරුර හිරවී තිබිණ.
‘හාවඩ්‘ විශ්ව විද්‍යාලයේ නීති වෛද්‍ය අංශයේ ප්‍රධානියා වුද, බොස්ටන් නගරයේ නීති වෛද්‍යවරයා වූද, දොස්තර රිචඩ් ෆෝඩ් මරණ පරීක්ෂණය පැවැත්වූයේය. මරණය සදහා හේතුව ජලයේ ගිලීම වූ අතර, රථය ගඟට පෙරලීමට මුල් වූ කරුණක් සොයා ගැනීමට නොහැකි විය. සාමාන්‍යයෙන් වාහනයක් පදවද්දී, මෙලෙස අනතුරට පත්වීමට හේතුව වන, හදිසි හදවත් රෝගයක් හෝ වෙනත් එවැනි රෝගී තත්වයක් මිය ගිය තැනැත්තා ගෙන් දක්නට ලැබුනේ නැත. සමහර විට තමන්ගේ දරු පවුලට රක්ෂණ මුදල් ලබා ගැනීමට ඉඩක් ඇති කිරීමට, සිය දිවි හානි කර ගැනීමක් සේ නොපෙනෙන ලෙසට, ඔහු වාහනය ගඟ වෙතට හිතා මතාම පැද වුවාදැයි සැකයක් මතු විණ. මන්ද, සිය දිවි නසා ගැනීමකදී බිරිදට හා දරුවන්ට රක්ෂණ මුදල් නොලැබෙන හෙයිනි.
 කොතෙක් සිය දිවි නසා ගැනීම පැත්තට කරුණු තිබුනද, දොස්තර ෆෝඩ්  එම තර්කය පිලිගැනීමට මැලි විය. එලෙසම, මෙම අනතුර සිදුවීමට මූලික විය හැකි කිසිම යාන්ත්‍රික අඩුපාඩුවක්ද, වාහනයේ තිබී නැති බව පරීක්ෂණ වලදී හෙලි විය.මෙම අනතුර සිදු වූයේ සිය දිවි හානි කර ගැනීමක් මුල් කරගෙන බවට කරුණු දැක්වූ පිරිස් දොස්තර ෆෝඩ්, එම තර්කයට එකග නොවීම පිලිබදව ඔහුව විවේචනය කලහ.
එහෙත්, වචනයේ පරිසමාප්තියෙන්ම විද්‍යාඥයෙකු වූ දොස්තර ෆෝඩ්, පොදුවේ වි‍වේචනය වීමත්, ගෞරව ලැබීමත් ගැන එතරම් තැකීමක් නොකලේය. ඕනෑම ප්‍රශ්ණයකට තමන්ගේ හිතට එකගවන පරිදි, හරි පිළිතුරු සොයාගන්නවා මිස, අනෙක් අය තමන්ගේ එම වැඩ පිළිබදව සිතන්නේ කුමක්දැයි, ඔහුට දැන ගන්නට වුවමනා වූයේ නැත.
මාස හයකට පමණ පසු, තවත් රියදුරෙකු පෙර රිය අනතුර ලෙසටම එම ස්ථානයේම, තමන්ට ඉදිරියෙන් යන වාහනය හදිසියේම නොපෙනී යනවා දුටුවේය.
නැවත වරක් පොලීසියට දැන් විණ. පොලීසියෙන් පැමිණ යකඩ කොකු සහ දම්වැල් මාර්ගයෙන් වාහනය ඉහලට එසවූ විට, ජලයේ ගිලීමෙන් මිය ගිය තවත් රියදුරෙකු වාහනය තුලින් සොයා ගත හැකිවිය.

අනතුරු දෙකක්ම එලෙස සිදු වූ නිසා, මේ පිළිබදව විශේෂ පරීක්ෂණයක් සිදු කෙරිණ. එහිදී ප්‍රධාන මාර්ගයේ ඇති ලොකු වංගුවක් මග හැරීම සදහා, එම වංගුවට පෙර බෝතල් කර්මාන්ත ශාලාවක් හරහා, වැටී ඇති පුද්ගලික මාර්ගයක් ප්‍රදේශයට පලපුරුදු රියදුරන් පාවිචිචි කරන බවද, රාත්‍රියේදී එවැනි රථ එක්වරම මහා මාර්ගයට ඇතුල් වන විට, ‍මෙය දකින මහා මාර්ගයේ පහලින් යන රියදුරන්, තමන් මහා මාර්ගයේ වැරදි පැත්තේ ගමන් කරන බව සිතා, දකුණට හදිසියේ වාහනය කැපීමෙන්, එය ලිස්සන සුලු ප්‍රපාතයකට වැටී, අවසානයේ ගගේ ශීතල වතුරට වැටීමෙන්, ශෝකාන්තයකට අවැසි සියළු දෑ සම්පූර්ණ වන බව සොයා ගැණින.

7 comments:

  1. ලංකාවේ අපේ පොලිස්වි ශේෂඥයන් හේතුව ලෙස සොයාගෙන ඇත්තේ...පාරේ ක්‍රියාත්මකවන නොපෙනෙන භූත බලවේගයක් නිසා අනතුරු සිදුවන බවයි. භූතයන් පලවාහැරීමේ දැනට ඇති හොඳම ක්‍රමය සෙත්පීරිත්දේශනාවයි! බුදුහාමුදුරුවොත් විසාලාමහනුවරදී මේක කළා කියලයි කියන්නෙ!

    ReplyDelete
  2. මාර්ග සංවර්ධන කටයුතු වලදී ගලවා දමන වීදි ලාම්පු වෙනුවට තාවකාලික ආලෝක ක්‍රමයක් හෝ, ආලෝක පරාවර්තනය මගින් රියදුරන්ට අනතුරු අඟවන ක්‍රමයක් ලංකාවෙනම් කොහෙවත් මා දැක නැහැ.

    මේ දිනවල කුරුණෑගල නගරයේ අංක 6 කොළඹ පාර ඒ ආකාරයෙන් අඳුරේ පවතිනවා. ගැට්ටුවාන මංසන්ධිය රෑට අඳුරේ පවතිනවා. තවත් තැන් තියනවා.

    මොකුත් කරන්න බැරිනම් ඒ තැන්වල සාමනේර හිමිවරුන් රඳවා තබා කහ සිවුරෙන් සංඥා කිරීමේ ක්‍රමයක් හැදුවානම් හොඳයි. වෙන කියන්න දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. ඕං දැං තමා තේරුංගියේ බුදුහාමුදුරුවොත් පුංචි එවුන් මහන කරන්නැත්තේ ඇයි කියල

      Delete
  3. ඇත්තෙන්ම අනතුරුදායක වන්ගුවකි කියා බෝඩ් එකක් දැමීමෙන් හෝ පිරිත් කීමෙන් නොනැවතී ඇත්තෙන්ම අනතුරු සිදුවීමට හේතුව සොයාබැලිය යුතුය

    ReplyDelete
  4. තාර කාර්පට් මිශ්‍රණයට පිරිත් වතුර, ශුද්ධ ජලය, කතරගම මල්මාලා, වාලම්පූරි, ෆෙන්ශුයි ගල්, කෝරාන් වැකි, කැපූ දෙහි, මිරිස් කරල් එකතු කලොත්?

    ReplyDelete
    Replies
    1. ඒ මිශ්‍රණය දාලා පාරේදීම කොත්තු රොටී හදන්න පුළුවන්.

      Delete
  5. ජාත්‍යන්තරයේ සහය සිරිලංකාවට ලැබී තිබෙන මොහොතේ අබිරහස් රිය අනතුරු ගැන සෙවීමට 'ස්කූබි ඩූ' කණ්ඩායම කැමැත්ත පල කොට ඇති බැව් 'අහවල්' ප්‍රකාශක විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
    ජයවේවා..!!

    ReplyDelete

ටෙලිඩ්‍රාමා දෙකකින් ජාතියේ ක්ෂණික ඡායාරූපයක්

මම ලංකාවේ රූපවාහිනියේ නිවුස් ඇරෙන්නට බලන වැඩසටහන් තුනක් තිබේ. මේ අන්තර් ජාතික CNN BBC ,   චිත්‍රපට චැනල්ය හා   history  චැනල් එකේ පෝ...